ළපෙති මල් -17

“තාත්තා එනවා ආච්චම්මේ..”

මන්දාරා ජනේලය අසලින් මෑත් වූයේ කෙඳිරියකින් එසේ කියමිනි.පසුපස අසුනින් මෙවන් බැස ගන්නා අන්දම දුටු ඇයට සහනයක සේයාවක් දැනිණ. නමුත් ඒ සතුට පර වී ගියේ හිමංගි ද පැමිණ ඇති අන්දම දැකීමෙනි.

“ආච්චම්මා පහළට යන්න.ලේලි ඇවිල්ලා..”

ඇය කළකිරීමකින් පැවසුවා ය.

“මං ඔයාට මෙච්චර වෙලා කිව්ව දේ ආයේ කියන්නම් බබා.කාගෙවත් තීරණ අපේ ජීවිතේ සතුටට අදාළ කරගන්නකම් අපිට හිනා වෙන්න බෑ.අම්මා තාත්තාට වුණත් තමන්ගෙ කියලා ලෝකයක් තියනව කියල තේරුම් ගන්න.
නැත්නම් මගේ පුතාට ජීවිතේ අමාරුයි..”

මිත්තණිය එසේ කියා පහත මාලයට ගියේ මිණිබිරියගේ හිස අත ගාගෙන ය.
මන්දාරා යහනට වැටුණා ය.

“මේ රහල් මහත්තයලා ඇවිල්ල ලොකු නෝනා..”

ලීලා පිරිස පිළි ගත්තේ සන්තෝසයෙනි.ජයන්ති මෙන් කුඩුකේඩු සිතිවිලිවල එල්බ නොගත් ඇය ගැන හිමංගිට සොම්නසක් ඇති විණ.නමුත් සිරිමා මහත්මිය තමන් කෙසේ පිළි ගනීදැයි නොදැන ඇය දෙගිඩියාවෙන් පසු වූවා ය.

“කොහොමද දූ.වාඩි වෙන්න.ඔයාට නුහුරු තැනක් නෙවෙයිනෙ මේ..”

සිරිමා හිමංගිට පැවසුවේ කිසිදු කහටක් නැති සිතකිනි.පෙර දිනයක මන්දාරා සමඟ මෙහි ආ අතීතයක් සිහි කරමින් හිමංගි කිසිත් නොදොඩා බලා සිටියා ය.
සිරිමා සම්බන්ධයෙන් එදා ඇගේ හඳුනාගැනීම වූයේ ද බොහෝ ඇසූපිරූ තැන් ඇති ගැහැනියක ලෙස ය.ඇය පරිණත බුද්ධියක් ද සන්සුන් මනසක් ද ඇති කෙනෙකු බව හිමංගිට දැන් මනාව වැටහේ.

එසේ නොවූවානම් පනස් වියද පසු කළ තම පුතු විසි පස් වියැති ළාබාල තරුණියක දෙවන බිරිඳ ලෙස විවාහ කර ගැනීම සිරිමා මහත්මිය ඉවසන්නට ඉඩක් නොවේ.

“මගෙයි මන්දාරලාගෙ තාත්තිගෙයි මැරේජ් එක බ්‍රේකප් වෙන්න හේතුව ඔය සිරිමා.ඔයාට කියන්න හිමා ඔය ගෑනි දිය යටින් ගින්දර ගෙනියන්නෙ.ලෝකෙට පෙන්නන්නෙ නම් හරි ඉවසිලිවන්තයි කියල.ඒ වුණාට ඒ ගෑනියි දෝනියැන්දයි දෙන්නා මහම මහ ගිනි බෝම්බ..”

ලංකාගේ රූපලාවණ්‍යගාරයේ සේවය කරන කාලයේ ලංකා කී කතාවක් හිමංගිට සිහි විය.සැබෑවටම ගිනි බෝම්බය වන්නේ ලංකා බව ඒ වෙද්දී අවබෝධ කරගෙන සිටි නිසා ඇය සිරිමා මහත්මිය ගැන අහිතක් නොසිතා සිටියා ය.

“අපේ අම්මගෙ මොන ජරා වැඩ ගැන දැනගෙන හිටියත් ආච්චම්මා කවදාවත්ම එයාට කවදාවත් මොකුත් කියල නෑ.එයාගේ ඒ ඉවසීම ගැන අදටත් මට පුදුමයි..”

අම්මාගේ බොහෝ ගැටළු ගැන හිමංගි සමඟ බෙදා ගනිද්දී මන්දාරා පැවසූ අන්දම ද හිමංගිට සිහිව ආවේ ය.ඇය සිරිමාගේ හොඳම ලේලිය වන බොළඳ සිහිනයක එල්ලී ගත්තේ එනිසා ය.

“අක්කා උඩ ද ආච්චාම්මේ..”

තාත්තාටත් හිමංගිටත් මිත්තණිය හා කතාබහේ නිරත වන්නට ඉඩ දීමට සිතූ මෙවන් ඇසී ය.කොහොමටත් ඔහුට අක්කා වෙත යාමට ද ඇය සමඟ කතා කරන්නට ද උවමනාවක් තිබිණ.මන්දාරා දිගින් දිගටම මෙවන්ගේ ඇමතුම් ද පණිවිඩ ද මඟ හැර ගත්තා ය.මෙවන් ඉහළ මාලයට ගියේ අක්කා සමඟ කතාබහ කර ඇගේ සිතේ ඇති කෝපය යම් තාක් තුනී කරන්නට සිතමිනි.

“අක්කා..”

කාමරයේ දොරට එපිටින් මල්ලිගේ හඬ ඇසෙද්දී මන්දාරා වහා දොර විවර කළා ය.

“ඔන්න ඔය කොරියන් මඟුල වහනවකො.අපි ෆිල්ම් එකක් බලමු..”

මෙවන් කිසිම වෙනසක් නොපෙන්වා අක්කාගේ ඇඳ මත හිඳ ගත්තේ ඇගේ ලැප්ටොප් තිරයේ ධාවනය වන කොරියානු මාලා නාට්‍යය අනවසරයෙන් ම නවතමිනි.

“රෑ වෙලා බලමු.අද මෙහෙ ඉන්නවද?”

මන්දාරා ඇසුවේ මල්ලි අසලින් හිඳ ගනිමිනි.ඔහුගේ උරහිසේ හිස ගසාගෙන ඇති වෙනතුරු හඬන්නට ඇයට ඕනෑ විය.ඇය ජීවිතය තුළ සමීපම පිරිමින් තිදෙනෙකි.තාත්තා වෙනත් විවාහයක් කර ගැනීම නිසා ඔහු අහිමි වූ බව මන්දාරා තහවුරු කරගෙන අවසන් ය.තේජනගේ මාපියන් තවම ඒ සම්බන්ධයෙන් කිසිවක්ම පවසා නැත.සමහරවිට ප්‍රථම ප්‍රේමය ද තාත්තාගේ විවාහය නිසාම අහිමි වී යා හැකි බව මන්දාරා සිතන්නී ය.ඉතිරි මල්ලි පමණි.
ඔහු ද හිමංගි පිළි ගත්තේ විරෝධයකින් තොරව නම් ඔහුවද අහිමි වී යා දැයි මන්දාරා භීතියට පත් වූවා ය.ඇය සොයුරාගේ අතකින් තදින් අල්ලා ගත්තේ එනිසා ය.

“රෑ වෙලා යන්නෙ.ඕන නම් මං ඉන්නම්..”

මෙවන් එසේ කියා පරිගණකයට දෑස් අලවා ගත්තේ චිත්‍රපටියක් සොයන්නට ය.අක්කා හිඳින්නේ නිර්මාණයක් රස විඳින මානසික මට්ටමක නොවේ.නමුත් ඇය සාමාන්‍ය තත්වයට ගත යුතු බව මෙවන්ට වැටහේ.

“ඔයත් මෙහෙ එන්න මල්ලා..” මන්දාරා අයැදුවා ය.

“තාත්තා කියන්නෙ හිමංගි අක්කා ආවයි කියල අපි ගේ අතාරින්න ඕන නෑ කියල.අක්කාත් ආපහු යං.ඔයා කොහොමත් අපේ ගෙදර කියන්නෙ එහෙටනෙ.”

මෙවන් එසේ කියද්දී මන්දාරා හඬ නොනගා හිනැහුණා ය.

“දැන් මට මගේ ගේ මෙහෙ මල්ලි.ඒක දැන් හිමංගිගෙ.අපේ නෙවෙයි.”

එවගක් පවසා නොනැවතුණු ඇය හිමංගිට අක්කා නොකියන්නැයි මල්ලිට සිහි කළා ය.

“අපි එයාට ආන්ටිවත් පුංචි අම්මවත් කියන්න ඕන නෑනෙ අක්කා.පහසු විදියකට කතා කරමු.අර ජයන්තිට එන ප්‍රශ්න ඕවා.ඔයා ඕවා ඔලුවට ගන්න එපා..”

මල්ලි එසේ කියද්දී මන්දාරා දෙවුර ගස්සා ඉවත බලා ගත්තා ය.

“කොහොමත් මං ආයෙ එයා එක්ක කතා කරන්න අදහසක් නෑ..තාත්තා එක්කත් නෑ.”

මෙවන් කියන්නට ආ දේවල් පැවසීම පසුවට කල් දැම්මේ ය.තරුණයෙකු වූ හන්දා තමන් මේ ගැටලුව සරලව දුටුව ද අක්කාට මෙය මහත් වේදනාවක් බව ඔහු වටහා ගත්තේ ඇගේ මලානික දෑස නිසා ය.අක්කා මෙය විඳවමින් හිඳින හැඩය ඔහු නැරඹුවේ වේදනාවෙනි.

“අම්ම ආයේ මැරි කරානම් ඔයා මෙහෙම කේන්ති ගන්නවද?”

මන්දාරා මුහුණ හකුළා ඉවත බලා ගත්තා ය.

“එයා මැරි කරනවනං බැරියැ.එයා නම් කවුරු මැරි කරාම මට මොකෝ.”

මෙවන්ට තවත් ප්‍රශ්නයක් තිබිණ.ඔහුට අක්කාගේ සැබෑ ගැටළුව අවබෝධ කර ගන්නට උවමනා විය.

“අක්කේ,ඔයාට අවුල තියෙන්නෙ හිමංගි අක්කා තාත්තා මැරි කරාටද? එයා ඔයාගේ යාළුකමට නරකක් කරා කියලද ඔයා හිතන්නේ?”

මන්දාරා බාල සහෝදරයා දෙස මොහොතක් බලා සිටියා ය.ඇයට අම්මා එපා වූ ඒ සිදුවීම වූ කාලයේ මල්ලි කුඩා දරුවෙකි.නමුත් ඈ අම්මා අප්‍රිය කළේ දරුවෙකු දෑසින් නොදැකිය යුතු දෙයක් අම්මා නිසා ඇයට දකින්නට වූ හන්දා ය.නමුත් තාත්තා කඩවසම් සහ ජනප්‍රිය ආචාර්යවරයෙකු ද ව්‍යාපාරිකයෙකු ද ලෙස ලෝකයාගෙන් වචනයක්වත් නාසා ජීවත් වූ ගෞරවනීය මිනිසෙකි.ඔහු ඒ ගෞරවය විනාශ කරන අන්දමේ තීරණයක් තම මිතුරිය නිසා ගැනීම මන්දාරාට ඉහිලුම් නොදෙන්නකි.

“ඔයාටයි මටයි හිටියේ තාත්තා විතරයි.හිමංගි තාත්තව උදුරා ගත්තා..”

මෙවන් අක්කා දෙස බලා සිටියේ කාරුණික දෑසකිනි.

“මම හිතන්නෙ හිමංගි අක්කා නිසා තාත්තා අපිට තව ටිකක් ළං වෙලා අක්කේ. ඔයා තරහ නිවා ගන්නකො.ගොඩක් දේවල් ඔයාටම තේරෙයි..”

දොරට තට්ටු කරන හඬක් ඇසුණු නිසා එය විවෘත කරන්නට යන අතර මෙවන් කීවේ ඔහුට මේ දින කිහිපයේ වැටහුණු සැබෑ කාරණාව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles