නිලැසි -19

“නිලැසි කියන්නේ දැන් උඹට ගැළවෙන්න අමාරු උගුලක් පුතේ..”

මත් බඳුන් එකිනෙක අහවර වෙද්දී මාධව එසේ කීවේ ගිටාරය අපිළිවෙල හඬකින් වයමින් හුන් එරන්දට ය.ඔහුගේ වේගවත් එහෙත් ක්‍රමානුකූල නාද රටාවකට ගමන් නොකළ සංගීත නාදය එරන්ද මොනතරම් කලබලයට පත්ව සිටීදැයි අනාවරණය කළේ ය.

“මං කියන්නේ උඹ ඒකිව බැන්දොත් මොකෝ..”

මාධව ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළේ ය.එරන්ද වැයුම නවතා මිතුරා දෙස බලා සිටියේ පුදුමයෙනි.අනතුරුව ඔහු තවත් මත් බඳුනක් එක හුස්මකට හිස් කර දැමී ය.

“අර නාකි හෝන්තුව? උඹට ඔලුව නරක් වෙලාද මාධවයා.අවුරුදු විස්සෙ විසි එකේ පොඩි කෙලි පොඩ්ඩක් බැඳගන්න පුලුවන් මං මේ ගෑනිව බඳින්නේ ඇයි?”

මාධව නිස්කලංක හිනාවකින් මිතුරා දෙස බලා සිටියේ ය.බොහෝ ලෙහෙසියෙන් අරමුණු සපුරා ගන්නට ඉඩ ලැබී එය ප්‍රයෝජනයට නොගන්නා එරන්ද ගැන ඔහුට කලකිරීමක් ද හට ගත්තේ ය.

“රාජේන්ද්‍ර වික්‍රමාරච්චිගෙ ලොකු බෑනා වෙන්න පුලුවන් වෙන එක,නිම්නගෙ මස්සිනෙක් වෙන්න පුලුවන් වෙන එක.අච්චර ධනස්කන්ධයක් එක්ක වයිෆ් කෙනෙක් හම්බෙන එක? උඹට නෙවෙයි මටත් ගොඩ යන්න පුලුවන් පාරක්නෙ එරා..”

එය අසත්‍යයක් නොවේ.තමන්ගේ සිහින කරා පහසුවෙන් ඇවිද යා හැකි මාවතක් නිලැසි නිසා විවර වන බව එරන්දට ද පෙනිණ.නමුත් ඈ හා විවාහ වීම රත්‍රන් කූඩුවක ජීවත් වෙන කුරුල්ලෙකුගේ ඉරණමට ලක් වීමකැයි එරන්දට සිතෙන්නට විය.නිලැසි පෙම්වතියක වීම පවා එරන්දගේ නිදහස අහිමි කරන්නක් විණ.ඈ ඕනෑවටත් වඩා ඔහු ගැන වද වන්නියකි.ඔහුව පාලනය කරන්නියකි.

“ඒ වුණාට නිලැසි බැඳගත්තා කියන්නේ මගේ සුන්දර පෙම්වතියො ඔක්කොම අමතක කරන්න වෙනව කියන එක..”

එරන්ද ඔහුගේ සැබෑ ගැටලුව මිතුරාට හෙළි කළේ ය.මාධව හඬ නගා හිනැහෙන්නට ගත්තේ ය.

“උඹ වගේ රියැලිටියකට ගිහින් හරි හීන ගොඩ දාගන්න මං ආස නෑ.මට එච්චර කටු කන්න බෑ.රියැලිටියක් කියන්නේ මාරම කට්ටක්.ඒවා මහ කරදරයි.එකපාර හිට් වෙන සින්දුවක් කරගන්න නිම්න අල්ලගන්න හිතාගෙනයි මං නිලැසිට පොඩ්ඩක් ටෝක් කරේ.ඒත් දැන් ඒකි හිතන් ඉන්නේ මගෙ සංසාර පෙම්වතී එයා කියලා..”

රැයක් දවාලක් නැතිව ප්‍රේමය ගැන උමතුවෙන් කියවන්නිය ගැන සිහි කරමින් එරන්ද පැවසී ය.

“මගේ ලයිෆ් එකේ ඉන්න නැටලි, ජයනි,මානවී වගේ කෙල්ලො මං පිස්සුවෙන් වගේ අයිති කරගන්න හදන තරින්ද්‍යා වගේ කෙල්ලො එක්ක මට නිලැසිව අප්‍රසන්නයි බං..හිත පිස්සු වට්ටන කෙල්ලක් නෙවෙයි ඒ.නමුත් තමන් එහෙම පිස්සුවක් තමා කියල එයා හිතන් ඉන්නව..”

නිලැසි පාසල් වියේ ප්‍රේමවන්තියක සේ එරන්දට උමතු වී හිඳින බව මාධව ද දැන සිටියේ ය.ඈ එරන්ද දුරකථනයට නොඇමතූව ද කලබල වන තරමට ප්‍රේමයෙන් පිරී හිඳින්නී ය.ඒ සැබෑ ආදරය ද නැතහොත් උමතු ප්‍රේමයකදැයි මාධවට නොපැහැදිලි ය.

“මං මේ හිතන්නේ මේ නිලැසි උඹව නැති උනොත් මැරෙයි නේද කියලා..”

ඇය එපමණකට තමන්ට ඇලී ඇති බව මාධවගේ වචන වලින් පසු එරන්දට ද සිතිණ.ජීවිතයේ වෙනසකට ඇය තමන්ට ළං වූ බව සිතුව දැන් එය එසේ නොවන බව ඔහුට ද සිතේ.ඇය ප්‍රේමයම පතමින් ඔහු අසල දැවටෙන්නට පටන් ගෙන ඇත.ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් සැලසුම් පවා සකසන තරමට ඈ තමන් පාලනය කරන්නට පටන් ගැනීම තමන්ගේ නිදහස් පැවැත්මට තර්ජනයක් බව එරන්ද සිතී ය.

“එයාට ඕන නම් ඩිවෝස් වුණාවෙ මචං..”

එරන්ද එසේ කියද්දී වික්‍රමාරච්චි පවුලට සම්බන්ධ වීමේ වටිනාකම ඔහුට තේරුම් යන්නට ඇතැයි මාධවට සිතිණ.නැත, එරන්ද සිතා තිබුණේ වෙනත් දෙයකි.

“මිසිස් මොරවක කියන පට්ටම නැති උනාම නිලැසි නිකම්ම නිකං නූල කැඩුණු සරුංගලයක් මචං..එයාට ඇත්තටම මං කියන දේවල් කරන්න වෙන්නෙ අන්න එතකොට..”

එරන්දට ඇති සැලසුම් සහගත නුවණ ගැන මිතුරාට ද ඇති වූයේ පුදුමයකි.ඔහු ඒ පුදුමයෙන්ම අසා සිටියේ ය.

“අනියම් සම්බන්ධතා කියන්නේ ඩිවෝස් එකකට හොඳ පාරක්.තිසරු සමහර දේවල් ඇස් දෙකෙන්ම දකිනකොට නිකම්ම ඩිවෝස් එක දෙයි..”

එරන්ද විශාල සැලසුමක් සිත යට තබා ගනිමින් එසේ පැවසුවේ ය.දැන් ඇත්තේ ක්‍රියාත්මක වන්නටයැයි ඔහු ඉනික්බිති සිතී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles