ළපෙති මල් – අවසාන කොටස.

“මට සමා වෙන්න දූ..අවුරුදු විසිපහක් තිස්සෙ ඔයාව හොයාගන්න බැරි වුණා,ඔයාට දුක් විඳින්න ඉඩ ඇරිය කියන්නේ මං සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි.”

හිමංගි තුරුළු කරගත් සුනෙත් එසේ පවසද්දී හිමංගිගේ වචන වලට පෙර කඳුළු ඉක්මන් විණ.හයහතර නොදන්නා බිළිඳියක කාලයේ පටන් ආදරය යන වචනය නොදන්නා ලෝකයට ඇතිදැඩි වූ ඈ සුනෙත්ගේ පපුවට හිස ගසාගෙන බොහෝ වෙලාවක් වැළපුණා ය.

“සුනෙත් හිමාලිව හොයපු තරම් අපි දන්නවනෙ.හිමාලි අතුරුදහන් වෙලා ආයේ මතු වුණේ රවීගෙ වයිෆ් විදියට.කියපු හැටියටම දරුවට උපදින්න නොදෙන්න ඇති කියලා අපි හිතුවේ.ඒ නිසා මං හිතන්නේ නෑ සුනෙත් අතේ වරදක් ඇති කියලනම්..”

සිරිමා එසේ පැවසුවේ හිමංගිගේ හිස අත ගාන අතර ය.හිමංගි තාත්තාට තුරුළුව හිනැහුණා ය.

“දුවෙකුට තාත්තා එක්ක තරහ වෙලා ඉන්න බෑ.මං දන්නවා මගේ දූ මාත් එක්ක තරහ නෑ කියල.අවුරුදු ගාණක් දෙන්න බැරිවුණු ආදරේ මගේ දූට මං දෙන්නම්..”

සුනෙත් එසේ කියද්දී මන්දාරා එයට වහා එරෙහි වූවා ය.

“තරහ වෙලා ඉන්න බැරි වුණාට දුවෙක්ට රණ්ඩු වෙන්න ඉන්න හොඳම කෙනා තාත්තා.මං නම් කියන්නේ හිමා ඔයා ඕක මතක් වෙන ගාණට සුනෙත් අංකල්ගෙන් අල්ලස් ඉල්ලන්න.”

සුනෙත් හිනැහෙමින් මන්දාරාව ද වැළඳ ගත්තේ “උඹේ නරක පුරුදු ඒ අහිංසක කෙල්ලට පුරුදු කරන්න එපා බං..” කියමිනි.සිනාව ද කඳුල ද සමසමව උතුරා යන තැනක ආදරයට ඇති ඉඩ ගැන හිමංගි සිතුවේ සැනසීමෙනි.තාත්තා! එය මොනතරම් මිහිරි වදනක් ද? අම්මා කියන්නේ සිහිනයක් පමණක් වීම දැන් ඇයට කිසිසේත්ම වේදනාවක් නොවේ.තාත්තා ඇයට අම්මා කෙනෙකු ද වන බව හිමංගිට විශ්වාස ය.

“තාත්තා ආයේ කැනඩා යන්නෙ නෑ නේද?”

හිමංගි සුනෙත්ගෙන් විමසී ය.ඔහු නැතැයි කියන්නට හිස වැනුවේ ය.

“මං නම් කියන්නේ සුනෙත් අංකල්ටත් අපේ ගෙදර එන්න කියල.ආයෙ අලුතින් ගෙවල් ගන්නෙ ඇයි?”

අම්මා සහ තාත්තාගේ වියෝවෙන් පසු තමන්ගේ මහ ගෙදර අක්කාගේ දරුවන්ට පවරා ඇති නිසා තමන්ට නිවසක් මිලට ගත යුතු බව සුනෙත් කියද්දී මන්දාරා අදහසක් ඉදිරිපත් කළා ය.

“මගෙ කෙල්ලටත් ඔයාල එක්ක තරහ වුණාම එන්න යන්න ගෙයක් එපැයි කෙල්ලෙ.මං පොඩි ගෙයක් බලන්නං..”

උස් සිනා හඬකින් සිරිමා මැදුර පිරී යද්දී තමන්ගේම නිවසක් යන සුන්දර හැඟීමකින් හිමංගි සැනසීමට පත් වූවා ය”උඹෙ මහ උං හොයන් පලයං..කාලකන්නි මූසල මූණ හින්දා මේ ගමනත් ගොයම පාලුයි..” මහළු මිත්තණිය සමහර දිනට ඈ එළියට ඇද දමා දොර වසන අන්දම හිමංගිට සිහි වේ.රෑ පහන් වන තුරුම සඳ දෙස බලමින් ඈ ඉල්ලූයේ කිරිපැණි නොවේ.අම්මා තාත්තා ය.ඒ කුඩා හදවත ගලක් වී සියල්ල දරා ගත් අන්දම සිහි වෙද්දී අතීතයට දිව ගොස් ඒ දැරිය වැලඳ ගන්නට හිමංගිට සිතෙයි.

“සුනෙත්ට විතරක් නෙවෙයි, මන්දිටත් ගෙයක් බලන්න ඕන පුතා.දැන් මෙයාලගෙ වෙඩින් එකටත් කාලේ හරි..”

සිරිමා මහත්මිය සිහි කළා ය.මන්දාරා දෙකම්මුල් රෝස පැහැ කරගත්තේ සතුටිනි.

“මට බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් හොයන්න වෙන දුක මිසක්කා නැත්නම් හෙට වුණත් මැරි කරන්නං..”

ඈ අනතුරුව කියන්නේ හිමංගි වැලඳ ගෙන ය.මන්දාරා ඇගේ දෙවැනි මනමාලිය කරගන්නට සිහින දැක්කේ හිමංගිව ය.

“ඊටකලින් පොඩ්ඩක් සැලඩ් එකක්වත් හදන්න පුරුදු වෙනවද? නැත්තං තේජන මට තමා බනින්නෙ කිසිම දෙයක් බැරි කෙල්ලක් එව්වයි කියල..”

හිමංගිගේ මව්වත්කම පිටාර ගලද්දී රහල් ඒ දෙස බලා සිටියේ ආදරයෙනි.ඇය දැන් මන්දාරාට අම්මා මිස මිතුරිය වන්නේ එහෙමත් වෙලාවක ය.

“ඒ වුණාට අද කුකරි ක්ලාස් එපා.අද අපි ආවේ ලීලාගෙ කෑම කන්න.”

මෙවන් වහා පවසද්දී කෙල්ලන් දෙදෙනා ඔහු ලුහුබඳින ආකාරය බලා සිටි සුනෙත් සිනාවකින් රහල් දෙස බැලී ය.

“අන්තිමට උඹ මගෙ බෑනා වුණා.” රහල් ඒ බසට හිනැහෙන්නේ උස් හඬිනි.

“මම හිතන් නෑ කවදාවත් හිමාලි අපේ හිමා ගැන ආදරේකින් හිතයි කියල.අම්මා වුණා කියලා ඒක හිමාලි පිළි ගන්නෙ නෑ..”

සුනෙත් එසේ කියන්නේ වේදනාවෙනි.එකම එක වතාවක් හෝ හිමාලිට හිමංගි වැලඳ ගන්නට තිබූ බව ඔහු සිතයි.නමුත් ඒවා ඉටු නොවන සිහින ය.

“දුවෙකුට තාත්තෙක් හොඳටම ඇති මචං..අපේ කෙල්ල අවුරුදු පහේ ඉඳන් හැදුණෙ මගේ තුරුල්ලෙ.අම්මාට අම්මා කෙනෙක් වෙන්න බැරිනම් තාත්තට අම්මත් වෙන්න බැරිකමක් නෑ..”

රහල් පැවසුවේ ඔහු විශ්වාස කරන දහම ය.සුනෙත් එයට පිළිතුරු ලෙස සැනසිලිදායක මඳහසක් හෙළී ය.

“හිමාලිගෙ කිසිම ගතිගුණයක් නැතුව හිමංගි ඉතුරු ජීවිතේම ජීවත් වෙනවනම් මට ඒ ඇති රහල්.ජානවලින්වත් එයාගෙ ගතිසිරිත් මගෙ ළමයට ඕන නෑ..”

සුනෙත් පැවසුවේ මේ මොහොතේ ඔහු පීඩාවට පත් කරන එකම කාරණාව ගැන ය.රහල් මන්දස්මිතයක් හෙලී ය.

“දරුවො ජාන ඉස්සරහට ගෙනියනවට වඩා ගෙනියන්නෙ තමන්ට සමාජෙනුයි ගෙදරිනුයි ලැබෙන දේවල්.හිමංගි ලඟ හිමාලිගෙ ගති නෑ.දුක් වෙන්න එපා..”

රහල් එසේ කියා ආලින්දයට නෙත් හෙළී ය.මෙවන් හිමංගිත් මන්දාරාත් ඉල්ලන ගී ඉල්ලීම් ගයයි.කෙල්ලන් දෙදෙනාව කෝප ගන්වමින් විවිධ දෑ පවසයි.රහල් ඒ නව යෞවනයා දෙස බැලුවේ සැනසීමෙනි.ඔහු විපුලගේ ගතිගුණ කිසිවක්ම රැගෙන විත් නැත.ලෝකයට ඔහු රහල් බමුණුසිංහගේ එකම පුතු ය.ඒ රහස ජීවිත කාලය පුරා සෙනෙහසින් රැක ගන්නට තරම් මෙවන් බමුණුසිංහ සුන්දර දරුවෙකු බව රහල් සිතී ය.


තමන්ගේ අප්‍රසන්න රහසක් මගේ අම්මා සතු නිසා ඇයට අප්‍රමාණව වද වේදනා දී ඇය සියදිවි නසා ගන්නා තැනට කටයුතු කළ ලංකාට සදාකාලික දිනුම අත් වූයේ නැත.මන්දාරා ඇය දැඩිව ප්‍රතික්ෂේප කළ අතර තරුපහේ හෝටලයක පැවති මන්දාරාගේ විවාහයට පවා ලංකාට ආරාධනා නොලැබිණ.ලංකාගේ රූපලාවණ්‍යගාරයේ හැඩවෙන්නට ප්‍රභූ පැලැන්තියේ මනාලියන් පවා පොර කද්දි මන්දාරා ඒ පළාතටවත් නොගොස් හුන්නා ය.

අම්මාට අත් වූ කුරිරු ඉරණම හන්දාම ලංකා වූ ලසන්තිකා ගැනත් හිමාලි වූ හේමලතා ගැනත් දිනයක ලියා තබන සිහිනයක් මට තිබිණ.ඒ එවැනි ක්‍රෑරත්වය හමුවේ ජීවිතය එපා කරගන්නා ජීවිතය අතැර යන්නට සිතන මගේ අම්මා වැනි ගැහැනු තවත් බිහි නොවිය යුතු බැවිනි.එවැනි ගැහැනු අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කර තමන්ගේ සිහින වෙත ඇවිද යන හිමංගි බමුණුසිංහ වැනි ගැහැණුන් ලෝකයට උවමනා බැවිනි.

බමුණුසිංහ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන ගණකාධිකාරිනියව බොහෝ කාර්යබහුල මා මේ කතාව ලියා තැබුවේ එනිසා ය.මන්දාරා,මෙවන්,හිමංගි මෙන්ම මා ද වැඩිහිටියන්ගේ කුහකම් සහ අමනකම් හන්දා පීඩා විඳි ළපෙති මල් බව මම විශ්වාස කරමි.ඔබේ නොඉවසිවන්තකම්, වෛරීසහගත සිතුවිලි සහ නොනවතින තරගය ද දරුවන්ගේ ජීවිත මතට අත් නොහරින මෙන් ඉල්ලා සිටීම හැර මට මේ කතාව අවසානයේ ලියා තබන්නට කිසිවක් නොවේ.

මම
ශාක්‍යා ඉද්දමල්ගොඩ

සමාප්තයි!

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content