ළපෙති මල් – 38

“ඔය මට කීවනෙ හිමාලි කියන කෙනාව හොයලා දෙන්න කියලා.එහෙම මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ පුතේ, මේ ඉන්නේ එයා.හිමාලි අතුරුදහන් වුණු හේතුව නෙවෙයි එයා හිමංගිව අතාරින්න හිත හදා ගත්තු හේතුව අහන්න..ඒක මටත් දැන ගන්න ඕනෑ..”

සුනෙත්ගේ ඉවසිලිවන්ත කටහඬ මන්දාරා සසල කළා ය.හිමංගි සෑමතැනකම සොයන ඇගේ අම්මා හිමාලි වීම මන්දාරාට දරා ගැනීමට අසීරු පුවතකි.මේ ගැහැනිය තමන්ගේ අම්මා සමඟ එක් වී හිමංගිට නෝක්කාඩු සහ අපහාස කළ අන්දම මන්දාරා සිහි කළා ය.

“එතකොට අංකල්…”

මන්දාරා සුනෙත් දෙස බැලුවේ මුවට අතක් තබා ගෙන ය.

“මං තමයි දූ හිමංගිගෙ තාත්තා.මං විශ්වාස කරනව ඒක එහෙම වෙන්න ඇති කියල.හිමාලිව විශ්වාස කරන්න අමාරු හින්දා ඒක වෙන්න තියන ඉඩ එහෙමෙහෙ වුණත් මගෙ හදවත කියන්නෙම හිමංගි මගෙ කියලා..”

සුනෙත් කියන්නේ බොහෝ ආදරණීය සහ අවංක මිනිසෙකු බව මන්දාරා ළපටි වියේ සිටම දැන හුන්නා ය.නමුත් ඔහු හිමංගිගේ තාත්තා නම් ඔහු සුදු මිනිසෙකු නොවන බවටත් හිමාලි දුෂ්ට ගැහැනියක වූවාට එසේ වන්නට ඇයට සිදු වන්නට ඇත්තේ මේ සිදුවීම නිසා වන්නට ඇති බවත් මන්දාරා හදිසි සිතුවිල්ලකින් සිතුවා ය.ගැහැනු මෙවැනි ගැටලු වලදී ගැහැනියකගේ කෝණයෙන් ඒ දෙස බලන්නට කැමති ය.මන්දාරා ද සිටියේ එතැන ය.

“අංකල් ඔයාව දාලා කැනඩා ගියාද ආන්ටි? ඒකද ඔයා හිමාව අත් ඇරියේ?”

සියලු වැරදි සුනෙත්ට පවරා වහා නිදොස් වී හිමංගි වැලඳ ඉකිබිඳ හඬමින් අනුකම්පාව දිනා ගන්නට හිමාලි සිතුවා ය.ඇය විසි පස් වසරක් පුරා තමන්ගේ දරුවෙකු ගැන සඟවා සිටි බව රවී දැන ගැනීම හිමාලිට ගැටළුවක් නොවේ.මේ සිදුවීමේ වැඩි වාසිය තමන්ට බව ඇය සිතුවා ය.එහෙත් සුනෙත් ඇය දෙස බලා සිටියේ තියුණු බැල්මකිනි.ඔහුගේ ඒ බැල්ම හිමාලි ගොළු කර දමන්නට සමත් විණ.

“දරුවා හදාගෙන ඉක්මනින් මැරි කරමු කියද්දිත් දරුවා නැති කරනව කියලා යන්න ගිය ගෑනියෙක් දුව මේ.හිමංගි ඉපදුණු එකවත් මදැයි..මට ඕනෑ වුණේ නෑ හිමාලිව අතාරින්න.එයාව තනි කරන්න…”

සුනෙත් පවසන්නේ සත්‍යයක් බව ඔහුගේ පැහැදිලි දෙනෙත පවසන බව මන්දාරාට වැටහිණ.හිමාලිගේ හැසිරීම් වලට මන්දාරා බාල කාලයේ පටන්ම ප්‍රිය කළේ නැත.

“මං ඒ ළමයව නැති කරා තමයි.ඔහේගෙ ළමයෙක්ව මං හදාගත්තෙ නෑ.මේ හිමංගි මොකීද කියන්න මම දන් නෑ..”

හිමාලි එපමණක් කියා ගන්නට වීර්යය ගත්තා ය.

“අපිට පුලුවන් ඩීඑන්ඒ ටෙස්ට් එකක් කරන්න ඉතින්.එතකොට ඒක ඔප්පු වෙනවනෙ..”

සියල්ල නිහඬව අසා හුන් මෙවන්ට තිබුණේ ඉතා පැහැදිලි තර්කයකි.හිමාලි ඉන් භීතියට පත් වූවා ය.

“බොරු කරන්න ඕනෑ නෑ හිමාලි ආන්ටි.මට ඇත්ත කියන්න.ඔයා දැනගෙන හිටිය නේද මේ ඔයාගෙ දුව කියල.ඒක නේද ඔයා ඔයාගෙ අම්මගෙ ෆියුනරල් එක පවා මඟ ඇරියේ..”

හිමංගිගේ පාසලේ විදුහල්පතිනිය හේමලතා නොහොත් හිමංගි ගැන කතා කළේ ප්‍රසාදයකින් නොවන බව මන්දාරා සිහි කළා ය.ඇයට දැන් වඩා අපුලක් දැනෙන්නේ සුනෙත් ඇයව තනි නොකරද්දී පවා හිමාලි පලා ගිය බැවිනි.ඇය හිමංගිටත් සුනෙත්ටත් එසේ කළ කාරණාව දැන ගන්නට මන්දාරාට ඕනෑ විය.

“නොදැන ඉන්න විදියක් නෑ.මට මොරීනුයි ශිරායි හැමදාම කිව්ව මේ නිලියෝ විස්වාස කරන්න එපා කියලා.මට රිද්දන්න තමන්ගෙ දුවව රහල්ට මුණ ගස්සන්න ඇත්තෙ මෙයාම තමයි.ඊටපස්සෙ හිමංගි රහල් මැරි කළාම ඔක්කොම බිස්නස් වලට මෙයාටත් අත දැම්මැකිනෙ.ඒ මදිවට හිමංගි ඉවරයක් කරමු ගගා මාව හිරේ යවන ප්ලෑනක් හදන්න ඇත්තෙ.අනේ මම කොහොමත් මෙයා ගැන කාලයක් තිස්සෙ තේරුම් අරන් ඉන්නෙ..”

අපූරු බෝම්බයක් පුපුරා ගියේ ඒ මොහොතේ ය.හිමංගිට රිදවන සැලසුම් තනන්නට එක්ව ගමනක් ආ ගැහැනුන් දෙදෙනා අතර එක්වරම ඝට්ටනයක් හට ගත්තේ එහෙම ය.

“මොනවද ලංකා ඔයා මේ කියන්නෙ?මේ මිනිහා ඒ කාලෙ මාව මැරි කරන්න පස්සෙන් ඇවිල්ල මං අකමැති වුණා කියලා රටත් දාලා යන්න ගියා.දැන් කොහෙද ඉන්න හිඟන කෙල්ලක් මගෙ කියල බොරු විකාර කියෝනව.ඔයා කොහොමද මේව විශ්වාස කරන්නෙ?”

හිමාලි එසේ ඇසුවද ලංකා සිටියේ ඒවා පිළි ගන්නා මානසිකත්වයක නොවේ.රැවටීමකට ලක් ව ඇත්තේ තමා ය.සෑමවිටම අනුන් රිදවන සැලසුම් සකසන ලංකා මේ අහඹු සිදුවීම හිමාලිගේ සැලසුමක් යැයි සිතන තරමට කැලඹී හුන්නා ය.එය එසේ නොවන බව වැටහුණ ද එය නිවැරදි කරන්නට මන්දාරාටවත් සුනෙත්‍ටවත් මෙවන්ටවත් ඕනෑ වූයේ නැත.

“අම්මා මට ඔයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි.මං මේක කියන්නෙ හරිම පැහැදිලිව.හිමංගි තාත්තට ආදරේ කරේ කාගෙවත් සැලසුමකට නෙවෙයි.එයාට මෙච්චරකල් හිටියේ නැති අම්මෙක් ඉස්සරහට ඕනත් නෑ.ඒකට ආච්චම්මා ඉන්නව.තාත්තා කෙනෙක් ලැබුණු එකට නම් එයා සතුටු වෙයි..ඒවා එයාගෙ පර්සනල් දේවල්..ඒවා අපිට වැඩක් නෑ.ඒත් ඔයා මෙන්න මේක අහගන්න..”

මන්දාරා එසේ කියා අම්මාගේ ඉදිරිපිට සිට ගත්තේ අප්‍රියජනක හැඟීමෙනි.දරුවෙකු වැදූ පමණට අම්මා කෙනෙකු වන්නට නොහැකි ගැහැනුන් අතර තමන්ගේ අම්මාට හිමි වන්නේ ඉහළ තැනක් බව ඇය සිතුවේ කලකිරීමෙනි.

“ඔයාලා හිමංගිට මොකක්හරි අනතුරක් කරන්න ප්ලෑන් කරා කියලා දැන් ඔයාම කිව්වා.මේක මතක තියාගන්න අම්මා.හිමංගි පාරෙදි වාහනේක හැප්පුනත්,හදිසියේ මොකක්ම හරි අනතුරක් වුණත් ඒක නැචුරල් දෙයක් වුණත් මට සැක ඔයාව.මං ඒක පොලිසියට කියනව.ඒ නිසා ජරා වැඩ ප්ලෑන් කරානම් ඒවා දැන්වත් නවත්ත ගන්න.ඔයා ජරා වැඩ හංගා ගන්න ප්ලෑන් කරලා බිනරි ටීච මරා ගත්තා.ඒත් අම්මා මම ආයේ ඒවා වෙන්න දෙන් නෑ.ඔයාට ආයේ අම්මා කියන්න මම ආසත් නෑ.කරුණාකරලා මෙතැනින් යන්න..”

එක් අම්මා කෙනෙකු දියණියක අතින් එසේ ප්‍රතික්ෂේප වෙද්දී අනිත් අම්මා නිවස දෙස එක් බැල්මක් හෙළුවා ය.ඒ දියණිය ද තමන් නොපිළිගන්නා බව ඇයට සහතික ය.කළලයක් කුස හොත් හන්දා අම්මා කෙනෙකු වී ඒ දරුවන්ට ආදරය දෙන්නටත් ආදරය ලබන්නටත් අසමත් වූ ගැහැනුන් දෙදෙනා රහල්ගේ නිවස හැර ගියේ වේදනාවෙනි.

“ඔන්න ඕක තමයි ඔය ජාතියේ අයට අන්තිමට වෙන්නෙ.එකට සැලසුම් හදලා වෙනම පිච්චෙනව.තමන්ගෙ මහ ලොකු හිතවත් අයම තමන්ට සැකයි..”

සුනෙත් එසේ කීවේ කලකිරීම පිරුණු කටහඬකිනි.එහෙත් මන්දාරාට වූයේ වෙනත් පැනයකි.

“මේව හිමාට කියන්නෙ කොහොමද අංකල් අපි? එයා කොච්චර අවුල් වෙයිද?අනිත් එක අංකල්ට හොඳටම විශ්වාසයි නේද මේ අංකල්ගෙයි හිමාලිගෙයි දුව කියලා..”

හිමාලිට බොහෝ සමාන රුවක් හිමංගිට ඇති බව සිහි වෙද්දී පවා මන්දාරා විමසුවා ය.අම්මා තාත්තා නොදැන හුන් කාලයට වඩා හිමංගි වේදනාවෙන් පීඩිත වන්නේ දැන් ය.නොදැන සිටි සත්‍යය හෙළිදරව් වීම ඇය දරා ගන්නා ආකාරය ගැන සිතන්නටවත් මන්දාරා බියපත් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles