ළපෙති මල් -37

“ආ සුනෙත්, ඔයා දැන් මෙහෙ නේද නිතරම?”

අසංවර සිනාවකින් මෝටර් රථයෙන් බැස ගත් ලංකා දුටු හිමංගිට ගේට්ටුව හැර තබන්නට කී මෝඩකම ගැන පසුතැවීමක් හට ගත්තේ ය.නමුත් කම්පනයක් දැනුණේ සුනෙත්ට ය.ඒ මෝටර් රථයේ ඉන්නා අනෙත් කාන්තාව නිසා ය.ඒ හිමාලි ය.බොහෝ කාලයකට පසු දකින හිමාලි ය.

“මේ බලන්නකො හිමාලි.රහල් නැති වෙලාවට මෙහෙ යන්න එන්න මිනිස්සු ඉන්නවනෙ හරියට. “

ලංකා හිමාලිට හඬ ගෑවේ උද්දාමයෙනි.ඉතා උද්දාමයෙනි. රහල් නිවසේ නැති බැවින් හිමංගිට දෙකක් කියන්නට යන්නට ලංකා කළ ආරාධනාව පිළි ගැනීම ගැන දැන් හිමාලි හිඳින්නේ විස්සෝපයෙනි.වෙනත් ගමනක් යන අතර මෙසේ පැමිණියේ සුනෙත් ගැන හාංකවිසියක් නොදන්නා හන්දා ය.නමුත් ඔහු මෙතැන ය.මේ ඔහු දකින්නේ ද කාලාන්තරයකට පසු ය.

“ඔයාලගෙ ප්‍රශ්නනෙ ඩාලිං..මං මෙහෙම ඉන්නං..”

හිමාලි එසේ කියා ගත්තා ය.නමුත් ලංකා මෝටර් රථයේ දොර හැරියේ ඇයට පිටතට බසින්නට බල කරමිනි.මේ හිමාලිගේ පැරණි පෙම්වතෙකු බව ලංකාට රහසක් නොවේ.එහෙත් ඒ පෙම්වතාට දාව විසිපස් වසරකට ඉහතදී හිමාලි දියණියක බිහි කළ බව ලංකා නොදන්නී ය.

“පරණ සමයං දැන් මොනවටද ඔලුවෙ තියන් ඉන්නෙ? මේ මිනිහා මෙහෙ රිංගන්නේ හිමංගි බලන්න කියල මන්දිගෙ ඔලුවට දාන්න මේක තමයි වෙලාව.බහින්න..”

මිතුරියන් අතර අමුතුම අධිකාරි බලය හිමි තැනැත්තිය ලංකා ය.ඒ අධිකාරි බලයට නැමුණු හිමාලි මෝටර් රථයෙන් බැස ගත්තා ය.එහෙත් ඒ සුනෙත් දෙස බලන්නට නොකැමැත්තෙන් ඉවත බලා ගත්තා ය.

“තමුන්ට ලැජ්ජාවක් නැද්ද හිමංගි.තමුසෙ වගේ දහදුරා ගෑනු මොනව කරත් මට කමක් නෑ.ඒත් මේ ගෙදර වැදගත් ගෑනු ළමයෙක් ඉන්නව.”

ලංකා හිමංගි අසලින් සිට ගත්තේ මවාගත් කෝපයකිනි.

“මොනවද ලංකා මැඩම් කියවන්නේ?”

හිමංගි ඇසුවේ කෝපයෙනි.ඇය නඟන්නට යන චෝදනාව හිමංගිට වැටහේ.

“රහල් නැත්තම් ඔයා මෙහෙ හැමදාම එනවද සුනෙත්?”

අනතුරුව චෝදනාව එල්ල වූයේ සුනෙත් ට ය.අප්‍රියජනක ගැහැනියක අසන අප්‍රසන්න පැනයකින් කම්පනයට පත් වූ සුනෙත් වචන සොයන්නට මඳ වෙලාවක් වැය කළේ ය.

“මොනවද ලංකා මේ අහන්නේ? මට මේ ගෙදර, සිරිමා අම්මලගෙ ගෙදර පිට තැන් නෙවෙයි කියලා ඔයා දන්නවනෙ.රහල් හිටියත් නැතත් මම මේ ගෙවල් දෙකේ මිනිස්සුන්ට සලකන්නෙ මගෙ පවුලෙ අයට වගේ.”

සුනෙත් කතා කරේ ඉවසීමෙනි.මෙවන් නිවසට ආවේ ද ඒ මොහොතේ ය. නාන කාමරයට ගොස් පැමිණෙන සුළු මොහොතට සිදුව ඇති විනාශයෙන් කම්පිතව මන්දාරා ද ගෙඋද්‍යානයට දිව ආවා ය.

“වෙනදට අපි ඉන්නකොට එනව වගේ නෙවේනෙ දැන්.තමන්ට වඩා සෑහෙන්න වැඩිමල් සල්ලි තියන පිරිමි පේන්න බැරි ගෑනු ඉන්න ගෙවල්වලට එන්නෙ ඇයි කියලා මට තේරෙනව.මට දුක මගෙ දරුවො ඒ විකාර බලන එකට..”

ලංකා මන්දාරාගේ උරහිස වටා අතක් දමා ගත්තේ එසේ කියමිනි.හිමංගි විවාහ වූ පසුද විවාහයට පෙර රහල් සමඟ එක්ව ජීවත් වූ කාලයේ ද ඈ වසඟයට ගන්නට තැත් කරන කඩවසම් තරුණයන්ට පවා ඇගේ ප්‍රේමය හිමි නොවූ අන්දම මන්දාරා දනියි.අනෙක් කාරණාව මන්දාරා ආදරය කරන සහ විශ්වාස කරන පිරිමින් අල්ප ය.ඒ අතර සුනෙත් ද හිඳින්නේ ඉහළ තැනක ය.ඔහුට සහ හිමංගිට කරන චෝදනාව ගැන මන්දාරා කෝපයෙන් ඉතිරී ගියා ය.

“මෙවන්,ඔයා ඇයි මේවට කට පියන් ඉන්නෙ?”

ලංකා අනතුරුව පුතු වෙත හැරුණා ය.

“අම්මා, ඔයා මේ වගේ හැසිරෙනකොට හරිම අප්‍රසන්නයි.මිනිස්සුන්ට කැත කතා හදන්න එපා.ඉස්සරලම ඔයා කතාව හැදුවෙ මට.දැන් ඒක සුනෙත් අංකල්ට මාරු කරාද? මම,තේජන අයියා,සුනෙත් අංකල් ඔක්කොම හිමංගි අක්කට පාවා දිදී ඔයා විකාර කරාට වැඩක් නෑ.එයා මේ ගෙදරින් යවාගන්න අම්මට බෑ.”

මෙවන් ඔහුට දිය හැකි පැහැදිලි පිළිතුර ලබා දුන්නේ ය.අනතුරුව ඔහු හිමංගි දෙස බැලී ය.

“හිමංගි අක්කා ගෙට යන්න.මම හිතන් නෑ ඔයා මෙතන ඉඳන් මේවා අහන් ඉන්න ඕන කියල..”

ඒ හඬට අවනත වන්නට හිමංගිට සිත් විය.තමන්ගේ බව හැඟෙන හඬක් මේ මොහොතේ ඇසීම ම ඇයට සහනයකි.මන්දාරා ඇගේ අතින් අල්ලා ගත්තේ ද “මේවා හිතන්න එපා”කීවේ ද ඒ මොහොතේ ය.

“ජරා ගෑනු නලවන්න එපා මන්දි.ඔයා මේව තාත්තට නොකියා හිමංගි සුද්ධ කරන්න එපා..”

මන්දාරාගේ ඉවසීමේ සීමාව ඉක්මවූයේ අම්මාගේ ඒ වචනවලට ය.ඇය ලංකාගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියා ය.

“අම්මා,සුනෙත් අංකල් හිටියෙ මේ බෙන්ච් එකේ.මෙතන සෝමදාසත් හිටිය.මං වොෂ් දාන්න යනකොටත් එයාලා මෙතන තමයි හිටියෙ.තාත්තගෙ හැම වයිෆ්ම තමන්ගෙ ගේ අස්සට වෙන මිනිස්සු දාගන්නේ නෑ අම්මා.මං පොඩි කාලෙ දැක්ක දේවල් ආයේ දකින්න මං පව් කරල නෑ.විපුල වගේ ජරා මිනිහෙක්ගෙ ගාණට සුනෙත් අංකල්ව මනින්න එපා.ඔයාගේ මිම්මෙන් හිමංගිව මනින්නත් එපා..”

තමන්ගේ පව අමතක කර දමන්නට බිනරිට ජීවිතය නැති කරගන්නා තැනට කටයුතු කළද ඒ සිදුවීම මන්දාරා අමතක කරන්නේ නැති බව ලංකා වටහා ගත්තා ය.ඇය සුනෙත් වෙත අපහාසාත්මක බැල්මක් හෙළා යන්නට සැරසුණේ එනිසා ය.

“ඔයාට මේ ගෙදර හැමෝම සපෝට් නම් ඔයාගෙ වැඩ කරගෙන යන්න සුනෙත්.අවුලක් නෑ.අපි මෙයාගෙ හැටිත් දන්නවනෙ නැද්ද හිමාලි?”

හිමාලි සුනෙත් දෙස නොබලා ඉවත බලා ගත්තා ය.

“නෑ ලංකා..ඔයා හරි.මං මේ ලෝකේ කාටත් වඩා හිතන්නෙ හිමංගි ගැන තමයි..නැද්ද හිමාලි?”

සුනෙත් එසේ ඇසූයේ සන්සුන්ව ය.ඒ සන්සුන් ස්වරය සම්බන්ධයෙන් විවිධ අරුත් තේරුම් ගත් බැවින් සියල්ලෝම් බොහෝ කම්පිත වුහ.

“මන්දි පුතා, ඔයා මට පොළොන්නරුවෙ ඉඳන් කෝල් කරා මතකද?”

සුනෙත් අනතුරුව මන්දාරාගෙන් විමසුවා ය.ඇය හිස වැනුවේ කුතුහලයෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles