ලෝකේ තියන නරකම පාට

“මේ වතාවෙත් වැඩක් නෑ කසුන්. කිසිම තේරුමක් නෑ…”

ඒ වට්ස් ඇප් පණිවිඩය කසුන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා. කාමරයේ බිම එහෙමම ඉඳගෙන අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට දැනුණේ නෑ. මං හිටියේ පුදුමාකාර සතුටකින්. දරා ගන්න බැරි තරම් සතුටකින්.මේ වතාවේ මගේ ඔසප් වීම සති දෙකක් තිස්සේ පරක්කු වුණා.ඒක මොනතරම් සතුටක් ද කියලා කියන්න මට වචන තිබුණේ නෑ. මම අපේ පුංචි පැටියාට දාන නම  පවා තීරණය කරන තරම් සිහින වල කිමිදෙමින් හිටියේ. මේ වතාවේ සිහිනය ඉටු වූ බව තහවුරු කරගන්න වෛද්‍යවරයෙක් ළඟට යන්න හැමදෙයක්ම ලෑස්ති කරලා මම බලාගෙන හිටියා.

ඒත් රතුපාට කියන්නේ ලෝකයේ තියන නරකම පාට වග මට ආයේම උගන්වමින් එයත් යන්න ගියා.ඔව්! මේ පළමුවැනි වතාව නෙවෙයි. මේ කීවෙනි වතාවද? මම ගණන් නොකර ඉන්න තීරණය කළා. බලාපොරොත්තු කඩවීම මහ නරක දෙයක්. ඒත් මට ඒ ගැන තේරුම් ගන්නවත් ඕනෑ නැති තරම්.

ලෝකේ තියන නරකම පාට රතු පාට!

මං අඬන අතරේ ආයේ ආයේ ආයෙම කියා ගත්තා. කෑගහලා අඬන ගමන් මම රතු පාටට පුදුමාකාර විදියට වෛර කරන්න ඇති.හිත හදා ගැනීම ලේසි වුණේ නෑ.මම ඒකට මාසයකටත් වඩා කාලයක් නාස්ති කළා. ඒත් බලාපොරොත්තු ඉටු වෙන් තව කොයි තරම් කාලයක් යයිද කියන එක නොදන්න මගේ බලාපොරොත්තු එක තැනක හිරවෙලා. මට එහෙම තේරෙනවා. මං එහෙම හිතමින් අඬනවා.

“අපි හිත හදාගමු” ලෝකේ තියන නරකම පාට රතු පාට වග ඊළඟ මාසෙදිත් මම කියනකොට අන්තිමේදී කසුන් එහෙම කිව්වා.

“අපි දෙන්නාට අපි දෙන්නා ඉන්නවා. ලෝකෙ තියන නරකම දේවල් ගැන නොහිතා අපි ලස්සන දේවල් ගැන හිතන්න පටන් ගමු චාපා.”

කසුන් එහෙම කියලා මගේ ඔලුව අතගානකොට මට තේරුම් ගියේ එක දෙයක්. එයාට පුලුවන් ගිනි ගනිමින් ඉන්න මාව නිවන්න. ලෝකයම නැති වෙලා ගියත් කසුන් ඉන්නවනේ කියලා හිතනකොට මටත් පුලුවන් හිත හදා ගන්න.

එහෙම හිතන්න පටන් ගත්තු දවසක කසුන්ගේ අම්මා අපේ ගෙදරට ගොඩ බැස්සා. මිදුලේ ඉඳලම කතා කරගෙන. “මෙහෙටම ආපු ගමනක් නෙමෙයි.මං අපේ නන්දාගේ දුව බලන්න ආවා..” කසුන්ගේ අම්මා කිව්වේ බෑග් එකෙන් ගත්ත පාර්සලයක් මං අතට දෙන අතර. පුදුමාකාර සුවඳක් පැතිරෙන්න පටන් ගත්තා.

“ඒ දරුවාට කෑම හදාගෙන ආවා.චාරුකා දුවදෙවෙනි පාරටත් අම්මා කෙනෙක් වෙන්න යනවානේ.. වාසනාවන්ත කෙල්ලෝ.”

දන්නා අඳුනන ගැහැනියක් ගැන සාමාන්‍ය ආරංචියක් කසුන්ගේ අම්මා මගේ මූණ දිහා බලලා වචන බර කරලා නොකීවානම්! චාරුකා අක්කා හරිම වාසනාවන්ත බව හත් අට වතාවක් නොකිව්වානම්!

කසුන්ලගේ අම්මා දන්න කිහිප දෙනෙක්ම මේ වෙනකොට ගැබිනියෝ කියලා අපි විනාඩි කිහිපයක් ඇතුලත දැනගත්තා. අම්මා කෙනෙක් වෙන්න වාසනාවක් නැත්තේ කරුම කරපු ගෑනුන්ට කියලා අවුරුදු හයක කසාද ජීවිතේ ඇතුළේ හත්සිය හත් වෙනි වතාවටත් මගේ නැන්දම්මා මට තේරුම් කරලා දුන්නා.

“හිතවත් අය කාටත් බබෙක් හම්බෙන්න ආවම මං පුළුවන් රහට කෑම හදලා දෙනවා.මගේ එකෙක්ට හදලා දෙන්න පින නැති වුණ එක ගැන හිතනකොට මගේ පපුව ගැලවිලා වැටෙන්න එනවා.”

උගුර ලේ රහ වෙනවා කියලා  මට දැනුණා.කසුන් ඒ අම්මගේ එකම පුතා තමයි.ඒත් අම්මට එහෙම දෙයක් නොකියා ඉන්න තිබුණා. මට විතරක් නෙවෙයි, මේ මාතෘකාව කසුන්ටත් රිදවුම් ඇති කරන මාතෘකාවක්. කසුන් මගේ දිහා බැලුවේ අසරණ වෙච්ච මූණකින්.

“බලමුකො අම්මේ.අම්මා ඔය කරන පින් පල දුන්නොත් අම්මටත් මුණුබුරෙක් ලැබෙයි..”

කසුන් එහෙම කියන්නේ අපි ඇත්තටම අවාසනාවන්ත නිසාද මගේ හිත රිද්දපු එයාගේ අම්මාට රිදෙන්නද කියලා මට හිතා ගන්න බෑ. ඒත් අම්මා ගියාට පස්සේ අපි දෙන්නම කසාය බීපු ගොළුවෝ ගාණට වැටුණා.එදා හැන්දෑවේ මං මගේ අම්මට කතා කලේ දුක ටිකක් නිවාගන්න.ඒත් මගේ දුක වැඩි කරන්න අපේ අම්මත් වග බලා ගත්තා.

“ඒ මනුස්සයත් සාධාරණයි පුතේ. මං උනත් කොච්චර ආසයිද ඔයාගේ දරුවෙක් දකින්න.ඔයාගේ හිත රිදෙනවට නොකියා හිටියට”

මගේ අම්මා එහෙම කියනවා.මේවා මොන තරම් හිත රිදෙන කතා ද කියලා මම හිතුවේ හොඳටම අඬන ගමන්. එයාලා මුණුබුරෝ දකින්න ආසා තරමට වඩා මම අම්ම කෙනෙක් වෙන්න ආස නැද්ද?

මාස නමයක සුන්දර වේදනාව විඳගන්න ආස නැද්ද? පුංචි පැටියෙක් ඇස් ඇරලා මං දිහා බලන පළමු බැල්ම දකින්න ආස නැද්ද?

ඒ හැමදේකටම මමත් ආසයි.මමත් ඒ ගැන හීන දකිනවා.ඒත් මගේ ශරීරය මගේ හීනයට ඉඩ දීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මාව මේ තරමට රිදවීම කිසිම සාධාරණයක් නැති බව අම්මලාට නොහිතෙන්නෙ ඇයි?

“අපි වෙන ඩොක්ට කෙනෙක් මුණ ගැහෙමු..”

මං ආයේම වතාවක් කසුන්ගෙන් ඉල්ලුවා. නවීන ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම අපට පිහිට වෙන්න මඟ බලාගෙන ඉන්නවා කියලා මට හිතන්න ඕනෑ වුණා.මෙච්චර විද්‍යාව දියුණු ලෝකෙක මට පැරදෙන්න බෑ. ඇයි මම පරදින්නේ? ලෝකේ තියන නරකම පාටට මාව පරද්දන්න ඉඩ දෙන්නේ?

“චාපා, මං සල්ලි ගැන බලා ගන්නම්. ඒත් ඔය ට්‍රීට්මන්ට්ස් ලේසි නෑ.. ඔයා ඔයාගේ ඇඟට ඕනෑවට වඩා දුක් දෙනවා දකින්න මට ඕනෑ නෑ.මම කියන්නේ සල්ලි ගැන නෙමෙයි.ඔයා ඔය ට්‍රීට්මන්ට්ස් හින්දා දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ..”

කසුන්ගේ ඇහැකින් කඳුලක් වැටුණා.

ලෝකේ තියන නරකම පාට රතු පාට! ඒ නරකම පාට නිසා දුක් විඳින්නේ මං විතරක් නෙවෙයි. කසුන් ඒ දුක ඒ විදියටම උහුලනවා. ඒත් එයා මගේ ශරීර සෞඛ්‍ය ගැන ඊට වඩා වද වෙනවා.ලෝකේ තියන නරකම පාටටත් පුලුවන් ආදරේ මොනතරම් ලස්සන පාටක් ද කියලා තේරුම් කරන්න. මං කසුන්ට තුරුළු වුණේ එහෙම හිතන ගමන්.සමහරවිට ලෝකේ තියන නරකම පාට පරද්දන්න මට පුලුවන් වෙයි.  සටනක් කරන්න මේ ආදරය හොඳටම ප්‍රමාණවත් බවත් මම දන්නවා.

“මේ අපහාස ඊට වඩා දුකක්. මට ඕනෙම දුකක් ඉවසන්න පුළුවන්.. මේ හැමෝගෙම වචන වල සැර උහුලන්න බෑ..”

මම එතැනින් එහාට කතා කළේ නෑ.කඳුළු මට කලින් කතා කරන්න පටන් ගත්තා.ඉකිගහ ගහ අඬන මං තුරුළු කරගෙන කසුන් බොහෝ වෙලාවක් හිටියා.

“අම්මලා තාත්තලා අපි විභාග පාස් වෙනකම් බලාගෙන ඉන්නවා.රස්සාවකට යනකන් බලන් ඉන්නවා.ඊට පස්සේ හොඳ කසාදයක් කරගන්නකම් බලන් ඉන්නවා.ඊටත් පස්සේ එයාලට ඕන ආච්චිලා සීයලා වෙන්න..එයාල ඔයාගේ හිත රිද්දන්නේ හිතාමතා නෙවෙයි.ඔයාව රිද්දවන්න හොඳ නෑ කියන එක අමතක වෙලා එයාලගේ ආසාවල් ඉස්සර වෙනවා..”

මගේ හොඳම මිතුරිය දවසක් කිව්ව හැටි මට මතක් වෙනවා.අම්මලා තාත්තලා අපි ගැන බලන් ඉන්නවා.හීන මවනවා.ඊටත් පස්සේ අපේ දරුවන්ට ආදරය කරන්න එයාලට ඕනෑ වෙනවා.දරුවන්ට තියන අසීමිත ආදරය,බැඳීම කියන්නේ අන්න ඒක වෙන්න ඇති..බලාගෙන යනකොට මාත් දඟලන්නේ ඒ බැඳීමට හිරවෙන්න නෙවෙයිද?

“සමහර බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අපිට එක ජීවිතයක් මදි චාපා”

කසුන් එහෙම කියන්න පුරුදු වුණා.මාත් ඒ දේ දන්නවා.ඒත් මගේම ශරීරය මගේ ලොකුම සිහිනයට එරෙහි වන එක මට දරා ගන්න අමාරුයි.

“වඳ ගෑනු..” ඒක මොනතරම් කැත ලේබලයක් ද? සමහරු මූණටමත් සමහරු හොරෙනුත් මට එහෙම කියන බව මම දන්නවා.

“දරුවෙක් හැදෙන එක ගෑනු 90% ක ට විතර ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්.තමන්ගේ ජීවිතේ එකම ජයග්‍රහණය ඒක කියලා හිතාගෙන ඔයාව රිදවන මිනිස්සුන්ට හිනා වෙන්න ඉඩ තියන්න එපා.එයාලගේ එකම දිනුම දරුවා උනාට ඔයා මේ අවුරුදු තිස් දෙකට ආපු දුර ඕනෑවටත් වැඩියි..”

අන්තිමට මගේ මිතුරිය දවසක් මට සැරෙන් කිව්වා..ඒත් තමන්ගේ එකම දිනුම මගේ රිදවීම වෙනුවෙන් පාවිච්චියට ගන්න අය දවසින් දවස වැඩිවෙමින් ඉන්නවා.ජීවිතේ අපිට දෙන දේට වඩා නොදෙන දේවල් වැඩියි.සටන් කරලා දිනාගන්න පුළුවන් දේ තියෙනවා තමයි.ඒත් සමහර වෙලාවට සොබාදහමට පරදින්න අපට සිද්ධ වෙනවා.මම තවම මම පරාදයි කියලා හිතන්න කැමති නෑ. නොනවත්වාම ප්‍රතිකාර ගනිමින් මම මඟ බලනවා.රතු ඉරි දෙකකට ආශ්චර්යය මගේ ඇස් ඉස්සරහට ගේන්න පුලුවන් දවසක් එයි.එදා වෙනකම් මම මඟ බලනවා.

ලෝකයේ නරකම පාට පරද්දන්න දවසක් එනකම්ම මම ඇඟිලි ගනිනවා.

More Stories

Don't Miss


Latest Articles