ඔබ දකින තුරා 27

අමාරසී බලා සිටියේ කොයි මොහොතේ දිසත් ඈ අමතනු ඇත් ද කියා ය. සිය දහස් වතාවක් ඇය අත් ඔරලෝසුව මත දෑස් නතර කළා ය. එහි කටු කැරකෙන්නේ නැති ද කියාත් නො සිතුණා නොවේ. අවාසනාවකට උස්සාගෙන ඔහු වෙත ගොස් අත්සන දමා ගන්නට ඇනවුමක් හෝ වූයේ නැත. හදා ගන්නට බොරු හේතුවක් පේන තෙක් මානයක වූයේ ද නැත.

වීදුරු බිත්තිය අතරින් දකිනා ඔහු වඩාත් කඩවසම් ව පෙනුණේ ය.

“මේකා එන්න එන්න හැන්ඩ්සම් වෙනවනෙ. ඉතිං කොහොමද දෙයියනේ අපි හිතක් පපුවක් ඇතුව මෙතන වැඩ කරන්නෙ”

තරුෂි අමා ගේ හිත ඉව වැටී වාගේ කීවා ය. සැබවින් ඒ පෞරුෂය ගැහැනු හිතක් දැදිරි කරවන්නකි. අමාරසී හඬ නගා හිනැහුණා ය.

“ඇත්තට පිරිමි වැඩිය ස්මාට් වෙන්නෙ බැන්දට පස්සෙද බං…ඒ කියන්නෙ ක්‍රෙඩිට් එක යන්නෙ වයිෆ්ටද…”

දිලිනි සිනහ නැගෙන යටි තොල සපා ගෙන ඇස් කරකවා වට පිට බැලුවේ තරුෂි ගේ ඒ කතාව වට පිටට ඇසෙන්නට ඇත් ද කියා සිථිර ව දැන ගන්නට ය. නිරෝෂන් ට හේමන්ත ට හෝ සුදේව ට ඇසුනොත් මෙතන ඉන්නට හම්බ වෙන්නේ නැති කතා කියවෙනු ඇති බව ඇය දනී. අමාරසී නැවත ද සිනහ වූවා ය. උදේ සිට ම හිත පෙළනා කාංසිය තුනී කර ගන්නට ඇය ට මේ කතා වනාහි ගිලෙන්නට යන මිනිසා ට පිදුරු ගසක් සරි වූයේ  ය.

“ඇත්තට නිසි කල නිසි වැහි නොලැබීම තමයි ඔය ප්‍රශ්න වලට හේතුව”

ගීතානි කුටු කුටු ගාමින් කීවා ය.

“ඇද්ද අහගත්ත..”

දිලිනි මිමිනුවා ය. තරුෂි රවා බැලූ අතර අමාරසී අතින් කට තද කර ගත්තේ නැවත ද සිනහ නැගෙනු ඇතැයි බියෙනි.

“අර ගෙදරිං ගෙනාපු ප්‍රපෝසල් එකට රසී කැමති නොවුණෙ මොකද…නිකං බොරුවට වයසට යන්නෙ නැතුව ඒක කර ගත්තනං ඉවරයිනෙ”

එදා උදේ සිට ම හිතේ වූ අසහනකාරී බව පිට මං වන්නට තැනක් ලැබුණේ ය. අමාරසී සිනහවක් මුවග තවරා ගෙන වුව හිතේ තිබි ආවේගය වචන වලට පෙරළුවා ය.

“මං කසාද බඳින්නෙ කවදද කියලයි මං කසාද බඳින්නෙ කාවද කියලයි තීරණේ කරන්නෙ මමයි මිස් ගීතානි. මට එ්කට අපේ අම්මයි තාත්තයි ඉඩ දීල තියෙන්නෙ..විසි පහ වෙනකොට බඳින්න ඕනයි තිහ වෙනකොට ළමයි හම්බ වෙල ඉවර වෙන්න ඕනයි කියල එකක් මගෙ නෑ. ඔය මාජින් වලට කලින් ඕව කරන්න ගිහිං සමහරු විඳවන හැටි මං දැකල තියෙනව. මට බඳින්න ඕන කියල හිතෙන මනුස්සය හතළිහේදි හරි හම්බ වුණොත් මං බඳී. නැත්තං නිකං ඉඳියි”

“මෙන්න…හොඳක් කිව්වම ඩෝං ගිහිං…”

අමාරසී පරිගණකය වෙත මූණ ඔබා ගත්තා ය. ප්‍රථම වතාවට මේ තරම් තදින් කාර්යාලයේ සාමාජිකයෙකුට කතා කරන්නට වීම ගැන පසු තැවීමක් ද ඇය ට නො දැනුණා නොවේ. ඇය තව දුරටත් කතා නොකරන බව දන්නා තරුෂි ඌණ පූර්ණය කරන්නට වූවා ය.

“ඇත්තට මේක මාර වැඩක් නේ…අපිට අපේ ජීවිත ගැන තීරණ ගන්න වෙලා තියෙන්නෙ ඔෆිස් එකේ ඉන්න මිනිස්සුන්ටයි බස් හෝල්ට් එකේදි හම්බ වෙන මිනිස්සුන්ටයි මාකට් එකේදි හම්බ වෙන මිනිස්සුන්ටයි ඕන විදිහටනෙ..බඳිනකල් තාම බඳින්නැද්ද අහ අහ වද දෙනව. බැන්දට පස්සෙ ළමයි හදන්නැද්ද  අහ අහ වද දෙනව. යකූ ඒ ගෑනිටයි මිනිහටයි ඕන වෙලාවට නෙවෙයි ළමයි හදන්නත් ඕනෙ රටේ උන්ට ඕන වෙලාවට. එකෙක්වත් නෑනෙ එහෙම නොකර ඉන්න හේතුවක් තියෙනවද ඒ ගැන මොනා හරි කරන්න පුළුවන් ද කියල අහන්න…මිනිස්සුන්ට ඕනම අනිත් එවුන්ගෙ තුවාල වලට ඇනල රිදෙනවද අහන්න. තමුංගෙ තුවාල කුණු වෙලා ගියත් උන්ට ගානක් නෑ. ඒවට බෙහෙත් දා ගන්න ඌමනාවකුත් නෑ. අනිත් එකා ගැන තමයි හරියට සත්ත කරුණාව”

“මොකද මොකද බං…නිකං මාළු මාකට් එක ඇරිය වගේ…”

කොල්ලන්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් නැගිණි. තරුෂි රැව්වා ය. ගීතානි කිසිත් නො දන්නා සෙයින් සිය කාරියෙහි නිරත ව සිටියා ය.

එදා දිවා ආහාර විවේකය වන තුරුත් දිසත් හිටියේ අමාරසී ව අමතක වූ ගාණට ය. ඇය නො සන්සුන් බවින් යුතුව ඔහු කතා කරන තෙක් මග බලා සිටියා ය. ඔවුන් කෑම ශාලාවට යන තුරුත් එවැන්නක් වී තිබුණේ නැත.

“මුකුත් දන්නෙ නෑ මුකුත් කිව්වෙ නෑ වගේ ඉන්න හැටි විතරක්. බියර් එකටත් වෙරි වෙලාද දන්නෑ අනං මනං කියෙව්වෙ. දැං මතක නෑ වගේ ඇක්ට් කරනවද දන්නෑ”

ඇය සිතින් එක එක විදිහට තර්ක කළා ය.

හැන්දෑවේ දිලිනි ත් එක්ක අමාරසී පෙත් මග නතර වී සිටියදී දිසත් ගේ රිය හෙමිහිට එතැන පහු කර ගෙන ගියේ ය. අමාරසී ඔහු දෙස නො බලා සිටියා ය.

“මොකෝ…”

දිලිනි ඈ ගැන විමසිල්ලෙන් හිඳ තිබිණ.

“ඇයි…”

“තරහ වෙලාද අද…”

“යාළු වෙලා හිටියෙ නෑනෙ..”

“අපි නොදන්නව වුණාට එහෙමද කියලත් හිතෙනව”

“මං යනෝ”

“ඒයි රසී”

ඇය පිටුපස හැරී සිනහ වී අත වැනුවා ය. අමනාපයක් ඒ සිනහවේ ගෑවී හෝ තිබුණේ නැත.

“වැස්සක් එන්න යන්නෙ. ඊට කලින් බස් එකකට නැග ගන්න ඕන”.

අමාරසී ආපසු හැරී බලා කෑ ගෑවා ය.

ඒ වෙලාවට බස් එන්නේ සෙනග පුරවා ගෙන ය. අමාරසී එවැන්නකට ගොඩ වී සෙනග මැද්දෙන් තෙරපී ගෙන ඉස්සරහට ගියා ය. පිටිපස්සේ සිට කොන්දොස්තර ඉස්සරහාට යන්නයි කෑ ගසයි. ඉස්සරහායින් විත් පස්සට යන්නයි කෑ ගසයි. එතකොට මගීන්ට සිදු වන්නේ ඉස්සරහටත් පස්සටත් වෙවී ඉන්නටයි.

ඒ හැටි දුරක් යන්නට පෙර ම බෑග් එක ඇතුළෙන් ජංගම දුරකතනය හැඬවෙනවා ඇසිණ. සෙනග තදබදය නිසා නෑහුණා සේ ඉන්නට හිතීත්, ඇය බෑග් එකට අත දා දුරකතනය හොයා ගෙන තිරය දෙස බැලුවා ය. එහි සනිටුහන් ව තිබුණේ දිසත් ගේ නමයි. අමාරුවෙන් එකතකින් ඉඩ ඇති තැනක් අල්ලා ගෙන ඕ දුරකතනය සවනට ගත්තා ය.

“බස් එකෙං බහින්න”

“ආ…”

ඔහු කියන්නක් සැබවින් ම ඇය ට පැහැදිලි වූයේ නැත.

“බස් එකෙන් බහින්න ඉස්සරහ හෝල්ට් එකෙන්”

එපමණකි. එහා ඉම බිඳ වැටිණ.  කිසිත් සිතා ගත නො හැකි ව වුව අමාරසී අසීරුවෙන් ඉස්සරහාට රූටා ගොස් බසයෙන් බැස ගත්තා ය.

මහ වැස්ස කඩා හැලෙන්නට තව තත්පර ගණනක් හෝ නැතිවා සේ පෙනිණ. සුළඟ ගස් වල කොළ උදුරා ගෙන හමා ගියේ ය. එසුළඟ එක්ක පොර බදනා සිය කෙහෙ රැල් අතින් අවනත කර ගැනීමේ උත්සාහයක නිරත වෙන ගමන් අමාරසී වට පිට බැලුවා ය. නගරය කලබල වී තිබිණි. මිනිස්සු අත ළඟට ම පැමිණ ඇති මහ වැස්සෙන් මුවහ වෙන්නට තැනක් සොයමින් පය ඉක්මන් කරමින් සිටියහ. නමුත් ඒ කිසි දෙයක් යුවතිය දුටුවේ නැත. ඇගේ ඇස් හෙව්වේ දිසත් ගේ රියයි. අන්තිමේ එය ඇස ගැටිණ. බස් නැවතුමට මඳක් එපිටින් එය නැවතී තිබිණ. අමාරසී ඉක්මන් අඩි තබමින් එතැනට ගියා ය. දිසත් ඉදිරි දොර හැරියා  විණා වාචික ඉල්ලීමක් සිදු නොවිණි. යුවතිය කලබලයෙන් ම අසුනට ගොඩ වී රිය දොර වසා ගත්තා ය. එසැනින් වැස්ස කඩා හැලෙන්නට විය. වින්ඩ්ස්ක්‍රීන් එක සිදුරු වී යාවිද කියා හිතෙන තරම් තදින්, මොර ගෙඩි බඳු වැහි බින්දු එහි හැපිණි. ඉතා හෙමිහිට, වාහන තදබදය අතරින් ඉදිරියට ගිය රිය අතුරු පාරකට හැරෙනවා අමාරසී ට දැනිණ. ඇය කිසිත් විමසන්නට හෝ ප්‍රශ්න කරන්න ට ගියේ නැත. එහෙම ඕනකමක් දැනුණේත් නැත.

“මං දන්නව මොකද තරහ වෙලා ඉන්නෙ කියල”

බටිති දෙතොලතර මඳහසක් රන්දාන දිසත් කීවේ ය. ඒ මුව දෙස බලා සිට අමාරසී නෝක්කාඩුවකින් ඉවත බැලුවා ය.

“අනේ…මං මොකටද තරහ වෙන්නෙ…”

රිය නැවතී ඇති බව දැනිණ. නමුත් තද වැස්සට වීදුරු සම්පූර්ණයෙන් ම සුදු පාට වී ඝණ මිහිදුමක් බැඳී ඇතියෙන් ඒ කොකැනකද කියා ඉඟියක් හෝ අමාරසී ට නො දැනිණි. දිසත් ගේ වමත ඇගේ උරහිස වටා යනු දැනුණේ ය. අමාරසී ඒ තනි සුදු කමිස පපුවට බර වූවා ය. ඔහුත් ඇයත් අතරේ එක පරමාණුවක ඉඩක් නොමැති තරමට ඔහු ගේ දෑත් ඇය සිය සිරුරට තද කර ගති.

මෙතුවක් කල් සෙවූ යමක් හමු වූ සැනසිල්ලෙන් ඇය ඇස් දෙක පියවෙන්නට හැරියා ය. තත්පර සිය ගණනක් ද දහස් ගණනක් ද මන්දා ගෙවී යන්නට ඇත. අමාරසී ඇස් ඇරියේ සිය කම්මුලකට දැනුණ තද සිප ගැන්මක් නිසා ය. මොහොතකින් සිහි එලවා ගත් ඕ ඉක්මනට ඔහු ගෙන් මිදුණා ය.

අමාරසී ට මඳ ලැජ්ජාවක් දැනිණ. එය තනිකර ම ආක්‍රමණයක් බව ඇය ට සිහි වූයේ ඒ වෙලාවේ ය. බස් එකෙන් බහින්න ය කියා කී වෙලාවේ පටන් සිදු වූයේ ඇය වටලෑමකි. කිසි සේත් ඒ ඉල්ලා සිටීමක් නො විණි. ඇයත් නො දැන ඇය මුළුමනින් අවනත වී සිටියා ය. ගැහැනු හිතක එවන් පිරිමි ආක්‍රමණයක් කෙරේ වන නිසඟ ආශාවෙහි නිලය, දිසත් හරියට ම අල්ලා තිබිණ.  

වහිනවා ඇය ට ඇහුණේ විනාඩි ගාණකට පස්සේ ය. ලෝකය තවමත් කැරකෙයි!

අමාරසී ඇගේ දකුණු අත පැත්තේ හිඳ සිටිනා දිසත් දෙස නෙතගින් බැලුවා ය. ටයි පටිය ඇද ගලවමින් සිටි හෙතෙම එය කැබි හෝල් එකට දැමුවේ ය. ඊළඟට කමිසයේ උඩ බොත්තම විවර කොට රිය අසුන මඳක් පසුපසට කොට සකසා ගත්තේ ය. අමාරසී ඒ සියල් පිරිමි ඉරියව් දෙස බලා උන්නේ වසඟයකිනි.

“මං දන්නව මට දැං මේකෙ එල්ලිල ඉන්න හේතුවක් තියෙනව කියල. ඒ මං ඔයාට ආදරේ නිසා”

ඇගේ උකුල මත වූ සුරත, ඔහු සිය කකුල මතට ගත්තේ ය.

“ඒත්…ඔයාට එහෙම හේතුවක්…”

අමාරසී වහා ඇගේ නිදහස් අතින් ඔහු ගේ මුව වැසුවා ය. ඇය ම නො දන්නා හේතුවකට කඳුළු ඉස්සර වූයේ ය. වර්ග අඩි කිහිපයක් වූ ඒ කුඩා වපසරිය තුළ වූ වායු අංශු, මහ මෙරක බර දරා සිටියේ ය.

ඇය කඳුළු නතර කර ගන්නට උත්සාහයක් දැරුවේ නැත. ප්‍රේමය කියන කාරණාව අන් සියල් සජීවී හෝ අජීවී බන්ධනයන් ගෙන් නිදහස් ය කියා පමණක් ඇය ට දැනිණ. මුළු ලෝකය ම ඇයට එරෙහි ව අවි අමෝරා ගෙන නැගී සිටිනු ඇත. නමුත් ප්‍රේමය වෙනුවෙන් විත්ති කූඩුවට නැගී සිටින්නට තරම් ඈ ශක්තිමත් ය කියා යුවතිය ට දැනිණ.

“මට පුළුවන් ෆේස් කරන්න…”

“ගොඩක් නින්දා විඳින්න වෙයි”

“ඒත් මං පාපයක් කළේ නෑ කියල මං දන්නව”

ඔහු සිය අතෙහි වූ ඇගේ අත තද කොට අල්ලා ගත්තේ ය. හිස අසුනේ පිටුපසට බර කර ගෙන ඇස් දෙක පියා ගත්තේ ය. ඒ දෙතොලතරේ තෘප්තිමත් මඳහසක් විය. ගෙදරක් නැති හිස් කම කාලයක් තිස්සේ ඔහු ගේ හිතේ විය. ආදරයක් නැති අඩුව සීතලක් සෙයින් පපුවේ විය. පිරිමියෙකුට එහෙව් හුදෙකලාවක දුක් විඳීම පහසු නැත.

“මැරෙනකල් ජීවත් වෙන්න ඕනෙ අමා”

ඔහු මිමිණුවේ ය. අමාරසී කළේ ඒ මූණ දෙස බලා ඉන්නා එක පමණකි. ඔහු වෙනුවෙන්, ඒ ප්‍රේමයේ අයිතිකාරයා වෙනුවෙන් ජීවත් වන්නට හෝ මියෙන්නට හැකි බව ඈ දැන සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content