රජ පවුලට සමුදුන් හැරී – මේගන් යුවලගේ නව සුඛෝපභෝගි මන්දිරය

2020 වර්ෂයේ ආරම්භයේ හැරී කුමරු සහ මේගන් ආදිපාදවරිය රජ පවුලෙ ජ්‍යෙෂ්ඨ

සාමාජිකයන් ලෙස සිය වගකීම් අත හරින බව නිල වශයෙන් දැනුම් දුන්නා.

සිය කුඩා පුතණුවන්ගේ ඉදිරි යහපත වගේම ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර කාලය ගත කිරීමට අවස්ථාව ලබා ගැනීම මේ සමුදීමට හේතුව ලෙසයි ඔවුන් සඳහන් කළේ.

රජ පවුල වගේම බ්‍රිතාන්‍ය වැසියන්වත්, ලොව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මේ තීරණය දැනුම් දීමෙන් පසු හැරී කුමරු සහ සසෙක්ස් හි ආදිපාදවරිය කැනඩාවේ වැන්කුවර් දිවයිනේ පිහිටි අධි සුඛෝපබෝගී නිවස්නයක් වෙත පිටත් වූයේ සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමටයි.

ඉතිං අද අපි සූදානම් වෙන්නෙ ඔබත් එක්ක ඔවුන්ගේ මේ සුඛෝපබෝගී මන්දිරයේ තොරතුරු බෙදාගන්නයි.

කැනඩාවේ බ්‍රිටිස් කොලුම්බියා හි පිහිටි වැන්කුවර් දිවයිනේ මිල් ෆ්ලුවර්ස් එස්ටේස් (Mille Fleurs Estate, Vancouver Island, British Columbia, Canada) තමයි හැරී කුමරුගේ සහ සසෙක්හි ආදපාදවරියගේ අලුත් නවාතැන වෙලා තියන්නෙ.

මේ දිවයිනේදී ඔවුන්ට උපරිමයෙන් සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න ඉඩ ලැබිල තියෙනව වගේම මුහුදු තීරයට පෞද්ගලිකව පිවිසීමේ අවස්ථාවත් ලබාදීලා තියෙනවා.

දැනට මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූප පවා මේ මන්දිරය විකිණීමට තිබියදී නිකුත් කල ඒව වන අතර ඉන්පසුව එහි ඡායාරූප ගැනීමට මාධ්‍යට අවස්ථාවක් ලැබී තිබුනේ නැහැ.

මේ මන්දිරය විකිණීමේදි එහි වටිනාකම සඳහන් වූයේ ඩොලර් මිලියන 18 ක් ලෙසයි.

ඔවුන්ගේ නිවස්නය වන ප්‍රධාන මන්දිරය වර්ග අඩි 11,416 ක් පුරා පැතිරී තිබෙනවා.

මේ මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රංශ ග්‍රාමීය මෝස්තරයට අනුව හැඩගැන්වූ ඉතා අලංකාර ගෘහ භාණ්ඩ වලින් සහ මනස්කාන්ත ආලෝකකරණයකින් යුක්ත වෙනවා.

තට්ටු දෙකකින් යුතු මේ මන්දිරයේ ආලින්දයේ පහළ කොටස ළා පැහැති දැව වලින් හැගන්වා ඇති අතර ජනෙල් සහ දොරවල් වල රාමු තද පැහැති ලීයෙන් හැඩගන්වා තිබෙනවා.

ආලින්දයේ තද පැහැති කණු සහ දැවයෙන් කල අලංකාර උස සිවිලිමක් දකින්න ලැබෙනවා.

පහත මාලය ගිනි උඳුනකින් සමන්විත වෙනවා.

නිදන කාමර පහකින් සහ නාන කාමර අටකින් සැදුම්ලත් මේ මන්දිරයේ සෑම ජනේලයක්ම පාහේ මුහුද දෙසට යොමුවන ලෙසයි නිර්මාණය කර ඇත්තේ.

ඉතා ආකර්ෂණීය මුළුතැන්ගෙයකින් වගේම රතු පැහැය තේමා කරගත් දැවයෙන් සම්පූර්ණයෙන් හැඩගැන්වූ කෑම කාමරයකින් මේ මන්දිරය සමන්විතයි.

එහිත් ප්‍රංශ ග්‍රාමීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිපදවූ ගිනි උඳුනක් දකින්න ලැබෙනවා.

ඉතාම මනරම් වටපිටාවකට මුහුණලා පිහිටි ජනේල් වලින් සමන්විත නිස්කලංක සහ ආකර්ෂණීය කාර්‍යාල කාමරයක් ද මේ මන්දිරයට අයත්ව තිබෙනවා.

රජ පවුලේ වගකීම් වලින් ඉවත් වුනත් ඔවුන්ගේම නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව වගේම සුබසාධන කටයුතු වලත් දිගින් දිගටම නිරත වෙන නිසා මේ කාර්‍යාල කාමරය ඔවුන්ට ඉතා වැදගත් වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඉතා හොඳින් නඩත්තු කරමින් පවතින සහ ආකර්ෂණීය ලෙස ආලෝකවත් කර ඇති චමත්කාරජනක ගෙවත්තක් මේ මන්දිරයට අයිති වෙනවා.

ප්‍රධාන මන්දිරයට අමතරව නිදන කාමර තුනකින් සහ නාන කාමර දෙකකින් සමන්විත වර්ග අඩි 2349 කින් සමන්විත කුඩා මන්දිරයක්ද ප්‍රධාන මන්දිරයට පසෙකින් පිහිටනවා.

එහි ආලින්දය මනස්කාන්තව නිර්මාණය කල ගෙවත්තට සහ මුහුදට මුහුණලා ලෙස සැකසූ ජනෙල් රාශියකින් සහ අහස දර්ශනය වෙන ලෙස වීදුරු වලින් සමන්විත වහළකින් යුතු වෙනවා.

ස්වභාවික ආලෝකය ලබා ගැනීමට සහ ස්වභාවික ලස්සන විඳීමට හැකි අයුරින් තමයි මේ මන්දිරයත් නිර්මාණය කරල තියෙන්නෙ.

කොහොම වුනත් මුහුද දෙසට මුහුණලා ඉතාම අලංකාර පිහිටීමක් සහිතව නිර්මාණය කරල තියෙන මේ මන්දිරය හැරී කුමරුගේ සහ සසෙක්ස් හි ආදිපාවදවරියගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සීල් කල ගේට්ටු වලින් සමන්විත වෙලා තියෙනවා.

මේ වගේ සුවිසල් මන්දිරයක ජීවත් වෙන්න ඔබටත් අවස්ථාව ලැබුනොත් ඔබට කොහොම හිතෙයිද ?

සටහන –  දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles