ඒ උදයේ මේධාවිණී උන්නේ කාමරයේ පැත්තක තබා තිබුණ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය දිහා බලාගෙන කල්පනා කරමිනි. මෙයට මාස කිහිපයකට පෙර ලබාගත්ත දික්කසාදයෙන් පස්සේ තමන්ට ආයෙ මෙහෙම හිනාවෙන්න දවසක් එනු ඇතැයි මේධාවිණී ඇත්තටම හිතුවේ නැත. වසර කිහිපයක් පෙම්වතුන් වී හිඳ අවසානයේ වසර කිහිපයක් අඹු සැමියන් වශයෙන් ජීවත් වූ දෙදෙනෙක් උසාවියක් විසින් දුන් තීන්දුවක් අවසානයේ නොදන්නා මිනිසුන් දෙදෙනෙකු මෙන් වෙන් ව ගිය අයුරු අමතක කරන්නට මේධාවිණීට මාස කිහිපයක්ම වැය කරන්න වුන එක ඇත්තකි.
“අනේ තාත්ති යන්න එපා” කියා පෙත්මලී එදා උසාවියේ හිඳ චිරත් යන්නට හැරෙද්දී චිරත්ගේ කකුල එල්ලී අඬද්දී හිත මොහොතකට රිදුණ එක ඇත්තක් නමුත් මේ ගෙවුණ මාස කිහිපය පුරාවටම පෙත්මලී ඉන්පස්සේ තාත්තා ගැන අසා වද දුන්නේ නැති හන්දාම මේධාවිණිට එයත් හිත හදාගන්න හේතු කාරණා සපයපු එක ඇත්තකි.
“දැන් ඔය ලොකු ලොකු ප්‍රශ්න ටික විසඳගන්න පුලුවන් වෙච්ච එකේ දැන් බැරිය ඔයාට බිස්නස් එකේ වැඩ භාරගන්න” කියා එදා රාත්‍රියේ අම්මා විසින් සකසන ලද තමන් ඉතාම ආස කරන ඉඳිආප්ප, පොලොස් සහ, අල කිරි හොදි සහ පොල් සම්බල් එක්ක කද්දී තාත්තා කිව්වේ හීන් හිනාවක් එක්කය.
ඒ වචන මැද්දෙත් මේධාවිණී උන්නේ දුර කල්පනාවක ගිලීය. මේ තීරණය අරගන්නට තමන්ට කොච්චර ලොකු උවමනාවක් තිබුනද ඒ තීරණය කෙතරම් බරද කියන එක මේධාවිණීට පවා තේරුණේ ඒ තීරණය අතටම ලැබුණයින් පස්සේය. ප්‍රශ්න දාහක් මැද්දෙ උනත් රණ්ඩු වෙවී හෝ සැමියා එක්ක ජීවත්වෙන බිරිඳකට ලැබෙන ගරුත්වය සහ සමාජ රැකවරණය දික්කසාද වුණ ගැහැණියකට ලැබෙනවාද කියන ප්‍රශ්නය හිතෙන් නොඅහා ඉන්න පුලුවන්කමක් මේධාවිණීට තිබුනේ නැත. ඉඳි ආප්ප එක්ක පොල් සම්බල්, පොලොස් සහ අල කිරි හොඳි කියන්නෙ තමන් කොපමණ ආස කල කෑම කිහිපයක් උනත් එදා රැයේ මේධාවිණීට ඒ කිසිත් කෑමක රසක් නොදැනුනේ හිත අස්සේ ප්‍රශ්න ගොඩක් එක් රැස් වී තිබුණ හන්දාය.
“ඒවට නම් ඉතින් හිමින්සැරේ යන්න බැරිය. ඉස්සෙල්ල ඒ ළමයට පොඩ්ඩක් හිත හදාගන්න දෙන්නකො” කියන ගමන් අම්මා පිඟානට තවත් අල හොදි හැන්දක් බෙදද්දී ඒ වලක්වන්න හෝ පිළිගන්නවත් මහන්සි වෙන්න උවමනාවක් මේධාට එවෙලෙ තිබුණේ නැත. පෙත්මලීට සෝමා විසින් කෑම කවමින් උන්නු හන්දා ඒ ගැන හිත වෙහෙස කරන්න උවමනාවක් නොතිබ්බ එක එවෙලේ මේධාවිණීට ලොකු සහනයක් විය.
මුල් දවස් කීපයේ එලියට යන්නටවත් හිත හදාගන්න බැරි වෙච්ච හන්ද මේධාවිණී කලේ ගේ අස්සටම වී පරණ පොත් කියව කියව කල්පනා කරපු එකය. එහෙමත් නැත්තම් ඇඳට වැටී නිදාගත්ත එකය. එහෙමත් නැත්තම් කල්පනා කර කර උන්නු එකය. ඒ මානසික වියවුලෙන් ගොඩ එන්නට මාස ගණනක් වුවත් වැය කරන්න වෙච්ච එකේ පාඩුවක් නැති බව මේධාවිණී හිතුවේ අද මේ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේ රූපය දෙස බලාගෙන ඉද්දීය. වෙනදා උදේ ඇහැරී දරුවාගේ කැම බීම සූදානම් කර තමන්ද ඔෆිස් යන්නට සූදානම් වී පෙත්මලීව ඉස්කෝලෙන් බස්සවගෙන ගොස් ආයෙම වැඩ කන්දරාවක් හිර වී හිඳ ගෙදර විත් කෑම බීම සකස් කරන කාර්‍යබහුල, මහන්සි බර දිවියෙන් මිදී පරක්කු වී ඇහැරෙන්නට ඉඩ ලැබුන එක, පෙත්මලීගේ සියලුම වැඩ කටයුතු සෝමා විසින් බලා කරන එක, පෙත්මලීව පාසලට ගෙනයන්නටත් රැගෙන එන්නටත් තාත්තා රියදුරෙකු යෙදවීම නිසා මේධාවිණී උන්නේ ඇත්තටම නිදහසේය. ඒ වනාහී වසර ගණනකට පෙර තරුණ කෙල්ලෙක්ව උන් අවදියේ විඳින්න ලැබුණ නිදහස ආයෙම වතාවක් විඳින්න ලැබීමකි. අතරින් පතර මතක් වෙන චිරත්ගේත් තමන්ගේත් අතීතය සියුම් වේදනාවක් හිත අස්සේ තිබුණත් කාලයක් සමගම ඒ දුක තුනී වී යන අයුරු මේධාවිණී අත්දැකීමෙන්ම විඳගත්තාය.
තාත්තාගේ ආයතනයේ රැකියාවට යන්නට මේධාවිණී සුදානම් වෙද්දී ඒ දුකත්, ඒ දුකට හේතුව වුණ චිරතුත් උන්නේ හදවතේ ආයෙ කවදාවත් දිනයක හැර තබන්නේ නැතැයි සිතා අගුලු දැමූ පල්ලෙහම තට්ටුවේ අඳුරු කුටීරයක් අස්සේ සිර කර තබාය.
“ඔයාට ඇත්තටම මහන්සි වෙන්න කියල දෙයක් නැ බබා. ඔක්කොම වැඩ බලාගන්න මිස්ට කොඩිකාර ඉන්නවා. ඔයා පොඩිකාලෙ ඉඳලම මිස්ට කොඩිකාරව දන්න එකේ ඔයාට කිසිම බයක් නැතුව ඒ මනුස්සය එක්ක හොඳට වැඩ ටික ප්ලෑන් කරගෙන ඉස්සරහට යන්න පුලුවන්. අනික ඔයාලා මේ අපි වගේ නෙවෙයිනෙ, මාකටින් ද බිස්නස් ද ගැන ඩිග්‍රි ගහපු ලමයි. ඔයාල දැන් කාලෙ තියෙන ෆැශන් ඒව මේව ගැනත් මට වඩා දන්න එකේ ඔයාලට පුලුවන් නෙ ඔය අපේ ඩිසයින් පැත්ත එහෙමත් බලලා ඒ ඩිවිශන් වල වැඩවලටත් ඔයාලගෙ ඉන්පුට්ස් දෙන්න” කියා තාත්තා කියද්දී මේධාවිණීට වෙනදාට වඩා පහසුවෙන් අතීතයේ මග හැර දමා ආ සිනාවක් කාලාන්තරයකට පස්සේ ආයෙම වතාවක් මුහුණ මත පැලඳගන්න අතරවාරයේය.
මේධාවිණී එදා නමෝවිත්තියෙන් තාත්තාගේ ඔෆිස් එකේ වැඩ භාරගන්න යන්න සූදානම් වෙද්දි මනුර සුමතිපාල උන්නේ තමන්ගේත් කමලිනීගේත් කාමරයට වී රාජකාරියට යාම සඳහා සූදානම් වෙමිනි. කාර්‍යාලයේ වැඩ නියමිත අයට භාර දී තිබුණ නිසාවෙන් දිනපතා ඔෆිස් එකට යන්නට උවමනාවක් නැති උනත් අද මේධාවිණීව ඔෆිස් එකට භාර දෙන්නට යන්නට මනුර සුමතිපාල සූදානම් වුණේය.
“මේ ළමය අර අපරාදෙ කසාදයක් කරගත්තෙ නැත්තම් අද ඇත්තටම මීට වඩා හොඳ තැනක ඉන්න තිබුනා” කියා කමලිනී මනුරට කිව්වේ මනුරගේ කමිසය මැද කාමරයේ ඇඳ උඩින් තබන ගමන් ය.
“දැන් ඉතින් ඒක ගැන හිතල වොරි වෙන්න උවමනා නෑනෙ. ඒ ප්‍රශ්නෙ දැන් ඉවරයි. ඉස්සරහට කරන්න ඕන දෙයක් තමයි දැන් අපි බලන්න ඕන”
“ඒ මැරේජ් එක ගැලපෙන්නෙ නෑ කියල කොච්චර කිව්වත් ඩිවෝස් උන ගෑණු ළමයෙක් දිහා ඉතින් මිනිස්සු බලන්නෙ එක විදියකටනෙ. අනික මෙතන මේ තව දරුවෙකුත් ඉන්නව. මොකෝ ආයේ කසාදයක් කරල දෙන්න කියල ළමේක් ඉද්දි”
“දරුවෙක් ඉන්නවා කියන එක ඉතින් ආයෙ ගෑණියෙක්ට මේ කසාදයක් නොබැඳ ඉන්න හේතුවක් නෙවෙයිනෙ. මොකෝ ඔහොම ගෑණුද ආයෙ කසාද බඳින්නෙ? ඒව ගැන දැන්ම අපි වොරි වෙන්න උවමනා නෑ. කලින් වතාවෙ දේවල් උනේ අපිට ඕන හැටියට නෙවෙයිනෙ. මේ වතාවෙ අපිට පුලුවන්කමක් තියෙනව අපිට ඕන හැටියට වැඩේ කරගන්න. කලින් වතාවෙ තමන්ට ඕන දේ කරගෙන වරද්දගත්ත හන්දා මේ වතාවෙ අපි කියන දේ කරගත්තොත් වරදක් වෙන්නෙ නෑ කියන එක අපිට කියන්න පුලුවන් නෙ” කියා මනුර සුමතිපාල හෙලූ සිනාවේ තිබිච්ච හැඟීම තේරුම් ගන්න ඇත්තටම කමලිනීට පුලුවන් උනේ නැත. නැතිනම් තේරුම්ගන්න කමලිනී උත්සහ කලේ නැත.
“කෝකටත් දැන් අර ළමයව බලන්න අර මනුස්සය එන යන වෙලාවල් වලට ළමයා එක්ක මේධාව යවන්න එපා. ඒ යන එන ඒවයින් අන්තිමේ තිබ්බ දේවල් ආයෙ අලුත් වෙන්න පුලුවන්. ළමයව අරගෙන ගුණරත්නට බැරිය වාහනේ යන්න. මොකෝ පිට තැනකට යනවා නෙවෙයිනෙ තමන්ගෙ තාත්තා හම්බෙන්නනෙ යන්නෙ. ඕන නම් සෝමාව එක්කරගෙන යන්න” කියා මනුර වැඩි දුරටත් කියද්දි කමලිනී ඒකටත් කලේ හිනාවෙච්ච එකය.
තාත්තිගෙ වාහනයේ නැගී මේධාවිණී කාර්‍යාලය බලා යද්දී හිත අස්සෙ කුමක් හෝ ආකරයක මද තිගැස්මක් තිබුන බව ඇත්තකි. ඒ හැඟීම වනාහි කුමක් අරබයා නැගුණක්ද කියා තේරුම්ගන්න පුලුවන්කමක් නැතත් ඒ හැඟීම අයිති තමන් වැනි වයස අවුරුදු තිස් ගණන්වල ඉන්න, දරුවෙකුගේ අම්ම කෙනෙකු වූ දික්කසාද ගැහැණියකට හිමි වූවක් නොවන බව මේධාවිණීට තේරුණාය.
කාර්‍යාලය අසලින් බැස තාත්තිගේ අතේ එල්ලී ඔෆිස් කාමරයට ගිය පසුත් අනතුරුව තාත්තා විසින් කාර්‍යාලයේ තමන්ට වැඩ කරන්නට සිදුවෙන කාර්‍ය මණ්ඩලය හඳුන්වා දෙද්දිත් ඒ තිගැස්ම යන්තමින් අඩු වෙන බවක් මේධාට දැනුන එක ඇත්තකි.
මේ ජීවිතයේ අලුත් පරිච්චේදයක් බව මේධාවිණී තේරුම්ගත්තේ ඒ කාර්‍ය මණ්ඩලයේ මිනිසුන්ගේ මුහුණේ ඇඳී තිබුණ සුපසන් බව ඔස්සේය. එහෙත් හිතට තිබුනේ එක ප්‍රශ්නයකි.
“මේ අලුත් පරිච්චේදෙ පටන් ගන්න මම හිතෙනුත් අලුත් වෙන්න ඕන නේද?”