ලෝකයා වෙත මවපානා ජීවිතයක් ගත කිරීමට හසාරා කිසි දිනෙක අපේක්ෂා නොකළාය.එහෙත් වර්තමානයේ ඇයට සිදුව ඇත්තේ තමාවත් රවටා ගනිමින් තමා අවට සිටින්නා වූ අයත් රවටන්නටය. කාර්යාලීය වැඩ නිවැරදිව කර ගැනීම සඳහා සිතෙහි වන සන්සුන්බව රැකගැනීමට හසාරාට බොහෝ වෙහෙස වන්නට සිදුව තිබේ.ඒ වෙනුවෙන් සටන් කරන්නට සිදුව තිබේ.දැන් හසාරා භාවිතා කරන්නේ කාර්යාලයෙන් ඇයට ලැබුණු වාහනයයි.උදෑසන වාහනයට නැඟුනාට පසු ඇය සියළු පුද්ගලික ප්‍රශ්න අමතක කරන්නේ සිතා මතාමය. කොහොමටත් ඕ කිසි දිනක පුද්ගලික ජීවිතය කාර්යාලයට රැගෙන ආ කෙනෙකු නොවේ. එදවසත් හසාරා උත්සාහ කලේ සිය රාජකාරී ජීවිතයත් පවුල් ජීවිතයත් සමබර කරන්නටය.සියල්ලන්ටම සාධාරණය ඉටු කරන්නටය.
කාර්යාලය තුළත් වටින් ගොඩින් තමා ගැන විවිධාකාරයේ ආරංචි පැතිර යන බව හසාරා දැනගත්තේ ඊයේ පෙරේදාය.ඒ කාර්යාල කාර්ය සහායකයෙකු වූ මැදි වයසේ පුද්ගලයෙකුගේ මාර්ගයෙනි.ඒ පිළිබඳව ඕ නිර්මිතාගෙන් විමසුවත් ඈ පැවසූයේ ඒ අයුරේ කිසිවක් නොදන්නා බවයි.
“ සමහර වෙලාවට හිතේ සැනසීම බිංදුවක් හරි ඉතුරු වෙලා තියෙන්නේ ඔෆිස් එක ඇතුලෙදි විතරයි නිර්මිතා.මට බය ඒකත් නැති වෙයි කියලා.එදා කසුන් අයියට කතා කරපු වෙලාවේ තමයි මං හරියටම දැන ගත්තේ ධනංජය මට මොනතරම් වෛර කරනවදද කියලා.එයා මං ගැන මේ පතුරලා තියෙන නරක ආරංචි කී දෙනෙක් මොන විදිහට විශ්වාස කරනවද කියන්න මම දන්නේ නෑ…..”
“ අනේ මන්දා මේ තරං වෛර කර කර ඔය දෙන්නා එක ගෙදරක ඉන්නේ කොහොමද ….ඔයාගේ තැන මම හිටියනම් මේ ජීවිතය අතාරින්න දෙපාරක් හිතන්නෙ නෑ.මට මගේ ජීවිතේ මට මගේ ආදරේ හැමදේම නැති වුණා.ඒත් ඒ ගතපු තීරණය ගැන අද මගේ හිතේ කිසිම පසුතැවීමක් නෑ.ඔයා මං වගේ නෙමෙයි. තමන්ගේ තැන රැකගෙන තනියම ජීවත් වෙන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.මං තදින්ම විශ්වාස කරන දෙයක් තමයි හසාරා විඳව විඳවා බැඳීම් රැක ගන්න කරන උත්සාහය තේරුමක් නෑ කියන එක.බලන්න ඔයාගේ හැටි…ඔයාට තවදුරටත් මේ නඩත්තු කරන ප්‍රතිරූපෙ නඩත්තු කරන්න අපහසුයි.ඒක ලේසි දෙයක් නෙමෙයි.ඔයා මොනතරම් මවා පාන්න උත්සාහ කලත් ඔයා දිහා බලන මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා ඔයා ඉන්නේ සතුටින් නෙමෙයි කියලා…මට ඔයා ගැන දුකයි.ධනංජය ගැන තරහයි…”
“ මට තේරෙනවා ඔයා කියන කතාව.මේ ජීවිතය ඇතුලේ ගොඩක් තැන්වලදී මං හරි අසරණයි කියලත් මම දන්නවා.කඩාගෙන බිඳගෙන දුවගෙන ගිහිල්ලා මට නතර වෙන්න වෙන තැනක් නෑ.ඒ නිසාම මම විඳවනවා..”
“ අනේ මන්දා….මටත් ඔයාලගේ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.කරන්න ඕන දේ ගැන මං ඔයා එක්ක කතා කළා. ධනංජය එක්ක කතා කළා…ඒත් ඔය දෙන්නම නතර වෙලා ඉන්නේ එකම තැනක.දෙන්නටම උවමනාවක් නෑ වෙනසක් කරලා මේ ජීවිතේට මුහුණ දෙන්න.. ඉතින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ…”
“ අද මං ධනංජයත් එක්ක කතා කරනවා.”
“ මොනවා ගැනද….”
“ තව එකම එක පාරක් මේ බැඳීම රැක ගන්න මං උත්සාහ කරනවා.ඇයි මට මේ වගේ චෝදනා කරන්නේ කියලා අහනවා.එයාගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා හරි මගේ අතින් වරදක් උනානම් මම සමාව ඉල්ලනවා.එයා කැමතිනම් මම මේ ජොබ් එකෙන් අස් වෙන්නම් කියලා කියනවා.මං එයාගේ වැඩ කරගෙන ගෙදරට වෙලා ඉන්නම් කියලායනවා..එයා කැමති විදිහකට ජීවත් වෙන්නම් කියලා කියනවා.කසුන් අයියා කියන්න වගේ මං නොදැන හිටියට මගේ අතින් එයාට වරදක් , අඩුපාඩුවක් වෙන්න ඇති..මට නොදැනුනාට සමහර තැන්වලදී එයා තනි වෙන්න ඇති…ගෑණියෙක් එහෙම වෙන්න බැරුව ඇති…”
“ ඒ මිනිහා උඹේ ඔලුව කාලා තියෙන්නේ…පිස්සු කියවනවා….”
“ නෑ නිර්මිතා. ඒක තමයි ඇත්ත.අපි සමහර දේවල් කතා නොකර හංගගෙන ඉන්න තාක්කල් අපි ජීවත් වෙන්නේ හිතින් මවා ගතපු ලෝකෙක.එයා මං ගැන තියෙන අපැහැදීම මට එයා ගැන තියෙන අපැහැදීම දුරු කරගන්න පුළුවන් එකම ක්‍රමේ අපි කතා කරන එක විතරයි.මීට කලින් කතා කරපු හැම වතාවකම මං අඩියක් පිටිපස්සට තියාගෙන එයාට කතා කරන්න දීලි නිහඬ උනේ හිතා මතාමයි.එයා වැරදියි කියලා දැණුන තැන්වලදිවත් මම එයාව නිවරදි කරන්න උත්සාහ කලේ නෑ..මං දන්නවා සමහර තැන්වලදී අපිට අපේ ජීවිතේ හීන කැප කරන්න වෙනවා බැඳීම් රැකගන්න.ඒ කැපකිරීම එයා හරි මම හරි කරන්න ඕනේ.මම හිතුවා මේ හැම තැනකදීම එයා මං දිහා බලලා සතුටු උනා කියලා…මගේ පැත්තෙන් මං ඒ කැප කිරීම කරන්න ලෑස්තියි.මට එයාව ඕනේ.මගේ පවුල් ජීවිතය රැකගන්න ඕනේ…”
“ ඒ කියන්නේ ඔයා ජොබ් එකෙන් අයින් වෙනවද…”
“ ඔව්… මේ ටුවර් එක ගිහිල්ලා ආවට පස්සේ මං ඒ තීරණය ගන්නවා.ඊට කලින් ධනංජයත් එක්ක කතා කරනවා…”
“ මෙච්චර හොඳ ජොබ් එකකින්…’
එවර නිර්මිතා ඇසුවේ දෑස් උඩ හිදුවාගෙනය.
“ ඔව්…. මගේ ජීවිතේ හීනයක් තිබුන තමයි.මං ඒ හීන හැබෑ කරගත්තා තමයි.හැබැයි ඒ හැම දේකටම වඩා මට ධනංජය වටිනවා.මට මගේ පවුල් ජීවිතය වටිනවා..එයා නැතුව ජීවත් වෙන්න මං දන් නෑ…..”
“ අනේ මන්දා ඔයා කැමති දෙයක් කැමති විදිහකට කරන්න මට ඒ කිසිම දේකට බලපෑම් කරන්න බැහැ..ඔයා හැම දේම නැති කරගෙන ඔය කියන විදිහට ගෙදරට වෙලා උයා පිහා ගෙන ඉන්න කාලෙක ධනංජය වෙනස් උනොත්….”
“ භාවනාවක් වගේ හිත නිවන ජීවිතයක්..පන්සලක් වගේ නිස්කලංක වෙච්ච ගෙදරක් මට තිබුණා.ඔයා ඒක දන්නවනේ නිර්මිතා.අපි හරි ආදරෙන් හිටියා..පුළුවන් විදිහට හැමෝටම යුතුකම් ඉෂ්ට කළා.ඒ ගෙදර සතුට පිරිලා ඉතිරිලා තිබුණා. ධනා කොයිම වෙලාවකවත් මාව තනි කළේ නෑ.මේ වගේ මාව රිද්දුවේ නෑ.මං ආසයි ඒ ජීවිතේට.මං ලෝබයි ඒ ජීවිතේට…”
හසාරා ඔහේ කියවන්නට වූයේ සිතෙහි වූ වේදනාව සිරකරගෙනය.දෑස් වල කඳුළු සිරවී තිබුණත් ඕ ඒ එක කඳුළක්වත් බිමට නොවැටෙන්නට සිය වරක් ඇසිපිය සැලුවාය. කාර්යාලය තුළදී අසාර්ථක ගැහැණියක වීමේ සිතක් ඇයට වූයේ නැත.ඒ සිතුවිල්ල රැකගන්නට ඈ වෙහෙස වූයේ තමා දෙස බලාගෙන සිය වෘත්තීය ජීවිතය තුළ ඉහළට යන්නට අපේක්ෂාවෙන් සිටිනා තරුණ තරුණියන්ට තමා ආදර්ශයක් විය යුතු නිසාය. ඕ ලෝකයා හමුවේ අති සාර්ථක ගැහැණියකි.ඇගේ කාර්යාල කාමරය නිර්මිතාට තහනම් කලාපයක් වූයේ නැත.බොහෝ විවේක අවස්ථාවලදී හසාරා නිර්මිතාව තම කාර්යාල කාමරයට ගෙන්වා ගනී..දෙදෙනා යමත් කෑවේ බිව්වේ එකටය.කාර්යාලයේ සියල්ලෝම මේ මිතුරුකම පිළිබඳව දනී.මේ දුක බෙදා ගැනීමට ඇයට නිර්මිතා තරම් ලබැඳි සොයුරියක වූයේ නැත.ඊයේ පෙරේදා සිට හසාරා නොපෙනෙන බලවේගවල පවා පිහිට පතමින් සිටියාය.ඒවාට ඇය උනන්දු කළේ කසුන් ය.
“ මමත් මහ ලොකුවට හඳහන් පස්සේ දුවන මිනිහෙක් නෙමෙයි නංගී.ඒ උනාට හඳහන් වල අපල කාල කියලා අපිට පෙන්නන්නෙ අපි පෙර ආත්මවල කරපු පව් කියලා කියනවනේ..සමහර විට මේ ඔයාලගේ ජීවිතේ එහෙම කාලයක් වෙන්න ඇති.ඒ පැත්තෙනුත් කරන්න තියෙන දෙයක් කරන්න..”
ඔහු පැවසූ ලෙසින්ම දෙදෙනාගේ හදහන් බැලූ ස්වාමීන් වහන්සේ නමක විසින් පැවසූයේ ධනංජය දැඩි අපල කාලයක් ගෙවා දමමින් සිටිනා බවය.ඔහුට තමන්ගේ අයවලින් පවා රුස්සන්නේ නැති බවය.වසර තුනයි මාස දෙකයි දින දහහතරක් පුරා මේ අපල කාලය පවතින බව ස්වාමීන් වහන්සේ විසින් පැවසූහ.ඒ වෙනුවෙන් කළ යුතු බෝධි පූජා , දේව පූජා ආදිය මේ විටත් හසාරා සිදු කරමින් සිටියාය.ඔහුගේ ගෙලෙහි හෝ ඉනෙහි සුරයක් පැළඳීමට අවැසියැයි පැවසුවත් ඊට ධනංජය එකඟ කර ගැනීමේ හැකියාවක් හසාරාට වූයේ නැත.කොහොමටත් ඔහු කිසිවිටෙකත් නක්ශ්‍රාස්ත්‍ර විශ්වාස කළ අයෙකු නොවේ.
ඒ බෝධි පූජා කටයුතුවලට , දේව පූජා කටයුතුවලට නිර්මිතා පවා අවඥාවෙන් හිනැහුණාය. එහෙත් හසාරා ඒවා විශ්වාස කරමින් සිටියාය.ඔහුත් සමග එක්ව මේ සියලු දුක්ඛ දෝමනස්සයන් නින්දා අපහාස දරා ගනිමින් හෝ එම කාලය ගෙවා දමන්ට හසාරා හිත හදාගත්තේ ඉන්පසුවය.ඇය මේ සියල්ලටම මුහුණ දෙන්නට මනස හුරු කර ගත්තේ ඉන් පසුවය.
“ ඔයා කැමති ඕනම දෙයක් කරන්න යාළුවෙක් විදිහට මං ඔයාගේ ළඟ ඉන්නවා.මට කෝල් එකක් මං එලියට යනවා..පිස්සු වැඩනම් කරන්න එපා..හොඳම දේ හොඳටම හිතලා තීරණය කරන්න…”
කල්පනා බරව උන් යෙහෙළිය දෙස බලා නිර්මිතා එසේ පැවසූයේ දෙතුන් වරක්ම ජංගම දුරකථනය නාද වූවාටපසුවය.
” පණ “ යනුවෙන් ජංගම දුරකථන නාමාවලියෙහි ගබඩා කර තිබූ අංකය හසාරා හඳුනා ගත්තාදැයි නිර්මිතාගේ සිතෙහි ඇති වූයේ බියකි.ඕ වහවහා ඇගේ කාර්යාන කාමරයෙන් නික්මුණේත් එනිසාය.
“ මොකද කරන්නේ… මං කී පාරක් ගත්තද….”
එහා පසින් ඇසුණේ රළු පිරිමි හඬකි.
“ මට ආන්සර් කරන්න විදිහක් තිබුණෙ නෑ අනේ.මං හසාරා ළඟ හිටියේ.”
“ ඇයි එයා ඔයාට බණ දේශනා කරනවද….”
“ කොච්චර අමාරු උනත් මට ඉතින් ඒ බණ අහගෙන ඉන්න වෙනවනේ..”
“ තව ටික දවසයි…ඔහොමම ඉන්න..”
“ එයාට තීරණයක් ගන්න ඕනලු…”
“ ඩ්වෝස් වෙනවා කියලද කියන්නේ..”
“ දන් නෑ. එයාගේ හස්බන්ඩ්ට හොඳටම අපලයිලු.ඒ අපල ගෙවෙන්න තව අවුරුදු තුනයි මාස තුනක් යනවලු.. අපලෙ ගෙවෙනකල් කොහොම හරි දරාගෙන ඉන්නවා කියලා කියන්නේ…එයා ඒ තරම් එයාගේ හස්බන්ට ආදරෙයි….”
එවර එහා පසින් ඇසුණේ උස් සිනහ හඬකි.
“ හිනා වෙන්න විතරයි දන්නේ..”
“ වෙන දේවලුත් දන්නවා…ඒක ඉතින් ඔයා හොඳටම දන්නවනේ…”
“ අනේ යන්න අනේ….කොහොම හිටියද මන්දා මෙච්චර කාලයක්..”
“ මේවා ඉවර වෙනකම් මට හරි ඔළුවේ කැක්කුමයි.එයා කියන දේවල් අහං ඉන්න ගියහම ඔක්කොටම වඩා එපා වෙනවා..එයා හිතන් ඉන්නේ අපි හැමෝම එයාගේ අතේ නැටවෙන රූකඩ කියලා..වෙනදා හැමදාම ලන්ච් ගන්නේ මා එක්ක..අද කියනවා එයා මට ස්ටාෆ් එකේ අනිත් අය එක්ක ලන්ච් ගන්නලු…ලොකුකම…”
“ දැන් ඔයාට තේරෙනවා නේද….”
“ අම්මෝ ඔව්…..තෑගි දෙන්න ඕනේ…ගෑණියෙක් ඕනවට වඩා ඕවර් තින්ක් වෙන්න හොඳ නෑ ඕනවට වඩා තමන් ගැන අධි මාන්නයකින් ඉන්න හොඳත් නෑ.එයා කියනවා එයා ඔෆිස් එක ඇතුලෙ හරි පරිස්සමට හැසිරෙන්නේ එයාගේ දිහා බලලා ජීවිතේ හැඩගස්සගන්න අලුත් ළමයි නිසා කියලා..ඒ තරම් එයාව ආදර්ශයට ගන්න අය ඉන්නවා කියලයි හිතන් ඉන්නේ..”
“ බම්බුව…..”
“ කොහොම වුණත් පරිස්සමෙන්..අඬලා හැපිලා කකුල් දෙක ළඟ වැද වැටෙනකොට හිත උණු වෙන්න පුළුවන්.ජීවිතේ මේ වගේ බෝරින් විදිහට ගෙවන්න ඕනනම් කමක් නෑ ඉතින්..”
“ පිස්සු…..එකම වරද දෙපාරක් කරන්නේ නෑ සිහියෙන් ඉන්න මනුස්සයෙක්…”
එහා පසින් දුරකථනය විසන්ධි වූයේ යළිත් ඇසුණු උස් සිනහ හඬකට පසුවය.හසාරා උන් වීදුරු කාමරය දෙස බැලූ නිර්මිතා ආපසු හැරුණේ සිය මුව මක ජයග්‍රාහී මන්දස්මිතයක් තබාගෙනය.
( යළිත් හමු වෙමු ආදරයෙන්……)
ReplyForwardAdd reaction |