හිමගිරි අරණ -63

“අපේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් රස්සාව එක්ක පටලා ගන්න ඕන කියල මං හිතන් නෑ.”

දින කිහිපයකට සේවයට වාර්තා කළ පාරමීට හිමාෂා පැවසූයේ සැබෑ මිත්‍රත්වයෙනි.පෞද්ගලික අංශයේ රැකියාවක් කළා නම් රැකියාව අහිමි වීමට පවා පාරමීගේ හැසිරීම් හේතුවන බව ඇයට සිතුණේ පාරමී කෙළවරක් නැතිව නිවාඩු ලබා ගැනීමෙන් පසුව ය.

පාරමී ඒ කතාව අසා සිටියේ අවධානයකින් තොරව ය.

“ඔයා අනුන්ගේ පලි ගන්න ගිහිල්ලා පලි ගන්නේ ඔයාගෙන්මයි. සමහර කාරණාවලට අපි රිද්ද ගත්තට ඒ කතාවට සම්බන්ධ අනිත් අයට ඒ ගැන එහෙමකට හැඟීමක් නෑ.එතකොට රිදිලා තියෙන්නේ අපිට විතරයි.”

හිමාෂා මේ කියන්නේ රවිඳු තමන් ගැන වගේ වගක් ඇතිව සිටීම ගැන වග දන්නා නමුත් පාරමී එයට ද පිළිවදන් නොදුන්නා ය.සියල්ල නැවත මුලක සිට අරඹන්නට සිතන සෑම මොහොතකම වෛරී සහගත සිතුවිලි හදවතේ ඇති වීම වළකාලන ක්‍රමයක් ඇය දැන සිටියේ නැත.මේ මොහොතේ පවා ඇය සිටියේ සැලසුමක් සකසමිනි.

“මට ඇත්තටම හිතෙනවා..”

කුමක්දෝ හේතුවකට ඒ සැලසුම හිමාෂාට හෙළි කරන්නට පාරමී සිතුවා ය.

“මට හිතෙනව මෙහෙන් මාරුවීමක් අරගෙන යන්න.”

රවිඳුව නිතරම ඇස ගැටෙමින් තේ රිදවා ගැනීම වෙනුවට පාරමීඒ ගන්නට සිතන පියවරට හිමාෂා එකඟ වූවා ය.ඔහු හිමාෂාට ආදරය ප්‍රකාශ කරන්නට හෝ වෙනත් තරුණියක තෝරා ගන්නට ඉඩ තිබේ. ඒ සෑම තීරණයක්ම පාරමීට ඇති කරන්නේ වේදනාවකි. එනිසා ඇය ඔහුගෙන් මිදෙන්නට සිතීම එක්තරා ආකාරයක  යහපත් තීරණයක් බව හිමාෂා සිතුවා ය.

“මං එහෙම ගියොත් යන්නෙ නම් රවිඳු මට කරපු දේ හැමෝටම කියල.”

ආදරය ප්‍රකාශ කරන්නට තරුණියක මූලිකත්වය ගැනීම ගැන හිමාෂාට පුදුමයක් හෝ අප්‍රසාදයක් නොදැනේ.දැනෙන ප්‍රේමයක් හදවතේ සඟවා ගෙන දුක් විඳීම වෙනුවට ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ධෛර්යය තිබීමම පැසසිය යුතු කාරණාවකි.තමන්ගේ හදවතේ කරගන්නා තරුණයාට තමන්ගේ ප්‍රේමය ගැන පවසා ඔහු දිනා ගන්නා යුවතියෝ ඕනෑතරම් හිඳිති.එය ලැජ්ජාවට කාරණාවක් නොවේ.නමුත් තරුණයකු ප්‍රතික්ෂේප කරන්නට තරුණියකට ඇති අයිතියම තරුණියකට ප්‍රතික්ෂේප කරන්නට තරුණයෙකු ට ද වේ.

ප්‍රේමයකින් නැවතිය යුතු වන්නේ තමන්ට වඩාත් දැනෙන තැනක ය.

අනුකම්පාව මූලික කරගෙන ඇරඹෙන කිසිම ආදර කතාවක් සාර්ථක වන්නට ඉඩක් නැති බව හිමාෂා හොඳින් දැන සිටියා ය.

“තමන් කැමති ගෑනු ළමයෙක් තමන්ට අකමැති උනාම පිරිමි පුදුම විදියට ඇග්‍රසිව් වෙනවා.ඒ ගෑනු ළමයට නින්දා කරනවා.සෝෂල් මීඩියාවල මඩ හදනවා.දන්න කියන මිනිස්සුත් එක්ක කැත කතා කියනවා.ඒ විදියට ඒ කෙල්ලගෙ ජීවිතේ නාස්තිම කරලා දානවා.”

පාරමී කරන්නට සූදානම් වන්නේ එහි වෙනත් ආකාරයක් බව ඇගේ සිත රිදුණ ද පැවසිය යුතුම බව හිමාෂා තීරණය කළා ය.

“ඔයා කරන්න හදන්නෙත් ඒ ජාතියෙ වැඩක්.සම්බන්දයක් බිඳුනම හරි තමන් කැමති මනුස්සය තමන්ට අකමැති උනාම හරි ගොඩක් ගෑනු ළමයි කරන්නේ ඔන්න ඔය දේ.එයා නිසා ඔයා ඉන්නේ මානසිකව වැටිලා කියලා පෙන්නන එක හරි අසාධාරණයක් නේද? අකමැත්තෙන්ම ඔයාට ලං වෙලා ඊට පස්සේ වේදනා දෙනවට වඩා වැදගත් විදියට අකමැත්ත කියපු රවිඳුට ඔච්චර දඬුවමක් සැර වැඩී. ඒත් ඒක කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඔයාම තමයි.”

ඕනෑම කතාවක තමන්ට අසාධාරණයක් වූ බවට වැඩි හඬක් නගන්නට කාන්තාවට ඉඩ ලැබීම අතිශය සාමාන්‍ය වන අවස්ථා තිබේ.මේ රජය රජයේ කාර්යාලයකි.අතිශය සාම්ප්‍රදායික මිනිසුන් ගැවසෙන තැනකි.පාරමී නික්ම යන්නට සූදානම් වන්නේ එතරම් කුණාටුවක් ඇති කිරීමෙන් පසුවනම් රවිඳුට මුහුණ දෙන්නට වන්නේ සිතාගත නොහැකි තරම් ගැටළු ගොන්නකට බව හිමාෂා සිතුවේ වේදනාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles