හද සාගරේ – 19

0
8299

හැන්දෑවට නගරය වියළි ය. වායු ගෝලය දුහුවිලි හා වෙනත් විෂ වායු ද බැර ලෝහ අංශු වලින් ද දූෂිත ය. සුළඟ උණුහුම් ය. පරිසරයේ වියළි කටුක බව වැඩ ඇරී යන ගැහැනු මිනිසුන්ට ද ආරෝපණය වනුයේ නිරායාසයෙනි. ඔවුන් ගේ මුහුණු විඩාපත් පාට ය. අඩියක් තියා අඩියක් ගන්නට බැරි තරමට සිරුරු කෙඩෙත්තු ය. නමුත් හිතේ ඉතිරි වී ඇති අවසාන ප්‍රාණ බිඳත් එක්කාසු කොට ඔවුහු ඉක්මන් අඩි තබා පෙරට ඇදෙති. විටෙක ඉදිරියෙන් යන අය පසු කොට යති. බස් වල එල්ලීගනිති. ඉඩ ඇති බසයක නම් කවුළු අයිනේ අසුන් වලට පොරකති. එහෙම නැති විට කොහේ හෝ යන්තම් වාඩි වී යන්නට තැනක් බලති. වට පිට බලා අසුනක් නැති තැන, අල්ලාගෙන හිටගෙන යන්නට හෝ ඉඩක් වන එක ගැන සතුටු වෙති. නමුත් ඉක්මනින් ම බස් රථ සැමන් පැටවූ ටින් සේ වෙයි. එතකොට අල්ලාගෙන කෙළින් සිටිනු තබා හුස්ම ගන්නටත් අපහසු ය. දහදිය දුගඳින් පිරී ය. වැඩ කිරීමෙන් වෙහෙස වූ හා ගෙදර ගිහින් කරන්නට ඇති වැඩ කන්ද සිහිපත් වන හිත්, නො රිස්සුම් සහගත ය. පොඩි දේටත් ගෑනු පිරිමි වචන හුවමාරු කරගනිති. පිරිමි පිරිමි නම් නොසරුප් වදන් පවා අමුණති. පිරිමින් සිරුරට තද වෙත්දී ගැහැනු පිළිකුළෙන් රවති. වැලමිට පහරවල් අනිති. නැත්නම් ලැජ්ජා හිතෙන්නට දෙකක් කියති.

“ඇඟේ ගෑවෙන්නැතුව යන්න ඕනනං කාර් එකක් ගන්න එකයි. සෙනග පිරිච්ච බස් වල එහෙම බෑ”

උදහස් වන පිරිමින්ට සිය අභිමානය රැක ගන්නට වන වචන ටික එහෙම ය. දැන් ආදියාට ඔය දේවල් හුරුපුරුදු ය. කටපාඩම් ය. ගෝල්ඩන් ලීව්ස් හි  වායු සමීකරණ තත්වය සහිත සුඛෝපභෝගී කාර්යාල පරිශ්‍රයෙන් නික්ම දුහුවිලි නගරය දිගේ බස් නැවතුම් පළ තෙක් යෙහෙළියෝ දෙදෙන කතා කරමින් පිය නැගූහ. ඔවුන්ට කිසිදු හදිසියක් නැත. බස් එක අල්ලාගන්නට දුවනවා වෙනුවට තවත් මොහොතක් මිතුරු ආලිංගනයෙහි රැඳී සිනහ වී ඉන්නට හිත් කැමති ය.

“අඩමානයක් නෑ ඒ මොඩ්ල් දෙව්රම්ගෙ පපුව අතගානකොට තමුසෙගෙ මූණ අබ කිලෝ එකක් දැම්මත් පුපුරන ගාණට ඊරිසියාවෙ පැලි පැලි තියෙන්නැති. අඩු ගානෙ ඒක ලස්සනයි කියපං. ඒකා දැනගන්නැති මූණෙංම… හිතේ තියෙන පෑලියාවයි අනිත් දේවලුයි ඔක්කොම”

මල්ෂා මිතුරියට දොස් කීවා ය.

“ඉතිං අප්ප… එයා නළුවෙක් වුණාට මට රඟපාන්න බෑනෙ. මං කිව්වෙ මට දැනුණ ඇත්තම දේ. ඔව් ඉතිං… මට අර මොඩ්ල් කෙල්ලව කොනිත්තන්න තරං ඊරිසියයි තමයි. ඕක එක පාරිං ශූට් කරල ඉවර කරන්නෑනෙ මල්. විසි තිස් පාරක්වත් ආයෙ ආයෙ කරන්න ඇතිනෙ. දෙව්රම්ගෙ පපුවට අත තියන්න ඕනකමට ඔය කෙල්ල තිස් හතළිස් පාරක්වත් වරද්දන්නැති”

මල්ෂා හඬ නගා සිනහ වෙමින් ආදියා ගේ අතක එල්ලී එහි මුහුණ හොවා ගත්තා ය. අසලින් ගමන් කරමින් සිටි කෙනෙකු දෙදෙනෙකු ඔවුන් දෙස බලන්නට ඇත්තේ නො රිස්සුමෙනි.

“එතන ඔයා හිටියනං කියල හිතෙන්නැති නේ…”

“මං හිටියත්… රටේ විතරක් නෙවේ ලෝකෙමත් ඉන්න ඔක්කොම ගෑනුන්ට පෙරේත හිතෙන විදිහට එයාව පෙන්නන්නෑ”

“හොඳ වෙලාවට එහෙනං දෙව්රම්ට මෙයාව කලින් හම්බ නොවුණෙ. ඒකා අල්මාරියට දාල වහල තියාගනී මේ තියන පෑලියාවට”

ඒ රිය ඉදිරියට ගිහින් ඉඩ ඇති තැනෙක නතර වූයේ නවත්වන්නට පිළිවන් කමට ද නොවේ. නමුත් ආදියා මග ඇවිද යත්දී දෙව්රම් ට කතා නොකර යාමට ද නො හැකි විය. රියෙහි ඉදිරි වීදරුව පහත් වූයේ ය. ආදියා හා මල්ෂා ඉන් එබීගත්හ.

“කොහෙටද යන්නෙ… ඕන්නං මට ඩ්‍රොප් කරන්න පුළුවං”

මුලින් ම ගැහැනු ළමයින් ගේ කිචි බිචිය නැඟිණ. ඊලඟට මල්ෂා එකඟ වේවියි බියෙන් ආදියා ඉක්මන් වූවා ය.

“අනේ කරදර වෙන්නෙපා මිස්ට දෙව්රම්. අපිට තව චූටි චූටි වැඩ ටිකකුත් තියනව. ඒව කරං තමයි යන්නෙ ඉතිං…”

මල්ෂා ආදියා ගේ අතක් කෙනිත්තුවා ය. හ්ම් නො කියා එය ඉවසාගන්නට ඇයට සිදු විය.

“ඕ… දැන්නෙ මට මතක් වුණේ… බෝයි ෆ්‍රෙන්ඩ්ස්ල එහෙම එනව ඇත්තෙ මේ වෙලාවටනෙ නේ…”

“අයියෝ… එහෙම අයනං නෑ ඉතිං… “

“මේ එහෙම අයව හොය හොය යන්නෙ මිස්ට දෙව්රම්”

නැවතත් කෙල්ලන් ගේ කිචි බිචිය ය. කෙල්ලන් දෙදෙනෙකුට මැදි වන එක ලෙහෙසි පහසු දෙයක් නොවන බව දෙව්රම් ට දැනෙමින් තිබිණ.

“හරි හරි. එහෙනං ඕගොල්ලො කරගන්න වැඩ කරගෙන හම්බවෙන අයව හම්බවෙලා ගෙවල් වලට යන්නකො පරිස්සමෙං. මං     යනව එහෙනං”

කිචි බිචිය අතරේ වීදුරුව වැහුණේත් රිය ඉදිරියට ඇදුණේත් ආදියාගේ ඇස් වල තවමත් ඔහු වැඩ හිඳිමිනි. මල්ෂා යෙහෙළිය ගේ අතක් සොලවා ඇයව පියවි ලෝකයට ගෙන ආවා ය.

“ඒ… යි. ගිලින්නද හදන්නෙ කොල්ලව…”

“අනේ ඇයි එයා එහෙම… එච්චර හොඳ පිරිමියෙක් වගේ  ඉන්නෙ… සමහර තැන් මට තේරුං ගන්න බෑ. එයා වගේ කිසිම කිසි අඩුවක් නැති පිරිමියෙක්ව අතාරින්න සපූ ට ඕන වුණේ ඇයි…”

“අයියෝ අලිය… ඒව එහෙම තමයි. තමුංගෙ ගෑනි මිස් යුනිවර්ස් වුණත් ඒ තමුංගෙ ගෑනි වුණාට පස්සෙ පිරිමියෙක්ට මහලොකු දෙයක් නෙවෙයි. ගෙදර ඇඳේ ලෝකෙ ලස්සනම ගෑනි නිදාගත්තත් පිරිමි වෙන ගෑනු ළඟට යනව. ඕකෙ අනිත් පැත්තත් එහෙම වෙන්න බැරි  නෑනෙ. අනිත් එක අපි දන්නෑනෙ ඒ දෙන්න අතරෙ තිබුණ ප්‍රශ්නෙ මොකද්ද කියල. කාසියකට වුණත් දෙපැත්තක් තියනව. හැම දේකටම එහෙමයි. ඔය සපූගෙයි  දෙව්රම්ගෙයි ප්‍රශ්නෙදි තාම රටේ ලෝකෙ මිනිස්සු… ඒ කියන්නෙ මේ අපිත් ඇතුළුව… දන්නෙ සපූගෙ කතාව විතරයි. දෙව්රම්ගෙත් කතාවක් ඇති. අන්න ඒකත් ආවහම තමයි ඔය කතාව කම්ප්ලීට් වෙන්නෙ”

“හ්ම්”

“ඇයි බූරුව අපිට වෙන වැඩ තියනව කිව්වෙ… දෙව්රම් ට කියල ඩ්‍රොප් කරගන්න තිබුණෙ”

“අම්මෝ…”

“මට පේන්නෙ මිනිහත්  ටික ටික ඔයා ගැන උනන්දුයි. ඊයෙ යාළුව නැත්තෙ ඇයි කියලත් මගෙන් ඇහුවනෙ. ඊට පස්සෙ තමයි ඔයාට කෝල් එක ගන්න ඇත්තෙ. අද කා එකට නැග්ගනං දෙව්රම් ඔයාට මීට වැඩිය ක්ලෝස් වෙනව ආදි”

“මං බයත් මීට වැඩිය ක්ලෝස් වෙන්න තමයි මල්”

කොහේ හෝ යන අදහසක්, දෙව්රම් ට එහෙම කියත්දීවත් ඔවුන්ට තිබුණේ නැත. නමුත් මල්ෂා ගේ අතින් අල්වාගෙන ආසියා අසලක තිබූ පේස්ට්‍රි ශොප් එකට ගොඩ වූවා ය. නිදහසේ කතා කරන්නට ගොඩක් දේවල් තිබෙනවා වාගේ ඇයට දැනේ.

“ඇයි මීට වැඩිය ක්ලෝස් වෙන්න බයයි කියන්නෙ… එහෙනං එයා ගැන ඔය තරං පිස්සුවක් හිතේ පුරෝගෙන ඉන්නෙ මොකටද…”

“ඒ පිස්සුවට මං ආදරෙයි. හැබැයි මං දන්නව ඒ පිස්සුවට ප්‍රැක්ටිකල් වැලියු එකක් නෑ කියල”

“වැලියු එකක් දෙන්න දැන් පුළුවන්නෙ”

“දෙව්රම් ඩිවෝස්ඩ් හින්දද…”

ආදියා මඳහසක් නගාගත්තා ය.

“එහෙම නෑ මල්. අපේ ගෙදර තියන ප්‍රශ්නෙ නිසා අපි අහල පහල අයට මූණ දෙන්නෙත් ලැජ්ජාවෙන්. දිනේශ් අයිය ගැන වන් වන් නයින් කෝල් කරල කම්ප්ලේන් එකක් දැම්මට මොකද එයාව පොලිස්සියෙන්  අල්ලන් යනකොට වටේ පිටේ අය ඔන්කොම වටවෙලා බලාගෙන. මට මාර ලැජ්ජාවක් දැනුණ මල්. අපි මහ ලොකුවට දේවල් තිබුණ ලොකු මිනිස්සු නෙවේ තමයි. හැබැයි අපි කාටවත් කරදරයක් නොවී වැදගත් විදිහට ලස්සනට ජීවත් වුණා. දැන් අපේ ගෙදර බීගෙන කෑගහන්නැති දවසක් නෑ. දිනේශ් දවසක්  දෙකක් ඔහොම හිමිජ්ජ වගේ ඉඳියි. හැබැයි පොලිස්සි යවපු එකට ඔය මිනිහ වාඩුව ගන්නවමයි. මට බය ඒක කොහොම වෙයිද කියලයි. ඔයා දන්නෑ ඔය මිනිහ එන වෙලාව වෙනකොට මගෙ පපුව ගැහෙනව. හරියට උගෙ ගෑනි   මං වගේ. අපේ අම්ම වුණත් පෙන්නුවෙ නැති වුණාට බයේ   වෙව්ලනව. එහෙම ජීවත් වෙන්න වෙන එක මහ කරුමයක් මල්. එක්කො කොයි ලෝකෙට හරි වෙන ගෙයක් අරං යන්නෝනෙ. එහෙනං බීගන්න බැරිනං ම රා ගත්තත් අපිට පේන්නෙ ඇහෙන්නෙ නෑනෙ. ඔෆිස් එකට ආවහම මං ඔය පිස්සුවක් කරල හිනා වෙවී හිටියට මං ඉන්නෙ පුදුම ගින්දරක. දිනේශයව ම ර න්න තරං වෙලාවකට මට කේන්තියි. ඔයා හිතන්නෙ එහෙම කුණු ගොඩක් තියන පවුලක් අස්සෙ දෙව්රම්ට විහිළුවට නතර වෙන්නවත් හේතුවක් තියනව කියල… එයා එක පාරක් හිටියනං දිනේශ් බීල එන වෙලාවට… දුවයි ආයෙ පැත්තක් බලන්නැතුව”

ආදියා ඒ අන්තිම ටික කීවේ සිනහවක් මුවග තියාගෙන ය. නමුත් ඒ සිනහව කෙතරම් අවිහිංසක විණි ද? ඇය පිළිවෙලට ගෙන ආ හේතු කාරණා සමග, තර්ක කරන්නට හෝ හිස් තැනක් හොයා ගන්නට බැරිව මල්ෂා ගොළු වූවා ය.

“ඒක නිසා එයා ඔහොම දුරින් ඉන්න එක හොඳයි මල්. එයා මට ලංවෙන්න බැරි ආලෝක වර්ෂ ගාණක් දුරින් තියන මන්දාකිණියකට වෙලා ඉන්න එක හොඳයි. මං ගිනි ගොඩක ඉද්දි මට තියන එකම සතුට එයා දිහා බලං ඉන්න එක. ලං වෙන්න ගියොත් වෙන්නෙ ඒ සතුටත් මට නැති වෙලා යන එක. මං ඒකට හරි බයයි මල්. මනුස්සයෙක්ට ජීවත් වෙන්න ආස හිතෙන එක හේතුවක්වත් තියෙන්න ඕනනෙ. ඒකත් නැති කරගත්තහම මොනාද ඉතුරු වෙන්නෙ… මං දන්නවනෙ එයා මං කවුද කියල හොයනව කියල. අපි අතරෙ මේ තියන පරතරේ අඩු වෙනව කියන්නෙම මං නිශ්ශංක අංකල්ගෙ දූටි දුව කියන එක එයාට කන්ෆර්ම් වෙනව කියන එක. ඒ ගැන මට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එදාට එය මොනා කරයිද කියල මට බයයි. දිලිසි දිලිසි එයා ඉන්න හැටි මෙහෙම දුර ඉඳන්වත් මට බලං ඉන්න බැරි වෙන දවසක් ගැන හිතන්න මට බෑ”

හුඟක් දවසකට පස්සේ ආදියා ගේ හිතට සැහැල්ලුවක් දැනිණ. ඈ තුළ ඒ තරම් බරැති සුසුමක් හිර වී තිබුණා කියා හෝ  ඇය දැන සිටියේ නැත. මල්   ලස්සනට තියෙන්නේ අතු අග පිපී තිබෙනතුරු  පමණක් බව හා     නෙලා අතට ගත් ගමන් ඒවායේ පර වී යාම ඇරඹෙන බව හදවතේ කඳුළකින් ලියැවී තිබිණ.

පොලීසියේ සිට පැමිණි බැවින් දිනේශ් ටික දිනක් නිහඬ වනු ඇත යන්න කාගේත් අදහස විය. බීමත්ව නො පැමිණියත් එදා ඔහු වෙතින් දිස් වූයේ ද්වේශී පෙනුමකි. ඔහු ගේ ඇස් වල වෛරී ගිනි දැල් ඇවිළෙමින් තිබිණ. සාරධා ට ඔහු උස් හඬින් කතා කළේ ය. බැන්නේ ය. ඇඟට කඩන් පැන්නේ ය. වරක් සිත්මි ට “උස්සල පොළොවෙ ගහනව” යයි දත්මිටි කමින් කීවේ ය.  අමුතු භීෂණයක් ගේ ඇතුළේ විය. කුමක් හෝ වැරදීමක් වී ලොකු විනාශයක් වනු ඇතැයි ජිනාදරී සසල වීමක සිටියා ය.

“මං තමුසෙව දික්කසාද කරනව”

කියා වරක් ඔහු උස් හඬින් කියනු නිශ්ශංක ට ජිනාදරී ට සේ ම ආදියා ට ද ඇසිණ. සාරධා යමක් මුමුණනු ඇසුණේ ය. ජිනාදරී ගේ පපුවේ ගිනිදැල් උස් ව නැඟිණ. උදේ ම දිනේශ් ගෙදරින් නික්ම ගියේ ය. ගෙතුළ වූයේ සංකාවේ හා අවිනිශ්චිත බවෙහි දිගු සෙවණැලි ය.

“එයාට දික්කසාද වෙන්න ඕනනං ඒක දෙනව කියන්න. මට පුළුවං උඹල තුන්දෙනාව ජීවත් කරවන්න”

රැකියාව සඳහා ගෙදරින් පිටත් වීමට පෙර නිශ්ශංක සාරධා ට කීවේ ය. නිහඬව සිටියා මිස ඇය කිසිත් කීවේ නැත. කියවාගෙන එන්නේ තාත්තා නික්ම ගිය පසු ඈ සමගින් බව ජිනාදරී දැන සිටියා ය.

යමක් සිදු වෙන්නට නියමිත බවට මොකක්දෝ ඉඟියක් හැම හදවතක ම පුලිඟු නැංවී ය. ඒ කුමක්දැයි කිසිවෙකු නිශ්චිතව දැන සිටියේ නැත. ඊට මුහුණ දෙන්නට ඔවුන්ට ශක්තිය තිබේ ද නැත්නම් ඉන් පළා යා යුතු ද කියා හෝ කිසිවෙකු දැන සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here