දරුවො කසාද බඳින්න බෑ කියන එක දෙමව්පියො ප්‍රශ්නයක් කරගන්න ඕනද?

ඔයාගෙ දරුවෙක් දවසක ඔයාට ඇවිත් කියනවා “අම්මෙ මම කසාද බඳින්න කැමති නෑ” කියල. ලංකාව වගේ සම්ප්‍රදාය මුල් කරගෙන හිතන රටක ජීවත්වෙන කෙනෙක් නම් ඔයාගෙ මූණෙ මෙහෙම දෙයක් ඇහුනම පුදුමයක් ඇඳෙන්න පුලුවන් වගේම “ඇයි ඒ ඔයා කසාද බඳින්න බෑ කියන්නෙ?” කියන ප්‍රශ්නෙ නිකන්ම කටෙන් එලියට එන්න පුලුවන්.

අපේ වැඩිහිටියො සාමාන්‍යයෙන් හිතන දෙයක්නෙ එයාල ජීවත්වෙච්ච විදියට එයාලගෙ දරුවොත් ජීවත්වෙන්න ඕන කියලා. අධ්‍යාපනේ ඉවර කරලා, තනි ජීවිතේ ගත කරලා, ඒකට පස්සෙ හොඳ මනුස්සයෙක් හෝ කෙල්ලෙක් හම්බවෙලා, කසාද බඳින්න ඕනෙ කියල අපේ අම්මල තාත්තල හිතනව. එයාලට අනුව ඒක තමයි මනුස්සයෙක්ගෙ ජිවිතේ ගෙවෙන්න ඕන පිලිවෙල.

ඒත් අද කාලෙ ඔය පිලිවෙලට එහා ගිහිල්ල වෙනම විදියක ජීවිතයක් ගත කරන්න ආස කරන ළමයි ඉන්නවා. ඉතින් ඔයාටත් ඉන්නෙ එහෙම ළමයෙක් නම්, එයා කසාද බඳින්න බෑම කියල කියනවනම් ඇත්තටම ඔයා කොහොමද ඒකට React කරන්න ඕන?

අන්න ඒ ගැන තමයි අපි අද මේ Article එකෙන් කතා කරන්න යන්නෙ.

අනික, අපේ සමාජේ මිනිස්සු කසාදය පිළිබඳව ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. “අවුරුදු 25-30 වුනාම කසාදය ගැන හිතන්න ඕනෙ!” කියලා දරුවන්ට කිව්වට, ඔවුන් හැමෝම ඒක පිළිගන්නෙ නැහැ. කොහොමහරි, ඔයාගේ දරුවා කසාදය ගැන මේ විදිහට හිතනවානම්, ඒකට එයාට තියෙන හේතු මොනවද කියල අහල බලන්න ඔයාට පුලුවන්.

1. මුලින්ම දරුවගෙ අදහසට අවධානය දෙන්න

ඔයාගේ දරුවා මම කසාද බඳින්නෙ නෑ” කියන ඇහුව ගමන්ම, ඔයා කෝප වෙලා හෝ බය වෙලා, දරුවගෙ අදහස වෙනස් කරන්න හදන්න එපා. “මොකද හේතුව?” කියලා ඉස්සෙල්ලා එයාගෙන් අහන්.

ඔහු හෝ ඇය එහෙම කියන එකට එකක් හෝ කීපයක් හේතු තියෙන්න පුලුවන්. සමහර වෙලාවට එයාගෙ තිබුණ සම්බන්ධයක් කැඩිලා ගියපු වේදනාවට, එහෙම නැත්තම් විවාහය ගැන අහන දකින නරක අදහස් සිතුවිලි නිසා, තනියෙම ජීවත්වෙන්න තියෙන කැමැත්ත වගේ ගොඩක් හේතු තියෙන්න පුලුවන්.

එකිනෙකාගේ අදහස් හොඳින් අහලා, හොඳින් කතාබහක් කරලා, අන්තිමට හොඳ තීරණයක් ගන්න එක තමයි මේ වගේ තැනකදි වෙන්න ඕන.

2. අපහාස කරන්න නම් හිතන්නවත් එපා!

එකපාර තරුණ වයසෙ ඉන්න, කසාද බඳින්න ඕනවටත් වඩා සුදුසුකම් තියෙන ළමයෙක් ඇවිල්ල ඔහොම කිව්වම ඕනම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තරහා යන්න පුලුවන්. හැබැයි තරහ අවුස්සගන්න එකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ දුර දිග යන එක.

ඒවගේම දරුවට අපහාස කරන්න හිතන්න එපා. කසාද බඳින එක හරිම හරි තීරණයක්වත්, නොබැඳ ඉන්න එක ලෝක අපරාධයක්වත් නෙවෙයි කියන එක මතක තියාගෙන කටයුතු කරන්න.

දරුවා කසාද බඳින්න බෑ කියන එක අහලා “ඔයා අපේ මුලු පවුලටම ලැජ්ජ කරන්න යන්නෙ, කසාද නොබැඳ ඉඳල වයසට ගියාම කවුද ඔයාට සලකන්නෙ, මැරෙන්න කලින් අපි ආසයි මුණුබුරෙක් බලන්න, කවුද වංශෙ ඉස්සරහට ගෙනියන්නෙ” වගේ හද්ද පරණ ලොරි ටෝක්ස් දීලා දරුවව චාටර් කරන්න යන්නත් එපා.

කාලෙ වෙනස්. ලෝකෙ වෙනස්. “වයසට ගියාම කටට වතුර දාගන්න ඇඳ ලඟ ටැප් එකක් හයි කරගන්නවා” කියන යුගයක ළමයි තමයි දැන් ඉන්නෙ. අපේ පරණ කල්පනාවන් අනුව, “කසාදය කියන්නෙ ජීවිතේ තවත් උසස් මට්ටමකට යන එකයි” කියලා අපි හිතනවා. ඒකා මාරම අනිවාර්‍ය දෙයක් කියලා අපි හිතනවා. හැබැයි, ඔයාගේ දරුවාට ඒක වෙනස් විදිහකට තේරුම් ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හිතල කියන දෙයක් කියන්න.

3.ඔයාගෙ තරුණ කාලෙ මතකද?

දරුවො එයාලගෙ තරුණ වයසෙදි විවාහය ගැන දරන අදහස් මාරම වැරදියි කියල හිතනවනම් පොඩ්ඩක් විතර ආපස්සට ඔයාගෙ අතීතෙ මතක් කරගෙන බලන්නකො. තරුණ කාලෙ ඔයා හිතුවෙත් “අපෝ මට පුලුවන් තනියෙන් ජීවත්වෙන්න, මට ඕන නෑ කවුරුවත්” කියල. ඉතින් ඔයාගෙ දරුවොත් එහෙම හිතන එකේ වරදක් නෑ. ගහේ කටු උල් කරන්න ඕන නෑනෙ නේද/

නිදහසේ ජීවත්වෙන්න ඕන, කසාදයක් කරගන්නවා කියන්නෙ හිර වෙනවා කියන එක වගේ රැඩිකල් අදහස් තරුණ ළමයින්ට තියෙනවා. සමහර අදහස් කාලය එක්ක හරි යනවා. සමහර අදහස් එහෙමම තියෙනව. ඔයාගෙ දරුවා උනත් එයත් වැඩුණු මනුස්සයෙක් එයාට තනියෙම එයාගෙ තීරණ ගන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා.

දරුවන්ගෙ ජීවිතේට උනත් අම්මල තාත්තලට බලපෑම් කරන්න පුලුවන් සීමාවක් තියෙනව කියන එකත් අමතක කරන්න එපා. ඔයා දරුවා එක්ක එයාගෙ මට්ටමෙන් කතා කරන්න ඕන අන්න ඒ නිසා. ඒ තේරුම්ගැනීම එයාගෙ අදහස වෙනස් කරගන්න එයාට උදව්වක් වෙන්න පුලුවන් වගේම, කසාදෙ ගැන, තරුණ ළමයි ගැන ඔයා හිතන විදිය වෙනස් කරගන්න ඔයාටත් උදව්වක් වෙන්න පුලුවන්.

4.බලපෑම් කරන්න එපා

“නෑයො මොනවා කියාවිද, මිනිස්සු මොනව හිතාවිද?” වගේ දේවල් කියල දරුවට බලපෑම් කරන්න යන්න එපා. ඔයාගෙ දරුවා කසාද බැන්දාත් නැතත් කතා හදන නෑයො කතා හදනවා. ඒ නිසා දරුවට ඒ වගේ බලපෑම් නොකර එයා එක්ක කතා කරලා බලන්න.

මේ වගේ වචන කිව්වට දරුවාගේ අදහස වෙනස් වෙන්නෙ නැහැ. ඒ වෙනුවට, ඔහු හෝ ඇයට ඉඩ දෙන්න ඔවුන්ගේම අදහස් ගැන හොඳට හිතන්න.

5.දරුවගෙ බයට හේතුව තේරුම් ගන්න

“මම ආදරේ විශ්වාස කරනව, ඒත් කසාද බැන්දම ආදරේ නැතිවෙනවා”

“කසාදයක් කියන්නෙ විශ්වාස කරන්න පුලුවන් දෙයක්ද? ඕනතරම් අපෙ යාලුවො බැඳල මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙන්නෙ” වගේ නෙගටිව් අදහස් ඔයාගෙ දරුවගෙ හිත ඇතුලෙ පැලපදියම් වෙලා තියෙන්න පුලුවන්.

ඒකම එයාට කසාද නොබැඳ ඉන්න හේතු හදලා තියෙන්න පුලුවන්. ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි අන්න ඒ හේතුව තේරුම් අරගන්න එක. ඒ ඔස්සේ විතරයි මේකට විසඳුමක් හොයාගන්න ඔයාට වගේම එයාටත් ඉඩක් ලැබෙන්නෙ.

6.ඔයාගෙ අදහස කියන්න

ඔයාටත් කසාදය ගැන යමක් හිතෙනවා ඇති. මිනිස්සු හැමෝම විවාහය ගැන එකම අදහසකින් නැති වුණාට, ඒ ගැන ඔයාගේම මතයක් ඔයාට තියෙන්න පුළුවන්. ඒක පැහැදිලිව දරුවාට කියන්න.හැබැයි ඒක බලපෑම් සහගත දෙයක් කරන්න හිතන්න එපා/

හැම කසාදයක්ම දුකකින්, දික්කසාදයකින් ඉවර වෙන්නෙ නැති බව වගේ දරුවගෙ හිතේ තියෙන බය නැති කරන්න පුලුවන් කාරණා දරුවට ආදරයෙන් කියන්න. හොඳ partner කෙනෙක් එක්ක ජීවිතේ ගෙවන එක කොච්චර ලස්සනද කියන එක දරුවට කියලා දෙන්න. ඔයාලගෙන්ම උදාහරණ අරගන්න.

7. හොඳ විවාහක ජෝඩු ගැන කතාකරන්න

දරුවාට විවාහය ගැන කෙටි දැක්මක් තියෙන්න පුළුවන්. ඒ කියන්නෙ, ඔහු හෝ ඇය දැක්ක විවාහක යුවලවල් පිළිබඳව ඔවුන්ට මොකක්ද හිතෙන්නෙ කියලා බලන්න. ඔයා දන්නා හොඳ විවාහක යුවලවල් ගැන ඔහු හෝ ඇයට කියන්න. දරුවාට ආදරය සහ විවාහය ගැන එකිනෙකට වෙනස් අදහස් ඇතිවෙන්න පුළුවන්. ඔයාට පුලුවන් දරුවගෙ ඒ අදහස් වල හරි වැරැද්ද එයාට ආදරෙන් කියලා දෙන්න.

අවසාන වශයෙන් කියන්න ඕන විවාහය කියන්නෙ හැමෝගෙම ජීවිතේ අනිවාර්‍ය අංගයක්ම විය යුතු දෙයක් නෙවෙයි. විවාහය ගැන කෙනෙක්ට තමන් කැමති විදියෙ මතයක් දරන්න නිදහසක් තියෙන්න ඕන. ඒක ඔයාට වගේම ඔයාගෙ දරුවන්ටත් අදාලයි කියලා අමතක කරන්න එපා.

ඔයාට විවාහය ගැන තමන්ගේ අදහසක් තියෙනවා වගේම, ඔයාගේ දරුවාටත් ඒක ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක තේරුම්ගැනීම සහ ඒකට ගරු කිරීම තමයි මෙතනදි විය යුතු මූලිකම දේ.

මොන දේ උනත් අන්තිමේ මේ ඉන්නෙ ඔයාගෙ දරුවා කියන එක අමතක කරන්න එපා.

ඔහු හෝ ඇය කසාදය පිළිබඳව මොනව හෝ තීරණ ගත්තත්, ඔයා ඔහුට ආදරෙන්ම සහාය දෙන්න. ඔහුගේම අදහස් අහලා, ඔහුට හොඳම ජීවිත මාවතක් තෝරාගැනීමට උදව් කරන්න.

ඒක තමයි දෙමව්පියන් විදියට ඔයාලගෙන් විය යුතුම දේ වෙන්නෙ!

Related Articles

Don't Miss


Latest Articles