දෙව්රම් සන්දනායක සමගින් කතා බහ කළාට පස්සේ නිශ්ශංක ගේ හිතට හොඳයි වාගේ දැනිණ. දෙව්රම් සිය කාලය වැය වීම ගැන කිසිදු කලබලයක් පෙන්වූයේ නැත. නිශ්ශංක ට හිත නිදහස් කරගැනීම සඳහා ඕනෑ තරම් කාලය දෙන්නට නිර්ලෝභී ව ඉදිරිපත් වී සිටියේ ය. එනිසා ම නිශ්ශංක ට ද පහසුවක් දැනිණ. නමුත් ඔහු කිහිප වතාවක් ම “පුතාට ඔෆිස් යන්න පරක්කු ඇති” යි සිහිපත් කළේ ය. නමුත් දෙව්රම් කීවේ ඒ ගැන ගැටළුවක් නොවන බවයි.
“දරුවොන්ගෙන් නිදහස් වුණා කියල හිතුවත් නිදහසක් නෑ පුතා. ඇත්තටම සිදුහත් කුමාරය රාහුල ඉපදිච්ච දවසෙම අභිනික්මන් කරපු නිසා කළා. එහෙම නොවුණනං තාමත් මේ සංසාරෙ තමයි”
නිශ්ශංක ගේ මඳ සිනහව යට වේනාවක් වූයේ ය.
“එහෙම තමයි අංකල්. දෙමව්පියන්ට දරුවො එක්ක තියෙන බැඳීමෙනුයි ඒ බැඳීම් නිසා පැටවෙන බරෙනුයි නිදහස් වෙන එක ලේසි නෑ. මගෙ ප්‍රශ්නෙදි වුණත් අම්මයි තාත්තයි ගොඩක් හිතෙන් දුක් වින්ද කියල මං දන්නව. මට තියෙන්නෙත් ඒ දෙන්නගෙ ආදරේ හයිය විතරයි”
“දරුවො ඔය විදිහට හිතනවනං පණ වුණත් දෙන්න පුළුවන්නෙ පුතා. හැබැයි අපේ චූටි දුවත් අපි ගැන හිතන්නෙ පුතා වගේම තමයි. දවසක ඒ කෙල්ල තමයි අපිට තියන එකම සැනසිල්ල. ඒත් ඉතිං ඒවත් කොහොම ඉස්තීරෙට කියන්නද… ඒගොල්ලොංගෙ ජීවිත වලට ලං වෙන පිරිමි අනුව ඒවටත් බලපෑම් එන්න පුළුවන්”
දෙව්රම් මඳහසක් පෑවේ ය.
“එහෙම වෙන එකක් නෑ. හැමෝම ඔය දිනේශ් වගේ නෑනෙ අංකල්”
“එහෙම වුණොත් ඉතිං අපේ වාසනාව. අපි දරුවන්ගෙන් හුණු විටක තරං දෙයක් බලාපොරොත්තු වෙන්නෑ පුතා. දෙයියනේ කියල මගෙ පෙන්ශන් එකෙන් අපි දෙන්න මැරෙනකල් ජීවත් වෙන්න පුළුවං. ඒත් අපි මේ වයසට එද්දි දරුවොයි දරුවොන්ගෙ දරුවොයි එක්ක සතුටෙන් ඉන්න ලැබෙන එක තමයි ලොකුම දේ”
“ඒක ඇත්ත අංකල්. අංකල් ඔහොම කියනකොට මට ආයෙම ගමේ ගෙදරට දුවල එන්න හිතෙනව”
“පුතාල වගේ පිරිමි දරුවො දෙමව්පියන්ට වාසනාවන්. දෙමව්පියන්ට විතරක් නෙවෙයි පුතා… තමුන්ගෙ ජීවිතේට එකතු වෙන සහකාරිගෙ සහකාරයගෙ දෙමව්පියන්ට වුණත් කරුණාවෙන් සලකන්න ඕනෙ. ඒ දෙමව්පියන්ට එයාලගෙ දරුවො නැති නොකර ඉන්න ඕනෙ. ඒක තමයි මනුස්සකම”
දෙව්රම් සුසුමක් අත්හැරියේ ය. නිශ්ශංක අසුනෙන් නැගී සිටින්නට සූදානම් වූයේ ය.
“යං යං. පුතාට ඔෆිස් යන්න ලේට් වෙනව”
නිශ්ශංක ඉතිරි දුර පයින් ඇවිද යන්නට උත්සාහ කළත් දෙව්රම් ඔහු ව රියට නංවා ගත්තේ ය.
“දැං පයින් යන්න ඕනෙ නෑ. මං ගිහිං ගේ ළඟ බස්සන්නංකො. අංකල්ට මං කියන්නමයි හිටියෙ. අංකල් මට මගෙ තාත්ත වගේ. ආන්ටිත් මගෙ අම්ම වගේම ළෙංගතුයි. එදා දැක්ක පළවෙනි දවසෙ ඉඳලම අංකල්ල හරි ළඟයි වගෙයි මට දැනුණෙ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක්ක දැන් ඔය ගෙදර ඉන්න අමාරුයිනෙ අංකල්”
“වෙන කොහෙ යන්නද පුතා… අපිට මැරෙනකල් වැටිල ඉන්න තියන තැන තමයි ඔය”
“එහෙම නෙවෙයි. ඔය ප්‍රශ්න ටිකක් තුනී වෙලා යනකල් අංකල්ල ඇවිත් මගෙ ගෙදර ටික දවසක් නතර වෙන්න. මං ඇරෙන්න වෙන කවුරුත් නෑ. උයන්නයි අස් කරල අතුගාන්නයි එන අය විතරයි. නිදහසේ ටික දවසක් හිත හැදෙනකල් ඉන්න. එතකොට ඔය දුවයි බෑණයි වුණත් පාඩමක් ඉගෙනගනී. පොඩි විවේකයක් අරං ආපහු ගෙදර යන්න බැරියෑ”
“බලමු බලමු”
නිශ්ශංක සැහැල්ලුවෙන් සිනහ වූයේ ය. ගේ ළඟ දී නිශ්ශංක ව බස්වා නික්ම යනු වෙනුවට දෙව්රම් ගෙදරට ද ගොඩ වූයේ ය. ඊට හේතුවක් ලෙස ඔහු සිත්මි වෙනුවෙන් චොක්ලට් එකක් මිල දී ගෙන තිබිණ.
“පුතා හම්බ වුණා පාරෙදි. ඉතිං අපි දෙන්න පොඩි කයියක් ගහං හිටිය”
පෙරමගට පැමිණි ජිනාදරී ට නිශ්ශංක සතුටු සිනහවකින් කීවේ ය.
“අම්මේ… මං බයේ හිටියෙ. කියන්නෙත් නැතුව දොට්ට බැහැල ගිහිං… කොහේ ගියාද කියල සැරින් සැරේ පාර ළඟට ගිහිං මං බැලුව”
“හිතුවක්කාර වැඩියි… නේද ආන්ටි…”
ජිනාදරී ගේ බිය සැක පහ කර මූණට සිනහවක් ගෙන එන්නට දෙව්රම් ගේ ඒ ප්‍රකාශය සමත් විය. ඇගේ ආරාධනය මත දෙව්රම් පැකිළීමකින් තොරව ගෙතුළට ද ගොඩ විය. ජිනාදරී තේ හදන්නට හැදුවා ය.
“තේනං බොන්න බෑ ආන්ටි. මායි අංකලුයි තේ දෙකක් බිව්වෙ දැං. වතුර එකක් බොමු”
තවත් විනාඩි කිහිපයක පමාවකින් පසු දෙව්රම් පිටත් ව ගියේ ය. ඊට පස්සේ සාරධා ගේ කංකරච්චලය නිමාවක් වූයේ නැති තරමි.
“පිට මිනිස්සුන්ටනං මාර ආදරේ. බොරු සෝබනේ තමයි. ගෙදර ඉන්න එකාව පන්නගන්නකල් නිවනක් තිබුන්නෑ. පොලිස්සියට අල්ලල දෙන්න බැලුව. ඒක කෙරුන්නැති නිසා නිකං බොරුවට බැණල පන්නගත්ත”
ජිනාදරී ඇගේ කතා නිවැරදි කරන්නට ගියේ නැත. අනිත් අතට සාරධා ඔහොම කතා කරන්නේ කිසිත් නොදැන නොවේ. ඇයට ඕනෑ වූයේ ම මව් පියන්ට රිදවා ඔවුන් ගේ හිත් වලට වද දෙන්නට ය.
“මගෙ පවුල කැඩුණොත්නං සාප කරනව මම. ලෝකෙ මිනිස්සුන්ට බොරු කරුණාව. දරුවො හොඳට පවුල් කනව බලං ඉන්න බෑ”
මුළු දවසේ ම ඔවැනි ආඩපාලි කතා සිදු විය. අන්තිමට ජිනාදරී ට නම් ඒවා අසා සිටිය නො හැකි තරම් වූයේ ය.
ආදියා බලාපොරොත්තු බිඳගෙන සිටියා ය. පසුගිය කාලය තුළ දෙව්රම් දිගට ම කාර්යාලයට පැමිණියේ ය. රූගත කිරීම් දිගට ම සිදු වුණ දවසකත් හෝරාවකට හෝ එහි පෙනී සිට ගියේ ය. නමුත් මේ උදයේ ඒ ආකර්ෂණීය පෞරුෂය නැති ඔහු ගේ කුටිය පාළුවේ කිමිදී තිබිණ. ඇය නිරන්තර වෙලාව බැලුවා ය. සිය දහස් වතාවක් කාර්යාල ද්වාරය දෙස බැලුවා ය. සිනහ වියැකී හිත හැකිළී යමින් තිබිණ. ඇය පරිගණක තිරයට ඇස් තියාගෙන උදාසීන වී සිටි වෙලාවක සුවඳ මුසු සුළඟක් ඉදිරියට ගියේ ය. මල්ෂා අතින් ඇන නෙතින් පෙන්වූවා ය. සිනහ මල පිපිණ!
වීදුරු පවුර තුළින් පවා ඒ ඇස් දිළිසිණ. දෙව්රම් කාර්යාල සගයන් කිහිප දෙනෙකු ම විටින් විට කුටිය තුළට කැඳවමින් යම් යම් සාකච්ඡා වල නිරත වූයේ ය. අද ඔහු වෙනදාටත් වැඩිය කාර්යක්ෂම හා සජීවී බව ද පෞරුෂයෙන් අනූන බව ද ආදියා මේ පැත්තේ සිට සිතුවා ය.
“යකූ මේකි බලාංකො. මෙච්චර වෙලා තැලිච්ච කජු ලෙල්ල වගේ හිටියෙ. දැං…”
මල්ෂා විහිළුවට ඇනුම්පද කීවා ය. නො නවතින මඳහස් රැල්ලක් ආදියා ගේ මුහුණේ විය.
“දැං කොහොමද…”
“දැං…”
කියනා විට ම අභ්‍යන්තර දුරකතනය හැඬවිණ. එතකොට තරුණියන් දෙදෙනා ගේ කතාව ද නැවතිණ.
“සයින් කරන්න මොනාත් තියනවනං එවන්න”
දෙව්රම් බොරු කලබලයකින් කීවේ ය. මංගලා පටුපස හැරී බැලුවා ය.
“සයින් කරන්න මොනාද තිබුණ නේද… මං හිතන්නෙ මිස්ට දෙව්රම් යන්න වගේ. ඉක්මනට අරං යන්න ආදියා”
සිනහවක් නැතිව තද වූ කම්මුල් පේශි හෙළවෙන්නේවත් නැති ලෙස මංගලා එසේ කීවා ය. මල්ෂා දෙතොල් දසන් දෙපෙළින් සපාගෙන සිනහව තද කරගෙන සිටියා ය. ආදියා පැමිණෙන දෙස දෙව්රම් සන්සුන් දෑසකින් බලා සිටියේ ය. අළු පාට පෑන්ට් එකට ඕෆ් වයිට් බටර් සිල්ක් බ්ලවුසය යට කොට, කෝට් ශූස් පැළඳි යුවතිය වෙතින් දිස් වන්නේ සැබෑ වෘත්තීය පෙනුමනි. මහෝගනි රතු වර්ණය එක් කළ ගලා හැලෙන දිය ඇල්ලක් වන් පිට මැදට වන වරල දිළිසේ. ඇගේ කඩිසර ගමන හුරුබුහුටි ය. ලා රත් පැහැයෙන් වර්ණ ගැල්වූ පිරිපුන් දෙතොල් පත් අතරේ සැරිසරණ මඳහස බලාපොරොත්තු සහගත ය.
“ගුඩ් මෝනිං මිස්ට දෙව්රම්”
කියමින් ඕ ලිපි ගොනුව මේසය මතින් තැබුවා ය. නමුත් ඒ ගැන කිසිදු උනන්දුවක් දෙව්රම් වෙත වූයේ නැත.
“ඉඳගන්න ඉතිං…”
ඒ ඇරයුම නෝක්කාඩුවක් තැවරි ආදරණීය එකකි. මේසයට දෑත් බාහු බර කළ දෙව්රම් අසුනේ හරි බරි ගැහෙමින් ඇගේ මූණට එබුණේ ය. කියන්නට කතාවක් වන බවට සාක්ෂි ඔහු ගේ මුහුණේ වේ. නමුත් ඒ කතාව කොහොම කියන්න ද කොතනින් පටන් ගන්න ද කියා මේ දැනුත් ඔහු දන්නේ නැත. මීට පෙර කිහිප දෙනෙකු ම කුටියට කැඳවාගෙන කතා කරමින් සිටියේ මේ කතාවට ඇරඹුමක් ගැනීමේ පෙර සූදානමෙනි. කාලය ගෙවෙමින් තිබි නිසා ආදියා ව ගෙන්වාගන්නට ඔහු ට සිදු විය. නමුත් තවමත් ඔහු ගේ කිසිම සූදානමක් නැත.
වචන මුවට එන්නේ ම නැති තැන ඔහු සිය මේසයේ දකුණු පස උඩ ලාච්චුව විවර කොට යමක් ගත්තේ ය. ආදියා ඒ කුමක්දැයි දුටුවේ නැත. නමුත් ඔහු එය ඇයට ආසන්නයෙන් මේසය මත තැබූ විට ඇයට “ස්” කියවිණ. ඒ සමගින් හිස ඇතුළේ කුමක් හෝ කැළඹුමක් වෙනු දැනිණ.
ඒ ඇගේ අතේ ටික දවසක් තිස්සේ දකිත හැකි වූ විනිවිද පෙනෙනා සුදු පබළු තුන් පටකින් සමන්විත අත් පළඳනාවයි. එහි රිදී දම්වැලකින් රිදී පැහැති අලියෙකු එල්ලේ. ආදියා ඒ අත් පළඳනාව ජාත්‍යන්තර වෙළෙඳ අඩවියකින් ගෙන්වා ගත්තේ මාර්ගගතව ඇනවුම් කොට ය. ඒ විශේෂ හේතුවක් මතයි. දෙව්රම් ට ඇගේ නම මතක නැති වී අලියා කියමින් සිටි දින වල, මේ හුරුබුහුටි අලියා ඇප් එක ඔස්සේ දුටු විට ඇයට ඔහු සිහි විය. කුරියර් සමාගම එය ගෙනැවිත් දී ගියායින් පස්සේ හැමදාමත් කාර්යාලයට යත්දී ඕ ඒ පැළඳුවා ය. ආදියා ගේ පැහැපත් සිහින් අතට ඒ සින්තටික් පළඳනාව වඩාත් හුරුබුහුටි ලෙස ගැලපිණ. ඇය සිය කුටියට පැමිණි අවස්ථා වල ඔහු උනන්දුවෙන් ඒ දෙස බලා සිටි බව ද ආදියා ට මතක ය. මේ පළඳනාව කෙරේ ඈ තුළ වූයේ ආදරයකි. ඒ ආදරයේ අයිතිකාරයා පුංචි රිදී අලියා ය.
අද උදේ හිතේ තිබුණ අවුල් සහගත බව නිසා ම ආදියා ට ඒ පැළඳගන්නට අමතක විය. විශේෂයෙන් ම එය කණ්ණාඩි මේසය මත තිබෙනු දුටුවේ නැත. පෙර දා රාත්‍රියේ අම්මා හා තාත්තා සමගින් කතා කර කර සිටි වෙලාවේ එය ගලවා බරාඳයේ කනප්පුව මතින් තැබූ බව මේ මොහොතේ විදුලියක් සේ ඇයට සිහි විය.
දෙව්රම් අද උදේ එය හැඳිනගත්තේ කනප්පුව මත තිබියදී ය. ජිනාදරී වතුර එකක් ගේන්නට ද නිශ්ශංක ඈ පසුපස ද ගිය වෙලාවේ ඔහු එය ගෙන සාක්කුවේ දමාගත්තේ ය. ආදියා ඒ වෙලාවේ ගෙදර නැති වී ද නිශ්ශංකගේ චූටි දුවත් ආදියා මන්දරී බෙත්මගේත් එක් අයෙකු බව සාක්ෂි සහිතව ඔහු තහවුරු කරගෙන සිටියේ ය.
ආදියා ගේ ඇස් වඩාත් විසල් වී තිබිණ. දෙව්රම් ඒ ඇසින් එබී බැලූයේ ජයග්‍රාහී බැල්මකිනි. ඇය වහා බිම බලාගෙන යටිතොල තදින් සපා ගත්තා ය.
“මං දන්නෑ ඇයි කියල… ඒත් මට මුල ඉඳන්ම සමානකමක් දැනුණ. ඒ සමානකම අතටම අහුවෙනකල් බලං හිටිය ඉතිං”
“ස්… සොරි මිස්ට දෙව්රම්…”
ආදියා ගේ ඇස් බිමට ම හැරවිණ.
“හොරා පොලිස් සෙල්ලමෙදි ඔයාට වඩා මං දක්ෂයි හරිද…”
සිනහ වූවාට ඇගේ දෑස් ලැජ්ජාව නිසා උපන් කඳුළෙන් බර වී තිබිණ.
“අලිය කියන්නෙ… කොහොමත් ලකී සිම්බල් එකක්”
“අනේ අයිම් සෝ සොරි මිස්ට දෙව්රම්”
“මගෙ වොයිස් එක අහන්න එච්චර ආස ගෑනු ළමය… අවුරුදු ගාණක් තිස්සෙ ඒ ආසාව පොඩ්ඩක්වත් වෙනස් නොවී තියාගන්න පුළුවං වුණ ගෑනු ළමය මෙහෙම මං ඉස්සරහ ඉන්නකොට… ඔයා හිතන්නෙ ඒක මට දැනෙන්නෙ කොහොම වෙන්න ඇද්ද…”
“එක්ස්ට්‍රීම්ලි සොරි මිස්ට දෙව්රම්… ඒ කෝල් කළේ කවුරුත් දන්න දෙව්රම් සන්දනායකට. එහෙම නැතුව මගෙ බොස්ට නෙවෙයි. වැරැද්දක් වුණේ කියල මං පිළිගන්නව”
කඳුළත් එක්ක කළ සටන නිසා ආදියා ගේ ඇස් පිහාටු තෙත් වී එකට ඇලී තිබිණ. සටනින් මුළුමනින් පරාජය වී සිටි ඕ සමාව ඉල්ලා තරඟයෙන් ඉවත් වීමට ඉත සිතින් සූදානම් වූවා ය. අසුනේ පිටුපසට හේත්තු වෙමින් ඇගෙන් මඳක් ඈත් වූ දෙව්රම් සන්දනායක, කුඩා කරගත් දෑසින් සිය බැල්ම තුළ ඇය ග්‍රහණය කරගෙන සිටියේ ය. ආදියාට ඕනෑ වූයේ එතැනින් පැන දුවන්නටයි!