මව් සෙනෙහස

ඇඳේ නිදන පුංචි පුතා දිහා බලාගෙන අයෝමි පාන්දර තුනත් පහු කළා.

” අයෝමී ඔයා නිදාගන්නෙ නැද්ද ? “

කාමරේට එබුන මයන්ත ඇහුවේ අයෝමි ගැන උපන්න හැබෑම දුකෙන්

” මට නිදිමත නැහැ මයන්ත.මම සිතිජ ගාව ඉන්නම්.ඔයා දුව ගාවට යන්නකෝ. එයා මේ වෙලාවේ ඇහැරුණොත් එහෙම මට සිතිජ ගාව ඉන්න වෙන්නේ නැහැ “

” දැන් එයාගෙ උණ අඩුයි අයෝමි “

” ඒ උනාට මම මෙතන ඉන්නම් “

කාලෙකට කලින් තමන් දෙමාපියන්ගේ විරෝධය මැද්දේ උනත් ගත්ත තීරණය හරියටම හරි කියලා මයන්තට ආයෙ ආයෙම හිතුණා.

” දැන් ඔය පටලැවිලා ඉන්න ළමයා දන්නවද මයන්ත ඔයාට දරුවෙක් ඉන්නවා කියලා ? “

අතීතයේ දවසක මයන්තගේ අම්මා ඇහුවේ මයන්ත පලවෙනි වතාවට අයෝමි ගැන කිව්ව වෙලාවේ

” අයෝමි මං ගැන හැම විස්තරයක්ම දන්නවා අම්මේ.දරුවා ගැනයි මේනකාගේ මරණේ ගැනයි එයාට මම හැමදේම කියලා තියෙන්නේ “

” ඒ උනාට ඉතින් තරුණ කෙල්ලෙක් නිසා එයා සිතිජට පස්සේ වෙනස්කම් කරයි.ඒ නිසා මම නම් කියන්නේ ඕක හරියන්නේ නැහැ ළමයො”

” අයෝමි කියන්නේ එහෙම පටු විදිහට විදියට හිතන කෙනෙක් නෙමෙයි අම්මේ “

” මුලදි ඉතින් හැමෝම හොඳයි.පස්සෙනෙ ඇත්ත මූණ එළියට එන්නේ. ඔයා වගේම තනි වෙච්ච ගෑනු අය ඕන තරම් ඉන්නේ. එහෙම කෙනෙක් බලල කටයුත්තක් කර ගත්තට නං කමක් නැහැ මයන්ත “

මයන්තගෙ අම්මා මොනවා කිව්වත් අයෝමි කියන්නේ රූපයෙන් වගේම හදවතිනුත් ලස්සන කෙනෙක් කියලා මයන්ත විශ්වාස කළා.

” ඒ ළමයට අපේ සිතිජව පස්සේ කරදරයක් වෙන්න බැරි නැහැ “

මයන්තගේ අම්මා නිතරම කිව්වේ එහෙම.අයෝමිගේ දෙමව්පියන් මයන්ත එක්ක තියෙන සම්බන්ධයට මුලදී අකමැත්ත පළ කළත් අයෝමි කරුණු තේරුම් කරාට පස්සේ හැමදේම විසඳිලා ගියා.

” මේනකා මැරිල අවුරුද්දක් පහු වුනා විතරයි තව ගෑනියෙක් ගේන්න අපේ මල්ලිට පිස්සුද අම්මේ ? “

අයෝමි ගැන දැන ගත්ත මයන්තගේ අක්කා මහ ගෙදරට ආවේ කෝපයෙන් ආරූඪ වෙලා

” අපිට දුන්නා නම් අපි සිතිජව බලාගන්නවනේ ? මෙච්චර ඉක්මනට මෙයා ගෑනියෙක් ගෙනාවම රට්ටු අපිට හිනා වෙයි “

” දැන් ඉතින් මයන්ත තීරණයක් අරගෙන ඉවරයි නේ අරුණි. එයාලගේ තීරණ වලට අපිට ඇඟිලි ගහන්න බැහැ “

මයන්තගේ අම්මා කතා කළේ තමන්ටවත් පුතාගේ තීරණය වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගත්ත තැන

” එහෙමයි කියලා අපිට කට වහගෙන ඉන්න පුලුවන්ද ? අනික මේනකාලගේ පවුලේ අය උනත් මොනවා හිතෙයිද?”

මයන්ත කාමරයට වෙලා හැමදේම අහගෙන හිටියේ බොහොම ඉවසීමෙන්. නොහිතපු මොහොතක ජීවිතයේ කඩාගෙන වැටුනාට පස්සේ පුංචි පුතත් එක්ක තනිවුනු මයන්තගේ ජීවිතයට බලාපොරොත්තුවක් අරගෙන ආවෙ අයෝමි.

” මයන්ත ? මොනවද කල්පනා කරන්නේ ? “

ඉස්තෝප්පුවට වෙලා මිදුල දිහා බලාගෙන මයන්ත කල්පනා කර කර ඉන්නවා දැක්කහම අයෝමි ඇහුවා.

” බැරි වෙලා හරි එදා අම්මා කියපු දේ අහලා මම ඔයාව කසාද නොබැඳ හිටියනම් මොන තරම් අපරාධයක්ද කියලා මට හිතුන අයෝමි “
අයෝමි මද හිනාවක් එක්ක මයන්ත ගේ උරහිසට වාරු වුණා.

” මේනකාගේ මරණයෙන් පස්සේ මම හිතුවේ කාව වත් කසාද බඳින්නේ නැහැ කියලා.ඒත් අවුරුද්දක් යනකොට මට තේරුණා සිතිජට අම්මා කෙනෙක් ඕනෙමයි කියලා.ඔයාව මුණගැහුණු දවසේ ඉඳලම ඔයා එයාට විතරක් නෙමෙයි මටත් අම්ම කෙනෙක් වුණා “

මිතුරෙකුගේ මාර්ගයෙන් ජීවිතේ නොහිතපු මොහොතක දරුවෙක් එක්ක තනිවුන මයන්තව මුණගැහුණු හැටි අයෝමි සිහිපත් කළා .

” අනුන්ගේ දරුවෙකුට අම්මා වෙන්න තවත් ගෑනියෙකුට බැහැ කියලා මම දන්න කියන හැමෝම කියද්දී, ඒක බොරු කියලා හැම වෙලාවෙම ඔයා ඔප්පු කලා “

සිතිජ අසනීපයෙන් බව දැන ගත්ත අයෝමිගේ අම්මා උදෙන්ම සිතිජව බලන්න ආවා.

” පුතා වැඩිපුරම ආදරේ අම්මාටද අම්මාට තාත්තාටද ? “

අයෝමිගේ අම්මා සිතිජව උකුලෙ තියාගෙන හුරතල් කරේ කිසිම වෙනසක් නැතිව.

” මම වැඩියෙන්ම ආදරේ අම්මට “

අවුරුදු තුනක් වයසැති සිතිජ බොහොම හුරතල් හඬින් කිව්වා.ඒ වෙද්දි අයෝමි අවුරුද්දක් වයසැති පුංචි දියණියකගේ මවක් වෙලා හිටපු නිසා ඇගේ කටයුතු වලට සහාය දෙන්නත් බොහෝ වෙලාවට අයෝමිගේ අම්මා ආවා.

” මම මුලදි ඔයාට අකමැති උනේ ඔයාගේ වැරැද්දකට නෙමෙයි දරුවෝ “

ඉඳහිට එන මයන්තගේ අම්මා කතා කරන්නේ පසුතැවීමෙන්.තමන්ට අකැමැති වුණා කියලා අයෝමි කවදාවත්ම මයන්තගේ අම්මා එක්ක තරහෙන් හිටියේ නැහැ

” අම්මට හිතුන දේවල් වැරදි නැහැ.අද කාලේ වෙන්නෙම එහෙම දේවල්නේ.ඒත් සිතිජව මට වැඩි නැහැ. දුව ලැබෙන්න කලින් දරුවෝ ගැන ගොඩක් දේවල් මම ඉගෙන ගත්ත සිතිජ නිසා. අනික එකපාරම දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ඉන්න එක මොන තරම් වාසනාවක්ද “

තමන් දරුවෝ දරුවො දෙන්නෙකුගෙ අම්මා කෙනෙක් කියලා අයෝමි කියන්නේ ආඩම්බරයෙන්.

තමන්ට උපදින දරුවන් පවා මහ මග දමා යන මව්වරුන් ඉන්න රටක අයෝමි කියන්නේ උතුම් කාන්තාවක් කියලා මයන්තගේ අම්මට හිතුනා.

” සිතිජ අසනීප උනහම මට වඩා එයාව බලා ගත්තේ අයෝමි.එයා ඔය හිනා වෙලා හිටියට දවස් ගානකින් හරියට නින්දක් නැහැ “

මයන්ත හීන් හඬින් අම්මට කිව්වේ සාලෙ බිම වාඩි වෙලා පුංචි දියණිය වත් උකුලෙ තියාගෙන සිතිජ ට බත් කවන අයෝමි දිහා බලාගෙන

” අයෝමිව කසාද බැන්දා කියලා අක්කා මාත් එක්ක අදටත් කතා කරන්නේ නැහැ. හරි නං එයා නෙමෙයි , අයෝමි ගෙදර අයයි මාත් එක්ක තරහ වෙන්න ඕනේ අම්මෙ “

” මම අක්කට හෙමින් සැරේ කතා කරන්නම්කෝ මයන්ත “

” එයාලා ඕන දෙයක් හිතා ගෙන හිටපුදෙන් අම්මේ.මට කමක් නැහැ.සමහර තැන්වලදී අයෝමි දුව බලාගන්නවාටත් වඩා හොදට සිතිජව බලාගන්නවා “

” අයෝමි කියන්නේ පුදුමාකාර ළමයෙක් පුතේ. තමන්ගේ නොවෙන දරුවෙකුටත් මෙච්චර ආදරේ කරන අම්මා කෙනෙක් මම දැක්කමයි “
මයන්තගේ අම්මා කිව්වේ ඇහෙන නෑහෙන ගානට

More Stories

Don't Miss


Latest Articles