වියෝ ගී ගැයෙනා හදේ – 19

0
3426

“මගේ ලඟ නැතිම දේ තමයි ලොකු සීන් කියන්නෙ”

“එහෙනම් ඇයි මං දාපු මැසේජ් එකට රිප්ලයි කලේ නැත්තෙ. අඩුම මං ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් අරගෙන එව්වට මට තැන්ක්‍යු කියල හරි කියන්න ඕනනෙ”

“ඉතින් මම ඔයාට මගෙ ෆොටෝස් ගන්න කියලා කිව්වෙ නෑනෙ” කියන පණිවිඩය අගින් හිනාවෙන ඉමොජියක් අමුණන්න මේධාවිණී හිතුවේ තමන් කියූ කතාව වලාකුලු වීරවර්ධන වරදවා වටහාගන්න හේතුවක් කරගත්තොතින් එය වලක්වාලනු පිණිසය.

“ෆොටෝග්‍රැෆර්ස්ලට ෆොටෝ ගන්න කියල ඉතින් කවුරුවත් අමුතුවෙන් කියන්න ඕන නෑ. ලස්සන දේවල් දැක්කම ඕනම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගෙ අත අනිච්චානුගව කැමරාවට යනවා” කියා ටයිප් කර එවන්නේ නැතුව වලාකුලු වීරවර්ධන වොයිස් මැසේජ් එකක් එව්වේ ඇයි කියා නොහිතුවත් දෙතුන් පාරක් ආයෙ ආයෙ ඒ කටහඬ අහන්න මේධාවිණී කටයුතු කලේ අහන වාරයක් පාසා දෙතොල් මත

මන්දස්මිතයක් ඇඳ ගනිමිනි.වොයිස් මැසේජ් එකක් ඔස්සේ පවා වලාකුලු වීරවර්ධන තමන්ගේ කෙලිලොල් දඟකාර පිරිමිකම තමන් හමුවට එවන්නට තරම් දක්ශ වී ඇති බව මේධාවිණී ඒ සිනාව මැද්දේ සිතුවාය.

එතනින් එහා තමන් එයට දෙන්න ඕන පිළිතුර කුමක්ද කියා හිතාගන්න බැරි නිසාවෙන්ම මේධාවිණී කිසිවක් ටයිප් නොකර ඉන්න හිතුවත් වලාකූලු උන්නේ මේධාවිණීට එතරම්ම පහසුවෙන් සමුදෙන්න බලාපොරොත්තුවක නොවේ.

“රිප්ලයි නොකරට කමක් නෑ. අද කතා නොකරට කමක් නෑ. අපේ ශුට් ඉමේජස් පෙන්නන මීටින් එකේදි ඔයාට කතාකරන්න වෙනවනෙ. බලමුකො එතකොටත් ඔයා සද්ද නැතුව ඉන්නවද කියලා” වලාකුලු ආයෙම පණිවිඩයක් එවද්දි හිත කවදාවත් නැති අන්දමෙන් ගැහුණ බව මේධාවිණීට දැනුනාය. එවන් ගැස්මක් මීට අවුරුදු කීපයකට පෙර විශ්ව විද්‍යාලයෙදි ලෙක්චර්ස් අතරවාරයේ චිරත්ගේ දෙනෙත් විත් තමන්ගේ දෙනෙත් හා යා වෙද්දී හිතට දැනුන බව මතකය. ඒ මතකය මෙවෙලේ ආයෙම වතාවක් හිත උඩට ඒම වදයක් බව ඇත්තකි. එහෙත් එකමාකාරයක ගැස්මක් දෙදෙනෙකු වෙනුවෙන් ජීවිතයේ අවස්තා දෙකකදී දෙතැනකදී මතුව එන්නෙ එකමාකාරයක හැඟීමක් නිසා නොවිය හැකිද කියා මේධාවිණී ට සිතන්නට ඒ මතකය ඉඩ දුන්නාය.

දින ගෙවුණේ වැලන්ටයින් ශූට් එකේ එඩිටඩ් ඉමේජස් පෙන්නන්නට මීටින් එක සඳහා දවස් ලඟා කරමිනි.

“මැඩම් ප්‍රඩක්ශන් හවුස් එකෙන් අහනව අපිට එහෙ එන්න බැරිද කියල ඉමේජස් ඇන්ඩ් ෆුටේජස් පෙන්නන්න. එයාල ලඟ ලොකු ස්ක්‍රීන්ස් එහෙම තියෙනව කියල” කියමින් මාකටින් ටීම් එකේ කෙල්ලක පැමිණ කියද්දී ඒ පණිවිඩය එන්නෙ වලාකුලු වීරවර්ධනගෙන් බව දැනගෙන හිත තප්පරේකට ගැස්සුණත් ඒ තිගැස්සීම එලියට නොපෙන්වා ඉන්නට තරම් මේධාවිණී සමත් වුණාය.

“ම්ම්ම් යන එක අවුලක් නම් නෑ. කොහෙද එයාලගෙ ඔෆිස් එක තියෙන්නෙ?”

“කලුබෝවිල මැඩම්”

“ඕකේ. මෙහෙ එන එක එයාලට කරදරලුද?”

“නෑ මැඩම් මෙහෙ ආවොත් පෙන්නන්න තියෙන්නෙ ලැප්ටොප් ස්ක්‍රීන්වල නිසා අපිට කලර් ග්‍රේඩ් එක එහෙම හරියට පේන එකක් නෑ කිව්වා. ඒකයි”

“කොහොමත් ඉතින් ඕව සෝශල් මීඩියා පබ්ලිශ් කරාට පස්සෙ මිනිස්සු ඕව බලන්නෙ ෆෝන් එකෙන් නිසා ඔච්චර ලොකුවට බලන්න දෙයක් නෑ නේද?” කියා නොයනු පිණිස ඇහුවත් හිත ඇතුලෙන් ඒ ගමන යන්නට, වලාකුලු වීරවර්ධන හිමිකාරිත්වය දරන ආයතනය කුමනාකාරයේ තැනක්ද කියා දැකගන්නට උවමනාවක් තිබූ බව මේධාවිණීට පිලිනොගෙන ඉන්න පුලුවන් උනේ නැත.

“අපි මූවි තියටර්ස්වලත් යනවනෙ මැඩම්. ඒ නිසා අපි ගිහින් බලමු නේ? හවස ආවොත් එයාලා කන්නත් දෙනවා කිව්වා” කියමින් මාකටින් ටීම් එකේ ළමයා සිනාසෙද්දී ඒ සිනාවම මේධාවිණීගේ දෙතොල් මතටත් බෝවෙන්න ගියේ තප්පර ගාණකිනි.

“ආහ් කවුද ඒක කිව්වෙ?”

“මිස්ට වලාකුලුගෙ ඇසිස්ටන්ට් කතා කරල කිව්වා සර් එහෙම කියන්න කිව්වා කියලා” කියමින් ඒ කෙල්ල නැවතත් සිනාසෙද්දී “එහෙනම් ඉතින් යන් නේද?නැත්තම් එයාලා මෙහෙ ආවොත් අපි කෑම දෙන්න එපාය” කියා කියන ගමන් මේධාවිණී සිනාසුණාය.

ඒ සති අන්තයේ මේධාවිණීට කිසිමාකාරයෙන් වැඩක් නොයෙදී තිබුණ නිසාවෙන් හවස් වරුවේ පෙත්මලී එක්ක සෙල්ලම් කරන්න ඉඩකඩ ඕනතරම් තිබුණාය. පෙත්මලී එලිමහන් ආලින්දයට වී බිම හාන්සි වී තාත්තා ගෙනත් දුන් චිත්‍ර පොත් වල ඉන්න කුමාරිකාවන් පාට කරමින් අම්මා එක්ක එක එක විකාර කියවද්දී සෝමා හදාගෙනවිත් දුන් තේක රස විඳින ගමන් මේධාවිණී කලේ අලුතෙන්ම අරගත් ඉඳුමිණී වික්‍රමසිංහගේ පොඩි මනමාලී නවකතාව කියවන ගමන්‍ ය. පාසල් ගොස් අවසානයෙත් විශ්ව විද්‍යාලයේ ඉද්දී විභාග නැති කාලයෙත් ඇඳේ හාන්සි වී හෝ සාලෙ බිම පැදුරක් දමා හාන්සි වී පොත් කියවන්න ලැබුණ ඉඩ විවාහයෙන් අනතුරුව විශේෂයෙ පෙත්මලී ඉපදීමෙන් අනතුරුව බොහෝ සෙයින් මග හැරුණකි. ඒ පුරුද්ද ආයෙ මතක් කරගන්න තමන්ට දික්කසාද වී ගෙදරටම එන්න ලැබුණ එක කෙතරම් දෛවෝපගත දෙයක් වුණත් මේ වෙලාවේ ඒ ගැන හිතා හිත රිද්දගන්න මේධාවිණීට උවමනා උනේ නැත. 

“අම්මි ඔයා ප්‍රින්සස් කෙනෙක්ද?” කියා පෙත්මලී පොත පාට කරන එක මොහොතකට නතර කර අහන්නේ බිම ඉඳගෙනම ඔලුව උස්සා හා පැංචෙක් වගේය.

“ම්ම්ම් ඔව්ව් ඇයි?”

“එතකොට මමත් ප්‍රින්සස් කෙනෙක්ද?”

“ඔක්කොම ගර්ල්ස්ලා ප්‍රින්සස් ලා තමයි බබී. ඉතින් ඔයත් ප්‍රින්සස් කෙනෙක්”

“බබාවත් එක්කරගෙන යන්න ප්‍රින්ස් කෙනෙක් එනවද කවදහරි ඒ කියන්නෙ?” පෙත්මලී අහන්නේ කුඩා බෝල් ඇස් දෙක ලොකු කරගෙන අම්මා දිහාම බලාගෙනය. ඒ අහන කතාවටත් කතාව අහද්දි පෙත්මලීගේ මූණ්  රැඳී තිබෙන බැල්මටත් හිනා යන්න ආවාට මේධාවිණී ඒ හිනාවට දෙතොල් මතට එන්න ඉඩ දුන්නේ නැත.

“ඔව් හැම ප්‍රින්සස් කෙනෙක්වම අරගෙන යන්න ප්‍රින්ස් කෙනෙක් එනවා. බබීත් ලොකු උනාම ප්‍රින්ස් කෙනෙක් ඒවි” කියා කිව්වයින් පස්සෙ පෙත්මලී ආයෙ වතාවක් ඔලුව පල්ලෙහට හරවගෙන චිත්‍රෙ පාට කරන්න ගත්තට මේධාවිණීට ඇගෙන් අහන්න එකම එක ප්‍රශ්නයක් ඉතුරු වී තිබුණාය.

“බබී කැමති මොන වගේ ප්‍රින්ස් කෙනෙක්ටද? සින්ඩරෙල්ලගෙ වගේ ප්‍රින්ස් චාමින් කෙනෙක්ද බෙල්ගෙ වගේ බීස්ට් කෙනෙක්ද ස්ලීපින් බියුටිගෙ වගේ ප්‍රින්ස් ෆිලිප් කෙනෙක්ද?

“මම කැමති තාත්ති වගේ ප්‍රින්ස් කෙනෙක්ට” පෙත්මලී කියන්නෙ හිස් නූස්සාම පොත දිහා බලාගෙන රෝස පාටට ප්‍රින්සස් කෙනෙක්ව පාට කරන ගමන් ය.

“තාත්ති වගේ?”

“ඔව්”

“ඇයි තාත්ති වගේ ප්‍රින්ස් කෙනෙක්ව ඕන”

“ඉතින් තාත්ති බබීට ආදරෙයිනෙ අම්මි. ස්නෝ වයිට්ගෙ ප්‍රින්ස් ස්නෝ වයිට්ව වඩාගෙන කරකවන්නෙ කාටුන් එකේ. ඒ වගේ තත්තිත් බබීව වඩාගෙන කරකවනවනෙ උඩ. ප්‍රින්ස්ටත් පුලුවන් වෙන්න ඕන බබීව කරකවන්න උඩ ප්ලේන් එකක් වගේ. ඉතින් බබීට ඕන තාත්ති වගේ ප්‍රින්ස් කෙනෙක්” කියා පෙත්මලී කියද්දී තමන්ට ඒකට දෙන්නට උත්තර නැති බව මේධාවිණී දනී. තමන්ට සැමියෙක් ලෙස චිරත් නොහොඳ වුණත් පෙත්මලීට ආදරේ වැස්සක් වස්සන තාත්තා කෙනෙකු ලෙස චිරත්ව පෙනෙන එක වලක්වන්න උවමනාවක් හෝ හැකියාවක් නැති බව මේධාවිණී ආයෙ ආයෙ සිතට මතක් කර දුන්නාය.

“තාත්තිට වඩා හොඳ ප්‍රින්ස් ලා ඉන්නවනෙ බබී” කියා මනුර සුමතිපාල එතනට ඇවිත් කියද්දී පෙත්මලීත් මේධාවිණීත් මොහොතකට තිගැස්සුණාය. තාත්ත එහෙම කිව්ව එක වරදක් බව දන්නවා උනත් දුවෙක් විදියට තාත්තාට විරුද්ධ වෙන්න පුලුවන් කමක් එවෙලේ මේධාවිණීට තිබුණේ නැත. මොනවා උනත් මේ නිවසේ තවමත් රැව් දෙන්නේ තාත්තාගේ අණසකය. මේ ගල්ලෙන තාත්තාගේය. එහි සිංහයා තාත්තාය. තමන් තාත්තාට දැඩිව ආදරය කරන සිංහ සීවලී වන් දියණියකි.

“ඇයි සීයා එහෙම කිව්වෙ?” කියන ප්‍රශ්න මුවින් නෑසුවත් පෙත්මලිගේ දෙනෙතෙත් වටකුරු කුඩා මුහුණෙත් ඒ ප්‍රශ්නය ඕනවට වඩා හොඳින් ඇඳී තිබෙනු දුටුවද තාත්තා එච්චර හොඳ ප්‍රින්ස් කෙනෙකු නොවන්නේ ඇයි කියා පවසා මේ මල් පෙත්තක් උඩට උණු වතුර වක්කරන්නේ මොකටද කියා හිතන්න තරම් මනුස්සකමක් එවෙලේ මනුර සුමතිපාලට තිබුණ එක ගැන මේධාවිණි සතුටු වුණාය.

“අපි තාත්තිටත් වඩා හොඳ, ලස්සන ප්‍රින්ස් කෙනෙක් හොයාගමුකො. තව කොච්චර කල් තියෙනවද බබීට ප්‍රින්ස් කෙනෙක් හොයාගන්න. ඉස්සෙල්ලා අපි ලස්සන කාස්ට්ල් එකක් හදමුකො පින්ක් කලර් බබී ආස විදියෙ. සීය හදලා දෙන්නම්කො එකක්” කියා මදක් පහත් වී පෙත්මලීගේ කැරලි කෙස් අත ගෑ මනුර සුමතිපාල ආලින්දයේ එහා කෙලවර පනවා ඇති තමන්ගේ සුපුරුදු අසුන වෙත යද්දී මේධාවිණිත් පෙත්මලීත් එක එල්ලේම ඒ ගමන දිහා බලාගෙන උන්නහ.

ඒ දෙයාකාර සිත් දෙකක එකමාකාර පැනයක් පැන නගිද්දීය.

“ඇත්තටම අපේ තාත්ති හොඳ ප්‍රින්ස් කෙනෙක් නෙවෙයිද?”

“ඇත්තටම චිරත් කවදාවත්ම හොඳක් නොකරපු කෙනෙක් කියල හිතන එක හරිද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here