ජීවිතය කවියක් නොවේ – 18

0
2434

ධනංජය යළි නිවසට පැමිණෙද්දී හොඳටම එළිය වැටී තිබිණ.මෝටර් රථය ගරාජයෙහි නතර කළ ඔහු එහිම සිට තත්පර කිහිපයක් යනතුරු හිස් බැල්මෙන් ගේ උයන දෙස බලා සිටියේය.කාලයක් තිස්සේ ක්‍රමානුකූලව බොහෝ අර පරිස්සමට නඩත්තු කල  ගෙඋයන අතහැර දැමූ ගණනය.බොහෝ විට ඒ වැඩකටයුත්ත සිදුවූයේ ධනංජය අතින්ය.විසිතුරු මල් පැළ ගණනාවක් වුවත් ඒවායේ වෙනදා සේ  මල් පිපී තිබුණේ නැත.දිගු සුසුමක් මුදාහළ තරුණයා වාහනයෙන් බැස ගෙතුළට පැමිණියේ ඉක්මන් ගමනේය.ඔහුට දැන් වන්නේ මතක මගහැර යාමේ උවමනාවකි.සියුම් බඩගින්නක් දැනෙමින් තිබු නිසා ඔහු කෙලින්ම ගියේ මුළුතැන් ගෙය තුළටය.යමක් බඩට දා ගත්තාට පසුව පැය කිහිපයක් තිස්සේ සුව නින්දක් ලබා ගැනීමේ හැකියාව වේ.උදෑසන සෑදූ සැන්ඩ්විච් පෙති කිහිපයකුත් සොසේජස් සහ බිත්තර ඔම්ලට් එකක් මුළුතැන් ගෙයි කුඩා මේසය මත වූ බඳුනක වසා දමා තිබිණ.හසාරා ආහාරයට ගෙන තිබුනේ සැන්ඩ්විච් පෙත්තක් පමණි.කලෙක සිට ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළුනු නිසා ධනංජය  පාන් පිටි කෑම වර්ග අවමයෙන් ආහාරයට ගත් අයෙකි.එනිසාම ඔහු ශීතකරණය ඇර කෑමට යමක් සෙව්වේය.හසාරා පැවසූ පරිදි වෙන වෙනම සකස් කළ කෑම බඳුන් කිහිපයක්ම ශීතකරණය තුල විය.එහෙත් අවසන ඔහු ඒවා එහෙමම තබා සැන්විච් පෙත්තක් සොසේජස් කරල් කිහිපයක් පිඟානකට දමා ගත්තේය.

යළිත් වරක් ධනංජයගේ ජංගම දුරකථනය නාද වුවද ඔහු ඒ දෙස නොබැලුවේය.මේ ඇමතුම නිර්මිතාගෙන් බව  විශ්වාසය.මෙවේලෙහි සිත රිදෙන යමක් තමාගෙන් ඇයට කියැවේවියැයි බියක් ඔහු තුළ විය.සිත රිදවමින් තිබුණේ වරදකාරී හැඟීමකි.

බඩගින්න අතුරුදන් වී තිබිණ.ඔහු තෙවන මහලේ තමාගේ කාමරයට ගොස් ඇඳුම් උනාදමා  කොට කලිසමකිනුත්  අත් රහිත ස්කිනි වර්ගයේ ටී ෂර්ට් එකකිනුත් සැරසී පහත මාලයට පැමිණියේය..මාස කිහිපයකට පසුව තමා මේ නිවස තුළ සම්පූර්ණ නිදහසක්  ලැබුවාක්වන් හැඟීමක් ඔහුට දැනෙන්නට විය.

පඩිපෙළ බැස පහත මාලයට පැමිණෙද්දීම දෑස් ගැටෙන්නේ විසිත්ත කාමරයේ ඉදිරිපස බිත්තියේ එල්ලි තිබූ දෙදෙනාගේ සේයාරුවකි.එය විවාහය ලියාපදිංචි කළ දවසේ ලබාගත් එකකි. හසාරා ලා රෝස පැහැති කට්වර්ක් වර්ගයේ ඔසරියකින් සැරසී සිටියාය.ධනංජය ඇද උන්නේ සුදුපැහැ අත් දිග කමිසයකි.හසාරා ගේ ඔසරියේ වර්ණයට ගැලපෙන ලෙස ටයි පටිය රෝස පැහැ විය.දෙදෙනා ඔවුනොවුන් දෙස බලා සිටියේ ආදරනීය බැල්මකින්ය.හිතා මතා වළදමා තිබූ අතීත මතක වලට පණ දීමට උවමනාවක් නොවූ තරුණයා පඩිපෙළ මධ්‍යයේ සිටම දිගු සුසුමක් මුදා හැරියේය.අවසන දුකක් සතුටක් වේදනාවක් නොවූ හිස් හැඟීමක් ඔහුට දැනෙන්නට විය.

වසර ගණනක් තිස්සේ එක් මාවතක එක්ව පැමිණි දෙදෙනා එක් තැනක නතර වූයේ ජීවිතයේ වටිනාකම් බොහෝ හිමි කරගෙනය.එතැන් සිට හසාරාට වූයේ වෙනම ගමනකි.තමා මගහැරී ගිය ගමනකි.

සෑම දිනකම නිවසට පැමිණ ඇයට පවසන්නට අලුත් දෙයක් විය.’ ධනා මං අර එග්සෑම් එක කරනවා..මං මේ එග්සෑම් එක කරනවා..ධනා මට කොහොම හරි මේ ප්‍රමෝෂන් එකට යන්න ඕනේ..ධනා ඒක තමයි මගේ ටාගට් එක..ධනා මට මාර බලාපොරොත්තුවක් ඒ ගැන තියෙන්නේ.. මේ අයුරින් ඈ පවසන සෑම වතාවකම තමා ඒවාට සවන් දීගෙන උන් බවත් හැකි උපරිමයෙන් සහය දුන් බවත් විශ්වාසය.අවසන ඈ නතර වූයේ තමාට අත පෙවිය හැකි මානයක නොවේ.දරා ගත් තරම දන්නේ ඔහු පමණි.සිත රිදුණු බව දන්නේත් ඔහු පමණි.

එතැන සිට හැරී බලා අඩි ගණනාවක්  පිටුපස සිටින තමාට ඈ සමච්චල් කරනවායැයි ධනංජයට පළමු වතාවට සිතුණේ ඇය සේවය කළ ආයතනයේ මුල් පුටුවකට තේරී පත්වද්දීය.ඕ සිටියේ ලෝකයක්ම ජයගත්තාක් බඳු සිතුවිල්ලකය.එතැන් සිට ඈ ගන්නා හුස්මත් තමාට වෙනසක් සේ දැනුණු වග විශ්වාසය.නිවස තුළ සිදුවූ බොහෝ කටයුතුවලදී තමාගේ කැමැත්ත හා උපදෙස් දෙවැනි තැනට දමමින් ඈ ඇගේ  අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නට පෙළඹුණේ කවදා සිටදැයි මතකයක් ඔහුට නොවේ.
‘ නෑ ධනා  ඕක ඔහොම කරලා තේරුමක්නෑ..ඔයා මං කියන විදිහට කරන්නකෝ..ඔයාට තේරෙනවනෙ ඕක ඔහොම නෙමෙයි වෙන්න ඕනෙ කියලා..පිස්සුද ධනා මේ බලන්න මේක මෙහෙමයි වෙන්නේ …’ යනුවෙන් පවසමින්  ඈ බොහෝවර බිරිඳකගේ  භූමිකාවෙන් මිදී උන් බව ඔහු සිහි කලේ වේදනාවෙන්ය.

ධනංජය හැදී වැඩුණේ පීතෘ මූලික වූ සමාජයකය.මල්ලීත්,  තමාත්, නැගණියත් කුමක් කීවත් අම්මා ඒ සෑම වරකම පැවසූයේ අප්පච්චිගෙන් අසා සිටින්න යනුවෙන්ය.අප්පච්චිගෙන් නොවිමසා  අම්මා ගහක කොළයක්වත් නොකැඩූ වග විශ්වාසය.හසාරා එසේ කිරීමට වුවමනාවක් නොවූවත් තමාට මුල් තැන දේයැයි විශ්වාසයක් ඔහු තුළ විය.ඒ සැමටම පොදු වූ පිරිමි සිතක කැමැත්තය.ඒ නැතත් සම තැනක සිටීයැයි විශ්වාසයක් ඔහුට විය.හසාරා නිරතුරුවම තමාව දෙවැනි තැනට දමා කටයුතු කරනවායැයි ධනංජයට දැනී තිබුනේ අද ඊයේක සිට නොවේ.ඔහු කාලයක් තිස්සේ ඈ හා ජීවිතය බෙදා ගත්තේත් ඒ නොසන්සුන් වූ සිතුවිලි ඇතුවය.තම ඉවසීම, දරා ගැනීම , කෝපය, වේදනාව , කලකිරීම වන් හැඟීම් රැසක එකතුව බෝම්බයක් සේ පිපිරී ගියේ හසරා ඇය  සේවය කළ රටවල් කිහිපයක ප්‍රමුකස්ථානයක වූ දුරකථන සමාගමේ හොඳම විධායක නිලධාරිනිය ලෙස සම්මාන ලබද්දීය.මුළු ලෝකයම තමාට සමච්චලයෙන් හිනැහෙනවා බඳු වේදනාවක් ඔහුට දැනෙන්නට විය..හසාරාගේ සැමියැයි සැවොම ඔහු හඳුන්වද්දී ධනංජයට දැනුනේ අභිමානයක් නොව හීනමානයකි.ඒ පරාජිත හැඟීම ඔහුව රිදවාලූයේ උපරිමයෙන්මය.

යළිත් වරක් මේසය මත තිබූ ජංගම දුරකථනය නාදවද්දී ධනංජය ඊට එබුණේය.ඇමතුම කාර්යාලීය මිතුරෙකු වූ කසුන් ගෙන්ය.පසුගිය දින කිහිපයේදීම හසාරා ඔවුන් සමග කතා කරමින් තමා ගැන සොයන්නට උනන්දු වූ වග ධනංජය  දනී.කිහිප වතාවක්ම කසුන් තමාට අවවාද දෙමින් හසාරාව නිවැරදි කරන්නට උත්සාහ ගනිද්දී තමා ඔහුව මගහැරි බව ධනංජයට මතකය.දුරකථන ඇමතුම මගහරින්නට සිතුනත් අවසන් තත්පරයේ ඔහු එය කන තබා ගත්තේය.

“ ගුඩ් මෝර්නින් මචං  ධනා..හසාරා අද උදේ රට යනවා කියලා කිව්වා  ගියාද…”

“ ඇයි උඹට කියලා ගියේ  නැද්ද…”

ඒ හඬෙහි වූයේ අවඥයා සහගත ස්වරූපයකි.

“ යනවා කියලා කිව්වට එහෙම තකහනියේ  උදේ පාන්දර කියලා කතා කරලා යන්න තරම් අපි එයාගේ ජීවිතේ විශේෂ මිනිස්සු නෙමෙයි වෙන්න ඇතිනේ.ධනා මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.මං ඒකට වෙලාවක් ලැබෙනකල් බලන් හිටියේ හසාරා යනකල්.මං හිතනවා මං මේ කතා කරන්නේ හසාරා නොදන්න දෙයක් ගැන කියලා..”

“ හිත රිදුනනම්  සමා වෙයං මචං..සමහර වෙලාවට මමත් ඉන්නේ කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරි තත්වෙක.”

“ උඹ කියපු කරපු දේවල් වලට හිත රිද්ද ගන්නවනං හිත රිද්දගෙන සෑහෙන කල්.මචං මං මේ අහන දේට මට ඇත්තම කියපන්.තවදුරටත් උඹ මගේ යාළුවෙක් කියන තැන ඉන්න හින්දා විතරයි මං මේ දේවල් හොයන්නේ.එහෙම නැතුව උඹේ ජීවිතයට ඇඟිලි ගහන්න මට කිසි උවමනාවක් නෑ..මෙහෙම ගිහිල්ලා උඹ කොතනක නතර වෙයිද කියලයි මට තියෙන ප්‍රශ්නේ.”

“ උඹ මේ කරන්න හදන්නේ හසාරා  පවරල ගියපුු රාජකාරියක්ද කසුන් අයියේ.එහෙමනං අපි කතා නොකර ඉමු..”

“ නෑ බං හසාරා  කියන දේවල් උඹ එක්කවත් උඹ කියන දේවල් හසාරා  එක්කවත් කියන්න තරම් පහත් මානසිකත්වයක් මට නෑ.හසාරා  ගොඩක් දේවල් මමත් එක්ක කිව්වා.එක පැත්තක කතාව විතරක් අහලා ඒ ගැන විනිශ්චය කරන්න තරම් මම මෝඩ නෑ බං.හැබැයි උඹ වෙන තැනක නතර වෙලා කියලා සීයට සීයක්ම නිවැරදිව දැනගෙනයි මං මේ කතාා කරන්නේ.”

දිග සුසුමක් මුදාහල ධනංජය මුළුතැන්ගෙයට  යාම පසෙක තබා විසිත්ත කාමරයේ වූ සුව පහසු අසුනකට බර වූවේය.කසුන් යනු ඔහුට හමුවූ හොඳම මිතුරන්ගෙන් කෙනෙකි.වසර දෙක තුනක් වයසින් වැඩිමහලු වූවාට මේ ජීවිතයේ බොහෝ තැන්වලදී ඔහු ලෙංගතු මිතුරෙකු ,සොහොයුරෙකු  ලෙසින් තමා හා රැඳී සිටි අයුරු ධනංජයට මතකය.මේ නිවස ඉදිවෙද්දී පවා ඔහු බොහෝ දිනවල තම නිවාඩු දවස් පවා කැප කරමින් ධනංජය හා එක්ව වෙහෙස වූවේය.එහෙ මෙහේ දිව යමින් නිවස ඉදි කළ පෙදරේරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප වූයේය.

“ තමන්ගේ මහන්සියෙන් ගොඩ යන මිනිස්සුන්ගේ ජීවිත හරි ලස්සනයි බං..”

ඔහු බොහෝවර එසේ පැවසුවේය.තමාට පමණක් නොව කාර්යාලයේ බොහෝ මිතුරන්ට ඔහු ලොකු අයියා කෙනෙකු විය.

“ ධනා….ඇත්තටම මොකද උනේ..මචං හසාරා එයාගේ අතින් යම් වැරැද්දක් උනානම් ඒක පිළිගන්න ලෑස්තියි.ඒක නිවැරදි කරගන්න ලෑස්තියි.පවුල් ජීවිතයක් කියන්නේ වෙනස් අදහස් දරන දෙන්නෙක් එකතු වෙන තැනක්.ඇත්තටම කිව්වොත් අපි යාළු වෙලා ඉන්න කාලේ ආදරේ කරන කාලේ දැනිච්ච නැති ගොඩක් දුර්වලකම් අපිට අඳුන ගන්න වෙන්නේ එක වහලක් යට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ.ඒක උඹට විතරක් නෙමෙයි අපි හැමෝටම පොදු වෙච්ච ධර්මතාවයක්.ඒ උනාට ඒ වහල යටදී  අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න ඕනේ දරා ගන්න ඕනේ..අන්න එතන තමයි මචං  පවුල් ජීවිතේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ..”

“ ඔය ඔක්කොම කරන්න ඕනේ මං විතරද බං….”

අවසන ධනංජය  ඇසුවේ බිඳී ගිය හඬකින්ය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here