දුම

අංජන එක්ක රණ්ඩු කරන එක තේරුමක් නැති නිසා පාරමී නිහඬ වෙන්න තීරණය කලා. හැමදාම රණ්ඩු වෙන එක ඉවරයක් වෙන්නේ නැත්නම්, තමන් ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න පාරක් හොයාගන්න අවශ්‍ය බව ඇය තීරණය කරා.

අංජන වෙනස් වෙන්නේ නැත්නම්, තමා වෙනස් වෙන එක හොඳම විසඳුම බව ඇය තමාටම පැහැදිලි කලා. වෙනදාට අංජනගේ අස්සේ දැවටි දැවටි ඉන්න ප්‍රිය පාරමී, තමන්ගේ වැඩ වෙනුවෙන් අවධානය දුන්නා. අංජන දුම්වැටි පානය කරන වෙලාවට ඇය ඔහුගෙන් සෑහෙන්න දුරට වෙලා ඉන්න උත්සාහ කලා. අංජන වෙනුවෙන් පේවිලා කරපු වැඩ වලට අඩු අවධානයක් දුන්නා.

උදේට අංජනගේ තේ කෝප්පය අතට ලැබෙන එක නැවතුණා. අංජනගේ කලිසම්, කමිස සූදානම් කරලා ඇඳ උඩ තියෙන උදේ වරු අඩු වුනා. කෑම එක බෙදලා, බෑග් එකට දාලා, ඒ බෑග් එක කාර් එකෙනුත් තියන දවස් අඩු වුණා. හවසට අංජන එනකොට වෙනස් වෙනස් රස කෑම හදනවා වෙනුවට, ” අද එලියෙන් කමුද ?.” අහන්න පාරමී පුරුදු වුනා. තමන් මේ  කරන්නේ නිවැරදිම දේද කියලා ඇය දැනගෙන හිටියේ නැති වුනත්, මේ ජීවිතය තුල ඇයට අස්වැසිල්ලක් තිබුණා.

ටික දවසක් යනකොට අංජනට පාරමීගේ මේ වෙනස තේරුණා. ඒ ගැන පාරමී එක්ක කෙලින්ම කතා කරන්න උත්සුක නොවුණ අංජන වටෙන් ගොඩෙන් පාරමීගෙන් ඇහුවා.

” ඔයාට පිස්සුද අනේ.. එහෙම ප්‍රශ්නයක් නෑ .. “

” නැත්තේ නෑ .. ඔයා මේ සති දෙක තුනට වෙනස් වෙලා ..”

” මිනිස්සු වෙනස් වෙනවා තමයි .. මේ මුලු ලෝකේම වෙනස් වෙනවා.. තත්පරයක් ගානේ වෙනස් වෙනවා… මට වෙන ප්‍රශ්නයක් නෑ…”

පාරමී බොහොම සන්සුන්ව කිව්වා. ඒත් අංජන එකින් එක කාරණා කල්පනා කලා. ඔහුට මේ ගැන කතා කරන්න ඉස්සෙල්ලාම මුන ගැහුනේ කාර්‍යාලයේ මිතුරියක්.

” මට හිතාගන්න  බෑ පාරමීගේ වෙනස … මුලදී මම හිතුවේ මාත් එක්ක එගේන්ස්ට් එකට කරනවා කියලා දේවල් .. ඒත් දැන් තේරෙනවා ඒක  එහෙම නෙවෙයි කියලා.. උදේට තේක හදලා  ඇඳ ළඟටම ගෙනත් දෙන ගෑණි දැන් තේක හදලා එහෙමම පැන්ට්‍රිය උඩ වහලා තියෙනවා… මං මේ දවස් ටිකේම ලේට් … එයා ඇඳුම් මුකුත්ම ලෑස්ති කරන්නේ නෑ උදේට … අද මම මේස් ජෝඩුවක් ගලපාගන්න සෑහෙන්න වෙලා ගත්තා.. වෙනදාට ක්ඩෙන් කමු කියනකොට පාරමී මූණ අකුලවාගන්නවා.. දැන්  එයාම කියනවා කඩෙන් කමු නේද කියලා .. මං දෙතුන් දවසක්ම ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.. එහෙමත් නැතිලු …”

අංජනගේ මිතුරිය සාවධානව අංජනට ඇහුම්කන් දුන්නා. ඒත් එක්කම අංජන මේ කියන කතාවේ පාරමීගේ කතාව කාන්තා සමූහයක නිර්ණාමික පෝස්ටුවක් විදියට කියෙව්ව බවත් මතක් වුනා. ඇත්තටම ඒ පාරමී නම්, එතැන බොහෝ දෙනා කියල තිබුන අදහස් අනුව පාරමී වැඩ කරන්න අරගෙන බවත් ඇයට වැටහුනා. පාරමීව ඉතා සමීපව දන්නේ නැති වුනත්, ඇය අංජනට ඉතාම ළයාදර බිරිඳක් බව මිතුරිය  දන්නවා. අංජනට කොවිඩ් ආසාධනය වුනාම ඇය ඔහුට උවටැන් කල ආකාරය ගැන මිතුරියට අමතක නැහැ.  ඒ නිසාම පාරමීගේ පැත්තෙන් හිටගෙන ඇයට තල්ලුවක් දෙන්න අංජනගේ මිතුරිය තීරණය කලා.

” මෙහෙමයි අංජන .. ඔහොම වෙනස් වෙන්න එක එක හේතු තියෙන්න පුලුවන් ..ඒත් පාරමී ගැන හිතලා බැලුවම මට හිතෙන්නේ මෙහෙම ..”

” මොකක්ද ?..”

” පහුගිය කාලේ පුරාවටම ඔයායි පාරමියි අතරේ මොනා හරි ආර්ගියුමන්ට් තිබ්බාද ?…”

” මොනා හරි ආර්ගියුමන්ට් නෙවෙයි … පාරමී කොයි වෙලෙත් එල්ලෙන්න බලාගෙනම උන්නේ… එයාට ස්මෝක් එක ටිකක් අමාරුයි … .ඉතින් ගේ ඇතුලේ ස්මෝක් කරන්න එපා කියලා හැමදාම රණ්ඩු … ඊළඟට ඔය මම සෙට් වෙන එක .. හැමදාම බීලා ඩ්‍රයිව් කරනවා කිය කියා උදේට පැටලෙනවා කොච්චර ශේප් එකේ  ඉන්න හැදුවත් මම .. . ආයේ, එයා එක්ක කතා කර කර ඉන්නේ නැතුව ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා කියලා වලි … කොයි වෙලෙත් කටු අත්ත වගේ …”

අංජන එක හුස්මට කියලා දැම්මා. මිතුරිය කල්පනාවෙන් අහගෙන උන්නා. මේ කියන විදියට නම් කාන්තා සමූහයේ ප්‍රශ්නය යොමු කරලා තිබුණේ පාරමීම බව මිතුරියට හිතෙනවා.

” හරි ඉතින් .. එහෙනම් සියලු දේ පැහැදිලියි …”

” මොනවාද පැහැදිලි …”

” පාරමී ඔයා ගැන තියෙන බැඳීම ලූස් කරගෙන යන ගමන් ඉන්නේ අංජන … එයා තේරුම් අරගන්න උත්සාහ කරනවා වෙන්න පුලුවන්, සම්බන්ධතාවයක් දිගට පවතින්න එක්කෙනෙක් විතරක් කැප කිරීම් කරන එක තේරුමක් නෑ කියලා… පාරමීට ස්මෝක් එක අප්සෙට් කියලා දන්නවා නම්, ඔයාට පුලුවන් ඒක එලියේ කරන්න… පාරමී ඔයාට බීලා ඩ්‍රයිව් කරන්න එපා කියන්නේ ඇයි කියලා නොතේරෙන්න තරම් බබෙක් නෙවෙයි ඔයා … අනෙක, ඔයා මෙහෙ ඇවිල්ලා, පාරේ තොටේ ඇවිදලා මිනිස්සු ගැටුනාට., පාරමී ඉන්නේම ගෙදර .. ඉතින් එයාට ඔයාගේ ඇසුර ඕනි .. එයා වර්ක් ෆ්‍රොම් හෝම් නේහ්?….”

අංජනට කාරණා එහෙන් මෙහෙන් වැටහෙන්න ගත්තා. මිතුරිය ඉවරයක් නැතුව පැහැදිලි කලා.

” ඔයා දිගින් දිගටම ඔයා ගැන විතරක්ම හිතනකොට , පාරමීටත්  ඔයා ගැනම හිත හිතා ඉන්නෙක තේරුමක් ණෑ හිතෙන්න ඇති .. මොකද ඔය දෙන්නම හිතන්නේ ඔයා  ගැන වුනාම පාරමී ගැන හිතන්න කෙනෙක් නෑනේ….”

ඉන් එහා කිසිම දෙයක් මිතුරියගේ පැහැදිලි කිරීම් ඔස්සේ වටහා ගන්න අංජනට අවශ්‍ය වුනේ නැහැ. විවාහ වෙලා ගෙවුණ මාස එකොලහ ඇතුලේ තමන් කොයි තරම් නම් ආත්මාර්තකාමී මිනිහෙක් විදියට වැඩ කරලාද  කියලා අංජනට වැටහෙනවා.

එදා හවස අංජන දුම් පානය කරන තැන වෙනස් කලා. ඒ වගේම දුම් පානය  සීමා කරගන්නත් තීරණය කලා. වෙනදාට සාලෙන් එකක් වෙන්න දුම පුරවන අංජන  මිදුලට වෙලා ඉන්න විදිය දැකලා පාරමීට දැනුනේ පුදුමයක්.

” සමහර දේවල් තියෙනවා, අපි කොයි තරම් යාප්පුවෙන් තේරුම් කරන්න හැදුවත් අනෙක් කෙනා ඒක තේරුම් ගන්නේ නෑ. ඒත් අපි ඒක තේරුම් කරන්න ගන්න වෙහෙස අත් හැරපු ගමන් එයාලා ඒක තේරුම් ගන්නවා..”

කාන්තා සමූහයක තමන් නිර්නාමිකව ලියපු පැනයේ එහෙම පිළිතුරකුත් තිබුන බව  පාරමීට මතක් වුනා.

එදා හවස අංජන පාරමීගෙන් ඇහුවා රෑට කන්න දෙන්නාම එකතු වෙලා උයමුද කියලා.

“දෙන්නෙක්ට කරනන් දෙයක් නෑ …  ඔයා එහෙනම් පොල් ටිකක් ගාලා දෙන්න …”

පොල් ගාලා ඉවර වෙලා, අංජන පාරමී එක්ක කතා කර කර උන්නා. පාරමීට අංජනගේ ඒ වෙනස විශ්වාස කරගන්න බැරි වුනත් අංජන යමක් වටහාගෙන  බව ඇයට වැටහුනා.

” මට සමාවෙන්න පාරමී .. මම ආත්මාර්තකාමී මිනිහෙක් …  සම්බන්ධතාවයක් ඇතුලේ දෙන්නාම සමාන ප්‍රමාන වලින් එකිනෙකා වෙනුවෙන් වෙහෙසෙන්න ඕනි නෑ තමා.. ඒත්,  දෙන්නාම තමන් වෙනුවෙන්  වෙහෙසෙන තරමින් බාගයක්වත් අනෙකා වෙනුවෙන් වෙහෙසෙන්න ඕනි කියලා මට තේරෙනවා…”

පාරමී අංජනගේ අත් දෙකෙන්ම අල්ලගෙන , ඇඟිලි තුඩු වලින් එල්ලිලා කම්මුල් ඉම්බා.

” සමහර ප්‍රශ්න වලට අප පසු කර යන්නට ඉඩ දිය යුතුය. එවිට ඒවා ඉබේම විසඳේ …”

ඇය දිනපොතේ එහෙම ලිව්වා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles