ජීවිතය කවියක් නොවේ – 20

0
3031

“ නිර්මිතා ඔයා මෙහේ..”

ධනංජය නැගී  සිටියේ දුරකථනය පසෙක තබමින්ය.

“ ඇයි ඔයා වෙන කෙනෙක් බලාපොරොත්තුවෙන්ද හිටියේ..”

ඇය නිවසට ඇතුළු වූයේම එසේ අසාගෙනය.අත වූ කෑම බඳුන් මේසය  මතින් තැබූ නිර්මිතා සුවපහසු සෝපාවට බර වූයේ දෑත් දෙපසට විහිදුවමින්ය.

“ අම්මෝ කවදාවත් මේකේ ඇතුලේ  නොදැණුන  නිදහසක් අදනම් දැනෙනවා.ඔයා කාලා නැතුව ඇතිනේ.මං කෑම ටිකක් හදන්න ආවා.”

“ අද ඔයා නිවාඩු දාපු බවක් මං දැනගෙන හිටියේ නෑනේ “

“ මට හිතුනා ඔයාව සප්‍රයිස් කරන්න.අනික අද ඔයා හරි දුකෙන්නේ ඇත්තේ..”

එවර නිර්මිතා පැවසූයේ සිය දෑස් හකුළුවමින්ය.

“ මං දුකින් ..ඒ මොකටද..”

“ ඇයි ඔයාගේ ප්‍රියාදර බිරිඳ කෙටි කාලයකට විදේශගත වෙලානේ..ඇයි අර උදේ පාන්දර ලස්සන කපල් ෆොටෝ  එකක් එහෙම දාලා කියලා තිබුණේ
ජීවිතය පුරාම මා දකින සොඳුරු මිනිසා නුඹය කියලා..”

“ පිස්සු ඒ ගෑනිට..ඔය ඔක්කොම කරන්නේ ලෝකෙට පේන්න.එයා හිතන් ඉන්නේ මැරි කරන්න ඉන්න ඔක්කොම කපල්ස් එයාගේ ෆෑන්ස්ල කියලා…”

“ පිස්සු.. අර ඊයේ පෙරේදා තිබුණු ටීවී ප්‍රෝග්‍රෑම් එකේදි එනවුන්සර් අහනවා පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න කවුද වැඩිපුර කැප කිරීම් කරන්න ඕන කියලා..එයා කියන්නේ එයාලු වැඩිපුර කැප වෙන්නේ..”

“ මඟුලක් කැප වෙනවා….”

“ මං ඔයාට කවන්නද..බඩගින්නෙනේ ඉන්නේ..”

“ බඩගිනියි  තමයි…බඩගින්නෙ නැති උනා ඔයා දැක්කට පස්සේ…”

“ එහෙනං වෙන ගින්නක් හැදෙන්න ඇත්තේ..කාත් එක්කද  මං එද්දි කෝල් එකක හිටියේ.”

“ කසුනයි අයියත් එක්ක..”

“ අර ගෑනි  ඔයාව බලාගන්න කියලා බාර දීලා ගියාද දන්නෙ නෑ.”

නිර්මිතා නැගී සිටියේ එසේ පවසමින්ය.වෙනදා සේම මුළුතැන්ගෙය පිළිවෙලය.නිවස තුළ වූයේත් නෙතු වශී කරවන තරම් පිළිවෙලකි.සිත එක තැනක නතර කරවන්නට සමත් ලස්සනකි.හසාරා තමාගේ රාජකාරී කටයුතුත් සමග මේ සියල්ල සමබර කර ගන්නේ කෙසේදැයි නිර්මිතා බොහෝ වර සිතුවාය.පිටරට ගමනට අවශ්‍ය ඇඳුම් පැළඳුම් හා ලිපි ලේඛන සකස් කිරීමේ කටයුතු නිසා මුළුතැන් ගෙයත්  නිවසත්  අවුල් ජාලයක් වී ඇතැයි ඈ සිතුවාය.එහෙත් සියල්ල වෙනදාටත් වඩා පිළිවලය.

නිර්මිතා ශීතකරණය ඇර බැලුවේ නිකමටය.වෙන වෙනම බඳුන්වල අසුරා නම් ගසා තිබූ දින කිහිපයක් ශීතකරණයේ තබා ආහාරයට ගත හැකි ආහාර වර්ග කිහිපයක්ම එහි විය.

“ අපරාදේ මහන්සි වෙලා  මම කෑම ගෙනාවේ. මේ ඔක්කොම කෑම ජාති හදලා ගිහින් තියෙන්නේ…”

“ අනේ මේ ඒ මඟුල් මට වැඩක් නෑ ඕක බෙදලා අරගෙන එන්නකෝ.”

නිර්මිතා ආපසු හැරුණේ ජයග්‍රාහී සිනහවක් මුවග තවරා ගෙනය.ඒ හා සමඟම  ඕ අම්මා ලවා සාදවාගෙන ආ කීරි සම්බා බතත්, කරවල බැදුමත් ,කිරට ඉවූ අල ව්‍යාංජනයත් බෝංචි හින්දුමත් පිඟානකට බෙදුවේ දෙදෙනෙකුට සෑහෙන්නටය.

“ ධනංජය….ඔයා අරක ගැන කතා කරද්දි හසාරට කිසිම සැකයක් හිතුනෙ නෑ නේද..”

ඔහු එසේ ඇසුවේ හොඳින් ඇනූ  බත් කටක් ඔහුගේ මුවෙහි තබමින්ය.

“ නෑ….”

“ වැලි්‍යුවේෂන්  එක අනුව කෝටි එකහමාරක් විතර ගන්න පුළුවන්.දවස් තුනකින් වැඩේ කරගන්න පුළුවන්.”

“ මම බයේ හිටියේ  පහුගිය දවස්වල හසාරට බෑන්ක්  එකෙන් කෝල් කරයි කියලා.”

“ නෑ එයාගේ නමට මුකුත් ලීගලි ඩොකියුමන්ට්ස්  නැහැනේ..”

“ වාහනේ….”

“ මං සේල් එකක් එක්ක කතා කලා.ලක්ෂ හැත්තෑවකට දෙන්න පුළුවන්…”

“ ආ…ඒක හොඳයි..චානකට කතා කළාද…..”

“ ඔව් ජොබ් එක තමයි ප්‍රශ්නේ. ඌත්  ඇහෙන්න ට්‍රයි කරනවා.”

“ හොයාගන්න බැරි වෙන එකක් නෑ කිව්වා. එහෙම වුණොත් මට මොනවාම හරි කරන්න පුළුවන්නේ.ඒ ගැන හිතන්න එපා.පහුවෙලා හරි අපි දෙන්නම ගත්තේ හොඳම තීරණයක් කියලා විතරක් හිතන්න.”

“ සල්ලි ටිකක් වැඩිපුර ගෙනියන්න වෙයි.”

“ අනිවාර්යයෙන්ම.. මොකද අපිට මේ ගෙනියන සල්ලි වලින් කොච්චර කාලයක් ජීවත් වෙන්න වෙයිද කියන්න දන්නෙ නැහැනේ.”

“ ඔයාගේ වැඩේ කොහොමද…”

“ එයා සල්ලි ලෑස්ති කරගෙන අනිද්දා එන්නම් කිව්වා.”

“ ඒත් නිර්මි…අම්මයි නංගියි…”

“ මං එයාලට පොඩි ගෙයක් බැලුවා.මේ සල්ලි වලින් අවුරුද්දක ගෙවල් කුලී එකපාර ගෙවලා යනවා.ඒ අවුරුද්ද ඇතුළේ අපිට එහෙ සෙට්ල් වෙන්න පුළුවන්නේ ධනංජය.ඊට පස්සේ රෙන්ට්  එක එවන්න  පුළුවන්..ටිකක් කල් ගියහම එයාලට පොඩි ගෙයක් අරන් දෙමු..එතනත් කෝටියක් තියනවනේ.”

ධනංජය හිස වැනුවේ නිර්මිතාට එකඟවය.මේ තීරණය තමාගේ ජීවිතයේ අපහසුවෙන්ම ගත් තීරණය වුවත් එය නිවැරදිම තීරණය බව විශ්වාසය.තව දෙසතියකික් එනම් හසාරා පැමිණෙන්නට දින තුනකට පෙර ධනංජයත් නිර්මිතාක් ඕස්ට්‍රේලියාව  වෙත පිටත්ව යාමට නියමිතය.

“ මෙච්චර දෙයක් හසාරට හොර රහසේ අපි කලාද කියලා හිතෙනවා නේද ධනංජය…මට මැවිලා පේනවා. මේවා දැනගත්තට පස්සේ ගෑණි පිස්සු වැටෙයි.ඔයාව  නැති කරගත්ත එකනම් එයාගේ ජීවිතේ කරපු ලොකුම මෝඩකම කියලා හිතෙයි.අනිවාර්‍යයෙන්ම ලොකු කාලයක් යන්න කලින් එයා ඔය ඔෆිස් එකේම කාත් එක්ක හරි සෙට්ල් වෙනවා…ඒක මට ෂුවර්..”

ඇය යළිත් පැවසූයේ තවත් බත් කටක් ඔහු වෙත දිගු කරමින්ය.

“ මට කව කව ඉන්නේ ඔයා කන්නේ නැද්ද..”

“ හිත පිරිලනේ. ඉතින් මගේ බඩත් පිරිලා.තව ටිකක් කන්න..දැන් අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා.මට හසාරා ගැන  පව් කියලත් හිතෙනවා.මං කවදාවත් එයාට මෙහෙම වරදක් කරන්න හිතුවේ නෑ.”

“ ඒක වරදක් නෙමෙයි..”

“ මගේ හිත සමහර වෙලාවට මට දොස් කියනවා ධනංජය ..මමත් හිතනවා ඒක වරදක් නෙමෙයි කියලා.ඔයාගේ හිත හිස් වෙලා තිබුණු වෙලාවකයි මම ඔය හිතට රිංගුවේ.එහෙම නැතුව හසාරයි ඔයයි හොඳින් ඉන්න වෙලාවක මං ඔයාලගේ පවුල කැඩුවෙ නෑ.ඇත්තටම ඔයාලව එකතු කරන්න මං ට්‍රයි කරානේ..හසාරාට එයා මේ කරන දේවල්වල බරපතලකම අවබෝධ කරවන්නනත් මං සෑහෙන්න ට්‍රයි කළා..”

“ පිස්සුද අනේ.. මොනවද හිතන්නේ..දැන් ඒ හැම දෙයක්ම වෙලා ඉවරයි.”

“ ඒ උනාට මමත් මගේ හිත පිරිසිදු කරගන්න ඕනනේ.අපි දෙන්න අතරේ නොදැනීම තමයි ආදරයක් ඇති වුණේ.
එයාාගේ  තිබුණු වැරදි නිසා තමයි අපි දෙන්න මේ තරම් ලං වුණේ.”

“ දැන් ඒවා ගැන කතා කරල වැඩක් නෑ.මේ දඬුවම එයා විඳින්න ඕනේ.”

“ ඔයා තමයි එයාට හැමදේම ළං කරල දුන්නෙ.එහෙම එකේ එයාට තිබුණා මීට වඩා ඔයා ගැන බලන්න.ඔයා ගෑණියෙක්ට මොන තරම් වටින පිරිමියෙක්ද කියලා එයාට අවබෝධ කරගන්න බැරි උනා..”

“ එයාට ඒ ලං කරලා දීපු හැමදේම නැති වෙන ඉක්මන බලන්නකෝ.”

“ හසාරා මට හොඳ යාළුවෙක් වුණා.ඇත්තටම කැම්පස් එකේ ඉන්න කාලේ එයා මට ගොඩක් උදව් කළා.මං ගැන බැලුවා.මගේ ජීවිතේ මට වෙච්ච දේවල් වලදී ඒ හැම නරක තැනකදිම එයා මමත් එක්ක හිටියා.හිටිය නෙමෙයි . ඉන්නවා කියලා පෙන්නුවා.ඒ වුනාට කවදාවත් මං මේ ඉන්න තැනින් උඩට ගන්න එයාට වුවමනාවක් තිබුණේ නෑ.එයාට හැමතිස්සෙම තිබුණේ තනි ගමනක්.තනියෙන් යන ගමනක්..එයා ඒ තැන්වලට ගිහිල්ලා ආපස්සට හැරිලා අපිට හිනා වෙන එක තමයි කලේ..එයාගේ ජීවිතේ තැනක් තිබුනේ එයාට විතරයි..මුලින්ම එයා  මමත් එක්ක ලන්ච් ගන්න එක නතර කළා.ඊට පස්සේ මට කිව්වා වැඩිය එයාගේ  කැබින් එකට එන්න එපා කියලා..ඊට පස්සේ දවසක් මගෙන් අහනවා මට ප්‍රමෝෂන් එකක් ගැන ලොක්කා එක්ක කතා කරන්නම් කියලා..ඒ අතරේ මට සුදුසුකම් නෑ කියන එක ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරනවා…”

“ ඒ ගෑණිට  පිස්සු…..”

“ අපි දෙන්නා එක කාමරේ එක ඇඳ ශෙයා කරගෙන එක කොෆී එක ශෙයා කරගෙන බීලා හිටිය කියන එක මට මතක තිබුණට එයාට හරි ඉක්මනට අමතක උනා.මගේ හිතත් ගොඩක් රිදුන ධනංජය..ඇත්තටම එයා මාව ගොඩක් රිද්දුවා..”

“ මං කිව්වනේ දැන් පරණ දේවල් ගැන හිතන්න එපා කියලා..මට තව කන්න ඕනේ..”

නිර්මිතා නැගී සිටියේ ඔහු එසේ පැවසුවාට පසුවය.ඇගේ දෑස් වලින් බේරී වැටුණු කඳුළු බිඳුවක් සුදු පැහැ ටයිල් පොළව මත බිඳී විසිර යන්නට විය.තවත් බත් කටවල් කිහිපයක් ඔහුට කැවූ ඇය කෑම බඳුන් පිරිසිදු කර දැමුවාය.ශීතකරණය තුළ වූ හසාරා ධනංජය වෙනුවෙන් සූදානම් කර තිබූ කෑම බඳුන් කිහිපයත් කුණු කූඩයට දැමුවාය.ඉතිරි දින කිහිපයේදීම ඇය කොහොමටත් ඔහු සමග කාලය ගත කරන්නට සිතා සිටියාය.තමා වෙනත් රටකට යන බව අම්මාත් සොහොයුරියත් දැන සිටියද ඒ ධනංජය සමඟ බව ඔවුන් නොදනී.දික්කසාදයට අවශ්‍ය සියලු ලියකියවිලි සකස්කර තබා නීතිඥයා වෙත භාරදී  ගියත් දික්කසාදය ලැබීමට මාස කිහිපයක්ගත වේ.ධනංජය විශ්වාසයෙන්ම පවසන්නේ හසාරා කිසිඳු බලපෑමකින් තොරව ඊට එකඟ වන බවය.වසර දෙකක් පමණ ප්‍රංශයේ සිට යළි ලංකාවට පැමිණ කසාදය ලියාපදිංචි කරන්නට දෙදෙනා කතිකා කර ගත්තේ ඊයේ පෙරේදාය.

ඔවුන්ට මෙම ගමන සූදානම් කරන චානක  නැමැති තැනැත්තා සමග ධනංජය දුරකථන ඇමතුමක සිටියදී නිර්මිතා  උඩුමහලට නැගුනේ නිහඬවය.මේ විසල් නිවස හසාරාගේ  ඕනෑ එපා කම් වලට සරිලන පරිද්දෙන් නිමවූ එකක් බව ඈ දනී.මිතුරියක ලෙස මෙම නිවසට පැමිණි වාර ගණන අනන්තය.එනිසාම මෙම නිවස තුළ අස්සක් මුල්ලක් නෑර ඇවිද යාම ඇයට අමුත්තක් වූයේ නැත.තමාගේ තැන සිට බලද්දී හසාරා කොතරම් සැප සම්පත් භුක්තිවිඳි  අයෙක්දැයි නිර්මිතාට  සිතුනේ ඔවුන්ගේ නිදන  කාමරයේ විසල් යුගල යහනාව මත වාඩිවී සිටියදීය.මේ කාමරය තුල ඔවුන් ආදරයෙන් වෙලී සිටින්නට ඇතැයි සිතත්දී පවා නිර්මිතා ඊර්ෂ්‍යාවෙන් වෙවුලා ගියාය.පිටරටක සිටින ඇගේ සොහොයුරියත් විශ්‍රාමික රජයේ නිලධාරින් වූ මවත් පියාත් මෙම නිවස සාදද්දී මුදලින් හසාරාට උදව් වූ බව නිර්මිතා දනී.අදටත් ඔවුන් හසාරාට වෙන්කර ඇති දේපළ වලින් ආදායමක් ඇයට ලැබේ.

එකම විශ්ව විද්‍යාලයක එකම කාමරයක සිට එකම අයුරේ උපාධියක් ලැබූ ඇය මේ සා දුර යන්නටත් තමන්ගේ ජීවිතය එක තැනක නතර වන්නටත් හේතුව කුමක්දැයි නිර්මිතා සිතුවේ තෙවන මහළට යන පඩි පෙළ නගිනා ගමන්ය.එය වාසනාව යැයි සිතා සිත හදා ගත හැකි කමක් ඇයට වූයේ නැත.

තෙවන මහලේ විසල් වූ බැල්කනියට පසුපස ඇති වෙල්යාය හොඳින් පෙනේ. මෙම නිවසේ පදිංචි වූ මුල් කාලයේ බොහෝ නිවාඩු දිනවල ඔවුන් දෙදෙනා සමග මෙම සදැල්ලට වී කෙටි ආහාරයක් රස විඳිමින් කෝපි පානය කළ අයුරු නිර්මිතාට සිහි වූයේත් ඒ හදිසියේය.

“ මං වැරදි නෑ හසාරා …මං නැති උනත් ධනංජයගේ හිතට අනිවාර්යයෙන් වෙන කවුරුහරි ඇතුල් වෙනවා.එයා ඒ තරම් හිස් තැනක් හිතේ තියාගෙන හිටියේ.මං ඔයාගේ තැන ගත්තේ නෑ.එයාගේ හිස්තැන මගේ කරගත්ත විතරයි…”

අවසන ඕ සිතුවේ සදැල්ල වටා ඉදිකර තිබූ සුදු යකට වැටෙන් පහතට එබෙමින්ය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here