මතක දිගහැරුම 7 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හත්වන දිගහැරුම ,

ජපානයේ ගමනට ගමන් වියදම් සඳහා තාත්තා විසින් වියදම් දැරිය යුතුව තිබූ නමුත් සියලුම අධ්‍යාපන වියදම් මා හට නොමිලේම ලැබෙන්නට නියමිතව තිබුණි . ගුවන් ටිකට් පත වෙන් කර ගැනීම සඳහා මුදල් වියදම් කළ තාත්තා මා හට අනෙකුත් වියදම් සඳහා ද මුදල් දුන්නේය. අම්මා තාත්තා සහ නංගී නොමැතිව යන පලවන ගමන නිසාත් , ඔවුන් නොමැතිව කාලයක් තනිවම සිටීමට සිදුවන නිසාත් අප සියලු දෙනාගේම සිත් වල තිබුනේ අතිශය දුකකි .ගුවන් ගමන පුරාවටම මා හඬමින් සිටි අතර නිතරම මා සමඟ සිටි අම්මා තාත්තා සහ නංගිව සිහිපත් වී හැඬුම් ඒම මට නතර කරගත නොහැකි විය .

ජපානයට ගිය විගසම අපට කඳවුරක් පැවැත්වුණි. වර්තමානයේ දී මෙන් එකල දුරකථන භාවිතය බහුල නොවූ නිසා නිවසට කතා කිරීමට එක අවස්ථාවක් කඳවුරෙන් අපට හිමි විය .එවිට මා ,තාත්තා රැකියාව කළ සිනමා ශාලාවේ දුරකථනයට අමතා මා ජපානයට පරිස්සමෙන් ආ වග කීවෙමි .

Orientation camp නම් වූ එම කඳවුරෙහි මූලික අරමුණ වූයේ එම රටේ සංස්කෘතියට, සිරිත් විරිත් වලට , කෑම බීම වලට සහ භාෂාවට හුරු වන ආකාරය අපට ඉගැන්වීම සහ එකිනෙකා හඳුනා ගැනීමට අපිට අවස්ථාව ලබාදීමයි.එම කඳවුරෙහි ළමුන් හයසිය ගණනක් සිටි අතර ඔවුන් විවිධ රටවල් වල අය වූහ.දින දහයක් පුරාවට පැවැත්වුන එම කදවුරේ ගත කිරිම ද අපට එක්තරා ආකාරයක විනෝදයක් විය .

සියලු සැප පහසුකම් වලින් යුක්ත ශාලාවක විවිධ රටවල් වල ළමුන් සමඟ දින ගත කිරීමට මට හැකි විය . එමෙන්ම විවිධ රටවල් වල මිතුරන්ගෙන් එකිනෙකට වෙනස් වූ ඔවුන්ගේ සංස්කෘතින් පිළිබඳව සහ සිරිත් විරිත් පිළිබඳව දැනගැනීමට මට හැකි වූ අතර එය ද මට ඉතා හොඳ අත්දැකීමක් විය.

ජපානයේ කෑම බීම වලට හුරු වීම මුල් දිනවල මට ඉතා අපහසු විය . විශේෂයෙන්ම sticky rice සහ අමු මාලු ආහාරයට ගැනීම අතිශය අසීරුය. අනෙක් කරුණ නම් එහිදී අපට සුපුරුදු පරිදි අතින් කෑම හෝ හැදි ගෑරුප්පු භාවිතා කිරීම තහනම් වූ අතර chopsticks වලට පුරුදු වීම අනිවාර්ය විය . Chopsticks ආධරයෙන් බත් කෑම ලෙහෙසි පහසු දෙයක් නොවන නිසා එයට හුරු වීමට ටික දිනක් ගත වුවත් අවසානයේ දී කෙසේ හෝ එය පහසු වන තරමටම මම එයට හුරු වීමි.තවද ,එහිදී අපට කාලසටහනකට වැඩ කිරීමටද සිදුවිය .

ජපන් භාෂාව ඉංග්‍රීසි භාෂාවට හැරවූ පොත් රැසක් ඔවුන් අපට ලබා දුන් අතර ඒවායේ ජපන් අකුරු සහ එදිනෙදා අපට කතා කිරීමට අවශ්‍ය සරල වාක්‍ය, එනම් ” මට බඩගිනියි” , ” මට වතුර තිබහයි ” ,” අපි දැන් යමු ” වැනි වාක්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු විය . එම සෑම පොතක් ම අපට ඉතා ප්‍රයෝජනවත් වූ අතර එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට එම පොත් භාවිතා කිරීමට අප හුරු උනෙමු .

ජපානයේ සංස්කෘතිය ,සිරිත් විරිත් සහ ජීවන රටාව පිළිබඳව විස්තර ඇතුළත් පොත් ද ඔවුන් අපට ලබාදුන්නේ ජපානයේ මිනිසුන් පිළිබඳව අපට තවදුරටත් හැදෑරීම සඳහා ය.

අපට ලබාදුන් එම පොත් නිසා එකිනෙකා සමග කතා කිරීමට අප ටිකෙන් ටික හුරු වූ අතර එම පොත්වල අඩංගු වාක්‍ය එකිනෙකාගෙන් අසමින් , කථා කරමින් සහ පාඩම් කරමින් අප එම දිනයන් ගත කලෙමු. රාත්‍රී කාලයේදී හැමදෙනාම කාමරවලට වී පාඩම් කිරීමේ කටයුතු වල නියැලුණු අතර එම සෑම මොහොතක්ම අපට විනෝදයක් ගෙන දෙන්නක් විය .ඒ අතර ජපන් තරුණ තරුණියන් රාශියක් අප සමඟම සිටියේ අපිට සහය වීමට සහ අපව බලා කියා ගැනීමටය.

මමද ඇතුළුව බොහෝ ළමුන් බොහෝ රාත්‍රීන් වල හිටි හැටියේ හඬන්නට පටන් ගන්නේ දෙමව්පියන් සිහි වීමෙනි . මන්ද ඒ බොහෝ දෙනා ප්‍රථම වරට සිය නිවසින් ඈත්වී පැමිණි අය ය. බොහොමයක් රාත්‍රීන් වලදි මට, අම්මාට සහ තාත්තාට තුරුළුව නින්දට ගිය අයුරු සිහිපත් වූ අතර එවන් අවස්ථාවලදී මට මගේ කඳුළු නවතා ගත නොහැකි විය . අලුත් මිතුරු මිතුරියන් සමඟ කොතරම් සතුටින් කාලය ගත කළ ද මට මගේ නිවස මතක් නොවූ දවසක් සහ මොහොතක් නැති තරම් ය.

දින 10කින් එම කඳවුරේ කටයුතු අවසන් වූ අතර අප සමඟ සිටි සෑම දෙනා ම එකිනෙකාට සමු දෙන්නට විය . මා බාර ගැනීමට නියමිතව සිටි පවුල පදිංචිව සිටියේ හිරෝෂිමා නගරයේය. කඳවුරේදී ජපන් ජාතික අයෙක් වෙත මා භාරව සිටි අතර මාව එම පවුලට භාරදීම සඳහා ඔහු මා සමග පැමිණියේය. කදවුර පැවැත්වුණු ටෝකියෝ නගරයේ සිට හිරෝෂිමා නගරයට තරමක දුරක් වූ අතර bullet train එකකට නැගුණු අපට හිරෝෂිමාවට යාමට පැය පහක පමණ කාලයක් ගත විය.

හිරෝෂිමාවේ දුම්රිය නැවතුම්පළට මා බාර ගැනීමට නියමිතව සිටි පවුලේ අම්මා සහ තාත්තා පැමිණ සිටියහ.ඔවුන්ටද දියණියක් සිටි අතර ඇය ඒ වන විට වන විට ඇමරිකාවේ අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් සිටියාය. ජපන් අම්මා සහ තාත්තා දෙදෙනාම එරට මහාචාර්යවරුන් වූ අතර ජපානයට පැමිණීමට පෙර මා ඔවුන්ව ඡායාරූප වලින් දැක තිබූ හෙයින් දුම්රියපොළේදී ඔවුන් දුටු විගසම මා ඔවුන්ව හඳුනා ගතිමි . ඔවුන් වෙත මා බාරදුන් පසුව කඳවුරේදී මා භාරව සිටි කෙනා ආපසු පිටත්ව ගියේය.

ජපන් අම්මා සහ තාත්තා අතිශය කරුණාවන්ත වූ අතර ඔවුන් මා පිළිගත්තේ මා අතට මල් පොකුරකුත් ලබාදී ඉතාම ආදරයෙනි. අප රටේ සහ ජපානයේ සංස්කෘතිය බොහෝ සමාන වූ අතර ජපන් අම්මා සහ තාත්තා ඇත්ත වශයෙන්ම මගෙම දෙමව්පියන් සේ මට හැඟුණි . ඔවුන් සංසාරයේ කොතනකදි හෝ මගේම දෙමව්පියන් වී ඉන්නට ඇති බව මට ඒ මොහොතෙහි සිතුනි .

දවල් කෑම සඳහා ඔවුන් දෙදෙනා මා කැටුව හෝටලයකට ගිය අතර අප හට සන්නිවේදනය කිරීම තරමක් අපහසු විය. ශබ්දකෝෂය පරීක්ෂා කරමින් ඉංග්‍රිසි වචන භාවිතයෙන්ද අතින් සංඥා කරමින් ද අප එකිනෙකාගෙ අදහස් හුවමාරු කර ගැනීමේ අසීරු උත්සහයේ යෙදුනි. මා කෙසේ හෝ හැකි ඉක්මනින් ජපන් භාෂාව කතා කිරීමට ඉගෙන ගන්නා බව තදින්ම සිතාගත්තේ ඒ මොහොතේදීය. මා නිවසින් පිට සිටිනා බව සහ දෙමව්පියන් ගෙන් ඈත් ව සිටින බව ජපන් අම්මා සහ තාත්තා මට කිසිම මොහොතක දැනෙන්නට ඉඩ තැබුවේ නැති අතර අප මුණ ගැසුණු පළමු මොහොතේ සිටම ඔවුන් මට ඔවුන්ගේම දියණියකට මෙන් සැලකූ බව මා කිව යුතුමය .

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles