මතක දිගහැරුම 4 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හතරවන දිගහැරුම ,

අපේ කුඩා කාලය අර්ථවත් එකක් කරන්නට අම්මා සහ තාත්තා ගත් වෙහෙස අති මහත්ය.යහපත් පුරුදු අපට පුරුදු කරන තාත්තා පොත් කියවීමටද අපව යොමු කලේ එමගින් පවා අපේ ජිවීත වලට එකතු කරගත හැකි බොහෝ වටිනා දේවල් තිබෙන නිසාය.

වැටුප් ලැබෙන දිනයට පසුව දිනක පිටකොටුවේ පිහිටි ගුණසේන පොත් හලට නංගීවත් මාවත් කැටුව ‍යන තාත්තා අපට කියවීමට සුදුසු පොත් මොනවාදැයි සොයා ඒවා මිලට ගෙන දෙයි.ඇතැම් දිනවල වට්ටම් සහිතව පොත් විකුණන්නට ඇති දිනවලදි අප පෙට්ටියක දමාගෙන පොත් රැසක් රැගෙන එනවා මට මතකය.එලෙස තාත්තා මා කුඩා කල මට අරන් දුන් පොත් අදටත් මා සතුව ඇත.

ඉගෙන ගැනීම සඳහා අපට ගෙදරින් ලැබුන සහයෝගය ගැන මා සිහිපත් කල යුතුමය.අප අසල්වැසි නිවෙස් වල එකම වයසේ මිතුරියන් සහ මිතුරන් සමඟ එකට එක්ව පාඩම් කරන්නට පුරුදු වී සිටි අතර සමහර දිනවල ඔවුන් පාඩම් කිරීම සඳහා අපේ නිවසටද එයි.අපේ අම්මා විසින් ළමුන් සියලු දෙනාටම තේ සහ කෝපිද ,බනිස් වර්ග ,පෑන් කේක් සහ බිස්කට් වැනි විවිධ කෑම වර්ග වලින්ද සංග්‍රහ කලාය.සවස සිට රාත්‍රිය වනතුරුම කල එම පාඩම් කිරීම අප සියලු දෙනාම ඉතා ආසාවෙන් කලා මෙන්ම එය අතිශය විනෝදජනක හෝරාවන් කීපයක්ද විය . තවත් දිනකදි අප සියලු දෙනා අසල්වැසි ” ශ්‍රියා ආන්ටි ” ගේ නිවෙසට යන අතර එහිදීද අප සියලු දෙනා අධ්‍යාපන කටයුතු කලේ ඉතා උනන්දුවෙන් ය.ඇතැම් විට අපට වඩා වැඩිමහල් අක්කලා සහ අයියලා අපට පාඩම් කියාදෙමින් අපට සහයෝගය දෙන්නටද අමතක කලේ නැත.

වර්තමානයේ මෙන් එකල ළමුන් අතර තරඟයක් තිබුනේ නැති අතර අනෙකාට වඩා වැඩියෙන් ,විභාග වලට ලකුණු ගත යුතු යැයි හැඟීමක් අපට තිබුනේද නැත.දිනක් හෝ පාසල් යන්නට නොහැකි උනොත් සටහන් ඉල්ලා ගැනීමට කෙනෙක් නොමැති සමාජයක සහ බොහො ළමුන් විභාග වලදි ප්‍රශ්න පත්තරය හංගාගෙන ලියන සමාජයක ,අප දෙමව්පියන් අපට ඉගැන්වූයේ විභාග සමත් වන ප්‍රමාණයට පමණක් ලකුණු ලබා ගන්නටය.ඔවුන් කිසිවිටෙක අනෙකා පරාද කරමින් ඉදිරියට යන්නට කිව්වේ වත් , අනෙක් ළමුන් හා අපව සැසඳුවේ වත් නැත.වර්තමාන සමාජයේ බොහො දෙමව්පියන් දරුවන් අතර තරඟයක් ඇති කිරීමෙන් ඔවුන් තුළ ඇති යහපත් ගුණාංග යටපත් වීමට ඉඩ සලස්වන නමුත් එකල අපේ දෙමව්පියන් එසේ වීමට කිසිම විටක ඉඩ තැබුවේ නැත.

අසල්වැසි ළමුන් සියලු දෙනාම විවිධ පාසල් වල ඉගෙනුම ලැබූවත් අප කිසිවෙකුත් කිසිවිටක ආත්මාර්ථකාමි හැඟීම් සහිත නොවූයෙමු. විභාග ලංවූ විට එකිනෙකා සමඟ ප්‍රශ්න පත්‍ර හුවමාරු කර ගැනීම, සටහන් හුවමාරු කරගනිමින් එකිනෙකාට උදව් කිරීම අප අතර නිතරම සිදු විය.ශිෂ්‍යත්ව පන්තියකට සහ 10 වසරින් පසුව අමතර පන්ති කිහිපයකට පමණක් මා සහභාගී වූ අතර ඊට අමතරව වෙනත් කිසිම පන්තියකට සහභාහී නොවූ මා සියලුම ඉගෙනුම් කටයුතු කලේ අසල්වැසි ළමුන් හා එක්ව සාමූහික හැඟීමෙන් ය.

තවත් දිනවල නිවෙස් වල සිට පාඩම් නොකර අප සියලු දෙනාම එක්ව පුස්තකාලයට ගොස් පාඩම් කල අවස්ථාද ඇත.සිකුරාදා දිනවල උදෑසන පුස්තකාලයට යන අප සවස් වනතුරු පාඩම් කටයුතු වල නිරත වූ අතර එකල මා British Council ආයතනයේද ඉගෙනුම ලැබූ නිසා සමහර දිනවල එහි සිටද මා පාඩම් කටයුතු කලා මතකය.

පාසල් ඇරෙන වෙලාවට බොහො දිනවල මාවත් නංගීවත් රැගෙන යාමට අම්මා සහ තාත්තා පැමිණෙන අතර අනෙක් දිනවලදි අප ආපසු ගෙදර ආවේ පාසල අසලට පැමිණෙන පෞද්ගලික බස් රථයකය.එහි රියදුරු සහ කොන්දොස්තරවරයා තාත්තාව සහ අපව හොඳින් හඳුනන අතර ඔවුන් අපව තාත්තා රැකියාව කරන සිනමා ශාලාව ඉදිරිපසින් ඇරලවා යයි.නංගී කුඩා නිසා ඇය එහෙමම නිවසෙට යන්නීය.සිනමා ශාලාව තුලට යන මා එහි ප්‍රධාන දොරටුව අසලට ගොස් එම දොර ලඟ සිට චිත්‍රපට බැලීම පුරුද්දක් කරගෙන සිටියෙමි.මා එලෙස තුශාරා , අල්ලපු ගෙදර ,හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපට නැරඹුවා මතකය.අදටත් එම චිත්‍රපට රූපවාහිනියේ විකාශය වනවා නම් මා ඒවා නරඹන්නේ ඉතා ආසාවෙනි.ඇතැම් චිත්‍රපට මා විශාල වාර ගණනාවක්ම නරඹා ඇති අතර 70 , 80 දශකයේ චිත්‍රපට ගීත වලට සවන් දිමටද මා අතිශය ප්‍රිය කරමි.කෙසේ හෝ පාසල් ගොස් ගෙදර නොපැමිණි මා සොයාගෙන සිනමා ශාලාවට පැමිණෙන අම්මා , මා නිවසට කැටුව යනතුරුම එසේ චිත්‍රපට නැරඹීමට මම හුරු වී සිටියෙමි.

විජය කුමාරතුංග ,මාලිනි ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය , සබීතා පෙරේරා මා ඉතාම ප්‍රිය කල රංගන ශිල්පීන් විය.වර්තමානයේ මාලිනි ෆොන්සේකා මහත්මිය රවින්ද්‍ර රන්දෙනිය මහතා ඇතුලු එවකට මා ආශා කල බොහෝ චරිත මාගේ හිතවතුන් වීම සතුටකි.සබීතා පෙරේරා යනු අද මාගේ හොදම මිතුරියකි.

බොහෝ චිත්‍රපට වල මංගල දර්ශනය ප්‍රචාරය වනවිට එහි රංගන ශිල්පීන් , අධ්‍යක්ෂකවරු ඇතුලු පිරිස සිනමා ශාලාවට පැමිණෙන අතර අති දක්ශ රංගන ශිල්පියෙකු වන රෝයි ද සිල්වාද එලෙස සිනමා ශාලාවට නිතරම පැමිණෙන අයෙකි. තාත්තාගෙ හොඳ මිතුරෙක්ද වූ ඔහු පසුකාලීනව, නිතරම වාගේ චිත්‍රපට සඳහා මා යොමු කරන්නැයි තාත්තාට ඇවිටිලි කල බව තාත්තා මට කියා ඇත. තවද සුනිල් සෝම පීරිස්, ඊබට් සිල්වා යන අයද එලෙස මා ගැන විමසු බව තාත්තා මට කියනු මතකය.නමුත් තාත්තා කිසිදිනක එයට එකඟ නොවූ අතර එයට හේතුව අදටත් මා දන්නෙ නැත.මා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා දක්ශ කෙනෙක් වූ බැවින් ඇතැම්විට මට වැඩිදුර අධ්‍යාපනය හොඳින් ලබා දීම තාත්තාගේ සිහිනය වූවා විය හැකිය.

මිනිසුන් ටෙලිවිෂන් භාවිතයට පටන් ගත් අලුත රසවත් සිදුවීම් මගේ මතකයේ ඇත.එකල හැම නිවසකම පාහේ රූපවාහිනියක් නොතිබුනු නිසා චාල්ස් කුමාරයාගේ සහ ඩයනා කුමරියගේ රාජකීය විවාහ මංගල උත්සවය නැරඹීමට තාත්තා අඟල් 24 ක කලු සුදු රූපවාහිනියක් අප නිවසට රැගෙන ආවේය.ඉන්පසුව අසල්වැසි නිවෙස් වල බොහෝ දෙනා රාජකීය විවාහ මංගල උත්සවය නැරඹීම සඳහාම අප නිවස වෙත පැමිණියහ.

කුඩා කල තාත්තා අපව ඔහුගේ ගමේ මහ ගෙදරට රැගෙන යන්නටද අමතක කලේ නැත. ගමේ නිවසේදි අපට උණු උණු ආස්මී කන්නට අවස්ථාව ලැබෙන අතර මා අදටත් ආස්මි කෑමට දැඩි ලෙස ප්‍රිය කරමි.

ගමේ ගිය විට තාත්තා එහි නොයෙක් තැන්වල ඇවිදින්නටද අපව කැටුව ගියේය.රබර් වතු මැදින් ගල් උඩින් නගිමින් අප යන අතර ඇතැම් තැන් වල තාත්තාගේ පවුලේ අයගේ සොහොන් ඉදිකර තිබුනි.හොල්මන් වලට බය නංගීත් මාත් එම සොහොන් අසලින් යන්නේ තාත්තාගේ අතේ එල්ලී දෑස් ද තදින් වසාගෙනය.අප දෙදෙනාගේ ආදරණීය ආරක්ශකයා වූ තාත්තාගෙන් ලද රැකවරණය ගැන කිසිවිටෙකත් කියා අවසන් කල නොහැක.දියණියකගේ ජීවිතයේ සුවීශේෂීම පිරිමි චරිතය වන තාත්තා මගේ ජිවීතයේද මා ආරක්ශා කල ශක්තිමත් පවුරක් ලෙස මට අදටත් හැඟේ.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles