මතක දිගහැරුම 16 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දහසයවන දිගහැරුම ,

සෑම ගුවන්යානයකම හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා mega phone ඇති අතර හදිසි ගොඩබැස්සවීමකදී එමගින් උපකාර ලබාගත හැකිය .මුහුද මත ගොඩබැස්සවීමකදී භාවිතයට ගැනීම සඳහා ජීවිතාරක්ෂක බෝට්ටුවේ flares ඇති අතර ඒවායෙන් නිකුත් වන විවිධ වර්ණ සහිත දුම් වලින් ද සහයට පැමිණෙන හෙලිකොප්ටර සඳහා සංඥා ලබාදිය හැකිය. එවැනි අනතුරු සහිත අවස්ථාවකදී ගුවන් සේවිකාවන් සියලු දෙනාම ඉතාම වගකීමෙන්, ඉවසීමෙන් මෙන්ම කල්පනාකාරීව ක්‍රියා කිරීමට වගබලා ගත යුතුය

හදිසි අවස්ථාවකදී ළඟම ඇති ගුවන්තොටුපලක හෝ කාන්තාරයක යානය ගොඩ බස වන්නේ නම් එහිදී ද ගුවන් සේවිකාවන් විසින් හැම ගුවන් මගියෙකුගේම ජීවිත වලට වගකිව යුතුය.එවන් අවස්ථාවලදී ද කලින් සඳහන් කළ හුලං පිරෙන ජීවිතාරක්ෂක බෝට්ටුව භාවිතා කරනු ලබනවා. ඒ අවස්ථාවේදී එය භාවිත වන්නේ ලිස්සන බෝට්ටුවක් ආකාරයෙනි .එය ගුවන් යානයේ දොරටුවේ සිට පහලට පොළොව තෙක් දිගහැරෙන අතර ගුවන් මගියෙකු එයට ගොඩ වන විට සිටිය යුතු ඉරියව්වක් ඇත. එම ඉරියව්වෙන් බෝට්ටුවට ගොඩ වන මගියාව තප්පර කිහිපයක් ඇතුලත පහළට රූටා එයි . වරකට එක ගුවන් මගියෙකු බැගින් ගුවන් සේවිකාව විසින් එසේ පහලට තල්ලු කරන අතර ඒ ආකාරයට හැකි තරම් ඉක්මණින් සියලුම ගුවන් මඟින්ව යානයෙන් පිටතට යැවිය යුතුය.එම නිසා ගුවන් සේවිකාවකගේ තප්පර කිහිපයක ප්‍රමාද දෝෂයක් නිසා විශාල අනතුරක් සිදුවිය හැකි බැවින් මේ සියලු කාරණා පිළිබඳව මනා දැනුමක් සහ පුහුණුවක් ගුවන් සේවිකාවක සතු විය යුතුය.

ඉන්පසු අපට පුහුණුවේ දී කියා දෙන්නේ ප්‍රථමාධාර පිළිබඳවය . යානය ඇතුල දී ගැබිනි මවක් හදිසියේ හො දරු ප්‍රසූතියට සූදානම් වුවහොත් මුලින්ම යානය තුළ වෛද්‍යවරයෙකු සිටිනවා දැයි ගුවන් සේවිකාවන් විසින් විමසා බලයි .දරු ප්‍රසූතියකට අවශ්‍ය උපකරණ සියල්ලම ගුවන් යානයේ තිබෙන බැවින් මවගේ සහ දරුවාගේ ජීවිත ආරක්ෂා කරමින් දරු ප්‍රසූතිය සිදු කරන ආකාරය ගුවන් සේවිකාවන් දැන සිටිය යුතුය .

යම්කිසි ගුවන් මගියෙකුට ගුවන් යානය තුළදී හෘදයාබාධයක් වැළඳුනහොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගුවන් සේවිකාවකට අවබෝධයක් තිබිය යුතුය.ගුවන් යානය තුළ වෛද්‍යවරයෙකු නොමැතිනම් රෝගියාට ප්‍රතිකාර කරන ආකාරය ,ඔහුට ලබා දිය යුතු ප්‍රථමාධාර, අවශ්‍ය වුවහොත් කෘතිම ශ්වසනය ලබාදෙන ආකාරය සහ පපු ප්‍රදේශය සම්බාහනය කරන ආකාරය ගුවන් සේවිකාවන් දැන සිටිය යුතුය.

ඒ වගේම යම්කිසි ගුවන් මගියෙකුට බඩේ අමාරුව ,ගැස්ට්‍රයිටිස් , හිසරදය, වමනය , එසේත් නැත්නම් වෙන මොනයම් හෝ අසාත්මිකතාවයක් ඇති වුවහොත් ලබාදිය යුතු සියලුම බෙහෙත් වර්ග සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත්භාවයක් ගුවන් සේවිකාවක සතු විය යුතු අතර යම්කිසි රෝගියෙකුට ලබා දිය යුතු ආහාර සහ ලබා නොදිය යුතු ආහාර පිළිබඳව පවා දැනුම ගුවන් සේවිකාවට තිබිය යුතුය. ඇත්ත වශයෙන්ම ගතහොත් සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ තරමටම දැනුම ගුවන් සේවිකාවකට තිබිය යුතු බව කිව හැකිය.

මා Air lanka ආයතනයට සම්බන්ධ වූයේ ශ්‍රී ලංකාවේ දරුණු ලෙස කොටි ත්‍රස්තවාදය පැවති සමයේය.වරක් අප ආයතනයෙහි සේවකයෙක් සහ ගුවන් මගීන් කීප දෙනෙකුද ත්‍රස්ත ප්‍රහාරය නිසා ජීවිතක්ෂයට පත්විය.ඒ හේතුව නිසා ගුවන් මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ තවත් අභියෝගයක් ගුවන් සේවිකාවන් වන අප සතුව විය .හදිසියේ හෝ ගුවන් යානය තුල බෝම්බයක් ඇතැයි නිවේදනයක් අප වෙත ලැබුණොත් කිසිම අවස්ථාවකදී ගුවන් සේවිකාවන්ට හෝ කාර්ය මණ්ඩලයේ කිසිම අයෙකුට කලබල විය නොහැකි අතර අප විසින් සාමකාමී ලෙස එම තත්ත්වය පාලනය කළ යුතුය . ඒ වගේම එම බෝම්බය තියෙන ස්ථානය සොයා ගන්නේ කෙසේද සහ එම බෝම්බය පිපිරුවහොත් එයින් අවම හානියක් වන ලෙස කටයුතු කරන්නේ කෙසේද යනුවෙන් ගුවන් සේවිකාවන් වගබලා ගත යුතුය.

ගුවන් යානයක ජනේලයකට හෝ වෙනයම් ස්ථානයකට කුඩා ප්‍රමාණයේ හෝ හානියක් පැමිණුනහොත් යානය පුපුරා යනු ඇත.සාමාන්‍යයෙන් ගුවන් යානයක් ගමන් කරන්නේ අඩි 17 ,000 ක් ඉහළ අහසේ වන අතර ගුවන් යානයක් ගමන් කරන උපරිම උස අඩි 36 000 ක් පමණ වේ. ගුවන් යානය තුළ පවතින්නේ සාමාන්‍යයෙන් පොළොව මත ඇති පීඩනය වන අතර ගුවන් යානය ගුවන් ගත වී තිබෙන අවස්ථාවේ දී ඒ අවට කිසිම වායු පීඩනයක් පවතින්නේ නැත. එම නිසා ගුවන් යානයට කිසියම් කුඩා හෝ හානියක් සිදු වුවහොත් එය ක්ශණයකින් පිපිරීමට ලක් වේ .ඒ හේතුව නිසා බෝම්බයක් පිපිරීමක් වැනි තත්වයකදි අවම හානියක් ඇති වන ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි අප දැනගත යුතුය .හදිසියේ හෝ එම බෝම්බය තිබෙන්නේ ගුවන් යානය මැද ස්ථානයක නම් එය ගුවන් යානය කෙළවරට ගෙනියන්නේ කෙසේද , එම බෝම්බය කුමන ආකාරයේ බෝම්බයක් ද යන්න හඳුනා ගන්නෙ කෙසේද , හැකිනම් එය නිෂ්ක්‍රීය කරන ආකාරය යන කාරණා පිළිබඳව අප සැලකිලිමත් විය යුතුවේ .
යානයේ ඇති සියලුම බ්ලැන්කට් එම බෝම්බය මතට තැබීමෙන් වන හානිය අවම කරන්නේ කෙසේද යනුවෙන් පවා අපට උගන්වා ඇත.

තවද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවෙකු ගුවන් යානයට ඇතුළු වී ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ ඉරියව් වලින් ඔවුන්ව හඳුනාගන්නේ කෙසේද යනුවෙනුත් පුහුණුවීම් වල දී අපට අවබෝධය ලබා දෙයි. එපමනක් නොව ගුවන් යානයට ඇතුළු වන සියලුම ගුවන් මගීන්ගේ හැසිරීම සහ ඉරියව් ඔවුන් ගුවන් යානයට ඇතුලුවන ස්ථානයේ සිටම අප විසින් නිරීක්ෂණය කළ යුතු වනවා මෙන්ම ඔවුන් මෙන්ම ඔවුන් පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතුය. බොහෝවිට බෝම්බකරුවන් , හොර ජාවාරම්කරුවන් හෝ වෙනත් සැකකටයුතු පුද්ගලයන් ගුවන්තොටුපොළට ඇතුළු වන මොහොතේ සිට ගුවන් යානයේ ගමන් කරන කාලය තුළ ද පසුවන්නේ තැතිගැන්මෙන් සහ බයෙන් ය . සමහර විටක ප්‍රථම වතාවට ගුවන් ගමන්වල යෙදෙන අය ද එසේ තැතිගැන්මෙන් සහ බියෙන් පසු වෙති . එම නිසා එවැනි පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට අපට හැකියාව තිබිය යුතුය . වර්තමානයේ එවැනි සැක කටයුතු පුද්ගලයන් හඳුනා ගැනීමට නවීන තාක්ෂණය උපයෝගී කරගත් යන්ත්‍ර සහ උපකරණ තිබුණද එකල එවැනි සැකකටයුතු පුද්ගලයන්ව ගුවන්තොටුපල සේවකයන් සහ ගුවන් සේවිකාවන් ඇතුලු කාර්ය මණ්ඩලය හඳුනා ගත්තේ බොහෝවිට ඔවුන්ගේ ඉරියව් සහ හැසිරීම්වලින් ය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles