මතක දිගහැරුම 15 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පහලොස්වන දිගහැරුම ,

පුහුණු කාලය තුළදී අප ඉගෙන ගත් තවත් එක් ප්‍රධාන දෙයක් විය .එනම් passenger is always right යන්නයි.ගුවන් සේවිකාවකට කිසිවිටෙක ගුවන් මගියෙකු සමඟ තර්ක කළ නොහැකි අතර ඉතා ඉවසීමෙන් සහ සංයමයකින් යුතුව ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතුය .

ඉන්පසුව ඔවුන් අපට උගන්වන්නේ අප අඳින පළඳින ආකාරය සහ මේකප් කරන ආකාරය පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගුවන් සේවිකාවක් ගුවන් මගියෙකු සමඟ කතාබහ කරන්නේ ඔවුන්ට ඉතා ළංවී සිටයි. හැමවිටම ඔවුන් සමඟ ඉතාම සුහදව eye contacts තබාගෙන අප කතා කල යුතුය. එම නිසා අප කොතරම් මහන්සි වී සිටියත් අපට දහඩිය දමා අප වෙතින් දුර්ගන්ධයක් නිකුත් විය නොහැක .ගුවන් සේවිකාවක් නිතරම පිරිසිදුව සහ නැවුම්ව සිටිය යුත්තේ කෙසේද , කුරුලෑ රහිත නිරෝගී සමක් පවත්වා ගෙන යන්නේ කෙසේද, දන්ත සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නේ කෙසේද යනුවෙන් ඔවුන් උගන්වන අතර ගුවන් සේවිකාවක් සතුව නිතරම දත් බුරුසුවේ සිට සුවඳ විලවුන් ,මේකප් වර්ග ආදී සියලුම දේ අනිවාර්යයෙන් තිබිය යුතුය . අනිවාර්යයෙන්ම සියලුම ගුවන් සේවිකාවන්ගේ ශරීරයේ බර මුලදීම පරීක්ෂා කර බලන අතර තරබාරු වීම නුසුදුසු කමක් ලෙස සැලකේ . එම නිසා ගුවන් සේවිකාවක් නිරන්තරයෙන්ම තමන්ගේ ශරීරයේ බර පිළිබඳව ද , එය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය .

අප විසින් ඉගෙන ගත් අනෙක් ප්‍රධානම දෙය නම් safety and security ය. ගුවන් මගින් සියලු දෙනාගේම ජීවිත පවතින්නේ කාර්ය මණ්ඩලය සතුව නිසා ගුවන් සේවිකාවක් විසින් දැන සිටිය යුතු දේවල් බොහෝමයක් ඇත. ගුවන් මගින් තුන්සිය ගණනක් පමණකගෙ ජීවිත කාර්ය මණ්ඩලයේ දහතුන් දෙනෙක් හෝ පහළොස් දෙනෙක් අතර පවතී .

ගුවන් යානයේ අස්සක් මුල්ලක් නෑරම සියලු දේ පිළිබඳව අප දැන සිටිය යුතු වේ . ගුවන් යානා එකිනෙකට වෙනස් නිසා ඒ සියලු දේ පිළිබඳ ව ම අප ඉගෙන ගත යුතුය . සාමාන්‍යයෙන් ගුවන් සේවිකාවක් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණයේදී ඇගේ උස සලකා බැලෙයි. එයට හේතුව වන්නේ ගුවන් යානයේ ඇති over head bins භාවිතා කිරීමට තිබීමයි . ගුවන් මගියෙකුට ඔවුන් අත ඇති කුඩා බෑග් ඒවාට දැමීමට හෝ ඒවායෙන් ගැනීමට අවශ්‍ය නම් , ඔවුන්ට ඒ සඳහා ගුවන් සේවිකාවකගේ සහාය ලබා ගැනීමට හැකිය . එසේ සහය ලබා ගැනීමට නම් ගුවන් සේවිකාවක් ඒවා භාවිතා කිරීමට හැකි තරමට උස විය යුතුය. එපමනක් නොව හදිසි අනතුරකදී භාවිතා කිරීමට අවශ්‍ය සියලුම උපකරණ බහා ඇත්තේ ඇත්තේද එම over head bins වලය.හදිසි අවස්ථාවකදී උපකරණ ඇති ස්ථාන පිළිබඳව සොයා බැලීමට කාලය නාස්ති කිරීමට නොහැකි නිසා ඒවා තබා ඇති ස්ථාන ගුවන් සේවිකාවක් දැන සිටිය යුතුය .තවද, එම උපකරණ තබා ඇති තැන් ගුවන් යානයෙන් ගුවන් යානයට වෙනස් වන අතර ගුවන් සේවිකාවක් ඒ සියලුම ස්ථාන සහ ඒවායෙ ඇති උපකරණ පිළිබඳව මනා අවබෝධයකින් සිටිය යුතුය.

ගුවන් යානයක් සාමාන්‍යයෙන් ගොඩබස්සවන මොහොතකදී ගුවන් යානයේ දොර විවෘත කරන ආකාරයට වඩා, ගුවන් යානයක් හදිසි අවස්ථාවකදී ගොඩබැස්වීමේදී දොර විවෘත කරන ආකාරය වෙනස්ය. එම නිසා ගුවන් සේවිකාවක් ගුවන් යානයේ දොරටුවේ ලීවර හසුරවන ආකාරය පිළිබඳව පවා ඉතා හොඳ අවබෝධයකින් සහ අවධානයකින් සිටිය යුතු අතර යම් සුළු වරදකින් හෝ ගුවන් මගින් ගේ ජීවිත අනතුරේ වැටිය හැකිය.

උදාහරණයක් ලෙස, උඩු ගුවනේ දී ගුවන් යානය තුළ යම්කිසි ගැටළුවක් හෝ කාර්මික දෝශයක් මතු වුවහොත් ගුවන් යානය ගොඩ බැස්සවිය යුතුය . නමුත් ඒ මොහොතේ ගුවන් යානය පියාසර කරන්නේ සාගරයට ඉහළ අහසේ නම් , එය ගොඩබිම කරා ගෙන යාමට කාලයක් නොමැති නම් , ගුවන් නියමුවාගේ දක්ෂකම මත එය සාගරය මත වුවද ගොඩබැස්ස විය හැකිය. ගුවන් යානයේ ඉදිරිපස පෙදෙස පහලට සිටින සේ ගොඩ බස් වන්නට උත්සාහ කළහොත් එය සාගරයේ ගිලී යාමේ අවදානම ඇති නිසා සාගරය මත ගොඩ බැස්සවීමේ කාර්යයේදි ගුවන් නියමුවා එය පාලනය කරගැනීමට හැකි අති දක්ෂයෙක් විය යුතුය. එවැනි ගොඩබැස්සවීමකදි සියලුම ගුවන් මගීන්ගේ ජීවිත ආරක්ෂාව පවතින්නේ ගුවන් සේවිකාවන් අතය. සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කරමින් ගුවන් යානය තුළ පිපිරීමක් හෝ වෙනයම් දෙයක් වීමට පෙර ඉතාම සීමිත කාලයක් තුලදී සියලුම මගීන්ව ගුවන් යානයෙන් ඉවත් කළ යුතුය.යානය ගුවන් ගත වීමට පෙර එහි හැම දොරටුවකටම එක් ගුවන් සේවිකාවක බැගින් නම් කරන අතර හදිසි අනතුරකදී ගුවන් සේවිකාවන් විසින් තමන්ට අයත් දොරටුවෙන් මගින් පිටමං කල යුතුය. ගුවන් නියමුවා විසින් යානයේ දොරටු විවෘත කළ හැකි බවට නිවේදනය නිකුත් කළ සැනින් දොරටු වලට අදාල ගුවන් සේවිකාවන් විසින් දොරටු නිසි ආකාරයෙන් විවෘත කළ යුතුය.

ගුවන් සේවිකාව විසින් දොරටුව විවෘත කරන ආකාරය අනුව එම දොරටුව තුළ ඇති හුලං පිරෙන ඉතා දිගු බෝට්ටුව පිටතට පැමිණ තප්පර කිහිපයක් තුළ ක්‍රියාත්මක වී වතුර මත පාවීමට පටන් ගනියි. එම බෝට්ටුවකට මගින් කී දෙනෙක් ඇතුළත් කළ හැකිදැයි ගුවන් සේවිකාව විසින් දැන සිටිය යුතු අතර මගීන් සියලු දෙනාටම අවශ්‍ය උපදෙස් ලබා දී life jackets සහිතව ඔවුන්ව ඉතා ආරක්ෂාකාරී ලෙස එම බෝට්ටුවට නංවනු ලබයි. ඉතා ක්‍රමානුකූලව එය කළ යුතු අතර අවසානයටම බෝට්ටුවට ගොඩ වන්නේ අදාළ ගුවන් සේවිකාව ය. එම බෝට්ටුව තුළ හබල සහ පිහිය තිබෙන ස්ථානය ගුවන් සේවිකාවකගේ මතකයේ තිබිය යුතු අතර බෝට්ටුව ගුවන් යානයට සවිකර ඇති ආධාරකය ඉක්මනින් කපා ඉවත්කර , හැකි ඉක්මනින් තප්පර කිහිපයක් ඇතුලත බෝට්ටුව ගුවන්යානයෙන් ඈතට ගෙන යායුතුය . එසේ කරන්නේ හදිසියේ හෝ ගුවන් යානය පිපිරීමකට ලක් වුවහොත් ඇතිවිය හැකි ජීවිත හානි වළක්වා ගැනීම පිණිසය. එම නිසා එවැනි මොහොතකට මුහුණ දීමට තරම් ගුවන් සේවිකාව ශක්තිමත් විය යුතු අතර ඇය නොබියව ගුවන් මගීන් හසුරවමින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ඉතා සුළු කාලයක් තුළදී ගත යුතුය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles