ආදියා බස් නැවතුම්පල වහල යට ගුලි වී, අත් බෑගය පපුවට තුරුලු කොටගෙන බලා සිටියා ය. වැස්ස වැටෙයි. තද කළු පාට කාපට් පාර තනි සුදු මීදුම් වලාවක් සේ පෙනෙන තරම් තදින් වහී. මේ වැස්ස අහම්බයකි. සති කිහිපයක් දිග ඝණ පෑවිල්ලක් මිස වැහි සලකුණක් හෝ ගෙදරින් එළියට එත්දී නො තිබුණි. ඒ නිසා කුඩා කුඩය බෑග් එක ඇතුළට රිංගුවේ නැත. ග්‍රෑම් පන්සීයකටත් අඩු තරම් ප්‍රමාණයකින් වැඩි වෙන බර ගැන හිතා කුඩයට නිවාඩු දී තිබීම ගැන මේ මොහොතේ ඇයට දැනෙනුයේ පශ්චත්තාපයකි.
වායු ගෝලයේ පියාසර කරමින් තිබි දුහුවිලි අංශු වැස්සේ දිය වීම නිසා දැන් හුස්ම පිරිසිඳු බවක් දනවයි. රාත්‍රිය පවා මද්දහනක් සේ ගිනියම් කළ දාහය තුනී ව යමින් තිබේ. බස් නැවතුම්පල වහලයෙන් යන්තම් වැස්සෙන් හිස මුවහ කරගත්තේ වී ද සුළං වැස්සට ඇඳුම් වල තෙතමනයක් ඇතිව තිබේ. දැන් ඉතින් මෙහෙම කාර්යාලයට යනවාට වැඩිය අනිත් පැත්තට යන බසයක නැගී ගෙදර යන එක වඩා හොඳ නැතිද යන ප්රශ්නය හිත විමසයි. නමුත් පෙරදාත් නිවාඩු දැමූ නිසා යන එක වඩා හොඳ ය. ඊයේ හැන්දෑවේ අම්මාත් තාත්තාත් යන්තම් එහෙ මෙහෙ වූ වෙලාවක “ඇයි ඔෆිස් ආවෙ නැත්තෙ” කියා දෙව්රම් විමසුවේ ය. ඒ වචනාර්ථයේ නොවන බරක්, හැඟීමක්, ඔහු ඒ විමසු තානයේ විය.
“අක්කගෙ පොඩි ප්‍රශ්නයක්. එයාව දාල එන්න බය හිතුණ. මුකුත් කරදරයක් කරගනීද කියල”
ආදියා ඉක්මනින් කීවා ය.
“හෙටනං එන්න”
සීතල අයිස් බරුවක් වාගේ ඒ වචන දෙක ඇගේ පපුව හරහා කිඳා බැස්සේ ය. ඒ වෙලාවේ දෙව්රම් ගේ ඇස් කැල්ම දරාගන්නට බැරි බවක් ආදියා ට දැනිණ. ඒ කැල්මෙහි ඈ සසල කරවනා කම්පන සංඛ්‍යාතයක් විය. ඇය යන්තම් හිස සැළුවා පමණකි. දැන් වැහි පිට වැහි දහසක් වැස්සත් ඒ හිස සැලීමෙන් වූ පොරොන්දුව කැඩිය නො හැකි සේ දැනෙන්නේ ඇයි?
ජිනාදරී රෑ කෑම ගෙන යන්නට කීවාට දෙව්රම් ඒ ආරාධනය පිළිගත්තේ නැත. තේ එකක් පමණක් බොමින් නිශ්ශංක සමග සමාජ දේශපාලන සංවාදයක පැටලී හිඳ යන්නට ගියේ ය. පෙරැත්ත කරත්දීත් ඔහු නික්ම යත්දී ‘තියන ආඩම්බරකම’ යයි ආදියාට සිතිණ. ඔහු කෑම කන්නට නතර වූ දවසේ ඇයට පේන මානයක සිටිත හැකි වූයේ නැත. නමුත් ඔහු රියට නැගුණේ හදවත මැද සුරැකිව පරිස්සම් කරන්නට තරම් බැල්මක් ඇයට දී ය.
වැස්ස කපාගෙන පැමිණි කළු පාට සුඛෝපභෝගී ඩොජ් චැලේන්ජර් වර්ගයේ මෝටර් රථය, මඳක් ඉදිරියට ගොස් අයිනකට කොට නැවතිණ. ඇස් පියාගෙන වුව ඒ රිය හඳුනන්නට දැන් ඇයට පිළිවන. එය අහම්බයක් නොවේ. දෙව්රම් කාර්යාලයට යා යුත්තේ ද ඇය බසයෙන් බැස ඒ වෙත පයින් ඇවිදිය යුත්තේ ද මේ පාරේ ය.
දෙව්රම් ලොකු කුඩය ඉහළාගනිමින් රියෙන් බැස අඩි කිහිපයක් පැමිණෙත්දී ඒ ඇය වෙතට බව දැනුණේ පංචේන්ද්‍රියන් ඉක්මවූ කවර ඉවකට ද කියා ආදියා නො දත්තී ය. ඇය වැස්සට පැන්නේ මොන හදිස්සියකට ද? දෙව්රම් අඩියට දෙකට ඇය වෙතට ලංව ඈ කුඩය යටට ගත්තේ ය.
“තෙ… මුණනෙ… චුට්ටක් ඉන්න තිබුණනෙ”
නෝක්කාඩුවක එහෙම තානයක් තිබිය හැක්කේ දෙදෙනෙකු අස ය. එක්කෙනෙක් තාත්තා ය. දුවෙකුට ආදරයෙන් තරවටු කරන තාත්තෙකු හැරුණ විට ස්ත්‍රියක විෂයේ ප්‍රේමයෙන් ගැබ්බර පුරුෂයෙකුට පමණක් ම ය.
දකුණතින් කුඩය ගෙන වමතින් ඇගේ වම් උරහිස ළඟින් අල්වා නො තෙමෙන සේ ඔහු තවත් මඳක් ඈ කුඩය යටට කොටගත්තේ ය. ඒ සිරුරට ලං වෙත්දී ඇයට දැනුණේ ගිනියම් උණුසුමකි. පිරිමිකාර සුවඳකි. වමත පහළ හෙළත්දී දෙව්රම් ගේ ඇඟිලි තුඩු යන්තමින් ආදියා ගේ ඇඟිලි තඩු වල හැපිණි. දසැඟිලි ම තවත් – තව තවත් ඒ උණුහුම ඉල්ලා සිටියා විය හැක. දසැඟිලි එකිනෙක අතරින් රිංගා ගත්තේ පෙර දැනුම් දීමක් මත හෝ පෙර සූදානමක් ඇතිව නොවේ. ඒවා එකිනෙක අතරේ වඩාත් සුරක්ෂිත ව හා වඩාත් උණුහුමින් තද විය. ඒ වෙලාවේ හෘත් ස්ඵන්දනයට කුමක් සිදු වී ද කියානම් නිශ්චිත නැත. ආදියා බිමට බර කරගත් දෑසින්, නිදහස් අතින් බෑග් එක පපුවට තද කරගත්තා ය. ඒ මොහොත එතැන එහෙම ම නතර වී සදාකාලික වෙනවා නම් වැනි අනන්ත තෘෂ්ණාභරිත සිතිවිල්ලක් දෝරෙ ගැලුවේ ය.
ඔහු රිය දොර හරිනු වස් සිහින් උණුහුම් අතැඟිලි මුදාහැරියේ ලෝභී හැඟීමකිනි. නමුත් බලාපොරොත්තු නොවූ මොහොතක අසීරු ගිරි ශිඛරයක් තරණය කරගත්තා වැනි සුවබර, තෘප්තිමත් සිතිවිලි මාත්‍රා කෝටි ගණනක් හදවත පුම්බා දමා තිබිණ.
ඇගේ හිස කේ තෙමී ය. දෑත් දිගේ ඉසිහින් රේඛාවන් ලෙස එක් වී ගලන දිය බිඳිති ය. ලා තැඹිලි පැහැයක් ගැල්වූ පිරුණු ලවන් සැලී ගියෙන් ඕ යටි තොල් කොනක් දසන් වලින් නො රිදුම් ව සපාගත්තා ය. රිය ඇතුළේ සුවදායී සිහිලක් තිබේ. ඔහු අස – බැල්මක පවා උණුහුමක් දැනේ. මොහොතකට කලින් අතැඟිලි වලට දැනුණා වූ සංස්පර්ශයක මිහිර සම් මස් ලේ නහර විනිවිද, ස්නායු තත්තු සුසර කරවයි. දෙව්රම් මඳක් අසුනේ දිගෑදී කලිසම් සාක්කුවෙන් සුදු ලේන්සුවක් ගෙන ඇය වෙත පෑවේ ය. බෑග් එක තුළ ෆේස් ටවල් එක වන බව මතක් වීත් ඇය අමතක කොට දැමුවා ය. දෙකට හතරට අටට නවා තිබූ, වටේට තද නිල් ඉරක් ගිය සුදු ලේන්සුවෙන් ඇය හිස තෙත මාත්තු කළා ය.
“තෙමිල සීතලයිනෙ. කොෆී එකක් බීල යංද…”
හතර අතින් කළු කොට වහින අහඹු වැස්සක් මැද, මෘදු තෙතක් තැවරි පිරිමි ඇස් බැල්මක් පාමුල, එහෙව් සිහිළැල් හඬකට වසඟ වෙන්නට ඇයට පිළිවන. වසර කිහිපයක් තිස්සේ රහසින් ඇසූ හඬ! රහසේ පෙම් කළ සිනහව!
“ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න ලේට් වෙයි”
“ශෝට් ලීව් එකක් දාන්න පුළුවන්නෙ”
“ගෝල්ඩන් ලීව්ස් අපේ තාත්තගෙනං නෙවේ…”
“මගෙත්නං නෙවෙයි තමයි. ඒත් ඉතිං මාත් එක්කනෙ”
මේ වැස්සේ, ඒ ඇස් හිරු මඬල වාගේ ය. දෙව්රම් රිය මගට ගත්තේ කුරුලු හදවතකිනි. දෙතොල් පමණකුදු නොව සිය ඇස් පවා සිනහ වෙන්නා සේ ඔහු ට දැනේ. කොළ පාට තණ පළසක් මැද ඉදි වුණ කුඩා සුඛෝපභෝගී කෝපි හලක් ළඟ රිය නැවතෙන්නට ලොකු වෙලාවක් ගියේ නැත. මේ කෝපිහල ගෝල්ඩන් ලීව්ස් පරිශ්‍රයට ඒ හැටි දුරක් නැති වී ද ඇය දෙව්රම් සමගින් මෙහි දී එහි කිසිවෙකු නො දකිනු ඇතැයි ආදියා ට විශ්වාස ය. ඒ මෙහි ආහාර පාණ වල මිලාධික බව නිසා ය.
“තේ එකක් කෝපි එකක් එච්චර ගාණක් ගෙවල බොන්නෙ මොකටද බං… ඒ ගානෙං තේකොළ අරං මාසයක්ම තේ බොන්න පුළුවං”
වතාවක් කාර්යාලයේ කොල්ලෙකු ඒ ගැන කීවේ එහෙම ය. එය සිහි වී මේ මොහොතේත් ආදියා තුළ සිනහවක් උපන.
“ඉතිං…”
ඔහු දිගු කතාවකට මුල පුරන්නට හරි බරි ගැසුණේ ය. ආදියා ඉක්මන් බැල්මක් හෙළා බිම බලාගත්තා ය. පහතට හැරුණ තඹර පෙති වන් දෑස් ද මුව මඬල ද දෙස දෙව්රම් නිස්කාංසුවේ බලා සිටියේ ය. සාමාන්‍යයෙන් ආදියා ඔහු ගේ මතකයේ රැඳෙන්නේ දඟකාරියක ලෙස වී ද මේ මොහොතේ ඇය මදු මලක් තරම් සුමුදු ය. අහිංසක ය.
“දැං ඉතිං හොරා අහුවෙලා ඉවරයිනෙ. ඒක නිසා අපි ඇත්තට ෆේස් කරමුද…ම්…”
ඔහු ඇය සනලාවාගෙන මුහුණට එබුණේ ය.
ඇත්ත කියන්නේ මෙලොව වන වටිනා ම, වැදගත් ම, බලවත් ම දෙයයි. ඇතැම් විට ඇත්ත කටුක විය හැක. ඊට වැඩිය බොරුව මිහිරි වන අවස්ථා පැවතිය හැක. නමුත් දෙව්රම් කියන්නේ සත්‍යයට අතිශය ගරු කරනා මිනිසෙකි. සත්‍යවාදී මිනිසෙකි. සත්‍ය සමග ගනුදෙනු කරන්නට කැමති මිනිසෙකි. බොරුව හෝ මුලාව හමුවේ පැන දිවීම ඔහු ගේ ස්වභාවයයි. සපූ සිය බන්ධනයට බොරු කරමින් සිටිනා බවත් ඔහුව මුලා කරන උත්සාහයක පසු වන බවත් දැනගත් වෙලාවේ ඔහු ට උවමනා වූයේ හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් පිටමං වීමටයි. ඇයට ඔහු පෙම් කළ අතීතයක් තිබුණා වී ද වංක භාවය සමග එකිනෙක ගැටෙන විට ම ඒ සියල්ල අහෝසි වී යයි. කොයි තරම් ළෙංගතුකමකින් පෙරදී ඇසුරු කළා වී ද මුලාවකින් පසු ඔහු වහාම ඒ සබඳකම් අතැර දමයි. බොරුව වූ කලී ඔහුට නම් ගැරඬියාට භූමිතෙල් හා සමාන ය. රැවටෙන බව දැනගත් මොහොතේ ම එතැනින් ඉවත් වී තනි වීමට ඔහු උත්සාහ කරයි. ව්‍යාජ මිනිසුන් වට කොටගෙන සිටිනවාට වැඩිය අව්‍යාජ මිනිසුන් එක්කෙනෙකු දෙදෙනෙකු වුව ඔහු ට රන් මිණි මුතු හා සමාන ය. රන් මිණි මුතු සේ දැනෙනා, වටිනාකම් දී ළඟට ම ගන්නා කෙනෙකු වුව සදාකාලිකව නො වෙනස්ව නො සිටිනු ඇති බව වටහා ගන්නට තරම් දැන් ඔහු පරිනත ය. වෙනස් නොවෙනා කිසිවක් මෙලොව නොවේ. කවදාවත් වෙනස් නොවෙතැයි අප සිතනා අපේ සමීපතමයෙකු වුව දිනෙක වෙනස් වෙන්නට පිළිවන!
“ඔයා දන්නවද මං ඔයාගෙ නම්බර් එක සේව් කරල තිබුණෙ කොහොමද කියල…”
දෙව්රම් සිය ජංගම දුරකතනයෙන් ඇගේ බොත්තම් දුරකතනය අංකනය කළේ ය. ‘හැපී පිල්’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියැවී තිබිණ. ආදියා ගේ දෑස් තාරකා දීප්තියකින් දිළිසිණ.
“මං දන්නෑ මං ඇයි එහෙම සේව් කරගත්තෙ කියල. ඔයා වචනයක්වත් කතා නොකළත් ඒ කෝල් එක මට අමුතු සැහැල්ලුවක් ගෙනාපු නිසා වෙන්නැති. මං හිතුවෙ නෑ ඒ කෝල් එක දෙන කෙනාව ළඟින් ඉන්දගෙන මට දවසක මෙහෙම කතා කරන්න පුළුවං වෙයි කියල. ඇත්තටම ඒ කවුද කියන එකවත් ඒ කාලෙ මට ප්‍රශ්නයක් වුණෙ නෑ. හැබැයි කෝල් එක එනකොට නොදන්න හේතුවකට අමුතු සතුටක් එනව”
දෙව්රම් ලොකු හුස්මක් ගත්තේ ය. ආදියා නෙත් පිය නො සලා බලා සිටියේ මේ සැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා විශ්වාස නැති තරමට ය.
“සපූ මගෙන් ඩිවෝස් වෙලා නැති කාලෙත් මේ නම මෙහෙම ම තමයි තිබුණෙ. හැබැයි මේ කවුද කියල හොයන්න මට ඕන වුණේ ඔෆිස් එකේ නම මතක නැතුව අලිය කියල කියවෙන හුරතල් ගෑනු ළමය හිතට විශේෂ විදිහට දැනෙන්න ගත්තට පස්සෙ. ඒ ළමයයි අර කෝල් එකයි එකම වයිබ් එකක කියල හිතේ කොහෙ හරි තැනකට ක්ලික් වුණ නිසා”
ඔහු අඩවන් දෑසකින් ඇගේ ඇස් වල කිමිදුණේ ය. කුමක් සිදුවෙන්නට යනවා ද කියා නිනව්වක් නැත ද සිදු වෙන ඕනෑ ම දෙයකට සිදු වෙන්නට හැර ඔහේ බලා සිටින්නට ගැහැනු හදවත වඩා රිසි වූයේ ය.