ජීවිතය කවියක් නොවේ –  25

0
4763

ගෙවී ගිය කාලය පැය දින ගණනින් එක හා සමාන වුවත් ධනංජයටත්, නිර්මිතාටත්, හසාරාටත් ඒ කාලය ගෙවී ගියේ තුන් විදියකටය.බලාපොරොත්තු ගොන්නක් ඇතිව ලංකාවට පැමිණීමට බලා උන් හසාරාට ගෙවී යන තත්පරයත් අවුරුද්දක් හා සමාන විය.

හසාරා ගැනත් තමාට ගත කරන්නට සිදු වූ ජීවිතය ගැනත් කලකිරීමෙන් බලා උන් ධනංජයට අලුත් ජීවිතයකට යාමට වූයේ දැඩි උවමනාවකි.ඇගේ මතක රැඳී සියල්ල අතහැර පලායාමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව දැන උන් ධනංජය කාලය ගත කළේ නොඉවසිල්ලේය.මේ කාලය පියඹා යනවානම් කියා ඔහුට සිතුණු වාර ගණනන අනන්තය.

මේ ලංකාව තුළ අත් නොහැර වැළඳගෙන සිටින්නට තරම් වටිනාකමක් ඇති කිසිවෙක් නොවූ නිර්මිතා කාලය වේගයෙන් ගතව යනවා නම් කියා පැතුවේ එක් වරක් දෙවරක් නොවේ.සමහර විටෙක මේ සදාතනික සමුගැන්මක් විය හැකිය.දුකකට වූයේ ජීවිතයේ බොහෝ දේ සිදුවද්දීත් මානසිකවත් , කායිකවත් බින්දුවටම වැටෙද්දී තමා සමීපයේ දරා උන් මවත් නැගණියත් අතහැර යාමේ ලෝබකමය.එහෙත් තමාට තමා පමණකැයි සිතන්නට දැන් ඈ හුරුව උන්නාය.සතුට සොයා ගත් යුතු වන්නේත් ජීවත් වීමේ පිළිවෙල සොයා ගත යුතු වන්නේත් තමාමය.

ධනංජයත් නිර්මිතාත් ප්‍රංශ ගමනට ගුවන් යානයට නැගුනේ හසාරා සමුගැනීමේ සාදයෙහි සිටියදීය. ධනංජය ලංකාවෙන් පිටත් වන්නේ ආපසු නොඑන්නට සිත හදාගෙනය.උපන් බිමේ වැළලෙන්නට ඉඩක් නොවීම මිනිසෙකුට දුකකි.එහෙත් ඔහු දැන් අනාගතයක් වර්තමානයක් නැති මිනිසෙකු ගණනය.හදිසියේම කෙටි කලකට රටින් පිටවනවායැයි ඔහු සොයුරියත් සොහොයුරාත් හා පැවසූයේ පෙරදා රාත්‍රියේය.අම්මාගේත් තාත්තාගේත් වියදම සඳහා එකවර මුදලක් තැන්පත් කෙරුණේත් වැඩිමහල් සොහොයුරියගේ බැංකු ගිණුමටය.ඇය පමණක් ධනංජයගෙන් මේ ගමනේ අරමුණ ගැන ප්‍රශ්න කළාය.ධනංජය ඇයට ලබා දුන්නේත් කෙටි පිළිතුරුය.

නිවසේ ප්‍රධාන දොර වසා දමා ආපසු හැරුණු තරුණයා මද  වේලාවක් ඒ දෙස බලා උන්නේ දෑස්වල කඳුළු පුරවාගෙනය.මේ මරණයෙන් මිස හැර යන්නට පැතූ තැනක් නොවේ.ඔහුගේ ඉල්ලීම පරිදි නීතිඥ සුරංජිත් පුංචිහේවා පැමිණ නිවසේ යතුර බාරගත්තේ කුලීරියට නැගීමට පෙරය.නිවස බේරා ගැනීම හසාරාට කලහැකි කටයුතත් බව ධනංජය දනී.මින් සති කිහිපයකට පෙර සුරංජිත් හමු වූ ධනංජය තමාගෙන් දික්කසාදය ලබා ගැනීම සඳහා පහසු වන පරිදි සකස් කල සියලු ලියකියවිලි ඔහු වෙත භාර දුන්නේ හසාරාට ලබාදෙන්න යැයි පවසමින්ය.ඇයටත් ජිවිතයක් තිබිය යුතුය.

කුලීරියේ දොර ඇරගත් ධනංජය යළිත් සිය ගමන් මල්ලෙහි වූ දුඹුරු පාට ලිපි කවරයක් සුරංජිත් අත තැබුවේ යතුර සමඟ මෙම ලිපියත් හසාරාට ලබා දෙන්න යැයි පවසමින්ය.මේ ලිපිය ලියන්නට ඔහුට සම්පූර්ණ රාත්‍රියක් ගත වුවත් එය හසාරාට ලබා දෙන්නට ඔහු නොසිතුවේ ඊයේ රාත්‍රියේය.එහෙත් අවසන් මොහොතේ ගත් තීරණය නිවැරදිම එකක් දැයි සිතන්නට ධනංජය වෑයම් නොකළේය. ඒ තෙමහල් මන්දිරයෙන් පිට වූයේ සම්පූර්ණයෙන්ම හිස් වූ මිනිසෙකු බව විශ්වාසය.

නිර්මිතා ගුවන් තොටුපළට පැමිණ සිටියේ ඔහුට වඩා මදක් වේලාසනින්ය.හඬමින් හෙම්බත්ව තිබූ මුහුණත් රතුව ගිය ඒ  දෑස් යුගලත් දුටු ධනංජයගේ සිතෙහි ඇතිවූයේ අනුකම්පාවකට සමාන වූ හැඟීමකි.ඔහු නිර්මිතාගේ දකුණතින් අල්ලා ගත්තේ එනිසාය.

“ සමහර තීරණ ගත්තට ඒවා ක්‍රියාත්මක කරන්න මේ තරං අමාරු වෙයි කියලා මම හිතුවේ නෑ.ඒත් මට ආපස්සට හැරෙන්න බෑ.”

ඇය පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.තම පෙම්වතාට හෝ සැමියාට සමුදෙන්නට පැමිණි තරුණියක ඔහුව බදා වැළඳගෙන හඬමින් සිටියේ මඳක් එහාට වන්නටය.තමාගේ ආදරණීයයන්ගෙන් වසර දෙක තුනක කාලයක් දුරස්ව සිටීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.මහ හඬින් හඬා ප්‍රකාශ නොකළාට ඒ වේදනාව මෙවේලෙහි නිර්මිතා අත්විඳිමින් සිටියාය.පපුව පිරී තිබෙන දුක වේදනාව මුදා හැරිය යුතු වුවත් ඕ එසේ නොකළාය.

“ යමු….”

ධනංජය එසේ පැවසූයේ නිහඬව ගෙවී ගිය විනාඩි කිහිපයකට පසුවය.ඉස්සර වූයේත් ඔහුය.

“ ඔයා සතුටින්ද…

නිර්මිතාගේ හඬ අන් කවරදාටත් වඩා සන්සුන් එකක් විය.

“ නෑ. ඇඟේ කොටසක් තියලා යනවා වගේ මොකක්දෝ ලෝබ කමක් දුකක් හිතේ තියෙනවා.හුස්ම හිර කරනවා වගේ මහා අමාරුවක් දැනෙනවා.ඒ උනාට මමත් ආපහු හැරෙන්නේ නෑ..”

ඔහු එසේ පැවසූයේ සිය දෑස් වල උපන් කඳුලකට ටයිල් පොළොව මත වැටී බිඳී යන්නට ඉඩ ලබාදෙමින්ය.

“” ආයේ  දවසක ඔයාට එන්න ඕනේ කියලා හිතුනොත් කවදාවත් මං ඒකට බාධාවක් වෙන්නෙ නෑ.අද මේ මොහොතෙත් මේ තත්පරෙත් මං හිතනවා මං හසාරගෙන් දෙයක් උදුර ගත්තේ නෑ කියලා.ඔයාගේ මේ ගමනට මං ඔයත් එක්ක අත අල්ල ගත්තා විතරයි.”

“ අතීතය අතීතයක්ම උනාවේ.මේ මතක වලින් ඈත් උනාට  පස්සේ හැම දෙයක්ම හරියයි.අපි අලුත් ජීවිතයක් පටන් ගමු…”

එවර ධනංජය පැවසූයේ නිර්මිතාගේ හිස අතගාමින්ය.ඒ ජීවත් වන්නට බලාපොරොත්තුවකි.ජීවිතය පුරා සෙවූ එහෙත් නොලැබුණු  රැකවරණයක පහස ඇයට දැනෙන්නට විය.ඇයට ඕනෑ වූයේ දුක්බර මතක සියල්ල මේ මහ පොළොවේ අතහැර යාමටය.තමාගේ සිත ප්‍රාර්ථනා කළේ යස ඉසුරින් පිරි ජීවිතයක් නොවන බව නිර්මිතාට සපථ වූයේ ඒ අතැඟිලි ස්පර්ශයත් සමගය.

අවසන දෙදෙනාම ගුවන් යානයට නැගුනේ මේ තත්ත්පරයත් අතීතයට මුසුකොට වර්තමානයේ ජීවත්වනවායැයි  ඒ සිත් වලට පොරොන්දු  ලබා දෙමින්ය.

****==============*–==

දිගින් දිගටම ධනංජයගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් එය ක්‍රියා විරහිත කොට තිබිණ.සමුගැනීමේ සාදයේ ඡායාරූප කිහිපයක් ඔහුගේ වට්සැප් අංකයට යැව්වත් ඒවා බලා තිබූ බවට සාක්ෂි වූයේ නැත.නිවසේ ස්ථාවර දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් එය දිගින් දිගටම නාද වූවා මිස පිළිතුරු ලැබුනේ නැත.ගෙවී ගිය කාලය පුරා ඔහු අතිශය කාර්යබහුල වී සිටියේ අලුතින් අරඹන්නට යන ව්‍යාපාරය නිසාය.කොහොමටත් ධනංජය යනු හිතුමතයට වැඩ කළ කෙනෙකු නොවන බව හසාරා දැන සිටියාය.ඔහු දැන් එම ව්‍යාපාරය පිළිබඳව පරතෙරටම සොයා බලන බව විශ්වාසය.

යාබද  නිවසෙහි වූයේ ගුරු යුවලකි.මෑතකදී විවාපත් වී අඩක් නිම කළ නිවසෙහි පදිංචියට ආ ඔවුන් ඉඳ හිට දිනක හසාරාත් ධනංජයත් හා කතා බහ කරන්නේ කෙටි තාප්පයෙන් එබී ගෙනය.හසාරා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ සිතෙහි වූ බිය නිසාමය.මේ සා වේලාවක් ඔහු  දුරකථනයට පිළිතුරු ලබා නොදීම ඇයව බියට පත් කර තිබිණ.

“ මිස්ටර් ධනංජය උදේම කොහේ හරි යන්න පිටත් වෙනවා මම දැක්කා.තව කවුරුහරි එයාගේ යාළුවෙකුත් ඇවිත් හිටියා.කතා කරන්න නම් ලැබුණේ නෑ මිසිස් හසාරා.ඔයා රාජකාරී වැඩකට පිටරටකට ගියා කියලා නිවුස් වලින් දැක්කා.”

“ ඔව් මම හෙට උදේට එනවා.දිගටම ධනංජයට කෝල් එකක් ගන්න ට්‍රයි කළා. එයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. ඒකයි මම බැලුවේ.අනේ තෑන්ක්ස්  මිසිස් රුවනි..”

“ මිස්ටර් ධනංජය දැක්කොත් මම කියන්නම් හසාරා මට කතා කළා කියලා..”

තව දුරටත් දුරකථනය විසන්ධි  වී තිබුනේ  හසාරාව තව තවත් නොසන්සුන් කරවමින්ය.එවන් ගමනකට ඔහු සූදානමින් පසු වෙනවායැයි  ඊයේ කතා කරද්දීත් පැවසූයේ නැත.සමහර විට ඔහු ව්‍යාපාරය අරඹන යහළුවාත් සමග හදිසි උවමනාවකට නිවසෙත් පිටව යන්නට ඇතැයි ඈ සිතුවාය.

“ සමහරවිට ඕෆ් කරලා චාර්ජ් කරන්න දාපු ෆෝන් එක තවම එහෙමමද දන්නේ නැහැ.සමහර දවසට ඔෆිස් යද්දිත් ෆෝන් එක මතක් කරන්නේ මමනේ..”

හසාරා එසේ සිතුවේ සිය ගමන්මලු සූදානම් කරමින්ය.කාර්යාලයේ කිහිප දෙනෙකුටත්, ධනංජයටත්, ඔහුගේ නිවසේ අයවලුන්ටත්, නිර්මිතාටත් ලබාගත් තෑගි ඕ ගමන් මලු තුළ අසුරවාලූයේ ප්‍රවේසමෙන්ය.දැන් දැන් ලංකාවට පැමිණෙන්නට හසාරා තුළ වූ උවමනාව හදිසියක්ව ඇත.ඉන්දීය ජාතික තරුණිය සමග අඩ හෝරාවක් පමණ කතා කරමින් උන් හසාරා  ඇගෙන් සමුගත්තේ ඒ නොසන්සුන්කමත් සමගය.ඇයව ගුවන් තොටුපොළ  කරා ඇරලවන්නට මව් සමාගමේ නියෝජිතයකුත් පැමිණ සිටියේය.හසාරා මේ යන්නේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙනය.ලොව අන් සියලු කාර්යාල අඹිබවා ශ්‍රී ලාංකීය සමාගම ප්‍රමුඛ ස්ථානයක තබන්නට ඇයට හැකියාව ලැබිණ.එනිසාම තවත් විශේෂ පහසුකම් රැසක්  සමග මෙහි ශ්‍රී ලාංකික කාර්යාලවලට අනුබද්ධව සේවය කරන සේවක සේවිකාවන්ගේ ජීවිත නගා සිටුවීමේ විශේෂ වැඩපිළිවෙළවල් රැසක්, වැටුප් වැඩිවීමේ යෝජනාවක්ද ඒ අතර විය.හසාරාට ඇවැසි වූයේ ලංකාවට පැමිණෙන්නට පෙර මේ සියල්ල ඔහු හා පවසා සතුට බෙදා ගන්නටය.ගුවන් යානයට නගින්නට විනාඩි කිහිපයකට පෙරත් ඇය ධනංජයගේ දුරකථනයට ඇමතුම් ලබාගත්තේ පෙර වූ නොසන්සුන්කම ඒ අයුරින්ම දරාගෙනය.

“ එයාපෝර්ට්  එකට ඇවිල්ලා මාව සප්‍රයිස් කරන්නද දන් නෑ හිතාගෙන ඉන්නේ…”

ඇය අවසන තමාටම මුමුණා ගත්තේ ඒ මුවගෙහි මද සිනහවක් තවරා ගෙනය.ගුවන් යානය පිටත් වීමට තවත් පැය දෙකකට ආසන්න කාලයක් විය.ඒ වන විටත් ඇගේ සියලු ලිය කියවිලි  පරීක්ෂා කර අවසන්ව තිබිණ.
හසාරා මගී පර්යන්තයෙහි වූ පුටුවක අසුන් ගත්තාය.ඒ සිතුවිලි පැටලී තිබුණේ සොඳුරු සිහිනයකය.

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here