හිමගිරි අරණ -31

“දූ නිදාගන්නෙ පවා අර බෝනික්කා ළඟින් තියාගෙන.ඔයා ඒක අරන් එනකොට තිබුණු ලස්සන නම් දැන් නැහැ.මොකද අපේ බබා බෝනික්කාට කෑම කවනවා.වෙලාවකට නාන්නත් එක්ක යනවා.ඒ බෝනික්කට නොදෙන වදයක් නෑ.”

දිවා ආහාරය වෙලාවේ හිමාෂා රවිඳු සමඟ පැවසුවේ සිනාමුසුව ය.එදායින් පසු ඔහු සමඟ ඇති මිත්‍රත්වය වැඩිදියුණු වී ඇත්තාක් මෙන් ඇයට දැනේ.රවිඳු විශ්වාස කළ හැකි අන්දමේ මිතුරෙකු බව සිතන්නට හිමාෂා වඩ වඩාත් පෙළඹුණේ දියණියගේ උපන් දිනයෙන් පසුව ය.දිනාරාගේ ආදරය ඔහු කළමනාකරණය කර ගත් ආකාරය සම්බන්ධයෙන් හිමාෂාට ඇත්තේ පැහැදීමකි.

“ඒ බෝනික්කා විතරක් ගෙනාවා නම් ඇති.ඔයා තව වියදම් කරලා තිබුණා.”

හිමාෂා එසේ පැවසුවේ තරවටු හඬකිනි.මිතුරන්ගෙන් ඕනෑවට වඩා දේවල් කඩාවඩා ගැනීමේ ආශාවක් ඇයට තිබුණේ නැත.

“මට ඒ උනාට හිතට මදි.මං වෙලාවක දුවට ඒ ජාතියේ තව බෝනික්කෙක් ගෙනත් දෙන්නම්”

හිමාෂා බත් පිඬක් අනන අතර හිනැහුණා ය.

“ඒ උනාට දූ ඔය බෝනික්කට තියන ආදරේ අලුත් බෝනික්කෙකු  දෙයි කියලා මම හිතන්නේ නෑ. එයා හුඟක් කල් බලාගෙන හිටපු 

බෝනික්කා තමයි ඔයා ගෙනත් දුන්නු එයාගෙ පිංකි.ඒ ආදරේ ආයේ කාටවත් ලැබෙන එකක් නෑ.මට හිතෙනවා දූ සෑහෙන්න උස්මහත් වෙනකන් ඔය බෝනික්කා එයා ගාව තියෙයි.”

එසේ පවසා කතාවට ඌණ පූර්ණයක් එක් කරන්නට ද හිමාෂාට සිත් විය.එය පවසන්නට ඇයට සිතුණේ රවිඳු රිදවන්නට හෝ අන් කිසිවකට නොවේ.එය ඒ මොහොතේ හිමාෂාගේ සිතට නැඟුණු සැබෑ හැඟීමකි.

“අපි ආසාවෙන් ළංවෙන පලවෙනිම දේ තරම් කිසිම දෙයක් හිතට දැනෙන්නෙ නෑ.ආයේ ඒ වගේ දේවල් මොන තරම් ලැබුණත් අපි පලවෙනි දේ එක්ක සසඳන එකත් නවතින්නේ නෑ”

රවිඳු කිසිවක් නොකියාම ආහාර ගන්නට විය.කුමන මොහොතක හෝ ආපනශාලාවේ දොරකඩින් පාරමීගේ රුව මතුවේදැයි බලන්නට ඉන්පසු ඔහු වගබලා ගත්තේ ය.හිමාෂා ආහාර ගන්නට එද්දී පාරමී සිටියේ වැඩ කන්දකට යටව බව ඉනික්බිතිව ඔහු සිහි කළේ ය.ඇය මෙතන සිටියානම් සිනහව නූපදන විහිළු සහ මොනවා හෝ වැඩකට නැති කතා කියවමින් හිඳින්නට සිදු වන බව ඔහු ඉන් අනතුරුව සිතී ය.නමුත් දැන් පාරමී මෙතැන නැත.සිතට ආ වචන පෙළ පැවසීමට බාධාවක් නොවේ.

“සමහර වෙලාවට අපිට ඒ අදහස වෙනස් කරගන්න තැනක් එනවා.පලවෙනි දේ නෙමෙයි හොඳම.සමහරවිට හොඳම දේ ලැබෙන්නේ ටිකක් ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්.”

රවිඳුගේ පැවසුවේ දියණියගේ බෝනික්කා පිළිබඳව නොවන බව වටහා ගන්නට තරම් හිමාෂාට සිහික්ල්පනාවක් තිබිණ.ඔහු ඇතැම්විට බිඳුනු ප්‍රේමයෙන් ක්‍රමයෙන් සුවපත් වෙමින් හිඳිනවා විය නොහැකිදැයි ඇය සිතුවා ය.

“ඔයා හිත හදාගන්න එකට නම් ඇත්තටම සතුටුයි”

ඉඳුල් භාජනය සෝදන්නට පෙර රවිඳු ආහාර ගෙන අවසන් වෙන තුරු තාවර වෙන අතර ඇය කීවේ සැබෑ හැඟීමකිනි.

“මම ඒක කිව්වෙ මට විතරක් නෙමෙයි ඔයාටත් එක්ක.මම හිත හදා ගන්නවට වඩා සිය ගුණේක වේගෙකින් ඔයා හිත හදාගන්න ඕන.එහෙම කරන්න ඊයේ වෙච්ච දේ හොඳටම ඇති.”

සහන්ට වෙනත් පවුලක් ඇති බවත් ගර්භනී වී සිටින බිරිඳට පළමුවැනි ස්ථානය ලබා දීම ඔහු කොහොමටත් සිදුකළ යුතු බවත් හිමාෂා කියද්දී රවිඳු නැවතිල්ලේ හිනැහුණේ ය.ඇය තවමත් ඔහුව සාධාරණීයකරණය කිරීම රවිඳුට දැරිය හැකි කාරණාවක් නොවේ.නොපැවසූ සිතුවිලි සහසක් හදවතේ සඟවා හිඳීම නිසා එවැනි කෝපයක් ඇතිවෙන බව ඔහු හොඳින් දැන සිටියේ ය.නමුත් එය ඇයට හෙළි කිරීමට තවම කාලය එළඹී නැත.එහෙත් හොඳ මිතුරෙකු ලෙස ඇයට යම් කාරණාවක් පැවසීමට හැකි බව රවිඳු කල්පනා කරන්නට වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content