මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 30

0
779

“දැන් මොකක්ද උඹ මේ ආයෙ වතාවක් පරණ පිස්සුවම නටන්න හදන්නෙ, මේඝා?”

රුවිනි ඒක කියනකොට, කැෆේ එකේ තිබුණ ඒ හුදකලා සද්ද ටික මට එකපාරටම ලොකු වෙලා ඇහෙන්න ගත්තා. අපි හිටියේ කොළඹ මැද තියෙන පොඩි, අඳුරු ආලෝකයක් තියෙන කැෆේ එකක. වීදුරු ජනේලෙන් එහා පැත්තේ පාරේ වාහන තදබදය හරියට හෙමින් චලනය වන රූප පෙළක් වගේ ගලාගෙන යනවා. වැස්සක් වැටෙන්න යන්න වගේ අහස තද අළු පාටයි. කොෆි මැශීන් එකෙන් හුමාලය පිට වෙන සද්දෙ, හැන්දක් කෝප්පෙක වැදිලා හෙමින් හෙමින් ඇහෙන ලෝහමය දෝංකාරය, ඒ හැමදේම එකතු වෙලා මගේ ඇතුළේ තිබුණ කලබලයට බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වගේ හැදුණා.

රුවිනි මගේ ඉස්සරහට වෙලා මං දිහාව හරි තරහෙන් වගේ බලාගෙන හිටියා. එයාගේ කොෆි එක දුම් දදා එයා ඉස්සරහා තිබ්බත්, එයා ඒකෙන් උගුරක්වත්  තාම රහ බලලා තිබ්බෙ නැහැ. කෝපි එකෙන් නගින හුමාලය එයාගේ මූණ ඉස්සරහින් පාවෙලා යනවා මට පේනවා. ඒ අතරින් එයාගේ ඇස් දෙක හරියට මාව විනිවිද යනවා වගේ මං දැක්කෙ.

මං කොහොම වුණත්, මගේ කෝප්පෙ දිහාම බලන් හිටියා. කිරි පෙණ උඩ ඇඳිලා තිබුණ රටාව ටික ටික කැඩිලා යනවා. ඒක දිහා බලන් ඉද්දී මට හිතුණේ මගේ ජීවිතෙත් මේ වගේමයි කියලා. ලස්සනට තිබුණ දේවල් ටික ටික හැඩේ නැති වෙලා යනවා.

“කතා කරපන් මේඝා,” රුවිනි ආයෙත් කිව්වා, මේ පාර ටිකක් හෙමින්. “උඹ මේක මේ විදියට දිගටම කරගෙන යන්න හිතන් ඉන්නවද?”

මං හෙමින් හුස්මක් ගත්තා. කැෆේ එකේ ඒසී එක වැඩ කරාට, ඒත් මට ලොකු රස්නයක් දැනුණා. හුස්ම ගන්නත් ටිකක් අමාරු වුණා.

“මං, මට එයාව අමතක කරන්න” මං කතා කරන්න පටන් ගත්තා, “මං මැරිලා ඉපදෙන්න වෙයි රුවිනි”

ඒ වචන ටික හරියට මගේ පපුව පතුලෙන්ම පිටවුණා වගේ දැනුනෙ. මං ඒවා ප්ලෑන් කරලා කිව්ව නෙවෙයි. ඒක ඇත්තක්. ඒක තමයි ඇත්ත. මතින්ද්‍රව අමතක වෙන්න නම් මම ආයෙ මැරිලා ඉපදෙන්න වෙයි.

රුවිනි ඒක ඇහුණට පස්සෙ පුටුවෙ පස්සට වෙලා ටිකක් වාඩිවුණා. එයාගේ මූණේ තිබුණ තරහා ටිකක් වෙනස් වෙලා දැන් ඒක බය, අවුලක් එක්ක නොසන්සුන්කම කලවම් වෙච්ච පෙනුමක් විදියට පරිවර්තනය වෙලා තිබ්බා

“ඒක නිදහසට කාරණාවක් නෙවෙයි මේඝා” එයා හෙමින් කිව්වා.

වීදුරුවෙන් එහා පැත්තේ වාහන වල ආලෝකෙ පරාවර්තනය වෙලා මේසය උඩට වැටෙනවා. ඒ ආලෝක ඉරි අතරින් මං රුවිනි දිහා බැලුවා. මට හිතෙන්නේ එයා මාව තේරුම් ගන්නවා ඒත් ඒක පිළිගන්න බැරි වෙලා ඉන්නවා.

“මං දන්නවා” මං හෙමින් කිව්වා. “මේක වැරදියි කියලා මං දන්නවා”

කැෆේ එකේ දොර ඇරෙන සද්දයක් ආවා. කෙනෙක් ඇතුළට ආවා. දොරේ එල්ලපු පුංචි සීනුවක් ක්ලින් ක්ලින් කියලා හෙමින් සද්ද කරා. ඒත් අපි දෙන්නා අතර තිබුණ මේ තදබල නොසන්සුන්කමට ඒවයේ කිසිම වැදගත්කමක් තිබුණේ නැහැ.

“ඒත්” මං කතා කරනකොටම රුවිනි මාව නතර කළා.

“ඒ ඒත් එක කියන්න එපා මේඝා,” එයා කිව්වා. “ඒ ඒත් එක තමයි උඹව හැම වතාවෙම විනාස කරන්නේ.”

මං කිසිම උත්තරයක් දුන්නේ නැහැ. මං කෝප්පෙ අතට අරගෙන එක උගුරක් ගත්තා. කෝපි එක තිත්තයි. හරිම තිත්තයි. ඒත් මං ඒක ගිල්ලා.

ඒ තිත්ත රස මට හුරුයි. ඒ වගේම ආදරේ හන්දා මගෙ ජිවීතේට උරුම වෙච්ච තිත්ත ගතියත් මට දැන් හුරුයි. මං කෝප්පෙ ටේබල් එක උඩ  තියාගෙන, අත් දෙකම එකට බැඳගෙන හිටියා. කැෆේ එකේ ලයිට් ටික ටික ඩිම් වෙන්න පටන් ගත්තා. ඉස්සරහ වීදුරුවෙන් එන නැචුරල් ලයිට් එකත් අඩු වෙලා. වැස්ස පටන්ගන්න යන සලකුණක් ඒ.

“මං මේ පාර ඒක භාරගන්නෙ වෙනස් විදියට රුවිනි” මං හෙමින් කිව්වා.

“කොහොමද?” රුවිනි කෙළින්ම ඇහුවා.

“මං දැන් දන්නවා.”
 මං එයා දිහා කෙලින් බැලුවා.
 “කොහොමත් එයා මට අයිති නෑ කියලා.”

ඒ වචන ටික අතරින් තමයි මං හුස්මක් ගත්තෙ. ඒක හරි බර හුස්මක්. හිත ඇතුළේ හංගගෙන හිටපු මහ බර ඇත්තක් අන්තිම්මේ පිටවුණා වගේ.

රුවිනි හිනා වුණා ඒක හරිම සාකැස්ටික් එකක්.


 “ඒක දැනගෙනත් උඹ ඒකම කරනවද?”

“ඔව්.”

මං දෙපාරක් හිතුවෙ නෑ ඒක කියන්න. “මං මේ පාර කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ, කලින් වතාවෙ වගේ එයා මාව තෝරයි කියලා මාව අත අරින්නේ නෑ කියලා” එහෙම කියලා මං ටිකක් නතර වුණා.

“මේ පාර මං දන්නවා මේක කොහෙන්ද නතර වෙන්නේ කියලා,” මං හෙමින් කිව්වා.

“ඒ කියන්නේ?”

“මේක සදාකාලික දෙයක් නෙවෙයි කියල මං දන්නවා”
 “මේක නිකන්” මං වචන හොයාගන්න උත්සාහ කළා,
 “මට ඒකෙන් ගැලවිලා යන්න බැහැ වගේ”

රුවිනි අත දෙක මේසෙ උඩ තද කරගත්තා.
 “උඹට මේකෙන් මොනවද ලැබෙන්නේ?”

මං එකපාරටම උත්තර දුන්නේ නෑ.මගේ මතකේ ඊයේ රෑ දිහාවට ආයෙ ඇදිලා ගියා.
 එයාගේ හඬ.එයාගේ ඇස්. ඒ නිහඬ තත්පර.

“කියන්න බැරි දෙයක්” මං අන්තිමේ කිව්වා.

“ඒක තමයි!” රුවිනි ඇත්තටම කෑගහලා වගේ කිව්වෙ. “ලැබෙන්නෙ මොනවද කියලවත් කියන්න බැරි දෙයක් වෙනුවෙන් උඹ මේ හැමදේම රිස්ක් කරනවා”

මං හිනාවුණා. මේ පාර ටිකක් මහන්සියෙන් වගේ.
 “ආදරේ කියන්නේ පැහැදිලි කරන්න පුළුවන් දෙයක්ද?”

“ඕක ආදරේ නෙවෙයි.”

ඒ වචන කැෆේ එකේ තිබ්බ හුළඟ කපාගෙන ගියා වගේ මට දැනුනෙ.
 “එහෙනම් මොකද්ද?” මං හෙමින් අහද්දී, රුවිනි ටිකක් පස්සට වැටිලා වාඩිවුණා.

“ඇඩික්ශන් එකක්” එයා හුස්මක් ගත්තා. “සම්පූර්ණ ඇඩික්ශන් එකක්.”

මං ජනේලෙන් එළිය දිහා බැලුවා. වැස්ස දැන් ඇත්තටම වැටෙන්න පටන් අරන්. වතුර බිංදු  ජනේලෙ දිගේ පහලට ගලාගෙන යනවා.

“උඹ කියන දේ හරි ඇති” මං හෙමින් කිව්වා. “ඒකත් වෙන්න පුළුවන්”

 වැස්ස දැන් තව හයියෙන් වැටෙනවා. ග්ලාස් එකට වැටෙන වතුර බිංදු එකිනෙකට ගැටෙන සද්දෙ මට ඇහුණෙ සංගීතෙ වගේ. ඒ සද්දේ ඇතුළේ අපි දෙන්නා අතර තිබුණ සයිලන්ස් එක තවත් ඩීප් වුණා.

“මේඝා” රුවිනිගේ හඬ මේ පාර වෙනස්. තරහක් නෙවි බයක් වගේ දෙයක්.

“මං උඹට බැන්නෙ ජජ් කරන්න නෙවෙයි.මං බයයි.”

මං ඒක ඇහුණාම ඇස් ටිකක් පියාගත්තා.
 “මං දන්නවා”

“උඹ ආයෙම බ්‍රේක් වෙයි කියලා මට බයයි.”

මං හිනාවුණා.  “මං බ්‍රේක් වෙන්නෙ නෑ…”

“මට බොරු කියන්නෙ නෑ.”

එයා කෙලින්ම කිව්වා.ඒ වචන මට වැදුණා.මං කතා කරන්න උත්සාහ කළා. ඒත් වචන නතර වුණා.

“උඹට guilt එකක් දැනෙන්නේ නැද්ද මේ වරදක් කරන්නෙ කියලා?”

“දැනෙනවා” මං හෙමින් කිව්වා. “හැම වෙලාවකම දැනෙනවා.”

“ඒත් නවත්තන්නෙ නැද්ද?”

මං ජනේලෙ දිහා බලන් හිටියා. වැස්ස තාමත් ජනේලෙ දිහාවට වැටෙනවා. ඒ වතුර බිංදු එක බිංදුවකට එක්කහු වෙලා පහලට ගලාගෙන යනවා.

“ඕක නවත්තපං බන්” රුවිනි කිව්වා.
 

 “නවත්තන්න මට හිතක් නෑ රුවිනි…”

ඒක තමයි ඇත්ත.

රුවිනි හුස්මක් ගත්තා.
 

“උඹ මාර නරක තැනක බං ඉන්නේ…”

“මං දන්නවා”

ඊට පස්සෙ මං කිසිම උත්තරයක් දුන්නේ නෑ.මට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. වේටර් කෙනෙක් අපේ  ටේබල් එක ළඟට ඇවිත්, “anything else?” කියලා අහලා ගියා.
 අපි දෙන්නාම ඔලුව වනලා කරලා “නෑ” කියලා කිව්වා.

රුවිනි අන්තිමේ ටේබල් එකෙන් ටිකක් ඉස්සරහට වෙලා වාඩිවුණා. එයාගේ ඇස් කෙලින්ම මගේ ඇස් අස්සේ හිරවුණා.

“හරි” එයා හෙමින් කිව්වා. “ඒ හැමදේම අපි පැත්තකට දාමු.දැන් කියන්න”

“දැන් උඹ හේසරට මොකද්ද කරන්න හිතන් ඉන්නේ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here