වියෝ ගී ගැයෙනා හදේ – 30

0
2219

චිරත් දරුවාව රැගෙන ඔහුගේ ඇනෙක්සිය වෙත යාමට ඉඩ දෙන්න හැකියාවක් නැති නිසාත්, ඒක තමන්ගේ හිත තමන්ට “උඹ හොඳ අම්මෙක් නෙවෙයි” කියා කවදහරි කියන්න හේතුවක් වෙන්න පුලුවන් හන්දාත් තාත්තාට පිණ්සේන්ඩු වී චිරත්ට ගෙස්ට් රූම් එකේ පෙත්මලී එක්ක ඉන්න ඉඩ හදා දෙන්න තරම් මේධා කටයුතු කරාය. පෙත්මලීට උවමනා උන්නේ ඉස්සර වගේම අම්මත් තාත්තත් මැද්දෙ තියාගෙන නිදාගන්න උනත් “අම්මිගෙ ඔලුව හොඳටම රිදෙනව බබී. ඒ නිසා අම්මි අම්මිගෙ කාමරේ දොයියන්නම්” කියා බොරු කියා ඒ මොහොත මගාරින්න මේධාට පුලුවන් උනාය. චිරත් උන්නේ ඒ කිසිම දේකට කිසිවක් නොකියාය. මේධාට නපුරු වී කතා කරන්න, බැන වදින්න අදහසක් ජීවිතේ කිසිම දවසක තමන්ගේ හිතේ තිබුනෙ නැති එක ඇත්තක් උනත් අද තමන් දෙදෙනාගේම දරුවා වෙනුවෙන් මේධාට එහෙම කතා කරන්න උන එක ගැන පසුතැවීම චිරත්ගේ හිතේ ඕනවටත් වඩා තිබුනේය. අනෙක් අතට කොච්චර මතුපිටින් වෙනස් වී තිබුනත් ඉස්සර තරහ ගියාව අවස්තාවල තමන් සැරෙන් ඔරවා බලද්දී මුවැත්තියක මෙන් තිගැස්සුණ දෙනෙත් අදත් තමන් බැන වද්දිදී තිගැස්සුන අයුරු දැක දැක එහෙම ඉන්න පුලුවන් වෙච්ච එක ගැන චිරත් තමන් ගැනම පුදුම වුණේය.

එදා රැයේ පෙත්මලීව තමන්ගේ තුරුලේ තියාගෙන නින්දක් නැතුව රැයක් ගෙවෙද්දී මෙවන් රැයවල් කීයක් තමන් නැති සයනයක් උඩ මේධා දරුවාව තුරුලු කරගෙන තනිවම, සුසුම් මැද ගෙවන්න ඇතිද කිය චිරත්ට හිතුනේය. මේ වුන සියලුම දේවල් පිටිපස්සේ තමන්ගේ පැත්තේ ලොකු වරදක් තිබෙන බව චිරත්ට හිතුනේය. තමන් සහ මේධා විසින් කලබලයේ ගත් තීරණයක් නිසා අද තමන්ගේ දරුවා, දරුවෙක් විදියට වඩාත්ම සන්තෝස විය යුතු ඇගේ උපන්දිනය දවසේ හඬා වැලපෙමින් දුක්බරව ගෙවා දමා තිබෙන බව මතක් වෙද්දි තමන් තාත්තා කෙනෙකු විදියටත් හැඟිම් දැනීම් ඇති මනුස්සයෙක් විදියටත් තමන්ගේ යුතුකම් පැහැර හැර තිබෙන බව චිරත්ට තේරුම් ගියේය.

එහෙත් මේ ඇවිත් තිබෙන්නෙ අතීතයේ වූ වැරදි, අඩුපාඩු මග හැරීම් ගැන ආයෙ ආයෙ හිත හිත හිත රිද්දගන්න වෙලාවක් නොවේ. ඒ වැරදි ආයෙ ආයෙ වර්තමානයට සහ අනාගතයට ඇවිත් තමන්ටවත් තමන් නිසා මේ ලෝකෙට ආව දරුවට ගැටලුවක් දුකක් වේදනාවක් නොවෙන්නට කටයුතු කරන එකය. 

චිරත් එදා රැය පුරාම කල්පනා කරේ ඒ ගැනය. පෙත්මලී හොඳටම නිදාගෙන උන් උදේ වරුවේ වෙලාවක සෝමා පමණක් ඇහැරී උන්නු වෙලාවක පෙත්මලීව ඇඳෙන් වැටෙන්නේ නැතිවෙන පරිද්දගෙන් ඇගෙ වටේට කොට්ට තබා චිරත් නිහඬවම ගෙදරින් පිටව ගියේත් ඒ කල්පනාවන් අතරවාරයේය.උදේ ඇහැරී තාත්තා තමන්ට කියන්නෙම නැතුව ගිය එක ගැන මද අමනාපයක් පෙන්නුවත් ඊයෙ හවස් වරුවෙ වගේ ලොකු කලබලයක් කරන්නෙ නැතුව පෙත්මලී පාසල් යන්නට සූදානම් උන එක මේධා හිතෙන් දෙයියන්ට පින් දුන්නාය. වෙනදා වගේ ගුණරත්න එක්ක දරුවාව පාසලට යවන්නෙ නැතුව මේධා කලින්ම හැඳ පැලඳගෙන තමන්ගේ වාහනයෙන්ම දරුවව පාසලට ඇරලවන්න කටයුතු කරේ හිත ඇතුලෙ මොක උනත් අම්මා කෙනෙක් විදියට තමන් අතින් යම් යුතුකමක් මග හැරුන බවට සිතුවිල්ලක් තිබුන නිසාවෙන් ය.

කාරෙකේ නැග අම්මා එක්ක පාසලට යන අතරවාරයේ පෙත්මලීට කියන්නට වෙනදා වගේ දේවල් තිබුනේ නැත. උපන්දිනයේ සතුට නිසාවෙන් දවසක් දෙකක් පමන ඉතාම ලොකු කිචි බිචියක හිරවී උන්නු කෙල්ල මේ මොහොතේ ඉන්නේ වඩා නිහඬ වෘතයක් පුරන ගමන් බව තේරුණත් මේධාවිණී ඒක ප්‍රශ්නයක් විදියට දැක්කෙ නැත. අනික් අතට මේ මොහොතේ මේධාවිණී උන්නේ ඒ නිහඬ ඉඩ බලාපොරොත්තුවෙන්‍ ය. ඒ නිහඬ ඉඩ තිබුනේ මේධාවිණීට හිත ඇතුලෙන් මනෝ ලෝකයක් ඇතුලේ නිදහසේ සැරිසරන්නට ඉඩ හදා දෙමිනි.ඒ මනෝ ලෝකය ඇතුලේ මේධා උන්නේ මේ උන දේවල් ගැන හිතමින් ඒවායේ හරි වැරදි අඩුපාඩු කතාකරමින් නොවේ. 

“මේවා මෙහෙම නොඋනනම්, චිරත්ව හම්බුනේ නැත්තම් මං එයාව බැන්දෙ නැත්තම්, අපිට පෙත්මලීව හම්බුනේ නැත්තම් මොනව වෙයිද? එහෙනම් මං මේ වෙලාවෙ කොහේ කොතන ඉඳිවිද? මැරි කරල ඉඳිවිද? අම්මල හොයල දෙන කෙනෙක්ව බඳීවිද? එහෙම නැත්තම් මම හොයාගත්ත චිරත්ට වඩා හොඳ කෙනෙක්ව කසාද බඳීවිද?” කියා හිතන ගමන් ය. ඒ සිතුවිලිවල කෙලවරක් නැති නමුත් මොහොතකට හෝ හිතෙන් හෝ “අනේ මේව උනේ නැත්තම් මං අද නිදහසේ ඉන්නව නේද?” කියල සිතුවිල්ල පෙරදැරිව මේධා සන්තෝස වුණාය. ඒ සතුට අනෙක් අය විෂයෙහි සාධාරණද අසාධාරණද කියා හිතන්නෙ නැතුව තමන් වෙනුවෙන් තමන් විසින් එහෙම හිතපු එක සාධාරණ බව මේධා හිතුවාය.

නදීකා ටීචර් උන්නේ ඊයේ පෙත්මලීගේ උපන්දින උත්සවය වෙලාවෙ උන දේ ගැන පංතියෙ ඇගෙ යාලුවන් කිහිප දෙනෙකු කතාකරන එක ගැන හීන් සැරේ අහගෙනය. ඊයේ දහවල් වරුවේ පාසලේ පැවැත්වුන උත්සවය වෙලාවේ පෙත්මලීගේ අම්මා සහ තාත්තා එක්ක පෙත්මලී ගැන කතාකරන්න හිතාගෙන උන් එක වැරදුනේ අල්ලපු පංති කාමරයේ දරුවෙක් බිම වැටී ඔලුව පලාගත්ත හන්දාය. ඒ පංතියෙ පති භාර ගුරුතුමිය විදුහල්පතිනිය හමුවන්න ඒ මොහොතේ ගිහින් උන් නිසාවෙන් ඒ දරුවව බලන්නට නදීකාට සිදු වූ නිසා ඒ සියලු වැඩ රාජකාරි අවසන් කර අපහු එද්දී පෙත්මලීගේ අම්මත් තාත්තත් උන්නේ පිටව ගොසිනි.

“මං එවෙලෙ ඒක කිව්වනම් සමහරවිට ගෙදර තිබුන පාටි එක වෙලාවෙදි පෙත්මලී දිහා ඔයිට වඩා ඇහැ ගහගෙන ඉන්න ඒ පේරන්ට්ස්ල කටයුතු කරන්න තිබුනා” කියන හැඟීම එදා උදය වරුවේම තමන්ව රිදවන්නට හේතුවන බව නදීකා දැන උන්නාය. අම්මාගේ අතෙන් අල්ලාගත් පෙත්මලී පංතියට එන අයුරු නදීකා දැක්කේ ඒ වෙලාවේය. තව මොහොතක්වත් පමා නොකර තමා විසින් මේ කතාව මේ මොහොතෙ කල යුතු බව නදීකා හිතට කියන අතරම හිඳගෙන උන් ගුරු පුටුවෙන් නැගිට වහ වහා අඩි තබා පංතියෙ එහෙ මෙහෙ විසිර උන් දරුවන් මැද්දේ මේධාවිණී වෙත යුහුසුලුව ඇවිද ගියාය.

“පෙත්මලීගේ අම්මා, මට චුට්ටක් කතා කරන්න පුලුවන්ද?” කියා පෙත්මලිගේ පංති භාර ගුරුතුමිය අහද්දි ඒ කුමන ආකාරයේ දෙයක් ගැනද කියන කුකුස හිතේ තිබුනත් මේධාවිණී “කියන්න ටීච” කියා කිව්වේ මුව ඇඳගත් මද සිනාවක් එක්කය.

“ඇත්තටම මේක පෙත්මලී ගැන සම්බන්ධ දෙයක්. මම ඊයෙ තමයි මේක පෙත්මලීගෙ අම්මයි තාත්තයි දෙන්නම එක්ක කතා කරන්න හිටියෙ. මේක අම්ම සහ තාත්ත දෙන්නම එක්ක කතා කරන්න ඕන දෙයක් නිසා. ඒත් ඊයෙ මට හදිසි වැඩක් නිසා ඒක කරන්න බැරිඋනා”

“ඔව් කියන්න ටීච”

“මේකයි මිස් පෙත්මලී හරි හොඳ දරුවෙක්. හොඳට වැඩ කරන, සෙල්ලම් කරන ඇක්ටිව් දරුවෙක්. ඒත් දැන් ටික කාලෙක, ටික දවසක ඉඳලා පෙත්මලීගෙ මම ලොකු වෙනසක් දකිනවා. එයා ඉස්සර තරම් ඇක්ටිව් නෑ. ඒ වගේම යාලුවො එක්ක සෙල්ලම් කරන්න යන්නෙ නැතුව තනියම ඉන්නම තමයි ගොඩක්වෙලාවට ට්‍රයි කරන්නෙ. සමහර වෙලාවට ක්ලාස් එක අතරවාරෙත් එයා පාඩම අහගෙන නෙවෙයි ඉන්නෙ කියන එක මට කීප සැරයක් තේරිලා තියෙනවා.

ගෙදර මොනවහරි වෙනසක්, ප්‍රශ්නයක් වගේ දෙයක් උනාම දරුවො මේ වගේ වෙනස් හැසිරීම් පෙන්නනව කියල මම අහල තියෙනව. මම කෝකටත් පෙත්මලීගෙ අම්මට මේ ගැන කියන්න හිතුවෙ පොඩි කාලෙ දරුවන්ගෙ ඔලුවට යන දේවල් එයාලා උස් මහත් වෙද්දි ඔලුවට ලොකුවට බලපානව කියල මම අහල තියෙන නිසා.

ඒ නිසා මම හිතන්නෙ චුට්ටක් අපි මීට වඩා ගෙදරදිත් පෙත්මලීගෙ මොකක් හරි වෙනසක්, හැසිරීමෙ වෙනසක් තියෙනවද වෙනදට වඩා කියල බලන්න උත්සහ කරන එක. ඉස්කෝලෙ ඉන්න වෙලාවෙ ඉතින් අපි බලන එක ඇත්ත උනත් දරුවො තිහක් විතර ඉන්න තැනක එක දරුවෙක් දිහාවම බලාගෙන ඉන්න එක ටිකක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. ගෙදරදි අපිට ඒක කරන්න පහසුයිනෙ ඒකයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here