උදෑසන දෙහි මිශ්‍ර උණු වතුර බීමෙන් කාන්තා ඔබට ලැබෙන වාසි

දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ. 

ජලය පානය කිරීමෙන් ඔබට සිතාගත නොහැකි තරම් ප්‍රයෝජන රාශියක් ලැබෙනව. 

ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීම, පැහැදිලි සහ දීප්තිමත් සමක් ලබාදීම, හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීම, දවස පුරාම ප්‍රබෝධමත්ව සිටීමට වගේම මානසික නිරෝගී බව පවත්වා ගෙන යෑම ඒ අතරින් කීපයක් පමණයි. 

උදෑසනම තේ, කිරි හෝ පළතුරු යුෂ පානයට වඩා හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නෙත් ශරීරයේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඒ හරහා උපකාරී වන නිසයි.

ඉතිං මේ උදෑසනම ඔබ පානය කරන වතුර වීදුරුවට දෙහි යුෂත් මිශ්‍ර කරොත් ?

උදෑසනම ඔබ පානය කරන මඳ රස්නෙ වතුර වීදුරුවට දෙහි ගෙඩියක හෝ දෙහි ගෙඩි භාගයක යුෂ එකතු කිරීමෙන් මේ පානය සාදාගන්න ඔබට පුළුවන්. 

වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්න නම් ලුණු හෝ සීනි නොදා මේ පානය සකස් කල යුතු බවයි අපි ඔබට මතක් කරන්නෙ. 

අපි බලමු එයින් ලැබෙන ප්‍රතිඵල කොහොම වෙයිද කියල.

අද අපි ඒ ගැනයි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ. 

සම දීප්තිමත් කිරීම

දෙහි වල විටමින් C සහ ෆ්ලෙවොනොයිඩ් (flavonoids) නම් ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. 

මේ පෝෂක සමේ ලප කැළැල් අඩුකර පැහැදිලි සහ දීප්තිමත් සමක් ලබා ගැනීමට ඔබට උපකාරී වෙනවා. 

ඔබේ සම විජලනයෙන් ආරක්ෂා කිරීම, සිනිඳු කිරීම වගේම සමේ තරුණ බව ආරක්ෂා කරගන්නත් මේ මඟින් ඔබට හැකියාව ලැබෙනවා.

ශරීරයේ අනවශ්‍ය බර අඩු කරයි

දෙහියුෂ වල අඩංගු සිට්රික් අම්ලය (citric acid) මඟින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත් සහ වේගවත් කර වැඩි කැලරි දහනයක් සිදුකිරීමට වගේම මේදය ගබඩා කිරීම අඩු කිරීමටත් ක්‍රියා කරනවා.

ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම

දෙහිවල ඇති ආම්ලික බව සහ ෆ්ලෙවොනොයිඩ් (flavonoids) මඟින් ජීර්ණය සඳහා අප ගන්නා ආහාර බිඳ දැමීම සහ ආහාර ජීර්ණය සඳහා ක්‍රියාකරන යුෂ ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීමක් සිදු කරනවා. 

බඩවැල් වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීම සහ මළබද්ධය ඇතිවීම වලක්වා ගන්නත් උපකාරී වෙනව. 

ඔබ නිතරම ආහාර ජීර්ණය පිළිබඳ ගැටළු වලට මුහුණ දෙනව නම් ආහාර ගැනීමට පැය භාගයකට පමණ පෙර දෙහි යුෂ තේ හැඳි දෙකක් යෙදූ මඳ රස්නෙ උණුවතුර වීදුරුවක් බීම ප්‍රතිඵල දායක බවයි සඳහන් වෙන්නෙ. 

බෝ වන රෝග වලින් ඔබව ආරක්ෂා කරයි

දෙහියුෂ වල විටමින් C සහ ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයි. 

එමඟින් ලෙඩ රෝග වලට එරෙහිව සටන් කිරීමට ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වගේ වෛරස් ආසාදන ඇතිවීමේ අවධානම අඩු කරනව.

ඒ වගේම එවැනි වෛරස් රෝග ක්‍රියාකාරීව තිබීමේ කාලසීමාවත් අඩුකරමින් ඉක්මන් සුවයක් ගෙන දෙන්නත් උපකාරී වෙනවා.

බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම අඩු කිරීම

දෙහියුෂ වල අඩු ග්ලයිසමික් දර්ශකයක් අඩංගු නිසා එමඟින් රුධිරයට සීනි අවශෝෂණය වීම ක්‍රමවත් කරනවා. 

ප්‍රතිඵලයක් විදිහට රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය අඩුවෙලා දියවැඩියා (diabetes) තත්වය ඇතිවීම වළක්වනවා. 

දෙහි වල අඩංහු පොටෑසියම් සහ මැග්නීසියම් හෘදයේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳින් පවත්වා ගෙන යාමට උදව් කරනවා. 

පොටෑසියම් වලට රුධිර පීඩනය අඩු කිරීමේ සහ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමේ ස්වභාවික හැකියාවක් ඇති අතර එමඟින් රුධිර පීඩනය (blood pressure) අඩුකර හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කිරීමට උපකාරී වෙනව. 

මීට අමතරව දෙහි යුෂ වල ඇති ලිමොනින් නැමති සං‍යෝගය මඟින් රුධිරයේ ඇති කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ දැනට පර්යේෂණ සිදුකරමින් පවතිනවා. 

එමෙන්ම, දෙහියුෂ වල ප්‍රතිඔක්සිකාරක ගුණය ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරමින් පිළිකා වැනි ආගන්තුක සෛල ඇතිවීම වැළක්වීමටත් නීරෝගී සෛල අලුතින් ඇතිවීමට උපකාරී කිරීමත් සිදුකරනව. 

දෙහිවල ඇති විටමින් C මඟින් ආතරයිටීස්, සන්ධි වේදනා සහ රක්තවාතය වැනි තත්වයන් සමනය කිරීමත් සිදුකරනව. 

දෙහි යුෂ මිශ්‍ර උණු වතුර දිනපතා උදෑසනින්ම පානය කිරීම කොතරම් යහපත් ප්‍රතිඵල ලබා දුන්නත් එය අපි සෑම කෙනෙක්ටම එක ලෙසම ප්‍රතිඵල ගෙන දෙන්නෙ නෑ. 

ඔබේ සෞඛ්‍ය තත්වය, ශරීරයේ බර සහ වයස වගේ විවිධ කාරණා මත මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා උදෑසන දෙහි මිශ්‍ර උණුවතුර පානය කිරීම ආරම්භ කරන්න කලින් ඒ පිළිබඳව ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් හා අදහස් විමසන්න කියලත් අපි ඔබට යෝජනා කරන්න කැමතියි.

එහෙමනම් සුවපත් දිවියක් සඳහා උපකාරී වෙන මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles