සුළි සුළඟක සුසුමක් – 3 වන කොටස

මගේ නමින් මා ඇමතූ ඒ තරුණයා දෙස බලා ගෙන මම ඉතාමත් ම හෙමිහිට එදෙසට පියවරක් දෙකක් තැබුවෙමි. ඒ ඇස් මවෙතට දැල් වී ගෙන ම තිබිණ. ඒ ඇස් වල හිතුවක්කාර මඳහසක් ද තිබුණා කියා සිතමි. නමුත් මගේ මුව අසලකවත් එක සිනහ බිඳක් වූයේ නැත.

“කොහොමද ඔයා මගෙ නම දන්නෙ…”

මගේ හඬ තුළ කිසිදු ළෙංගතු බවක් නො වන්නට ඇත.

“ඇත්තටම ඔයාට මාව අඳුරන්න බැරිද උත්තරා…”

“මං හිතන්නෑ මං ඔයාව අඳුරනව කියල”

“ඉස්සර වගේම ඔයා ආඩම්බරයි”

“කවුද මේ…”

“සංකල්ප”

“සං…කල්…ප…”

මම ඒ නම දිගේ ටිකක් හිතුවෙමි. නමුත් ඔහු හා සසැඳෙන කිසිවෙකු මට කල්පනා වූයේ නැත. ගෑනු ළමයින් කතාවට අල්ලා ගන්නට කොල්ලන් කියනා ඔය වගේ කතන්දර ගැන නො දන්නා කෙනෙක් නොවේ මා.

“මං දන්නෑ”

කියමින් මා ආපසු හැරුණේ එනිසා ම ය. නමුත් මට අඩියක් තියන්නට ලැබුණේ නැත. ඔහු ඉක්මනට පැන, උනා දමා තිබි මගේ කොණ්ඩයෙන් අල්ලා ගත්තතේ ය. මා ආපසු හැරුණේ ඉහිලුම් නැති කේන්තියකිනි.

“කොණ්ඩෙ අතාරින්න හරිද…”

මගේ වත රතු වී ද ඇස් වලට කේන්තිය කාන්දු වී ද තිබෙන්නට ඇත.

“ලිට්ල් බඩ්ස් නර්සරි එකේදි වොෂ් රූම් එකට යද්දිත් තනියට පස්සෙං ආවෙ…කන්න බෑ කියල කියද්දි කොහොම හරි මගෙ ලන්ච් බොක්ස් එකෙං හරි කැව්වෙ…කොල්ලෙක් පැන්සල හොරකං කරපු දවසක ඌත් එක්ක ගුටි ඇන ගත්තෙ…ඒ සංකල්ප මතක නෑ එතකොට ඔයාට…”

ඔහු මගේ කොණ්ඩය අතෑරියේ ඒ සියල්ල කියා ගෙන යාමෙන් අනතුරුව ය. ඒ ඇස් මත ඉතිහාසගත අමනාපයක් කැරලි ගසනවා මට පෙනුණේ ය. නමුත් මට ඒ කියූ කිසිවක් ම සිහි කර ගත හැකි වූයේ නැත.

“මතක නෑ කිව්වහම මතක නෑ තමයි”

තදින් කියා දැමූ මම ඉක්මන් ගමනින් ගේ දෙසට ගියෙමි.

“ලූනා ඉක්මනට එන්න ඕනේ…”

ඒ යන අතරේ කෑ ගසා නෝකකාඩු ස්වරයකින් එසේ කියන්න ද මම අමතක නො කළෙමි. සංකල්ප යනුවෙන් ඔහු ව හඳුන්වා දුන් යෞවනයා කී දේවල් මගේ මනසේ පිළිරැව් දෙමින් යළි යළිත් මට ඇසෙන්නට විය. මම යහනේ උඩු කුරු ව පෙරළුණෙමි. කොහොමටත් මගේ මතකය ඒ තරම් හොඳ නැත. විශේෂයෙන් ම පුද්ගලයන් සම්බන්ධ ව මට තියෙන්නේ හොඳ මතකයක් නොවේ. ඔහු කියනා ඉතා කුඩා සන්දියේ නොව මෑත කාලයේ පවා නිරන්තර ඇසුරු කරන අය ව මිස ඉඳහිට අහම්බෙන් ඇසුරු කරන්න ට වුණ බොහෝ අය මගේ මතකයේ රැඳී නොමැත. ඒ මා ඔවුන් මතකයේ තබා ගන්නට උත්සාහයක් ද නො කර ඇති නිසා ය. ජීවිතය නම් ගමනේ දී මග තොට හමු වෙන හැම පුද්ගල රුවක් ම හද තුළ රුවා ගෙන සිටීමේ අවශ්‍යතාවයක් නැති ය යන අදහස කොහෙන් හෝ මගේ හිතට රිංගා තිබේ.

අනිත් අතට ඔහු මගේ රත්නපුර අතීතයට අයත් පෙර පාසල් වියෙහි, මගේ පෙර පාසලේ සිටි ළමයෙකු වන්නට ඇත. ඉතින් ඒ නිසා මා ඔහු මතක තබා ගත යුත්තේ කුමට ද? ඔහු පමණකුදු නොව පෙර පාසලේ උන් කිසිවෙකු මට මතක නැත. ඔහු මගේ තනියට සේදුම් කාමරය අසලටත් පැමිණියා යි ඔහු කියයි. මගේ පැන්සලක් උදුරා ගත් කොළුවෙකුට පහර දුන්නා යයි කියයි. ඔය තරම් පුංචි කාලයේ සිදු වූ දේවල් මතක තබා ගෙන ඉන්නේ කුමට ද?

මාත් නො දැන ම මගේ මුවට සිනහවක් ආවේ ය.

ජංගම දුරකතනය නාද වන්නට වූයේ ය. එහා ඉම වූයේ අම්මා ය. මම වහා දුරකතනය සවනට ගතිමි.

“අම්ම…”

“මොකද කරන්නෙ පුතේ…”

“ඇඳට වෙලා හිටිය අම්ම”

“අනේ පුතේ ඇඳට වෙලා කල්පනා කරනවද තාම… රත්නපුරේට වෙලා ඉන්න එකෙං වෙන්නෙ ඔයා හිත හදා ගන්න එක නෙවෙයි. තව තවත් කල්පනා කරන එක…  අතීතෙට එකතු වෙන්න අරින්න ඕන ඒවත් කල්පනා කර කර වර්තමානයෙ ජීවත් කරවන එක. කල්පනා කළා කියල අපිට මොනවද වෙනස් කරන්න පුළුවන් උත්තරා…එහෙම පුළුවන් නං ඔයා නෙවෙයි….මං කල්පනා කරන්නං..”.

අම්මා කියවා ගෙන ගියා ය.

“කල්පනා කළේ නෑ අම්ම”

ඇගේ දේශනය අවසානයේ මම සුසුමකින් කියා ගතිමි.

“ජොබ් එකෙනුත් අයිං වුණ එකේ දැං ඉතිං ගෙදර ඇවිත් මේ බිස්නස් ටික බලා ගන්න දරුවො. කොහොමත් ඔයා ලබන සතියෙ එන්න ඕනෙ අප්පච්චිගෙ තුන් මාසෙ දානෙට”

“මට බිස්නස්නං ඕන නෑ අම්ම”

මම පුරුදු උදාසීන බවින් කීවෙමි. ජීවිතයේ බැඳීම් ලෙහා දමන්නට ඕනෑ වී සිටින මට අම්මා ව්‍යාපාර භාර ගන්නට කියයි. මට ඕනෑ මේ සියල්ලෙන් විනිර්මුක්ත වන්නට බව අම්මා තවමත් නො සිතයි.

“අයියටයි අක්කටයි ඕව කර ගන්න කියන්න”

“කට කට. කට ඉස්සර කර ගන්නෙ නැතුව ඉන්න. ඒගොල්ලන්ට දෙන්න ඕන දේවල් අප්පච්චි දීල තියෙන්නෙ. ඉතුරු වෙලා තියෙන්නෙ ඔයාට අයිති දේවල්”

“මට ඕව ගැන උනන්දුවක්වත් දැනීමක්වත් නෑ අම්ම. අම්මට ඕනෙමනං මට මේ ගේ දෙන්න. මං මෙහෙට වෙලා ඉන්නං. ඉඳහිට ජීවත් වෙන්න ඇති තරමට මට සල්ලි ටිකක් එව්වම ඇති අම්ම”

“උත්තරා…අනේ ඔහොම කතා කරන්න එපා පුතේ”

අම්මා ට ක්ෂණික ව හැඬුම් ආවේ ය. ආදරණීය ස්වාමි පුරුෂයා අකාලයේ ඇය අතැර ගියේ ය. බාල දියණියත් ජීවිතය කලකිරී තපසට යත්දැයි නියත බියක් ඈ තුළ වනවාට සැක නැත.

“අම්ම මං ගැන දුක් වෙන්න එපා. ලොකු ලොකු බැඳීම් නැති තැන කරදර අඩුයි අම්ම. දුක අඩුයි. ඕව බාර දීල අම්මත් මෙහෙ ඉන්න. අපි සැනසීමෙං ඉන්න ටිකේ ජීවත් වෙමු”

“හ්ම්. ඔයා ලබන සතියෙ ගෙදර එන්න ඕනෙ”

එසේ කියා අම්මා දුරකතන සබඳතාව බිඳ දැමුවා ය. මම දිය නා ගන්නට නාන කාමරයට වැදුණෙමි. එය හෝ හිතේ හැටියට නිදහසේ කර ගන්නට නො ලැබුණේ, නීලා දොරට පිටතින් හිඳ කියවන්නට වූ නිසා ය.

“අනේ සුදු බබා ඇයි මේ සීතලේ නාන්නෙ…අසනීපයක් එහෙම හැදුණොත් මං ලොකු නෝනට මොනා කියන්නද…මේ දැනුත් කතා කරල කිව්වෙ ඇස් දෙකේ තියාගෙන සුදු බබාව බලා ගන්න ඕනයි කියල. සුදු බබා මෙහෙ ඉඳං කරන හිතුවක්කාර චණ්ඩි වැඩ ගැන කිව්වනං එහෙම ලොකු නෝන අදම ඇවිත් බබාව කොළඹ අරං යනව”

නීලා ඔය නො කියා කීවේ පෙර දා රාත්‍රියේ මා අසල්වැසි තරුණයන් ට බැණ වැදුණ සිදුවීම ගැන බව මට සිහි විය. මගේ මුවග මඳහසක් නලියන්නට ගති. උණු වතුරෙන් නා ගත් නිසා ගත සිත නැවුම් හැඟුමකින් ප්‍රබෝධවත් වූයේ ය. නීලා මාව වැරැන්ඩා පුටුවක හිඳුවා ගෙන බලයෙන් ම හිස තෙත පිස දැමුවා ය.

“සුදු බබා හරියට කොණ්ඩෙවත් පිහිද ගන්නෙ නෑ. පොඩි දරුවෙක් වගෙයිනෙ වැඩ කරන්නෙ”

“නීලනෙ හිතං ඉන්නෙ මං පොඩි දරුවෙක් කියල. අම්මත් ඔහොමයි. මට මං ගැන බලා ගන්න පුළුවන් අනේ”

“බලා ගන්නව නෙවෙන්නං. අර වසවර්ති කොල්ලන්ට දොස් කියන්න ගියා. කවුද දන්නෙ උං ඕව මතක තියං ඉඳල මොන වාඩුවක් ගනීද කියල”

“ඒව කොහෙද මාත් එක්ක…”

“ඔය ඔය ඉතිං…”

ලූනා ආලින්දයේ ඒ මේ අත සක්මන් කරමින් සිටියා ය. බුලී හෝ ඔහු ගේ හාම්පුතා පේන්නට හිටියේ නැත.

සංකල්ප!

ඒ නම සිහි ව මට තනි ව සිනා ගියේ ය.

හැන්දෑ වන තුරු මම කොයියෝ ගේ ඉලෙවන් මිනිට්ස් කියවා හමාර කළෙමි. ලූනා ඇඳ පාමුල වැතිරී ගෙන කෙඳිරිලි නගමින් සිටියා ය. මා නෑසු කන් ව සිටියදී ඇය ඇඳ මතට නැග දෑතින් මා පහුරු ගාමින් යමක් කියන්නට වූවා ය.

“මොකද අනේ…”

එවර ඇඳ ඇඳෙන් පැන කාමරයේ දොර වෙතටත් යළි මවෙතටත් එමින් හැඟවූයේ පිටතට යා යුතු බවයි. මම අලස ලෙස ඈ අනුව පිටතට ආවෙමි.

මිදුලේ තන පලස මත හුදෙකලා අළු කොබෙයියෙකු සිටියේ ය. ලූනා කිව ගොස් ඌ එළවූයේ ය. කොබෙයියා ගේ දුක්බර කූජනය මගේ හද පසාරු කරන්නට සමත් විය.

“පව් වැඩ කරන්නෙපා ලූනා. ඔහොම ඉන්න ලීෂ් එක දාන්න. නැත්තං ඔයාගෙ විසේ වැඩියි දැං”

ලූනා ට දම් වැල දමා ගෙන එහි කෙලවර මම මගේ අතෙහි පටලා ගතිමි. ඇය මගේ ඇඟේ ගෑවෙමින් පිය නැගුවා ය. ගේ ඉදිරියෙන් වන පෙත් මග දිගේ පල්ලම් බැස ටික දුරක් ඇවිදින ආශාවක් මා තුළ ද ඇති විය.  පසු ගිය දෙසතියක කාලය කාමරයට වැදීගෙන හෝ වත්තේ තුරු ගොමු අතර හුදෙකලා වී සිටියා මිස මා පාරට හෝ පිවිසියේ නැත. ඈතට නිල් කඳු යාය චිත්‍රයක් සේ දර්ශනය වෙමින් තිබිණ. මෑතින් දිස් වුණ පික්චර් බැම්බූ පඳුර, ඒ සිතුවම වඩාත් මනහර කොට තිබිණි. පරිසරය සිහිලැල් වූවා ට, ගහක කොළයක් හෙලවෙන තරමින් මඳ පවනකුදු හැමුවේ නැත. බුලී පාර පැත්තේ පේන්නට නොමැති වීම ලොකු දෙයක් කියා මට සිතිණි. නො එසේ වී නම් ලූනා ව එතැනින් ගෙන යාම පහසු නො වන්නේ ය.

අප ටික දුරක් පල්ලම් බසිත්දී යතුරු පැදියක් ඉදිරියට ආවේ ය. අප ගමන් කළේ පාරේ අයිනෙන් ම වී ද ඒ ආවේ කෙළින් ම මා වෙතට ය.

“ඔහොමද මනුස්සයො පාරෙ යන්නෙ”

කියා කෑ ගසමින් මා බයිසිකලය අතින් තල්ලු කළේ ආත්ම ආරක්ෂාව වෙනුවෙනි. සැබවින් මා එහි හැපේවියි ක්ෂණික බියක් ඒ මොහොතේ මගේ හෘද ස්ඵන්දනය වේගවත් කරන ලදී.

බයිසිකල් කරු මගේ තල්ලු කිරීමට නොවැටී බේරුණේ ඔහු ගේ දක්ෂතාවයට වෙට්ටුවක් දැමීමෙනි. නැවතත් කැරකී මා ඉදිරියෙහි යතුරු පැදිය නවතන ගමන්, හෙල්මට් එක ගලවා අතට ගත්තේ සංකල්ප ය.

“පිස්සුද ආ…”

මම ඔහු ගේ ඇඟට කඩන් පැන්නෙමි.

“මොකද අප්ප ඔච්චර වස…මාව වැටෙන්නත් තිබුණා”

“පාරෙ යන මිනිස්සුංගෙ ඇඟට බයික් කපන්න පොලීසියෙන්ද ලයිසන් දුන්නෙ…”

“මං ඉතිං ඔයාව හප්පන්නෑ කියල මං දන්නවනෙ”

“ගොං කතා කියනව. එක තප්පරයක් එහා මෙහා වුණානං ඇති”

“හරි දැං බැනල ඉවරද…”

ඔහු ඒ ඇසූ තාලයට මට සිනහ නැගෙන්නට ආවේ ය. නමුත් මම ඒ සිනහව සංකල්ප ට නො පෙනෙන සෙයින් ගිල ගතිමි.

“ඉතිං…කොහෙද මැඩම් මේ යන්නෙ…”

“පාරෙ”

“අම්මෝ…කොච්චි මිරිස් කාපු ගමංමනෙ”

“මේ…පොඩ්ඩක් ඔය යකඩ ගොඩ ගන්නවද…මට යන්න…”

සංකල්ප එහෙමම යතුරු පැදියෙන් බැස්සේ ය. ඒ ජව සම්පන්න විලාශය දෙස මගේ ඇස් මඳක් නතර වී බලා සිටියේ ය.

“එහෙම යන්න දෙන්නනං බැරි වෙයි මැඩම්. අවුරුදුම විස්සක් බලං හිටිය ඔයා මෙහෙම මුණ ගැහෙනකල්. සෙල්ලමක් ද…අවුරුදුම විස්සක්…”

මගේ ගැහැනු හදෙහි මඳ සසල බවක් ඇති නොවූවා කීවොත් මුසාවකි. නමුත් මම ඒ ගැස්ම යටපත් කර ගෙන කුඩා කර ගත් දෑසින් ඔහු දෙස බැලීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles