කම්මැලිකාරි

“අලුත් ඕකිඩ් වර්ගයක් තියනව අනේ අර පැළ තවානේ.”

පුතාව නර්සරි එකට දාන්න ආපු ගමන් චූලනි අනිත් අම්මලාට රහ ඔත්තුවක් දෙන්න අමතක කරේ නෑ.හැමෝම එයා වටේ වට වුණේ චූලනිගේ ජංගම දුරකථනයේ තියන ඕකිඩ් වල ඡායාරූප බලන්න.

“අනේ හරි ලස්සනයි.ඔයා ඕඩර් කරාද?”

උත්පලා එහෙම අහනකොට චූලනි උත්පලා දිහා බැලුවේ සමච්චල් හිනාවකින්.

“ලස්සන උනාට ඔයා මල් හිටෝන මනුස්සයෙක් යැ.කවදාවත් ඔතනින් මල් පැලයක් ගන්නව මම දැකල නැ..”

ඒකත් ඇත්ත කියලා හැමෝටම හිතෙන්න පටන් ගත්තා.පෙර පාසල ළඟ තියන “Grow more plan nursery” පැල තවානට ආදායම් ගලාගෙන එන්නේ මොන්ටිසෝරියට එන බබාලාගේ අම්මලා හින්දාමයි.මල් ගහක් ජීවිතේට හිටවලා නැති තරුණ අම්මලා පවා මල් වැවීම විනෝදාංශය කරගත්තේ ප්ලාන්ට් නර්සරියේ පිපෙන සුරංගනා රුව ඇති මල් කුමාරියන්ට වශී වුණු නිසා.
බණ්ඩාරවෙල රෝස පැල,නුවරඑළියෙන් එන තව තව ජාති කොළඹ අහස යට මල් පුබුදන්න පටන් ගත්තේ අන්න එහෙමයි.

“ඇත්තටම ඇයි ඔයා මල් හිටවන්න ආස නැත්තේ උත්පලා..”

හිමාලි එහෙම ඇහුවේ අනිත් අය ඒ ප්‍රශ්නේ හොරෙන් හොරෙන් සාකච්ඡා කරාට කවදාවත් එළිපිට අහන්න නොපෙළෙඹෙන හින්දාමයි.

“මං ගාව මල් ඕනතරම් තියනව අනේ.ඒකයි මං ඔයාලා එක්ක මල් පැල ගන්න යන්න එන්නේ නැත්තේ.දැන් මගෙ ගාඩ්න් එකේ පොඩ්ඩක්වත් ඉඩ නෑ..”

උත්පලා එහෙම කියලා එයාගේ කුඩා මෝටර් රථයට නැගලා යන්න ගියාට පස්සේ අනිත් අයට විවේචන සහ නිගමන ඉදිරිපත් කරන වාරය ආවා.

“අනේ විකාර.මං ඉන්නේ අපාට්මන්ට් එකක.ඒ වුණාට මගේ බැල්කනීස් වල මල් පිරිලා..ඒත් මං තව හිටවනවා.”

එරන්දි කිව්වේ උත්පලාගේ කතාව සහමුලින්ම බොරුවක් කියලා ඔප්පු කරන්න හොඳ සාක්කියක් එක්කමයි.

“එයාගේ නම නම් උත්පලා.උත්පලා කියන්නේ නෙළුම් මලට ද කොහෙද?ඒත් මලකට කොළේකට ආස නෑ.”

තව කෙනෙක් එහෙම කියලා හිනා වෙද්දී හැමෝම ඒ හිනාවට එකතු වුණේ දෙමලිච්චෝ රෑනක් වගේ.මහ සද්දෙට හිනාවක් පිපිලා ඉහිරෙන්න පටන් ගත්තා.

“ඒ උනාට මම දැකලා තියනව එයාගෙ කාර් එක ඔය ප්ලාන්ට් නර්සරි එක ගාව වෙලාවකට නවත්තලා තියෙනවා.අපිට හොරෙන් එයා මල් පැල ගන්නව ඇත්තේ..”

ජානකීටත් තමන්ගෙම කියලා නිගමනයක් තිබුණා.ඇත්තටම එක එක අයගේ ආසාවන් වෙනස් කියන දේ පවා අමතක කරන්න තරුණ අම්මලාට පුලුවන් වුණේ මේ මල් වැවීමේ උමතුව නිසාමයි.උත්පලා විතරක් ප්ලාන්ට් නර්සරි එකට යන්න එන්නේ නැති වීම නිසා එයා පරිසරයට ආදරේ නොකරන ගෑනියෙක් කියලා හැමෝම පොදු නිගමනයකට ආවා.

“ඔයාලා දන්නවද මේ මොන්ටිසෝරි එකේ අම්මලාට පැල තවානෙන් පැල දීලා තියෙන්නෙ අඩු ගාණට.අද මං දැනගත්තෙ.අර දම්පාට රෝස පැල ගන්න ගියාම.”

චූලනි ඒ ආරංචිය අරන් ආවම හැමෝටම දැනුණේ පුදුමාකාර සන්තෝසයක්.පැළ තවාන අයිතිකාරිය මොන්ටිසෝරි අම්මලාට අඩු මුදලට පැළ ලබා දෙන්න කියලා තියෙන බව එහි සේවිකාවක් කීව බවත් චූලනි කිව්වා.

“වැඩිම ආදායමක් අපෙන් එනකොට එහෙම කරන්න ඒ මනුස්සයට හිතෙන්න ඇති..”

හැමෝම එහෙම කතා වුණා.ඊටත් පස්සේ ඒ කතාව උත්පලාටත් කියන්න අමතක කරේ නෑ.

“අපි වගේ මල් වවන්නියන්ට එහෙම තමා ප්ලාන්ට් නර්සරි වලින් වුණත් සලකන්නෙ.ඒක කොච්චර ලස්සන හොබි එකක්ද?”

හිමාලි එහෙම කියලා එයාගේ රෝස වගාවේ ඡායාරූප හැමෝටම පෙන්නුවා. ඒ මල් පැළ කප්පාදු කළ යුතු ආකාරයත් පොහොර ඌණතා කිහිපයකුත් උත්පලා අඳුනා ගත්තේ ඡායාරූප දිහා බලලා.

“ඔයා මේවත් දන්නවද?”

හිමාලි එහෙම අහනකොට තමන්ට තියෙන්නේ කෘෂි විද්‍යා උපාධියක් කියපු උත්පලා හිනා වෙලා යන්න ගියා.ඉගෙන ගත්තු දෙයින් පවා ප්‍රයෝජන නොගන්න උත්පලා ගැන විවේචනය කරලා තමයි එදා අම්මලා රංචුව විසිර ගියේ.

පැළ තවානෙන් ගත්තු මල් පැළ අතු ඉති දළු දාලා මල් පිපෙන කාලේ පුංචි පැටව් පෙර පාසල් ජීවිතයෙන් පාසල් ජීවිතයට උසස් වුණා.අම්මලා රෑන විසිර ගියා. මල් පැළ තවානට ඉන්පස්සේ රංචු ගැහිලා යන්න එයාලට ඉඩකඩ ලැබුණේ නැහැ.

ප්ලාන්ට් නර්සරියේ ෆේස්බුක් පිටුවේ දැකපු අලුත්ම රෝස ප්‍රභේදය ගන්න චූලනි ප්ලාන්ට් නර්සරි එක පැත්තේ ආවේ පුතාව ඉස්කෝලේ ඇරලවා එන ගමන්.අලුත් අලුත් මල් පැළ ගැන චූලනිට විස්තර කරමින් හිටිය සේවිකාව එක පාරම ඇගෙන් ඉඩක් ඉල්ලලා පැළ තවානට ඇතුළු වෙමින් හිටිය තරුණ කාන්තාව ළඟට ගියේ ෆයිල් කවරයකුත් අරන්.

“මැඩම්, මේ බණ්ඩාරවෙල තවානෙන් ආව ඉන්වොයිස් වගයක්..”

පැළ තවානේ හිමිකාරියගෙන් එන්නේ පුරුදු හඬක් නිසා චූලනි හිස ඔසවලා ඒ දිහා බැලුවා.

“උත්පලා…”

උත්පලා අව් කණ්නාඩි දෙක ගලවලා චූලනි එක්ක හිනා වුණේ හිතවත්කම බේරෙන ඇස් දෙකෙන්.

“කොහොමද චූලනි.අපි සෑහෙන දවසකින් නේද? තිනෙත්ට ඉස්කෝලෙ අල්ලලා ගිහින්ද? අපේ ඔනාලිට නම් දැන් මොන්ටිසෝරිය මතකත් නෑ..”

ඒත් චූලනිට තිබුණේ බබාලගේ ඉස්කෝල ගැන ප්‍රශ්නයක් නෙවෙයි.

“මේ නර්සරි එක ඔයාගෙද?”

උත්පලා රෝස මලක් වගේ ලස්සනට හිනා වුණා.

“ඒකනෙ මං ඔයාලට ඩිස්කවුන්ට් දුන්නේ.”

මිලදී ගත්තු පැළවලට අමතරව උත්පලාගෙන් තෑගි ලැබුණු මිලාධික ඕකිඩ් පැළයත් තුරුළු කරගෙන ආපහු එනගමන් හිමාලිට ඇමතුමක් ගන්න චූලනිට හිතුණා

“අපි මිනිස්සු විනිශ්චය කරන්න මොනතරම් ඉක්මන් ද?”

හිමාලි පිළිතුරු දෙනතුරු චූලනි හිතන්න ගත්තෙ අන්න ඒ කාරණාව විතරයි.

More Stories

Don't Miss


Latest Articles