මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 22

0
96

“එතකොට දැන් මොකද්ද උගේ කසාදෙ තියෙන ප්‍රශ්නෙ උට ආයෙ මේ උඹව හොයාගෙන එන්න තරම්?”

රුවිනි ඒක ඇහුවෙ කෙලින්ම. ආයෙ ඔලුව වටේ ගිහින් නාහෙ ඇල්ලිලි මුකුත් නැතුව ගෑනි කෙලින්ම ඇවිත් මගෙ පපුවට පිහියක් කිඳා බැස්සුවා වගේ තමයි ඒ ප්‍රශ්නෙ ඇහුවෙ. මං කෝපි කප් එක දකුණු අතෙන් අල්ලගෙන හිටියත්, අත හරිම සීතලයි වගේ  මට දැනුණෙ රුවිනි එකපාර එහෙම දෙයක් මගෙන් අහවි කියලා මම බලාපොරොත්තු උනේ නැති හන්දා වෙන්න ඇති.

“මට හරියටම දන්නෙ නෑ බං…” මං හෙමින් කිව්වා. “එයා කියන විදියට ඔක්කොම හොඳයිලු… ගෙදර කිසිම ප්‍රශ්නයක් නෑලු… හැබැයි එයාට හිතේ සැනසීමක් නෑ වගේලු…”

“අනේ පලයන් බං යන්න, හිතේ සැනසීමක් නෑ. හිතේ සැනසීමක් ගෙදර නෑ කියලා උඹව හොයාගෙන ආවෙ උඹ භාවනා මධ්‍යස්තානයක් කියලා හිතාගෙනද දන්නෙ නෑ,” රුවිනි හිතේ තිබිච්ච තරහටමද මන්දන්නෙ නෑ කොෆි කප් එක මේසෙ උඩින් දඩස් ගාලා අත් ඇරියා. අපි දෙන්නා එදා උන්නෙ කරාබු කැෆේ එකේ. එතන තියෙන මේසෙ උඩ කොෆි කප් එක දඩස් ගාලා අත ඇරිච්ච සද්දෙටද මන්දා එහා මේසෙ උන්න ජෙන් සී කපල් එක අපි දෙන්නා දිහා අමුතු විදියට බැලුවත් එක්ක.

 “ඔය ‘ඔක්කොම හොඳයි, හැබැයි මං සතුටින් නෑ’ කියන කතා තමයි ලොකුම බොරුව පිරිමින්ගෙ තියෙන ගෑනු අල්ලගන්න දාන. ඔක්කොම හොඳයි නම් උට උඹ ලඟට එන්න ඕන වෙන්නෙ ඇයි? තනි බොරුවනෙ බං. ඌ එතනත් ට්‍රයි කරන්නෙ තාම උඹට වඩා අර මල හෝන්තුව හොඳයි කියලා පෙන්නන්නනෙ. ඒකි එක්ක ගෙවන ජීවිතේ පර්ෆෙක්ට් කියලා පෙන්නන්න”

මං මූණට හිනාවක් ගන්න උත්සාහ කළා. ඒත් ඒක හරියට ආවෙ නෑ.ඇත්තටම රුවිනි බණින විදියට හිනායන්න ආවත් එයා කියන්නෙ ඇත්ත නේද කියන එක වගේම මේ හැමදේම කියන්නෙ ආයෙ වතාවක් මං කියන්නෙ ගොනා වලේ වැටෙන්න නොදි පරිස්සම් කරගන්න නේද කියලා තේරෙද්දි මට හිනාවෙන්න පුළුවන් උනේ නෑ.

“එයා කියනවා බං මං එක්ක හිටපු කාලෙ එයාට කිසිම දෙයක් එක්ස්ප්ලේන් කරන්න ඕන වුණේ නෑ කියලා” මං කියන්න ගත්තා. “දැන් හැමදේම එක්ස්ප්ලේන් කරන්න වෙලා කියලා හරියට හුස්ම ගන්නවත් ඉඩක් නෑ වගේ කියනවා, හිර වෙලා වගේලු”

“ඔව් ඉතින් ඇත්තනෙ. උඹ ඌ එක්ක ඉන්න කාලෙ ඌ කියන කියන තාලෙට කියන කියන දේවල් කර කර උන්න මිසක් මෙලෝ දෙයක් අහලා හොයලා බැලුවද නෑනෙ! උඹ එක්ක ඉන්නකොට එක්ස්ප්ලේන්  කරන්න ඕන වුණේ නෑ කියන්නෙ උඹ එයාගෙ හැම පිස්සු වැඩක්ම අහගෙන හිටපු නිසා. ක්වෙස්චන් කරලා නෑ. ඇයි? කියලා අහලා නෑ. ඒක උට ලැබුණ ෆ්‍රී පාස් එකක් වගේ කියන එක තේරෙනවා ඇත්තෙ දැන් කසාද ගෑනි හැමදේම ප්‍රශ්න කරද්දි වෙන්න ඇති.”

මං සද්ද නැතුව හිටියා.

“දැන් ගෙදරක ඉන්නවනෙ, වයිෆ් කෙනෙක් ඉන්නවනෙ දැන් මිනිහට තේරෙනවා ඇති ඕනම ගෑනියෙක් අහනවා, දේවල් ප්‍රශ්න කරනවා, දේවල් එක්ස්පෙක්ට් කරනවා කියලා. එතකොට උට අමාරුයි. එහෙම උනාම හරි ලේසියි හිතන්න අනේ මේඝා එක්ක හිටියනම් ලේසියි කියලා.”

රුවිනි මගේ දිහාට ටිකක් ඉස්සරහට නැවිලා බැලුවා.

“දැන් පුලුවන් නම් ආයෙ වතාවක් පරණ පුරුදු ගොංකමම කරපංකො. අනේ මම නම් මේ පාර ඇහැක් ඇරලා බලන්නෙ නෑ ඔන්න කලින්ම කිව්වා හොඳේ. ඔය මිනිහා ඔය ආපහු සැරයක් පස්සෙන් එන්නෙ ඌ කරපු බලු වැඩේ උට තේරිච්ච හන්දා නෙවෙයි උට ටෙම්පරි කවුරුහරි දුක කියන්න කාවහරි ඕන වෙලා තියෙන හන්දා. උඹව ගොනා කරගන්න පුළුවන් විත්තිය දන්න හන්ද වෙන්න ඇති ආපහු සැරයක් එන්නෙ. බලාගෙන ඉන්නවා ඇත්තෙ තොණ්ඩුව බෙල්ලට දාන්න. පුළුවන් නම් බෙල්ල දික්කරගෙන ඉඳපං.” කියලා රුවිනි කියාගෙන කියාගෙන යද්දි ඇත්තටම මට මතක් උනා මතින්ද්‍ර කිව්ව කතන්දර.

රුවිනි කියන වචන ටික එකින් එක මගේ කන් අස්සේ හැපෙද්දී, ඒ වචනවලට හරියට උත්තර දෙනවා වගේ මගේ මතකය අස්සෙන් මතින්ද්‍රගේ කටහඬ ආයෙත් ඉස්සරහට එන්න ගත්තා. මං එයා ඉඳගෙන උන්න තැන දිහා බැලුවේ නැති වුණත්, එයා කතා කරපු හැටි, ඒ වචන තෝරගත්ත විදිය, ඒ හැමදේම මට අකුරක් නෑර මතක තිබුණා.

“දේවල් නැතිවෙනකම්ම අපිට ඒවගේ අගයක් තේරෙන්නේ නෑ මේඝා…” එයා එදා කියන්න ගත්තේ හරිම හෙමින්. “අපි හිතනවානේ අපිට තියෙන දේවල් ඒවා හැමදාටම තියෙයි කියලා. ඒවයෙන් අපිට ලැබෙන සැනසීම ඒ හුරුපුරුදු හැඟීම ඒවා නැතිවෙයි කියලා අපි හීනෙකින්වත් හිතන්නේ නෑ.”

එයා ඒ වෙලාවේ කතා කරද්දී එයා උන්නෙ බිම දිහා බලාගෙන. හරියට මට නෙවෙයි එයා එයාටම, එහෙම නැත්තම් එයාගෙම අතීතෙට  කතා කරනවා වගේ.

“මං ඒ වෙලාවේ හිතුවේ මං හරි තීරණයක් ගන්නවා කියලා. ප්‍රායෝගික වෙන්න හිතුවා. ජීවිතේ ස්ථාවර වෙන්න ඕන කියලා හිතුවා. මට හිතුණේ හැඟීම්වලට වඩා අනාගතය වටිනවා කියලා…” එයා හිනා වුණා. ඒක සතුටට හිනා වීමක් නෙවෙයි. “හැබැයි දැන් මට හිතෙනවා… මං අනාගතය හදන්න ගිහින් වර්තමානයම අතහැරලා දාපු මනුස්සයෙක් වගේ කියලා.”

එයා ටිකක් නිහඬ වෙලා ඉඳලා ආයෙත් කතා කළා.

“ගෙදර කිසිම අඩුවක් නෑ මේඝා. ඇත්තටම කිසිම අඩුවක් නෑ. මට ඕන කරන හැමදේම තියෙනවා. සැපපහසුව තියෙනවා. ස්ටැබිලිටි එක, එක්ස්පෝශර් එක තියෙනවා. හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ” එයා ටිකක් හිනා වුණා. “හැබැයි ඒ හැමදේම තිබ්බත්… මට හිතේ නිදහසේ හුස්මක් ගන්න බැරි වගේ දැනෙනවා.”

මට ඒ වචන ඇහෙද්දී මටම අමුතුයි. ඒ හැඟීම මට හුරුයි. හැබැයි එයාගෙන් ඇහෙද්දී ඒක පිළිගන්න මට හරිම අමාරුයි වගේ මට දැනුනෙ.

“මං ගෙදර කතා කරනවා, මගෙ ඔපීනියන්ස් කියනවා” එයා දිගටම කියනවා. “හැබැයි මං කතා කරනවා කියලා මටම දැනෙන්නේ නෑ. මං පැහැදිලි කරනවා. මං සාධාරණීකරණය කරනවා. මං මොනවා හරි හිතුවත් ඒක විස්තර කරන්න වෙනවා. ඒක වෙනුවෙන් තර්ක කරන්න වෙනවා. අන්තිමේ මං මොනවද ඇත්තටම හිතන්නේ කියලා මටම පැටලෙනවා.”

එයා ඒ වෙලාවේ මගේ දිහා බැලුවා.

“ඔයා එක්ක හිටපු කාලේ මට මේවා කිසිම දෙයක් කරන්න ඕන වුණේ නෑ මේඝා. මං කොහොම හිටියත් ඔයාට ඒක තේරුණා. මං මොනවා හිතුවත් ඔයාට ඒක කියන්න ඕන වුණේ නෑ. ඒක හරිම ලේසියි.”

“ලේසියි” කියන වචනෙ ආය පාරක් එයා හරිම හෙමින් කියලා දැම්මා.

“දැන් මට තේරෙනවා මං ඒ ලේසි ජීවිතයට ඇබ්බැහි වෙලා හිටියේ කියලා. මං එදා ඒ ලේසි දේ දාලා සංකීර්ණ දෙයක් තෝරගත්තා කියලා හිතුවා. හැබැයි දැන්” එයා හුස්මක් ගත්තා. “දැන් මට හිතෙනවා මං ඒ අත ඇරලා දාලා තියෙන්නෙ ජීවිතේ ලස්සන කරපු සැනසීමක් වගේ දෙයක් කියන එක.”

“දැන් ඔයා මට මොකක් කරන්න කියලද මතින්ද්‍ර කියන්නෙ?” කියලා මං ඇහුවෙ ඇත්තටම මට වෙන අහන්න දෙයක් තිබ්බෙ නැති හන්දා වගේම ඒ ප්‍රශ්නෙ ඇත්තටම මට එවෙලෙ ලොකුවටම ඔලුවට මානසික වදයක් වෙලා තිබිච්ච හන්දා.

“මං මෙහෙම අහන එක වැරදි වෙන්න පුළුවන් මේඝා. ඔයාව මං මහ ජරා විදියට රවට්ටපු බව ඇත්ත. ඔයා විශ්වාස කරාවිද දන්නෙ නෑ ඒක මට තේරුං ගියපු දවසෙ ඉඳලා මං මේ අද ඔයාව හම්බෙන එන වෙලාව වෙනකම් කොච්චර සෆර් කරාද කිව්වොත්. මම හිතුවෙ මම මැරි මැරි ඉපදෙනවා කියලා මම ඔයාට දුන්න ඒ ගින්දරට”

“දැන් ආය ඒ ගැන අපි කතා කරලා වැඩක් නෑනෙ. වෙච්ච දේවල් වෙලා ඉවරයි”

“වෙච්ච දේවල් වෙලා ඉවරයි කියන්නෙ මට ආයෙ ඒ වරද හදාගන්න ඉඩක් නෑ කියන එකද මේඝා?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here