හද සාගරේ – 34

0
5264

බීමතින් අවමංගල නිවසක සූදු පළක සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටුමක් මත දිනේශ් ව පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ඔහු විසින් පොල්ලකින් හිසට දමා ගැසුණු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත වූයෙන් දිනේශ් ගේ තත්වය ද බරපතල වූයේ ය. ගැටුම්කරුවන් ගෙන් පොලිස් දැලට හසු වූ පිරිස රාත්‍රියෙහි පොලිස් කූඩුවට දැමුණු අතර පසු දා උසාවි දමන්නට නියමිත විය. ඇවිත් පොලිස් ඇප ලබා දෙන්නයි දිනේශ් සාරධා ට දුරකතන ඇමතුමක් දී කීවේ ය.

“අපි යන්න ඕකාට ඇප දෙන්න… ලොකු දුව යන්නෙත්  නෑ!”

නිශ්ශංක තදින් කීවේ ය. සාරධා සිටියේ හිස් කඩදාසියක් බඳු මුහුණක් දරාගෙනයි.

කෙසේ වෙතත් පොලිස් ඇප ලබාදීමක් සිදු නොකෙරුණ අතර සැකකරුවන් ව පසු දා උසාවි දැමිණි. දිනේශ් සුදු කමිසයක් ගෙන්වා ගත්තේ ඔහු ගේ කල්ලියේ මිතුරෙකු ලවා ය. සැක කරුවන් ව සති දෙකකට බන්ධනාගත කෙරිණ.

“සති දෙකකට නෙවේ. අවුරුදු දෙකකටවත් යවන්න ඕනෙ ඕකුංව… පුනරුත්ථාපනය වෙලා එන්න”

නිශ්ශංක පපුව පිරිමදිමින් සක්මන් කරනා ගමන් කීවේ ය. සාරධා ට දැනෙමින් තිබුණේ කවර හැඟීමක් ද කියා ඇයට ම තේරුණේ නැත. එය හිස් කමක් නොව සියල්ලෙන් පිරී තෙරපී කලවම් වූ අච්චාරුවක් සේ ය. විටෙක ඇගේ හිස පුුරන්නට එයි. විටෙක පපුව පැලී යන්නට එනවා වාගේ දැනෙයි. උණ ගන්නට මෙන් මුළු ගත ම රිදුම් දෙනවා ද කිසිත් කර කියාගත නො හැකි අප්‍රාණිකත්වයක් ද දැනෙයි. සමහර වෙලාවට ඈ හුස්ම ගන්නේ වේගයෙනි. කුසේ සිටින දරුවා ගේ කිසිදු චලනයක් නොමැති සෙයක් දැනී ඇය විමසිල්ලෙන් පසුවෙයි. කළලය ගබ්සා වී ද? ඔහු ගේ හඬ ඇහෙනවා වාගේ ඇය සවන් යොමාගෙන හිඳී. නැත. දැන් ඉතින් දරුවෙකු නැත. ඔහු  මේ ලොව හැර ගොසිනි. මේ මව් පියන් ඔහු ට නො ගැලපෙන බව ඉපදෙන්නටත් පෙර තීරණය කොට ඔහු යන්නට ගොසිනි. එක අතකට ඔහු ට තිබුණේ සිදුහත් කුමාරයා වාගේ මව් කුසයක් තෝරා ගන්නට පෙර ම පස් මහ බැලුම් බලන්නටයි. අඩු ම තරමින් අම්මා තාත්තා කවුද කියා හෝ සොයා බලන්නටයි. එසේ නොකොට කුස යහනට පැමිණි අසරණයා කළලයක් සන්දියේ දී ම, ඉපදෙන්නට පෙර ම මිය ගොසිනි.

එක අතකට එහෙම වුණ එක හොඳ යයි සාරධා ට සිතේ. ඔහු මේ ලෝකයට එන්නට ඕනේ ම නැත. ඔහු ගේ තාත්තා බේබද්දෙකි. රැකියාවක් නැති නිකමෙකි. ඉන්නට හිටින්නට තැනක් නැති ඕපපාතිකයෙකි. ඔහු සමගින් ඇගේ ජීවිතය නරා වළකට වැටී තිබේ. නූපන් බිළිඳා ද එහි ඇද දමන්නට උවමනා නැත.

දෙපා අතරේ සීතල දියරයක් ගලා යනවා සිහිනයෙන් සේ ඇයට දැනිණ. ඇය ඔහේ සිටියා ය. දරුවා කුඩා පෙට්ටියක තබා මල් වලින් සරසා මිහිදන් කරන රූ සිතේ ඇඳී මැකී ගියේ ය. එක කඳුළක්වත් ඇගේ ඇස් වල නැත. දෙතොල් වියළී ගොසිනි.

“තාත්ත හිරේ. එයාට බබාගෙ මළ ගෙදරට එන්න වෙන්නෙ නෑ. එයා ආවත් මොකටද පැටියෝ…බේබදු හිරකාරයෙක්ගෙ පුතා වෙනවට වැඩිය පස් යට වැළලිලාම යන එක හොඳයි ඔයා”

“අක්කෙ”

ආදියා කාමරයේ දොරෙන් ඇතුළට ආවේ මඳ වෙලාවක් සාරධා දෙස බලා සිටීමෙන් පසු, තැන් තැන් වලින් නො පැහැදිළි ඇගේ මිමිණුම අසා හිඳ ය.

“මොනාද අක්කෙ ඔයා මේ කියන්නෙ…”

ආදියා ගේ වචන වල වේදනාත්මක විලාපයක් තැවරී තිබිණ.

“බබාට මුකුත් වෙලා නෑ. මොනාද ඔයා මේ දොඩවන්නෙ… හීනෙකිංවත් එහෙම දේවල් හිතන්නෙපා අසරණ කිරිකැටිය ගැන. මොන ප්‍රශ්න තිබුණත් අපි එයාව ආදරෙං පිළිගමු. අනිත් එක එයාගෙ තාත්ත ඉන්නෙ රිමාන්ඩ් එකේනෙ. සති දෙකෙන් ගෙදර එනවනෙ… ඔහොම කියන්නෙපා  හිතන්නත් එපා. බබා පව්. තව ටික දවසනෙ ඔයා බබාව මෙහෙම තියං ඉන්නෙ. ඊට පස්සෙ එයාව බලාගන්න අපි ඉන්නවනෙ…”

සාරධා ඇගේ දෙපා අතරේ ගලා ගිය දිය පහර සෙව්වා ය. නමුත් එවැන්නක් වූයේ නැත!

සාරධා ගේ හිත කලබල නොවනු වස් ගෙදර තිදෙනා ම ඈ සම්බන්ධයෙන් ක්‍රියා කළේ පරිස්සමෙනි. ජිනාදරී හවසට ඇයව ගමේ පන්සලට කැටිව ගියා ය.

“ඕනනං අපි සාරධාව කැළණියෙහරි කළුතර හරි පන්සල් එක්කං යං. ලොකු දුරක් නෙවේනෙ”

ආසන්න හවසක දෙව්රම් කීවේ නිශ්ශංක හා ජිනාදරී දෙදෙනා ම හිඳිනා තැනයි. කම්මැළිකම යන්නට හවසට එහි ගොඩ වී ටික වෙලාවක් කතා කරමින් හිඳ යාම දැන් ඔහු ගේ පුරුද්දක් වී තිබේ. සමහර දිනෙක තේ එකක් බී නික්ම යාම ඇතැම් දිනෙක රාත්‍රී ආහාරයට නතර වීම ද සාමාන්‍ය දෙයක් වී තිබේ.

“හා… බබා ආතයි”

පන්සල් ගමන ගැන දෙව්රම් කී ගමං ප්‍රතිචාර දැක්වූයේ සිත්මි ය. නිශ්ශංක හඬ නගා සිනහ වෙන ගමන් මිණිපිරිය සිය උකුලට ගත්තේ ය.

“මේ පොඩි උං ගැනයි මට දුක පුතා. මොනා දන්න උන්ද… උංගෙ ඕනකමට මේ ලෝකෙට ආවය කියලද…”

“ඒකනං ඇත්ත අංකල්”

“තීයා අපි මේ ලත්තන අංකල් එක්ක තාදු පන්තල් නනවද…”

“යං යං. අපි පන්සල් යමුකො”

“අනේ පුතාට තියන වැඩත් එක්ක අපිව එහෙ මෙහෙ අරං යන්න කරදර වෙන්න පුළුවන්ද…”

“ඒක මොන කරදරයක්ද ආන්ටි… අනික දැං මට වැඩ අඩුවීගෙන යන්නෙ. වැඩ කරපු  ටෙලි ඩ්‍රාමා දෙකකම ශූටින් ඉවරයි. තව එකයි කෙරීගෙන යන්නෙ. වෙන දැනට මං වැඩ අරගෙන නෑ අංකල්. ටික කලක් මේ ෆීල්ඩ් එකෙං ඈත් වෙලා ඉන්නව කියල හිතුව”

“විවේකයක්නං ඕන තමයි. එක දිගට වැඩ කරන එක ඇඟටත් වඩා මනසටයි අමාරු”

 “හැබැයි ඉතිං පුතාට අයින් වෙන්න දෙන එකක් නෑ රසිකයො. විශේෂයෙන් ම රසිකාවියො”

ජිනාදරී ගේ කතාවට නිශ්ශංක කොක් හඬ ලා සිනහ වූයේ ය.

“ආන්ටිත් ඉඳල ඉඳල හොඳ හින්ට් පාස් කරන්න දන්නව නේ…”

“ආන්ටිත් ඉතිං පුතාගෙ හොඳ රසිකාවියක්ලුනෙ”

ආදියා දොර උළුවස්සට පිට දීගෙන දෙව්රම් ගේ හිරු මඬල සේ දීප්තිමත් මුහුණ දෙස බලාගෙන සිටියා ය. ඔහු වූ කලී සිනහව බෝ කරන්නෙකි. සතුට බෝ කරන්නෙකි. වචනයක් හෝ කතා නොකර වුව ඔහු අස සිටිනා කෙනෙකුට සතුටු සිනහවක් නගා ගන්නට පිළිවන.

“පුතාට කරදරයක් නැත්තං ඉතිං අපි වෙනසකටත් එක්ක කැළණිය පැත්තට ගිහින් එමු”

අවසාන තීන්දුව දුන්නේ නිශ්ශංක ය. සිත්මි සීයා ගේ උකුළෙන් බිමට පැන අත්පුඩි ගසා සතුට පළ කොට, ආරංචිය අම්මා ට කියන්නට දිව්වා ය. දෙව්රම් දිළිසෙන දෑසකින් ආදියා දෙස බැලුවේ ය. ඇය ප්‍රවේසමෙන් ඇස් ඉවතට ගත්තා ය. ඔහු ගේ ඇස් වල වන දීප්තිය වෙන කාට නැත ද අම්මා ට සැඟවිය නො හැකි වනු ඇතැයි දෙගිඩියාවක් ආදියා තුළ විය.

සෙනසුරාදා ගමන සඳහා යොදා ගැනිණ. එය ජිනාදරී ට නම් පන්සල් යාමකට වඩා විනෝද ගමනක් යාමක් වූයේ ය. ඇය අළුයම පිබිදගෙන කට්ලට් තැනුවා ය. ඒ අතරේ තුන් හතර වතාවක් ම ආදියා ගේ කාමරයේ දොරට තට්ටු කොට ඇය අවදි කරවූවා ය.

“මොකද්ද අම්මෙ… සෙනසුරාදාටවත් ටිකක් නිදාගන්න දෙන්නකො”

කියමින් ඈ මුළුතැන්ගෙට ආවේ ඇස් දෙක බාගෙට විවර කරගෙනයි.

“අනේ ඉතිං කොයි වෙලාවෙ නිදාගන්න බැරිද චූටි දුව… ඔය තේ එක බීල සැන්ඩ්විචස් ටික හදල ගන්නකො”

“හරියට රට යනව වගේනෙ අප්ප”

“රට යන්න සැන්ඩ්විචස් හදන්නෑනෙ අනේ”

“කෑම නැති පලාතක් නෙවේ කැළණිය”

“මෙලෝ රහක් නැති කඩ කෑම වලට වඩා නරකද අනේ ගෙදරින් මොනාහරි හදං යන එක”

ආඩපාලි කියමින් ඇරඹුවාට ආදියා ඒ වැඩේ කළේ හදවත තුළ නිදන්ගත සතුටකිනි. සැමන් ඇතිරුම රසවත්ව පිළියෙළ කරන්නට ඈ සිය උපරිම දක්ෂතාව යෙදවූවා ය. ඇතිරුම පාන් පෙති මත ගල්වා සිව් පස වාටි කපා, ත්‍රීකෝණාකාරව කපා ඒවායේ හැඩ බලන්නටත් කාලය ගත කළා ය.

 එහෙම උනන්දුවකින් විදේශ සංචාරයක යෙදෙන්නටවත් ඔහු සූදානම් වී නැති බවක් දෙව්රම්ට සිහි විය. ගමන ගැන සිතිවිලි හින්දා ම නින්ද වරින් වර බිඳිණි. කොයිතරම් පාන්දර අවදි වී ද තේ එකක් පිළියෙළ කරගන්නටවත් වෙලාවක් නොවන තරමට ඔහු ට සූදානමට කාලය මඳ විය. කෙසේ හෝ අවසන ඔහු හැඳ සිටියේ අයිස් නිල් පැහැති ඩෙනිම් කලිසමක් හා සුදු සැහැල්ලු කපු අත් කොට කමිසයකි. සංකේත් ද ගමනට එක් වන බව කීවෙන් කාර් එකේ වෙනුවට ජීප් රියෙහි යන්නට තීරණය විය. සංකේත් පැමිණෙන විට දෙව්රම් ලෙදර් පාවහන් පළඳිමින් සිටියේ ය.

“යං යං උඹ නිකං උඹේ මගුලට වගේ ලෑස්ති වෙන්න දෙයක් නෑ. යමං”

සංකේත් හදිසි කළෙන් දෙව්රම් තව දුරටත් කලබල වූයේ ය. කාමරයට ගොස් විලවුන් බිඳක් තවරාගෙන පැමිණි හෙතෙම රියට ගොඩ වී තිබුණේ කමිසයේ උඩ බොත්තම් දෙකක් පියවන්නේ නැතිව ය. ආදියා ගේ ගෙදර මිදුලේ වතුසුදු මල් කඩමින් සිටි ඈ ළඟ නතර වෙත්දී ආදියා ගේ ඇස් දෙව්රම් ගේ නග්න පපුව මත නතර විය. සුදු වතින් සැරසී හිඳින ඔහු ඒ තරම් සරාගී පිරිමියෙකු වී පෙනෙනුයේ කෙසේදැයි ඈ දැන සිටියේ නැත. ඇය අසීරුවෙන් දෑස් ගෙන මලක් මත නතර කළා ය. දෙව්රම් ගේ දෙඅදර අතරෙහි හිතුවක්කාර පිරිමි සිනහවක් ඇඳින.

“ලස්සනයි”

ඔහු කීවේ ඇත්තට ම ය. සුදු  වතුසුදු මල් කඩන ඇය සුදු මලක් තරම් පවිත්‍ර හා නිකැළැල් වස්තුවක් සේ පෙනිණ. ලිනන් සුදු කුර්තා ගවුමකට අයිස් නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි ඕ වඩාත් අවිහිංසක ව සිටියා ය.

“ආන්ටි මූ තේ එකක්වත් බීල නෑ”

සංකේත් මිදුලේ සිට ම ගෙතුළට හඬ නැගුවේ ය.

“ගෑනු ළමයි ඉන්න ගෙවල් වලට යන්න මාර හදිස්සියක්නෙ තියෙන්නෙ”

ඔහු ඒ ටික කීවේ හෙමිහිට ය. ආදියා ගේ දෑස් පළිඟු සේ දිළිසෙමින් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here