මුතුබෙලි හදවත -37

 දික්කසාද තීන්දුව ලැබිණි. කිසිදු උපද්‍රවයක් සේනකලා ගේ පැත්තෙන් නොවී කඩිනමින් එසේ වීම ගැන ආදිත්‍යා සැනසුම් සහගත වූවා ය. කරදරය සිදු වූයේ තීන්දුව ලැබුණාට පසු දිනයේ ය. බැංකුව වෙත යමින් යමින් සිටියදී දුමාල් ට මැර ප්‍රහාරයක් එල්ල වූයේ ය. ඔහු ගේ මෝටර් රථයට ද බරපතල හානි සිදු කර තිබිණි.

දුමාල් වූ කලී සාමාන්‍ය මිනිසෙකි. ඔහු ට මෙසේ ප්‍රහාරයක් එල්ල වීම පෞද්ගලික කෝන්තරයක් ලෙස කවුරුත් බාර ගත්හ. 

“මගෙ දරුවට හතුරො හිටියෙ නෑ දෙයියනේ”

කියමින් ගීතා රෝහල ළඟ විලාප තැබුවා ය. ආදිත්‍යා ව දුටු ඇය ට, වර්තමානයෙන් වසා ගෙන හිඳිනා අතීත කාෂ්ටක ගීතා පහල වෙන එක වළකා ගත හැකි නොවිණි.

“ඔයා නිසයි මේ ඔක්කොම කරදර. පුතාට මෙහෙම වෙන්න හේතුව ඔයාගෙ පලහිලව්වක් වෙන්න ඇති. මං කිව්ව අපේ මෝඩයට. කළු ගල් වල ඔළුව හප්ප ගන්න එපා කියල”

ආදිත්‍යා නිරුත්තර ව හා වැරදිකාර මානසිකත්වයකින් අසරණ ව සිටියා ය. මේ තරම් නපුරක් ඔහු ට කරන්නට ඇත්තේ විකුම් ලා බව ආදිත්‍යා ට වුව නො සිතෙනවා නොවේ. නමුත් හරි හැටි නො දැන  එවන් චෝදනාවක් කිරීමේ බරපතල කම ඇය දැන සිටියා ය.

“සද්ද නැතුව ඩිවෝස් එකත් ගන්න දීල විකුම්ල මෙහෙම කළේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ”

ආමන්තා මේ ප්‍රශ්නයෙහි සැඟවුණු අහු මුළු හොයා ගන්නට තැත් කළා ය.

“එදා ගංගාරාමෙදි අපිව දැක්කහම ඒගොල්ලන්ට දැනෙන්න ඇත්තෙ කේන්තියක්. විකුම් ගෙ අම්ම වුණත් ඊට පස්සෙ මට මූණ දුන්නෙ පැහැදීමකින් නෙවෙයිනෙ නංගි. ඒගොල්ලො හිතන්නෙ දුමාල් එක්ක සම්බන්දයක් ඇති කර ගත්ත නිසයි මං විකුම් ගෙන් ඩිවෝස් එක ඉල්ලුවෙ කියල. සේනකනං කොහොමත් මාත් එක්ක වෛරෙං ඇත්තෙ. එයාගෙ පදේට මාව නටවන්න බැරි වුණ නිසා”

දුමාල් ට සිහිය ලැබුණ ගමන් ඔහු පොලීසියට කට උත්තර දුන්නේ ය. පහර දුන්නේ සේනක හා විකුම් විජයවික්‍රමලා ගේ මැරයන් යයි සැක කරන බව දුමාල් පවසා තිබිණ. මේ පුවත රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙන්නට ඒ හැටි වෙලා ගත වූයේ නැත. 

“මරන්නැතුව ඉතුරු කරපු එකයි වරද වුණේ. මරන්න ඕනෙ ඕකාව”

සේනක විකුම් පාය දෙදරන සේ ගුගුළේ ය. 

“ආදිත්‍යාට ඩිවෝස් එක ලැබිල ඉවරයි. අපිට වැඩක් නෑ දැං එයා කාත් එක්ක මොන සම්බන්ධයක් තියා ගත්තත්”

සඳසීලී කෑ ගැසුවා ය. ආදිත්‍යා කළ දේ ගැන ඇගේ ද හිත් හොඳක් නොවූවත්, එදා ඈ කී දේවල් ගැන දුරට දිගට සිතීමෙන් පස්සේ සඳසීලී හිත හදා ගත්තා ය. තරුණ ගැහැනියක ගේ පාළු හිතක් පුරුෂ නෙත් කැල්මක් වෙත බැඳීමේ අරුමයක් නොවන බව ඇය දනී. නමුත් ඔටිසම් රෝගී දරුවෙකුට ආදරය කරනා පුරුෂයෙකු වෙත ඒ රෝගී දරුවා ගේ මව බැඳීම විශේෂ වූවකි. 

“ඒකි ට ඔච්චරට ඩිවෝස් වෙන ගායක් හැදුනෙ ඕකා නිසා තමයි. මං ඌට ඉන්න දෙන්නෑ මේ පැත්ත පලාතෙ”

“අමතක කරන්න එපා අපේ ළමයෙක්ටයි ඒ මනුස්සය තාත්තා වෙන්න යන්නෙ කියල. මොනා වුණත් ආදිත්‍යා කියනව වගේ ළමයගෙ තාත්තට නැති හැඟීමක් ඒ කොල්ලට මින්දුල ගැන තියෙනවනං…”

“අනේ මේ…මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නව. ඌට කැක්කුම ළමයි ගැන නෙවෙයි අම්මණ්ඩි ගැන. අපි නොදන්න කැක්කුම…”

“හපෝ ඔහෙ කොහොමද නොදන්නෙ..”

සඳසීලී ගස්සා ගෙන ඉවත් ව ගියා ය. සියල්ල නූල් බෝලයක් සේ පැටලෙන්නට මහ කාලයක් ගියේ නැත. විකුම් ගේ දික්කසාද බිරිඳ ගේ පෙම්වතා ට සේනකලා පහර දී ඇති පුවත ට අත්තටු මැවිණි. එපුවතින් ලලිතා වඩාත් කලබල වූවා ය.

“මොනාද ලොකූ මේ අහන්න වෙන කතා…ඇත්තටම එහෙම දෙයක් තියෙනවද…”

ආදිත්‍යා බිම බලා ගත්තා ය. ඇය කවදත් අම්මා ට බිය දියණියක වූවා ය. සිය යොවුන් වියේ දී හෝ ප්‍රේමයක නො පැටළෙන්නට, ඒ බිය ද ප්‍රධාන හේතුවක් වූයේ ය. විවාහයක් සිදු කර ගත්තා ට පස්සේ වුව, දික්කසාදයෙන් පස්සේ වුව ඒ බියෙහි වෙනසක් සිදු වී නැති බව දැනෙන්නේ දැන් ය.

“ඇත්ත කියනව. ඒකද මේ හැම දේකටම හේතුව…විකුම් ගෙ වැරදි කිය කිය දික්කසාද වුණාට මේකද ඒකට ඇත්තම හේතුව…”

“අනේ අම්ම මොනාද මේ කියන්නෙ…මං එච්චර ජරා ගෑනියෙක් කියලද අම්මත් හිතං ඉන්නෙ…”

ආදිත්‍යා ට හැඬිණි.

“එහෙම හිතන්න වෙනව. මං නෙවෙයි මේ ගැන දන්න හැම කෙනෙක්ම එහෙම හිතයි. එහෙම කියයි. අපි කොහොමද ළමය රටට මූණ දෙන්නෙ…ඔයා තමංගෙ මූණෙ විතරක් නෙවෙයි ලොකූ…අපේ පවුලෙ හැම කෙනෙක්ගෙම මූණු වල දැලි ගාලයි තියෙන්නෙ දැං”

“ලලිතා..නවත්තගන්නව ඕක”

ජයලත් කෑ නො ගසන්නට ආදිත්‍යා ගේ හිත ලේ ගලන තුවාලයක් වන්නට තිබිණි.

“කොයික වුණත් දැං වෙලා ඉවරයි..දැං අපි බලන්න ඕන ඊළඟට කරන්න පුළුවන් මොනවද කියලයි”

“මොනව කරන්නද දැං ඉතිං. හිතන්න එපා ලොකූ ඔය ආලවට්ටං දාං එන ඉලන්දාරි ළමයි එක්ක ගෑනුන්ට කර ගහයි කියලනං. තවත් ගොංකං කරගන්න හිතනව එහෙම නෙවෙයි”

“ලලිතා. මොනවද මනුස්සයො මේ කෙල්ලට කියන්නෙ…ඒකි ගින්දරට පැන්නෙ අපි හින්දා. අන්න ඒක අමතක කරන්න එපා”

මේ අවුල කොහේ කොතැනකින් ලිහා ගත හැකි වේදැයි ආදිත්‍යා ට සිතා ගත හැකි නොවිණි. සියල්ලට වඩා ඇගේ හිත රිදවමින් තිබුණේ දුමාල් ගේ මව ඇය කෙරේ දැක්වූ කුරිරු බවයි. ඒ නිසා ම දුමාල් ව බලන්නට රෝහලට වුව යන්නට ආදිත්‍යා පැකිළුණා ය.

“අම්ම කියන ඒව ගණං ගන්න එපා”

දුමාල් සිනහවකට උත්සාහ කරමින් ආදිත්‍යා දෙස බැලුවේ ය. ඇගේ හදවත දැවී ගියේ ය. කුමාරයෙක් සේ සිටි ඔහු  මෙසේ ගිලන් ඇඳකට සීමා වූයේ ඇය නිසා ය කියන සිතිවිල්ලෙන් මිදෙන්නට ආදිත්‍යා ට පහසු වූයේ නැත. එහෙව් එකේ දුමාල් ගේ මව එසේ සිතන එක ගැන අහිතක් හිතන්නට ද ආදිත්‍යා අපොහොසත් වූවා ය.

“අම්ම කියන්නෙ ඇත්ත. මං වගේ කෙනෙක්ට ලං වුණේ නැත්තං ඔයාට මේ මුකුත් ප්‍රශ්න නෑ”

“මේ දේවල් මෙහෙම වෙයි කියල නොදැන මං ඔයාට ආදරේ කළා නෙවෙයි ආදි”

“මට ඔයා ගැන හරි බයයි දුමාල්. සේනක දැං තවත් වෛරෙන් ඇත්තෙ. ඔයා එයා ගැන කට උත්තර දීපු එකට. මට ඔයාගෙ අම්මගෙ මූණ බලන්න බෑ දෙයියනේ. එයා කොච්චර දුක් විඳල හදපු දරුවෙක්ද ඔයා…”

විකුම් තරමක් තැති ගෙන සිටියේ ය. ඒ සේනක දුමාල් ට සැලසුම් කොට ප්‍රහාරයක් එල්ල කිරීමත් එක්ක ඇති වූ සුළි කුණාටුව ඔහු ගේ දේශපාලන ගමන විනාශ කරනු ඇත කියා ය. සේනක හැම කෙනෙකුට ම කියා සිටියේ දුමාල් ට පහර දෙන්නට ඔහු ට අවශ්‍යතාවයක් නොවූ බවයි. නමුත් ඔහු හිටියේ දුමාල් රෝහලේ සිට පිට වූ ගමන් ඔහු ගේ ජීවිතය එතෙකින් කෙලවර කිරීමේ සිතිනි. 

සේනක ආදිත්‍යා ගේ පෙර පාසලට ගොස් ඇයට තර්ජනය කරන්නට තරමට ම නො හික්මුණ මිනිසෙකු වූයේ ය.

“උඹ හිතන්නෙ දික්කසාදෙ ලැබුණහම ඔක්කොම හරි කියලද…එහෙම හිතං හිටියනං උඹට වැරදිලා. බලපං උඹගෙ ප්‍රේමවන්තයට වෙන දේ. උඹේ මූණ ඉස්සරහට ගෙනත් ඌව මරල දාන්නෙ”

සාමාන්‍යයෙන් ආදිත්‍යා මෙන් බියගුළු නැති එඩිතර කෙල්ලක වන ආමන්තා පවා ඒ තර්ජනයෙන් තරමක් ගැස්සී ගියා ය. සේනක ලා කියන්නේ එහෙම නොමිනිස්කම් කරන්නට බැරි මිනිසුන් නොවේ. ඔවුන් ගේ අත් සේදී තිබෙන්නේ පාපයේ ලේ වලිනි. 

“මං දුමාල් ගෙන් ඈත් වෙනව නංගි. කවදාවත් ඒ අහිංසකයගෙ මූණ ආයෙ දකින්න නැති වෙන්නම මං එයාගෙං ඈතකට යනව”

ආදිත්‍යා ඒ වගේ තීරණයක් ගන්නට තරම් දැඩි වූයේ වෙන කරන්නට දෙයක් නැති කමට ය. සිය දරුවා ට පියා වන්නට ගිහින් ඔහු ව ඔහු ගේ අම්මා ට අහිමි කරවීමක් ගැන සිතන්නේ වුව කෙසේ ද? නමුත් ආදිත්‍යා ඈත් වෙන බව දැනීම දුමාල් ට උහුලා ගත හැකි වූයේ නැත. ආදිත්‍යා රෝහලට නො පැමිණෙන දින ගණන දෙක තුන හතර වී යත්දී දුමාල් ට වෙනස දැනිණ. ආදිත්‍යා ගේ දුරකතනය ක්‍රියාත්මක ව තිබුණේ නැත. ඔහු නො දන්නා යමක් පිටත සිදු වෙමින් තිබෙන බව දුමාල් ට දැනෙන්නට ගති. 

“ඇයි ආදිත්‍යා මාව බලන්න එන්නෙ නැත්තෙ…අම්ම මොකද්ද එයාට කිව්වෙ…”

ඔහු මුලින් ම ප්‍රශ්න කළේ ගීතා ව ය. ඇය නො රිස්සුමෙන් ඉවත බැලුවා ය. 

“මං මොනව කියන්නද…”

“ආදි ෆෝන් එක ඕෆ් කරල. දවස් ගාණකිං හොස්පිට්ල් එකට ආවෙ නෑ. එයා නිකංම එහෙම කරන්න විදිහක් නෑ. අම්ම ඒ ළමයට දොස් කියන්න එපා. මේක එයාගෙ උවමනාවට නෙවෙයි මගෙ උවමනාවට ඇති වෙච්ච සම්බන්දයක්”

“මදැයි ඒක නිසා වෙච්ච දේවල්”

ගීතා හොස්ස ගැස්සුවා ය. ඒ සම්බන්ධය මේ විදිහට හෝ කෙලවර වෙනවා නම්, දුමාල් ගේ අම්මා වශයෙන් ඇය කැමති ය. දැන් ගීතා ට වන හිත් තැවුල ආදිත්‍යා විවාහක ගැහැනියක වීම ම නොව ඇය සේනක විජයවික්‍රම ගේ ලේලිය වීම ය. අමාරුවෙන් දුක් විඳ ඇති දැඩි කර ගත් කොල්ලා කළු ගලක ඔළුව හප්පා ගන්නවා දකින්නට ඇය ට උවමනා නැත.

ආදිත්‍යා දුමාල් ව මගහැරීම ගැන ගීතා සතුටු වූවා ය. දුමාල් ට වුව ඔය මතකයන් මහ කාලයක් නො පවතිනු ඇතැයි ඇය සිතුවා ය. එතකොට සියල්ල සන්සුන් ව යනු ඇත. 

නමුත් දුමාල් හැසිරුණේ හිතුවක්කාර කොලු ගැටයෙකු සේ ය. ඔහු බෙහෙත් බීම ප්‍රතික්ෂේප කළේ ය. වෛද්‍ය උපදෙස් නො තකා හැරියේ ය. ගීතා ට ඔහු ගේ මේ චර්යාව පාලනය කර ගැනීම පහසු වූයේ නැත. ආදිත්‍යා මුණ ගැහෙන්නට ඇය තීරණය කළේ ඉනික්බිති ය.

දුමාල් ව අතැර ආදිත්‍යා ද පහසුවෙන් සිටියා නොවේ. නමුත් ඔහු ව නිරුපද්‍රිත ව තැබීම ඇගේ මූලික අරමුණ විය. වගකීමකින් ද ඇය බැඳී සිටියා ය. එනම් පෙර පාසල පවත්වා ගෙන යාම ය. ඊට අමතර ව මින්දුල ගේ චිකිත්සක ප්‍රතිකාර හා පුහුණු සැසි සඳහා ඔහු ගෙන යා යුතු ව තිබිණ. අන්තිමට ම දුර්වල ව වැගිරෙන වෙලාවේදී ත් ඇය හිත සවිමත් කර ගත්තා ය. තමා ගැන නො සිතා අන් සියලු අයගේ යහපත ගැන ම සිතුවා ය.

පෙර පාසල ඉදිරියේ දුමාල් ගේ මව දකිත්දී ඈ තිගැස්සී ගියේ තවත් මොනවා ඇය ඉල්ලා සිටිනවාද කියා සිතා ය.

“මගෙ දරුව බේරල දෙන්න දුවේ”

ආදිත්‍යා ව දුටු ගමන් ගීතා හඬා වැටෙමින් ඇගෙන් අයැද සිටියා ය. අම්මා කෙනෙකු ගේ ඇස් වලින් සිය දරුවකු අරබයා වැටෙන කඳුළු ගැන ආදිත්‍යා ට යමක් විශේෂයෙන් කිව යුතු නැත. ඒ කඳුළු වල ලුණු රසය ඇය ඕනෑ තරම් වළඳා තිබේ. 

“මට තවත් මොනවද අම්මෙ කරන්න පුළුවන්…එයා වෙනුවෙන් මට කරන්න තිබුණ ලොකුම දේ එයාගෙං ඈත් වෙලා ඉන්න එක. මං ඒක කරන්න හිත හදා ගත්තා අම්මෙ”

“දුමාල් බෙහෙත් බොන්නෑ. කන්නෑ. දොස්තර මහත්තුරු කියන දෙයක් කරන්නෙ නෑ”

“ටික දවසක් යද්දි හරි යයි අම්මෙ”

“මාත් එහෙම හිතං හිටියා. ඒත් ළමයො…දුමාල් ඔයාට මෙච්චර ආදරෙයි කියල මං දැන් තමයි දන්නෙ. ඔයා එයාව බලන්න නොගියොත් එයා මට බලන්නවත් එයාව ඉතුරු කරන එකක් නෑ දුවේ”

“අම්…ම…”

මේ ඇය ව ප්‍රතික්ෂේප කළ දුමාල් ගේ අම්මා යයි ආදිත්‍යා සිතුවේ නැත. ඔවුන් දෙදෙනා ගේ ම කඳුළු, එක පිරිමියෙකු නිසා එකට මුහු වෙමින් තිබිණි.

“මගෙ කිසි අකමැත්තක් නෑ. ඔයා දුමාල්ව බඳින්න. මට මගෙ කොල්ලගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ පුතේ”

නමුත් දැන් ආදිත්‍යා සිටින්නේ එසේ කළ හැකි තත්වයක නො වන බව ගීතා දැන සිටියේ නැත. ඈ දුමාල් ගෙන් ඈත් නොවුණොත් ඔහු ට සේනකලා මීටත් වැඩි හානියක් කරන්නට පුළුවන් යයි ආදිත්‍යා ගීතා ට පහදා දුන්නා ය.

“අම්මට වගේම මටත් ඕනෙ දුමාල්ව පරිස්සං කර ගන්න. මටයි මගෙ පුතාටයි එයා නැති වුණත්…එයා ජීවත් වෙන්න ඕනෙ. එයා සතුටෙන් ඉන්නව දැකල සතුටු වෙන්න බැරි කමක් මට නෑ අම්මෙ”

ඔවුන් දෙදෙනා ගේ ම හදවත් වල එක ම ගිනි මැලයක් ඇවිලෙමින් තිබිණ. ගීතා ට තව කරන්නට ඉතිරි වී කිබුණේ එක දෙයකි. ඇය ඒ කරන්නට හිත සවිමත් කර ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles