වියෝ ගී ගැයෙනා හදේ – 31

0
4584

“හස්බන්ඩ් ටයි වයිෆ්ටයි  ඩිවෝස් වෙන්න අයිතියක් නෑ කියල මම කියන්නෙ නෑ වගේම කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. ඒ උනාට මේධා අම්මයි තාත්තයි ඩිවෝස් වෙන එක ප්‍රශ්නයක්. දරුවන්ට ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පවුලෙ එකම ළමය වෙලා අම්මයි තාත්තයි දෙන්නම එක්ක හරිම ක්ලෝස් උන්නු පෙත්මලී වගේ දරුවෙක්ට ඒක ප්‍රශ්නයක් වෙනව කියන එක හරිම සාධාරණයි. අන්ඩස්ටැන්ඩ්බල්. ගෑණියි මිනිහයි දික්කසාද වෙනව කියන තරම් සරලව අම්මා කෙනෙක්ටයි තාත්ත කෙනෙක්ටයි ඩිවෝස් වෙන්න බෑ. අනික උඹල ගත්ත හැම තීරණයක්ම ගත්තෙ හරිම කලබලේකින්. ඔයාලට ඩිවෝස් වෙන්න කලබලයක් තිබ්බට පෙත්මලීට ඒ කිසිම දෙයක් ඩයිජෙස්ට් කරගන්න කාලයක් තිබුනෙ නෑ කියන එක අමතක කරන්න එපා.

අනික උඹ අලුත් රස්සාවෙ වැඩ එක්ක බිසී උන හන්දා පෙත්මලීගේ කිසිම වෙනසක් දැක්කෙ නැති වෙන්න පුලුවන්. ඒක ඉතින් උඹේ ප්‍රශ්නයක්නෙ. උඹ දැනගන්න ඕනනෙ මොන ජාතියෙ වැඩ තිබ්බත් පෙත්මලී දිහා බලන්න. අමතක කරන්න එපා හැදුනෙ වැඩුනෙ, දවසෙ වැඩිම වෙලාවක් ඉඳියෙ උඹත් එක්ක උනාට පෙත්මලී චිරත්ට හරිම ක්ලෝස් කියන එක අමතක කරන්න එපා” කියා ආලෝකා කියද්දී මේධාවිණී කලේ කැෆේ එකේ මේසෙ උඩ තිබ්බ තමන් ඇණවුම් කල ටින්කිරි තේ කෝප්පය හැන්දකින් කලතමින් කල්පනා කල එකය. යටටම වෙන්නට සෑහෙන තරමක් ටින්කිරි පුරවා ඊට උඩින් උණු තේ පුරවා තිබෙන ටින් කිරි තේ කෝප්පය ඉතා රසවත් වන්නට හැකි බව තේ කෝප්පය දිහා බැලුගමන් ඕන කෙනෙක්ට තේරෙන බව ඇත්තක් නමුත් මේධාවිණී උන්නේ ඒ තේක රසවිඳින්න උවමනාවකින් නොවේදැයි ආලෝකට හිතුනේ ඇයි දැන් බොහෝ වෙලාවක් තිස්සේ එකම ආකාරයට, දීර්ඝ කල්පනාවක ගිලී තේක හැඳිගාන හන්දාය.

“අනික ඉතින් උඹ හිතන් හිටියනම් පිට මිනිස්සු උඹළගෙ ඩිවෝස් එක අල්ලගෙන ඒක පෙත්මලීට රිද්දන්න හේතුවක් කරගන්න එකක් නෑ කියල මේ ලංකාව බව අමතක කරන්න එපා. මිනිස්සු හරි ආසයි තමන්ගෙ කසාදෙ මොන ජාතියෙ ප්‍රශ්න තිබ්බත් ඒව විසඳගන්නෙ නැතුව අනුන්ගෙ කසාද දික්කසාද ගැන කතාකරන්න. අනික බං ඕනම ගෙදරක ගෑණියි මිනිහයි ඉතින් ඕව කතාකරනවනෙ. ඔය ලේඩීස් ගෘප්ස් වල එහෙම කිව්වට දරුවන්ට ඇහෙන්න ඕව මේව කතාකරන්න එපා කියල ප්‍රැක්ටිකලි ඉතින් ඕව කරන්න ගියාම එහෙමම වෙන්නෙ නෑ.

පෙත්මලීගෙ ක්ලාස් එකේ ඉන්න ඒ බබාගෙ අම්මල තාත්තල උනත් ඉතින් ගෙදර කතාකරන ඒව අහන් ඉඳල ඒ බක පණ්ඩිත කෙල්ල ඇවිත් පෙත්මලීගෙ ඔලුවට කරදරයක් දාපු එක අපිට කරන්න දෙයක් නෑ. හැබැයි අපි අපේ දරුව ගැන වදවෙන්න ඕනනෙ. ඒ නිසා පෙත්මලීගෙ ටීච කිව්ව කතාව අපිට ලේසියෙන් අමතක කරන්න බෑ කියන එක අමතක කරන්න එපා. අනික තමයි අපි කොච්චර නම් ඔෆිස් එකේදි පවා කතාකරල තියෙනවද අපේ අම්මල තාත්තල හොඳ හන්ද අපිට කොච්චර හොඳ චයිල්ඩ් හුඩ් එකක් ලැබිලා තියෙනවද කියලා. ඒකම අනිත් පැත්තටත් හිතන්නකො හොඳ චයිල්ඩ් හුඩ් එකක් ලැබිච්ච නැති දරුවන්ගෙ ඇඩ්ලට් ලයිෆ් එක කොච්චර ෆේල් වෙන්න පුලුවන් වෙයිද? ඒක නිසා අපෙ දරුවෙක්ට අපි එහෙම දැන දැන ඒ වගේ දෙයක් වෙන්න දෙන්න ඕන නෑනෙ. ඒ නිසා ටීච කිව්ව වගේ පෙත්මලීට මීට වඩා ඇටෙන්ශන් එකක් දෙන්න මේධා. මොක උනත් ඒ දරුව මෙ ලෝකෙට ආවෙ ඔයාටයි චිරත්ටයි ඕන හන්ද කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ඒ දරුව තනියෙන් කකුල් දෙක පොලොවෙ ගහල හිටගන්න පුලුවන් දැනුම් තේරුම් තියෙන ලොකු එකෙක් වෙනකම් පරිස්සම් කරගන්න එක අපේ යුතුකම. ඇඟේ පතේ වෙන තුවාලයක් නම් එලියට පේන නිසා අපිට බේත් කරන්න ලේසියි. හිත් වල වෙන තුවාල එලියට පේන්නෙ නැති හන්දා බෙහෙත් කරන එකක් කරන්න වෙන්නෙ තමන්ගෙ හිතේ තුවාලයක් තියන විත්තිය තේරුම්ගන්න කෙනෙක්ට විතරයි. පෙත්මලී කියන්නෙ පොඩි එකෙක්. තමගෙ හිතෙ තුවාලයක් තියෙනව කියන එක කියන්න ඒකට බෙහෙත් ගන්න ඒ පොඩි එකාට තේරෙන්නෙ නෑ මේධා. ඒ දරුවා හිතේ තියෙන කරදර පෙන්නනවා ඇත්තෙ අඬල කරලා, සද්ද නැතුව ඉඳල, සෙල්ලම් නොකර ඉඳල වෙන්නැති. අපි ඒක ඉතින් හරියට තේරුම්ගන්න ඕන” කියා ආලෝකා නිහඬ වෙද්දිත් මේධා කලේ දිගටම තේ කෝප්පය හැඳි ගාන එකය.

“මට ඇත්තටම හිතාගන්න බැරිඋනා ටීච එහෙම දෙයක් කියද්දි. මට කියන්නෙ කාටද කියල හිතාගන්න බැරුව තමයි මං උඹට කෝල් කලේ. අම්මලට කිව්වනම් ඉතින් දන්නවනෙ මට බනීවි කලබල වෙලා ලමේක් හදාගත්ත අරකයි මේකයි කියල. ඔලුව ඕල්‍රෙඩ් කරදරවලින් පිරිල තියන වෙලාවක තව මේ අම්මල කියන විකාර වලින් ඔලුව පුරවගන්න බැරි හන්දයි උඹට ගත්තෙ”

“එහෙම හරි උඹට ඉතින් කතාකරන්න මතක් වෙච්ච එක කොච්චර දෙයක්ද නේද? ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට හරි මාව මතක් උනා කියන්නෙ උඹට පොඩ්ඩක් හරි මගෙ යාලුකම වටිනව කියන එකනෙ” කියා තමන්ගේ තේ කෝප්පයෙන් බිඳක් තොලගාන ගමන් ආලෝකා තමන් වෙත විසිකලේ අමනාපයක වචන බව මේධාට නොතේරුනා නොවේ. ආලෝකා වනාහි එවන් දේවල් වලින් තමන්ගෙ හිත දූශණය කරගන්න ආකාරයේ සම්ප්‍රදායික බොළඳ ගැහැනියක් නොවන බව දන්නවා උනත් මේධා ඒ අමනාපය මුසුවෙච්ච වදන් භාරගත්තේ ඇත්තටම ලැජ්ජාවකිනි. පරණ සබඳතාවයෙන්ද, පරණ රැකියා ස්ථානයෙන්ද නික්ම ආවයින් පස්සේ කෙතරම් හොඳ යාලුවෙක් උනත් තමන් එක්තරා දුරකට ආලෝකාව තමන්ගේ ජීවිතයෙන් ඈත්කල බව මේධාගේ හිත කිව්වාය. 

“අනේ එහෙම දෙයක් නෙවෙයි බං”

“හරි බං, මං විහිලුවක් කලේ. කොහොමහරි අන්තිමේ උඹ කතාකරානෙ, ඉතින් කියපංකො පහුගිය ටිකේ මොනවද උනේ? චිරත්ගෙ ආරංචි එහෙම තියෙනවද? අනික උඹ ලස්සන වෙලා මොනවහරි අලුත් ප්‍රඩක්ට් එකක් යූස් කරාද?” කියා ආලෝකා සාමාන්‍ය විදියට ඇහුවත් හිත අසාමාන්‍ය ලෙස ගැහුණේ වලාකුලු වීරවර්ධනව මතක් වී බව මේධාට නොරහසකි. ආලෝකා වනාහී ඇත්තටම ඕනවටත් වඩා විශ්වාස කරන්න හැකි අන්දමේ හොඳම හොඳ මිතුරියක් උනත් වලාකුලු සහ තමන් අතර කෙරීගෙන යන තවමත් හරියාකාර ආමන්ත්‍රණයක් දෙන්නට නොහැකි සබඳතාවය කිසිවෙකුට නොකියා, ලෝකයෙන් සඟවාගෙන කරගෙන යන්නට උවමනා කරන බාල බොලඳ රහස්‍ය සන්තෝසයක් හිතේ තිබෙන නිසා පසුගිය කාලයේ වූ විශේෂ දේවල්වලින් වලාකුලුව ඈත්කර ඉතිරිය ආලෝකට කියන්නට මේධාව පෙළඹුවාය.

අනෙක් අතට සමහර දේවල් පරිස්සම් සහගතව තබාගත හැක්කේ ලෝකයක ඇස්වලින් සඟවා තබද්දී යැයි හිතෙන අන්දමේ හැඟීමක් මේධාගේ හිත අස්සේ තිබුනාය. 

“එහෙම විශේෂයෙන් කියන්න දෙයක් නෑ බං. ඔෆිස් එකේ වැඩ එක්ක බිසීවෙලා ඉන්නෙ දැන් දවසම”

“අඩේ තාත්තගෙ බිස්නස් එක නේද? ඔච්චර මොකටද නහින්නෙ? ගෙදරට වෙලා ඉඳපංකො” 

“නහින්නෙ ඉතින් තාත්තගෙ දේ හන්දනෙ බං. තාත්තගෙ කියන්නෙ ඉතින් කවදහරි මගෙනෙ. ඒ හන්දා පරිස්සම් කරගන්න එපාය. මගෙන් පස්සෙ කවදහරි පෙත්මලී ඕව බාරගන්න කම්”

“චිරත් මොකද කියන්නෙ කරන්නෙ?”

“එදා අර බර්ත් ඩේ පාටි එකේදි වෙච්ච ඉන්සිඩන්ට් එකෙන් පස්සෙ චිරත් මට කතාකරේ නෑ. කොහොමත් එයා එහෙම මට කතාකරන්නෙ නෑ. සමහරවිට එයත් මූව් ඔන් වෙන්න ප්ලෑන් කරන ගමන් වෙන්නැති ඉන්නෙ”

“එයත් මූව් ඔන් වෙන්න ප්ලෑන් කරනගමන් ඉන්නෙ කිව්වෙ උඹත් මූව් ඔන් වෙන්න ප්ලෑන් කරන ගමන් ද ඉන්නෙ?” කියා ආලෝකා තමන්ගෙ සුපරික්ශාකාරී දෙනෙත මෙහෙයවද්දි තමන්ගේ හිත කලබල වනු දැනුනත් මේධා දෙනෙත්වලට කලබලකාරී බවක් නොපෙන්වන්නට තරම් පරිස්සම් සහගත වුනාය. ආලෝකා වනාහී තමන්ගෙ පොඩි වෙනස්කමක් උනත් ඉක්මනට අල්ලාගන්නට පහසු ගැහැණියක බව මේධාට අමතක නොවේ. 

“නෑ පිස්සුද?”

“එහෙනම් ඇයි එහෙම දෙයක් කිව්වේ? හිතේ මොනවහරි හංගගෙනද කතා කරන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here