අකල් වැහි -35

අතිශය කාර්යබහුල දවසක් අවසානයේ සිතිජ ඊමේල් පරීක්ෂා කරමින් හුන්නේ ය.ඔහුගේ ඇස පුරුදු නමකින් ආ පණිවිඩයක් වෙත නැවතිණ.එය ඇගෙනි.හිරුදිගෙනි.අට මසකට පෙර මව්බිමෙන් නික්ම ගිය නිසල් සම්බන්ධ සමහර කාරණා වලට ඇමතුම් ලබා දුන් ඇගෙනි.ඇය දුරස් වෙමින් හිඳින වග සිතිජට දැනෙමින් තිබිණ.ඇය මවකි.සැමියාගෙන් වෙන් වන්නට තීරණය කළ ද වගකීම් ඇති ගැහැනියකි.ළාබාල යුවතියක දෙස බලන ඇසකින් හිරුදි දෙස බලන්නට නොහැකි වග ඔහු දැන සිටියේ  ය.සිතිජ ඊමේල් පණිවිඩය විවෘත කළේ කුතුහලයෙනි.

සිතිජ,

මේ ඔබට බොහෝ කාලයක් කියන්නට සිටි කතාවක්.ඉතා අහම්බයකින් මුණ ගැහුණු අපි අතර වූ සුන්දර යාළුකම බිඳ වැටේදැයි බියෙන් නොකියා සිටි කතාවක්.

සිතිජගේ සිතට සැකයක සේයාව දැනෙන්නට වූයේ ඒ වාක්‍යය කියවීමෙනි.ඔහු කුතුහලයෙන් යුතුව ඊමේල් පණිවිඩය කියවන්නට වූවා ය.

අපි මුණ ගැසුණේ රටේ හැම කෙනෙකුට ම එන්නට සිදු වූ බිමකදී.ඒත් ඒ බිමට මම එන බව මගේ ගෙදර කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ.

සිතිජ,

විශ්වාස කරන්න.මම ඒ ආවේ මගේ නෑදෑයන්ට විරුද්ධවයි.නිසල්ගේ මරණයට සාධාරණයක් ඉෂ්‍ට කරන්න කියලා මම එදා බෝඩ් එකක ලිව්වේ මගේ හස්බන්ඩ්ට විරුද්ධවයි.එතැන හිටිය අනිත් අය බොහොම අපුලෙන් කතා කරපු භාග්‍යා දේවතිලක තමයි මම.තවත් විදියකට කිව්වොත් හිරුදි භාග්‍යා සමරවික්‍රම.කේන්දරයක් නිසා ජීවිතයටත් වඩා ආදරය කළ ප්‍රේමවන්තයා මරා දැමෙන හැටි බලාගෙන හිටිය භාග්‍යා මම.එතැනින් පස්සේ ජීවත් වෙන්නේ මොකටද හිතුණු නිසා චේතනත් එක්ක ජීවත් වෙන්න හිත හදා ගත්තු භාග්‍යා මම.චේතනලාගේ නාස්තිකාර වැඩ හැමදෙයක්ම දිහා බලාගෙන මළ මිනියක් වගේ ඔහේ ජීවත් වුණු භාග්‍යා මම.

සිතිජ,

ඒ ඔහේ ජීවත් වීම නැවතුණේ මම අම්මා කෙනෙක් වෙන්නට ගිය හින්දා ද ඔයාලාගේ අරගලය නිසා ද කියලා මම හිතුවා.මට තෝරා ගන්න වෙන්නේ දෙවැනි හේතුව.අන්තිම මොහොත දක්වාම සටන් කළ යුතු බවත් සටනකින් තොරව දිනුමක් නැති බවත් මට තේරුණේ ඔයාලා නිසා.

හිරුදි ඒ ලිපිය තවත් බොහෝ දිගට ලියා තිබුණා ය.ඇයට සමාව ඉල්ලන්නට ඕනෑ වී තිබිණ.ඒ හිරූ යැයි තමන් හඳුන්වා දුන් නමුත් තමන් කවුදැයි නොකියන්නට ප්‍රවේසම් වූ නිසාවෙනි.එහෙත් එහි වරදක් තිබේදැයි සිතිජ කල්පනා කරන්නට වූයේ ය.

ඔහු සිතා හුන්නේ ඇය නිසල්ට ආදරය කළ ගැහැනු ළමයෙකු වග ය. භාග්‍යාට ආදරය කිරීම නිසා නිසල්ට මරණය වැළඳ ගන්නට සිදු වෙද්දී නිසල්ට දුර සිට ආදරය කළ හිරූ තවමත් ඔහුගේ වියෝව නිසා කම්පා වන වග ඔහු සිතා හුන්නේ ය.නමුත් ඒ අදහස සහමුලින්ම වැරදි ය.

ප්‍රබල දේශපාලන පවුලක ලේලිය තමන්ගේම මිනිසුන්ට විරුද්ධ වී සිතිජලා ගත් මඟ යන්නට හිත හදා ගෙන තිබිණ.සිතිජ අනතුරට පත් දිනයේ ඇගේ නිවසක් ගිනිබත් වෙමින් චේතන දේවතිලක මිනිසුන් අතින් පහර කද්දී පවා ඇය සිතිජ වෙනුවෙන් රෝහල තුළ රැඳුණා ය.

නායකයෝ වගේම චේතනලා වගේ අලුත් පොලිටීෂියන්ලා නිසා කවමදාවත් ගොඩ ගන්න බෑ කියල හිතපු රටක් මෙච්චර ඉක්මනට බේරා ගත්තට ස්තූතියි සිතිජ.චේතනට රාජ යෝගයක් අරන් පුතෙක් ඉපදෙන බව සාස්තරයක තිබ්බා.ඒ පුතා ඉපදුණු මොහොතේ චේතන අත්අඩංගුවට පත්වෙලා තිබුණා.අහිංසක කොල්ලෙක්ගේ ආදරෙත් ජීවිතෙත් විනාස කරපු පව නෙවෙයි.චේතනට තව පව් ගොඩක් තියනවා.ඒ හැම පවම නිරාවරණය කරන්න ඔයාලට හයිය තියේවි.

හිරුදි ලියා තිබෙන අන්දමට ඇයට නැවත ලංකාවට එන්නට කිසිම අදහසක් නොවේ.නැවත පැමිණ දික්කසාදය ලබා ගන්නට තරමේ උවමනාවක් වත් නැති වග ඇය කියන්නී ය.ළාබාල යෞවනියක කාලයේම මජර දේශපාලනයේ ගොදුරක වූ ඇය ඒ මඩ ගොහොරුවට ඇලෙන්නට නොකැමති වීම ගැන සිතිජට එක් අතකින් සතුටක් දැනෙන්නට විය.

දැන් ඇය නිදහස් ය.එහෙත් ඇය සතුටින්දැයි ඔහු සිතන්නට වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles