BE SILENT – 67

0
207

”  ටැමී කියන්නේ මොකෙක්ද ? ඌ එදා ඉඳන් කළේ අපි විසික් කරන කටු කකා අපි ලඟ කුක්කෙක් වගේ හිටපු එකෙක් විතරයි. උඹයි , මායි එහෙමද ? ‍යකෝ අපේ ජීවිත කොච්චර වටිනවද ? “

ටැමී දුරකතන තීරය වෙත බොඳ වූ දෑස අලවා ගෙනම සිටියේය. ඔහු ඉදිරියේ අසුන් ගෙන සිටි මනුහස් මොහොතකින් වීඩියෝ පටය අක්‍රිය කළේය. 

” බොස්ට මොකද්ද මගෙන් වෙන්න ඕනේ ?” 

” මට තමුසෙගෙන් මොනා වෙන්නද ? තමුසේ දැන්වත් තේරුං ගන්නවා තමුසෙ දෙයියෝ බුදුන් වගේ අදහගෙන හිටපු උන්ගෙ තරම. මයන් කාරයා මැරිලා නෑ කියලා උගේ හැම බලු වැඩකටම , කුණු වැඩකටම අත ගහපු තමුසේ දැනගෙන හිටියෙ නෑනේ ? ත්‍රෙට් එක තියෙන්නේ තමුසෙලා ඔක්කොටම කියලා දැනගෙනත් ඌ හැමදේම තමුන්ගෙන් හැංගුවා. ටෙහාන් , ක්‍රිශාන් , අසංග තුන් දෙනාම මැරුණේ ඇයි කියලා දැන දැනත් කාටවත් කිසි දෙයක් කිව්වේ නෑ. ඌ කළේ ඌව බේර ගන්න ගේමක් ගහපු එක විතරයි. ඌ එදා ඉඳන් කළේ ඒක. නයින් මවුන්ටන්ස් එකේ තොපි ඔක්කොම එකතු වෙලා විනාස කරපු අර දෙමළ කෙල්ලගෙ සිද්ධියෙ ඉඳන් ඌ තමුසෙලා හැමෝවම උගෙ අල්ලේ නැටෙව්වා. ඌ අත දිගෑරලා තමුසෙලට උදව් කරද්දි , අත දිගෑරලා සල්ලි වියදං කරද්දි තමුසෙලා හිතුවේ ඒවා යාලුකමට කරන ඒවා කියලා. ඒත් .. ඌ කළේ තමුන්ලා ඔක්කොගෙම තටු කපපු එක. කවදාවත් ඌට විරුද්ධව වචනයක්වත් කියන්න බැරි වෙන විදිහට තමුසෙලගෙ කටවල් වහපු එක. කොච්චර පොරවල් කියලා හිතන් හිටියත් තමුසෙලා ඔක්කොමලා ඌට ඇන්ඳුනා. “

ටැමීගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා වැටුණේය. 

” මං තමුසෙව මෙහෙට ගෙනල්ලා අදට හරියටම දවස් තුනයි. නිකමටවත් තමුසෙ ගැන හොයාගෙන එක බල්ලෙක්වත් ආවේ නෑ. තමුසෙව ගෙනාපු දවසේ තමුසෙ මහ ලොකුවට කිව්වනේ තමුසෙව එක පැය තුනක් මෙතන තියාගන්න බෑ කියලා. ? දැන් මොකෝ කියන්නේ ? “

ටැමී හිස බිමට පහත් කර මනුහස් පවසනා සියල්ල අසා සිටියේය. 

” තමුසෙව ඇරෙස්ට් කරන්න මට කෝට් ඕඩර් එකක් තියනවා. ක්‍රිශාන්ගේ ගෙස්ට් හවුස් එකේ  වෙච්ච හැනා මුලර්ගේ මර්ඩර් එකට. ඒකට සම්බන්ධ උන්ගෙන් ජීවතුන් අතර ඉන්නේ දැන් තමුසෙ විතරනේ ? ඒ උනාට මං දන්නවා එදා තමුසෙගෙ අතින් හැනාට කරදරයක් උන්නෑ කියලා. තමුසෙ වෙච්ච දේවල් මුල ඉඳලම දැනගෙන ඉඳලත් ඔක්කොම හැංගුවා. බූරු ගැහුවත් එකයි , බූරු පිටියෙ හිටියත් එකයි . අපරාධ කළත් එකයි , අපරාධ හැංගුවත් එකයි. තමුසෙට ඔන්න ඔය ටික තේරුං කරන්න ඕන නිසා තමා මං තමුසෙව මෙච්චර කල් මෙහෙම තියාගත්තේ .” 

” එතකොට දැන් .? “

” කැමති දෙයක් කර ගන්නවා. තමුසෙට මෙතනින් යන්න පුලුවන් …”

ටැමී විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බලා සිටියදී එය මායිම් නොකළ මනුහස් ගබඩා සංකීර්ණයෙන් පිටතට ආවේය.

” අපිට මිනිහව ගෙස්ට් හවුස් එකේ සිද්ධියට ඇරෙස්ට් කරන්න පුලුවන්නේ සර්..?” 

” ඒ කේස් එක කොහොමත් ඔප්පු වෙලා ඉවරනේ බං. “

” එතකොට මූ ?” 

” අපි මූට යන්න දෙමු. කරන්න පුලුවන් දේවල් කොච්චර තිබ්බත් සමහර වෙලාවල් වලදි ඒ කිසි දෙයක් නොකර අත් දෙක බැඳගෙන පැත්තකට වෙලා බලන් ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනවා. මෙච්චර දවස් අපි එක එකා පස්සෙන් එහෙ මෙහෙ දිව්වනේ බං. දැන් පොඩි රෙස්ට් එකක් අරන් වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉමු. “

සචින්ද්‍ර තම ඉහල නිලධාරියා වෙතට මඳ සිනහවක් පා ජීප් රථය පණ ගැන්වූයේය. 

*******************************************

 මහල් නිවාස සංකීර්ණයේ රථ ගාලෙන් මෝටර් රථය නතර කළ මනුහස් එයින් පිටතට විත් විදුලි සෝපානයට නැංගේය. වේලාව රාත්‍රී එකොළහට ආසන්නය. නිවස ඉදිරිපිටට විත් එහි ප්‍රධාන දොර විවර කර නිවස තුළට ඇතුළු වනවාත් සමඟම ඔහුට නිවස තුළ යම්කිසි අමුත්තක් දැනී ගියේය. පෙර නොවූ විරූ ලෙස නිවස තුළින් නැඟී ආ ඉමිහිරි සුගන්ධයක් වහා විත් ඔහුගේ නාසයේ එතුණේය. කිසිදු ශබ්දයක් නොමැතිව නිවසට ඇතුළු වූ ඔහු ආලින්දයේ විදුලි බුබුළු දැල්වුයේය. තමා පැමිණියේ තම නිවසට නොව අන් කිසිවෙකුගේ නිවසකටදැයි සිතෙන තරමට ආලින්දය වෙනස් වී ගොසින්‍ ය. ආලින්දය පුරා පිළිවෙළක් නොමැතිව තිබූ සියළු ගෘහ භාණ්ඩ පිළිවෙළකට තබා ඇති අතර එය සම්පූර්ණ අලුත් ස්වභාවයක් ගත්තේය. තමා නොමැති අවස්ථාවේ නිවසට පැමිණියේ කවුරුද වග ඔහුගේ සිත මුමුණා ඔහුට පැවසුවේය. දෙතොල් මත සිනහවක් ඇඳී යාමට ආසන්න වුවද දෙතොල තද කර ගත් ඔහු ආයාසයෙන් එය වළක්වා ගත්තේය. ආලින්දයේ සිරි නැරඹීම පසෙකට දැමූ ඔහු නිදන කාමරයට පා තැබුවේය. එක් වරම පසු පසින් පැමිණි කවුරු හෝ ඔහුගේ බඳ වටා දෑත යවා ඔහුගේ පිටට තුරුළු වූවාය.

” කොයි වෙලාවෙද ආවේ ?” 

යළිත් වතාවක් මුවට සිනහවක් නැඟෙන්නට පැමිණියද නැවතත් එය වළක්වා ගත් ඔහු හිස හරවා නොබලාම ඇසුවේය. 

” දවල්..”

ඇගේ ස්වරය සෙමින්ය.

” ඒක තමා අරූ මගෙන් දෙතුන් පාරක්ම සර් ගෙදර යන්නැද්ද , යන්නැද්ද කිය කිය ඇහුවේ ” 

ඔහු එසේ පවසා ඈ දෙස නොබලාම ඇගේ දෑත තම බඳෙන් මුදවා දැමුවේය. ඉන් පසු අඩි කිහිපයක් ඉදිරියට ගොස් හැඳ සිටි උඩු කමිසයත් , යටි කමිසයත් ගලවා එකදු රැල්ලක් හෝ නොසිටින ලෙසට අලුතින් ඇඳ ඇතිරිලි දමා තිබූ යහන මතට විසි කළේය. 

කෙතරම් උත්සාහ කළත් ඔහු සිටින්නේ තවමත් දැඩි කෝපයකින් බව තේරුණු ඈ කණගාටුවෙන් හිස බිමට බර කර ගත්තාය. 

” උමායා ගෙදර නැද්ද ?” 

” ආ..?” 

ඔහු ඇසූ පැනයට තිගැස්සුණු ඈ වහා හිස ඔසවා ඔහු දෙස බැලුවාය. නමුදු මාන්නක්කාරයා තවමත් සිටින්නේ ඈට පසු පස හරවා ගෙනය. 

” දැන් එන්න ඇත්තේ යන්න ඔක්කොම හදාගෙනනේ ? උමායාගේ ගෙදරම කෙලින්ම යන්න තිබුණනේ , මෙහෙ එන්නැතුව ?” 

මනුහස් එසේ පවසා තම දෙතොල තවත් තද කර ගත්තේය. ඔහුගේ වචන ඇසුණු සැණින් ඇගේ හදවත පුරා දරා ගත නොහැකි වේදනාවක් පැතිර ගිය අතර දෑසින් ඉනූ කඳුළු මැදින් ඈට ඉකි ගැසුණාය. 

” මං ඔසී යන්නෑ මනූ.. මට අපේ ගෙදර යන්න බෑ. මල්දෙණිය ගෙදර යන්නත් බෑ. ඇත්තටම මට යන්න තැනක් නෑ මනූ… මං මෙහෙ ඇවිල්ලා ඔයාටත් කරදරයක් උනා නං සොරි..”

ඈට දිගටම ඉකි බිඳුණාය. 

මනුහස්ගේ හදවත මොහොතකට සසැළුණේය. තමා කළ විහිළුව පමණට වඩා දුර ගිය බව වැටහුණු ඔහු වහා අනෙක් පස හැරී හඬා වැටෙමින් සිටි රුවැත්තිය අසලට අඩි දෙක තුනක් තබා පැමිණියේය. 

” මෙහෙ එනවා..”

ඇගේ අතකින් අල්ලා ගත් ඔහු වහා ඈ ඇද තමා ලඟට ගත්තේය.  ඔහුගේ නිරුවත් පපුවේ හිස සඟවාගත් ඈ තව දුරටත් හඬා වැටුණාය. 

” දැන් මොකෝ අඬන්නේ ? ආ.. ? දාලා යනවා කියලා කිව්වේ මාවනේ ? අඬන්න ඕනේ ඔයාද මමද ?”  

තම දෑතින්ම ඈව තුරුළු කර ගත් ඔහු ඇගේ උවනට පහත් වී ඇසුවේය. 

” නපුරී…!” 

ඔහු වහා ඇගේ කොපුලකට තම නාසයත්, දෙතොලත් තද කර ගත්තේය. 

” ඔයා ආවා නාවා මං ආපහු හෙට උදේ කැන්ඩි එන්න හිටියේ..”

ඔහු කෙඳිරිලි ස්වරයකින් මිමුණුවේය.

” ආ..?” 

” හ්ම්ම්ම්…. දාලා යනවා කිව්වම දුක හිතෙන්නැද්ද ? ඒ දුකටයි මං ආවේ. එහෙම ආවට ඔයා ලඟ නැතුව අද දවස ගෙවා ගත්තේ  හරි අමාරුවෙන් සුදු බෝලේ. එක දවසක් ඉන්න මෙච්චර අමාරුනං  ඔයා අර යනවා කිව්ව මාස තුන ඔයා ගිහින් එනකන් ඉන්න මට කොච්චර අමාරු වෙයිද ? හෙට ගිහිල්ලා මොනවමහරි කරලා ඔයාව නවත්තගන්නවා කියලා  අද දවසෙම හිත හිතමයි හිටියේ.. “

නෙත්‍යාට නැවත වතාවක් ඉකි ගැසුණාය . ස්නේහවන්තයාගේ වචන ඈට දරා ගත නොහැකි වූවාය. 

” අනේ..  මනූ… මං යන්නෑ.. ආයේ කොහෙවත් යන්නෑ. ප්‍රොමිස්..!” 

ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඔහු සෙමින් ඇගේ කොපුල් මත ඇති කඳුළු බිඳු පිසදා දැමුවේය .

” වොශ් එකක් දාන් එන්න. කමු…”

” ඔයා තාම කෑවේ නැද්ද ?” 

ඔහු මඳක් කලබල වූයේය. ඈ හිස සොලවමින් නැත යැයි පැවසුවාය. 

” ඔයා එනකන් හිටියේ..”

” ශිට්…  පොඩ්ඩක් ඉන්න. අපි මොනාහරි ඕඩර් කරමු.. ගෙදර කන්න මුකුත් නෑ..”

ඔහු වහා ජංගම දුරකතනය අතට ගත්තේය. 

” එපා මනූ.. මං ඉව්වා..”

ඔහු දෑස විසල් කරමින් ඈ දෙස බැලුවේය.

” ඉව්වා..? මෙහෙ ?” 

” හ්ම්ම්…”

ඈ නැවතත් තමන් පැවසූ දේ සනාථ කරමින් හිස සැලුවාය. 

” ගෙදර මුකුත්ම තිබ්බේ නෑනේ ?” 

” මං ඔක්කොම ගෙනාවා.. “

මනුහස් එක දිගට ඈ දෙස බලා සිටියේය. ඔහුගේ දෑස පුරා ඈ වෙනුවෙන් පිරී ගිය ප්‍රේමය මිස අන් කිසිවක් නොවුණේය. 

” වොශ් එකක් දාන් එන්නකෝ..”

” හ්ම්ම්… “

එසේ පැවසූ ඔහු නැවතත් පහත් වී ඇගේ නළල මත හාදුවක් තැබුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here