මහේල ප්‍රශ්න නොකර, ඔහු හා එක්ව ගමන් කිරීම වෙනුවෙන් මම සූදානම් වූයෙමි. රැයේ තාත්තා ට ඇමතුමක් ගත්තෙමි. නිර්මලී නැන්දා ද මා හා කතා කලාය.
ඔවුන් දෙදෙනාම වෙනදා නොවූ උද්‍යෝගයක් දරමින් උන් හ.
” මොකද ඔය දෙන්නා ඔච්චර සතුටින් ?”
මම ඇසුවේ වීඩියෝ ඇමතුම අවසන් කරන්නට පෙරය.
” කෝටිපතිය බෑනෙක් ලැබුනම සතුටූ නොවී කොහොමද ..” නිර්මලී නැන්දා කුඩා කෙල්ලක ලෙසින් කට ඇද කරමින් කීවාය. මට සිනහ නැඟුණි. අම්මා නම් නාම මාත්‍රික ගැහැණියට වඩා ඇය මගේ ජීවිතයේ දියුණුව දකිනවා නොවේද ?
“ඇත්තටම මොකද ?”
මම සිනහවට ඉඩ දී පසුව ඇසුවෙමි.
” ඔයාට දැනෙන සතුටම තමා අපටත් දැනෙන්නේ මේ…”
නිර්මලී නැන්දා ඇමතුම විසන්ධි කලේ මගේ හිතට බරක් එකතු කරමින් ය. මහේල අරන්දර වසර හයකට පසුව ලංකාවට පැමිණෙන බව ඇසූ මොහොතේ පටන් මේ වන තෙක් මට දැනුණ ප්‍රහර්ෂණීය හැඟීමට ඇත්තේ අක් වක් විචලනය ක් බව කිව හැක.
ඒ පිටතට පෙනෙන මට්ටමේ සතුටය. එසේත් නැතිනම් උඩු හිත දරන සතුටය. එහෙත් මගේ යටි හිත එදින සිට මේ වන තෙක් දරන්නේ ශූන්‍ය යෙන් ඇරඹී අනන්තය තෙක් නැඟෙන තරමේ ප්‍රහර්ෂණීය හැඟීමකි. මහේලගේ දැකුම, ස්පර්ශය, හඬ, මේ සියල්ල වෙනස් සාන්ද්‍රණ වලින් එකී ප්‍රහර්ෂණීය හැඟීම වෙනුවෙන් දායක වෙන්නේය.
මහේල අප දෙදෙනාටම වන සේ ආහාර ඇනවුම් කර තිබුණි. ඔහු මෙහි සිටීම අම්මලාට ප්‍රශ්නයක් නැතිදැයි මම යලි විමසුවේ නැත. ඔහු ද ඒ වගක් නැතිව මෙන් සාමකාමීව උන්නේය. අප එදින රාත්‍රියේද ChOcO ManiA වෙනුවෙන් සැලසුම් සැකසුවෙමු. සවස ChOcO ManiA වෙනුවෙන් ඉදි කෙරෙමින් තිබූ කර්මාන්ත ශාලාවේ වටයක් ඇවිදීමෙන් පසු මා ලබා ගත් අවබෝධය තුළ මට මහේල අරන්දර නම් ව්‍යාපාරිකයා සමඟ සෑහෙන දේ කතා කිරීමට ඉඩ සැකසුණි.
මහේල මා පවසන දේ ඉතා උනන්දුවෙන් අසා උන්නේය. වසර හයක් මා අතැර උන් බවක් සිහියේ හෝ නැති සෙයකින් ඔහු මට සලකමින් උන්නේය
” තනියෙන් නිදාගන්න පුළුවන් නේ ?”
රාත්‍රී දොළහත් පසුවී මම කාමරයට යන විට අරන්දර පොඩි කොලුවා එලෙස විමසුවේය.
එහි වූයේ, ” මම අදත් ලඟින් නිදාගන්න එන්නද?” යන ආචාරශීලි ඉල්ලීම සඟවාගත්, ” අදත් මම එනවා ඔයාගේ ඇඳේ නිදාගන්න” ලෙසින් පවසන දැඩි විධානය බව වටහාගන්නට අසේකා පණ්ඩිතරත්නට අපහසු වූයේ නැත. එනිසා එයට කිසිත් නොපවසාම මම කාමරයට ගියෙමි. පැය භාගයක් ගෙවෙත්ම මහේල විත් ඇඳේ පසෙක ඇල වුනේය.
” බයවෙන්නෙපා .. මට සමාජ රෝග නෑ.. ලංකාවට එන්න කලින් මම ෆුල් චෙක්ප් එකක් කරා…”
මා නොසිටි වසර හය තුළ සිදුවූ ඇතැම්දේ එලෙසින් කැටි කර අවසන් කරන්නටද මහේල අරන්දර ඉක්මන් වූයේය. මම සුසුමක් හෙලුවෙමි.
” මං වැරදි ඇති.. “
මහේල ඒ සුසුමට පිළිතුරු ද තිව්වෙය.
” ගෑණු කී දෙනෙක් ද ?”
මම කලුවරේම් විමසුවෙමි. එහෙම අහන වෙලාවක මට මහේලගේ ඇස් නොපෙනීම වාසනාවක් බව හැඟිණි.
මීට දින කිහිපයකට පෙර, මහේල අරන්දර උන්නෙ කොහිදැයි මම දැන උන්නේ නැත. ඉන් දින කිහිපයක් ගතවූ තැන ඔහු එන පණිවිඩය ලැබුණි. ඉන් දින කිහිපයක් ගතවූ පසු මහේල අරන්දර පැමිණියේය. එහෙත් මටඔහු දකින්නට ඉඩ ලැබුනේ නැත. ඉන් දිනකට පසු ඔහු සැලසුම් සහගතව හෝ නැතිව මා සොයා ආවේය. ඉන් දිනකට පසු ඔහු වෙත එන්නට නියෝග ලැබුණි. ඉන් පසුව ඔහු මගේ ජීවිතය ඔහු ට නතු බවට වන ඉඟි මට දෙන්නට පටන් ගත්තේය. දැන්, මම ඒ මහේල අරන්දර ව ප්‍රශ්න කිරීමේ අයිතියද පවරාගෙන ඇත.
ඉතින්, ඉන් ඔබට වැටහේද ? අප එක්ව උන් කාලයට වඩා දුරස්ව උන් කාලය කෙතරම් වැඩු වුවද, එකිනෙකා වෙනුවෙන් වන වගවීම් අපා දරාගෙන උන් වගක් …,
මහේල අරන්දර කිසිවක් නොකියා උන්නේය. මම අඳුරු කාමරය තුළ ඔහු සෙව්වෙමි. දිලිසෙන තරු මා දෙස බලා උන්නේය.
” කීයක්ද ?”
” මට මතක නෑ අසේකා … එකක් , දෙකක්, තුනක් නෙවෙයි …”
මට හඬන්නට අවැසි විය. එහෙත් හැඬුණේ නැත. මේ මහේල අරන්දර ගේ ජීවිතය කෙලෙස කොහිම ගෙවුනාදැයි, ගෙවෙනවාදැයි විමසීම පවා අසේකා පණ්ඩිතරත්නට නොහැකි වග ඔබට සිතෙනවා විය හැකිය. එහෙත් , දිනෙන් දින වැඩීමක් මිසෙක ක්ශය වීමක් නැතිව මම් මේ මිනිසාට ප්‍රේම කලෙමි. ඔහු කොහේ හෝ, කොහොම හෝ හුස්ම ගන්නවාය යන විශ්වාසය සහ දැනීම මට ජීවත් වන්නට වූ එකම බලාපොරොත්තු ව විය. එහෙව් ඔහු එක්වරම දුමාරයක් සේ කඩා පැන මෙහෙම පැවසීම පහසුවෙන් දරාගත හැකි යැයි ඔබ සිතනවාද ? නැතිනම් මම එලෙස දරා ගත යුතු යැයි ඔබ සිතනවාද ?
” ඒ හැම වෙලාවකම, එක තැනකින් එහාට යා ගන්න බැරුව මම අසරණ වුණ අසේකා… මං මළමිණියක් වගේ කියලා ඒ හැම ගෑණියෙක් ම අන්තිමේදි මට කිව්වා…”
මම මහේල අරන්දර ගේ මුව වැසුවෙමි. එක් අතක් ඔහුගේ පපුවේ මැදින් තියා වාරු ගෙන මුහුණටම එබුනෙමි. අඳුර අපට බාධා කලේ නැතිවා නොවේ.
” ඇති …”
මට උස් හඬින් කියන්නට අවැසි විය එහෙත් එය නැඟුණේ කෙඳිරුමක් ලෙසිනි.
” ඔයාට අඬන්න ඕනි … අඬන්න …”
මගේ ඇඟිලි අස්සෙන් මහේල අරන්දර ගේ හඬ පිට පැන්නේය.
” මට අඬන්න ඕනි නෑ.. ඕක නවත්තගන්න. මට ඉස්සර කිසිම දෙයක් දැනගන්න ඕනි නෑ…”
මහේල සිනාසුනේය. එය උත්කර්ශවත් සිනහවක් විය. සිනහවේ අගට ඔහු මගේ පිටි අල්ල ඉම්බේය.
නොහිතන වෙලාවක ඉඹින පිරිමි සරාගී වගහ මම ඔබට කියමි. අතීත දවස්වල අප මුණ ගැහෙන හවස් වරු වල මහේල අරන්දර ගේ ප්‍රථම රාජකාරිය වූයේ කොහේ කෝ මුල්ලකට වී මා ඉඹීමය. ඒ හාදු වල උණුසුමට මම කෙතරම් ලෝබ කලේද ඔබට කියන්නට මට අවැසිය
” මාව ඉඹින්නකෝ…”
මහේල ඉතා කාර්‍යබහුල ව උන් දවසක මම ඔහු අසලට ගොස් කීවෙමි සවස හතට වන්නට ඇත.
” මම වැඩ … පස්සේ…”
අරන්දර එවිට කීවේය.
” කියන ඕනි දෙයක් කරලා දෙන්නම්.. හාදුවක් ප්ලීස් …”
පණ්ඩිතරත්න කෙල්ල එහෙම උඩඟුවෙන් අයැද්දාය
” මේ රිපෝර්ට් එක ඉවර කරනකල්, මාත් එක්ක ඉන්නෝනා…”
අරන්දර කොල්ලා එකලද කපටිකමින් අග තැන්පත් විය.
” හා…”
හාදුවක් වෙනුවෙන් ඒක සුලු දෙයකි.
හාදු ලැබුණි. කොපුල්, නළල , දෙතොල්, දෑස් , උරිස් ඇති වෙනකල් තෙමිණි.
රැය පහන් වනතුරුම චමත්කාර ෆ්ලෝරා හී තනි රැක්කෙමි.
එකී ප්‍රහර්ශයම අද , මේ සිනහවට පසුව ලැබෙන හාදුවෙන් මට දැනෙන්නේය.
අම්මා සහ අයියාගේ සැලැස්ම කුමක්දැයි සිතන්නට මට ඉඩක් ලැබුනේම නැත. මීට වසර හයකට පෙර මම ඇගේ දියණිය වගද අමතක කරන්නට තරමේ සැලසුම් ඇය සතුව විනි.
මා ඉතා අසරණ අඩියකට හෙලා ඇයගේ පුතුගේ ඉලක්ක මා මතින් සපුරා දෙන්නට තරම් ඒ අම්මා දරුණු විය
එවන් ගැහැණියක අම්මා ලෙසින් ඇමතීමද පලක් නැති වග ඔබට සිතෙනවා විය යුතුය. ඇත්තය, මටද එය සිතේ. මහේල ගේ ඉවසීම නොතිබූ පිරිමියෙකු මගේ ප්‍රේමයේ හිමිකාරිත්වය දැරුවා නම්, මට සදහටම වන්නේ මඟබලා සිටින්නටය. යළි මෙවන් සැනසීමක් නොවිඳම මිය යන්නටය
මා බිලි දී ලබා ගත් මුදල කීයක්දැයු මම දන්නේ නැත. අම්මා සහ අයියා ඒ මුදලට කුමක් කලාදැයි කියාවත් මම දන්නේ නැත.
මට ඒ කිසිවකින් පලක්ද නැත. එහෙත්, මා මුදලට මගේ කැමැත්තෙන් විකිණුන වගක් මහේල අරන්දර සිතා සිටිනවා නම්, මට ඒ අදහස වෙනස් කිරීමට අවැසිය. ඔහුට සැබෑ සත්‍ය පැවසීම කල යුතුය.
ඔබට ඒ සඳහා යමක් කල හැකිද ?
| අපේක්ෂා ගුණරත්න |