වියෝ ගී ගැයෙනා හදේ – 32

0
4217

“මොනව හංගන් කතාකරන්නද බං. එහෙම දෙයක් නෑ. මම මූව් ඔන් වෙනව කියන එකෙන් මීන් කලේ මම වෙන ජොබ් එකකට එහෙම ගියා වගේ චිරත් එයාගෙ රෙස්ටුරන්ට් එකේ එහෙම වැඩ ටික කරගෙන මූව් ඔන් වෙන්න බලාපොරොත්තුවෙනව ඇති කියන එක. 

ඩිවෝස් එකකින් පස්සෙ කවුද ඉතින් දාල ආව මිනිස්සු ගෑණු ගැන හිත හිත වද වෙන්නෙ?” කියා ආලෝකාගේ තීරණාත්මක ප්‍රශ්නයෙන් ඒ මොහොතෙන් ගැලඋනත් දිගුකාලීනව තමන්ට ඒ ප්රශ්නවලින් ගැලවී ඉන්නට හැකියාවක් නැති බව මේධා නොදැන උන්නා නොවේ. 

“මම පෙත්මලීගේ ටීච මෙහෙම දෙයක් කිව්ව විත්තිය චිරත්ට කිව්වෙ නෑ. උඹ හිතන්නෙ මම ඒක චිරත්ට කියන්න ඕනද?” කියා මේධා ආලෝකා ආයෙ ප්‍රශ්නයක් නගන්න කලින් ඇහුවේ ගැලවීමට මෙන්ම ඇත්තටම ඒ ප්‍රශ්න හිත අස්සේ වද වෙමින් තිබුන හන්දාය.

“ඇයි එහෙම ඇහුවෙ?”

“චිරත්ට ඕක කියන්න යන එක නිකන් නැති ප්‍රශ්නයක් ඇති කරන එකක් වෙයිද කියල මං කල්පනා කලේ”

“එහෙම වෙන්න විදියක් නෑනෙ. මෙතන ප්‍රශ්නයක් නැත්තෙ නෑනෙ. ප්‍රශ්නයක් තියෙනව. ඔයාලා දෙන්නටම පොදු ප්‍රශ්නයක් තියෙනවා. අර ඉගෙන ගත්තෙ නැති, ලෝකෙ දැකපු නැති, ගෑණියෙක් වගේ හිතන්න එපා. ඩිවෝස් වෙච්ච දෙන්නෙක් බව ඇත්ත. හැබැයි තාම පෙත්මලීගෙ අම්මයි තාත්තයි දෙන්නම උඹල දෙන්නනෙ. ඒ නිසා තමන්ගෙ දරුව ඉන්නෙ මොනවගේ තැනකද කියලදැනගන්න අයිතියක්, යුතුකමක්, වගකීමක් උඹට වගේම චිරත්ටත් තියෙන විත්තිය අමතක කරන්න එපා.ඒ නිසා පිස්සු නැතුව චිරත්ට කතාව කියන්න. අම්මයි තාත්තා කෙනෙකුයි වගේ එක්කහු වෙලා පෙත්මලී වෙනුවෙන් දෙයක් කරන්න. ඒ දරුව ඉන්නෙ මෙන්ටලි ස්ට්‍රෙස්ඩ් සිටුවේශන් එකක නම් ඒක සෝල්ව් කරන්න මහන්සි වෙන්න.

චිරත් තවදුරටත් උඹේ හස්බන්ඩ් නොවුනත් චිරත් එදත් තාමත් හෙටත් පෙත්මලිගේ තාත්තා කියන එක අමතක කරන්න එපා” කියා ආලෝකා කිව්වද මේධා උන්නෙ මෙහෙම දෙයක් චිරත්ට කියන එක චිරත් කොච්චර දුරට තමන්ව වැරදිකාරයා කරන්න හේතුවක් වේද කියන බයකිනි.  චිරත් පෙත්මලීට ඕනවටත් වඩා ආදරය බව දන්න හන්දාම පෙත්මලී මේ තමන් අතර තිබෙන ප්‍රශ්න නිසා විඳවන බව දැනගැනීම චිරත්ව තාත්තා කියන තැන සිට යකෙක් දක්වා අරගෙන එන්න මහ වෙලාවක් නොයන බව මේධා අත්දැකීමෙන් දකී.ඒ නිසාම පෙත්මලීගේ ප්‍රශ්නයට තමන්ගෙ පැත්තෙන් ඉස්සේල්ලා උත්තරයක් දී ඒක කොච්චර හරියනවද නැද්ද කියන කාරණාව මත චිරත්ට කියන නොකියන එක තීරණය කරන්න මේධාවිණී හිතුවාය.

“පොඩි ළමයිව උනත් පෙන්නනන චයිල්ඩ් සයිකොලොජිස්ට්ල ඉන්න නිසා පෙත්මලීගෙ අම්මට පෙත්මලීව ඒ වගේ කෙනෙක් ලඟට උනත් අරගෙන යන්න පුලුවන්. අපි ඇත්තටම දන්නෙ නෑනෙ පෙත්මලී මේ විදියට රියැක්ට් කරත් එයාගෙ මනසට මේ හැමදේම කොච්චර දුරට බලපාලද කියන එක? ඒක ඉතින් සයිකොලොජිස්ට් කෙනෙක්ට තමා හොයාගන්න පුලුවන් වෙන්නෙ” කියා නදීකා මිස් කිව්වද එහෙම දේකට යන එක කොච්චර දුරට හොඳද නරකද කියන එක ගැන මේධාවිණී ආයෙ ආයෙ හිතුවාය.

මේ සියල්ල මෙසේ වෙද්දි චිරත් උන්නේ රෙස්ටුරන්ට් එකේ අවසාන අදියරේ වැඩවලත් අවසානය ඉක්මනින් ඉක්මනින් කරගෙන යන ගමන් ය. චිරත්ගේ රෙස්ටුරන්ට් එක තිබුනේ පාමංකඩ පැත්තේය. ඉංග්‍රීසි පන්නයේ කෑම විකුනන, ඉංග්‍රීසි සිංදු දාන, මොහිතෝ විකුනන රෙස්ටුරන්ට් ගොඩක් අස්සේ පොල් රොටි ලුණු මිරිස් සැන්ඩ්විච් විකුණන, ටින්කිරි තේ විකුනන, පරණ සිංහල සිංදු දාන, ක්ලැසික් රෙස්ටුරන්ට් එක හිට් කරගන්න එක මග ලොකු කජ්ජක් නොවන බව චිරත් දැනගෙන උන්නත් ඒ වෙනුවෙන් මහන්සි වෙන එක චිරත් කරන්න පුලුව උපරිමයටම කරගෙන ගියේය. මේ ගොඩනගන්නේ තමන්ගේ වර්තමානය නොවේ. පෙත්මලීගේ අනාගතය බව චිරත් හිතු නමුත් පෙත්මලී වර්තමානයේ ඉන්නේ විසල් මානසික වියවුලක ගිලී ගොස් බව චිරත් ඒ වනවිටත් දැනගෙන උන්නේ නැත. දැනගෙන උන්නා නම් පෙත්මලීගේ අනාගතය වෙනුවෙන් දුක්වෙන වෙලේ චිරත් පෙත්මලිගේ වර්තමානය ගැන වදවෙන එක ස්ථිරය.

“සර් දැන් ඕපනින් එක කවදට වගේද දාන්න හිතාගෙන ඉන්නෙ?” කියා අහන්නෙ රෙස්ටුරන්ට් එකේ කැශියර් එක වෙනුවෙන් හයර් කල මලින්දය. මලින්ද කොහොමත් මේ රෙස්ටුරන්ට් එක තමන්ගේ තැනක් විදියට හිතා කටයුතු කල එකම චිරත්ට මලින්දව විශ්වාස කරන්නටත්, රෙස්ටුරන්ට් එකේ බොහෝ දේ මලින්ද එක්ක බෙදාහදා ගන්නටත් හේතු කාරණා සැපයුවේය.

“ඕපනින් එකක් කියන්නෙ ඉතින් අපි අනවුන්ස්මන්ට් එකක් දාමු නේද නිකන් මෙහෙම රෙස්ටුරන්ට් එකක් ඕපන් කලා ඇවිත් යන්න එන්න කියල”

“අයියෝ එහෙම නෙවෙයි සර්. දැන් ඒ වගේ ඒව කරන්නෙ නෑනෙ. අපි පොඩි වෙනස් විදියකට කරමු. පොඩි සින්දුවක් දෙකක් දාලා කවුරුහරි සින්ගර් කෙනෙක්ට එන්න කියල, ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ෆොටෝ ගන්න එන්න කියලා. මේක අනිත් රෙස්ටුරන්ට් වගේ එකක් නෙවෙයිනෙ. වෙනස් වයිබ් එකක් තියෙන නිසා ටික්ටොක් ටිකක් එහෙම කරල නග්ගල ගන්න ඕනනෙ සර්” 

“ටික්ටොක් නම් කරන්න වෙන්නෙ කොල්ලො උඹලට තමා. මම ඔය ටික්ටොක් කියන එක ගැන දන්නෙවත් නෑ. අනික ඉතින් අපේ වගේ මේ පොඩි රෙස්ටුරන්ට් වලට ඒවිද සින්දු කියන්න සින්ගර්ස්ල?”

“එන්නෙ නැත්තෙ මොකද සර්? පේමන්ට් එකක් කරනවනෙ. නිකන් නෙවෙයිනෙ එන්න කියන්නෙ. අපි ඕපන් ඩේ එකට ඩිස්කවුන්ට් එකක් තියෙනව කියල වගේ දාමු. එතකොට කට්ටියත් ඒවි. අනික සර්ගෙ ෆැමිලි එකේ අය එහෙමත් එනවනෙ. යාලුවන්ට එන්න කියන්න පුලුවන්. අපි ලස්සනට ශූට් එකක් කරමු සර්. එතකොට තමයි ඕවා සෝශල් මීඩියා ඇතුලෙත් වයිරල් යවන්න පුලුවන් වෙන්නෙ” කියා මලින්ද කියද්දි හිනා වී හිස වැනුවාට ඔය කියන තරම් ලේසියෙන් රෙස්ටුරන්ට් එකක් ට්‍රෙන්ඩ් කරන්න පුලුවන්ද සෝශල් මීඩියාවලින් කියන එක චිරත්ට නොහිතුනා නොවේ. තමන් අයිතිවන්නේ මිලෙනියල්ස් ජෙනරේශන් එකට නිසා තමන් හිතන්නේ රෙස්ටුරන්ට් එකක් වගේ දෙයක් ට්‍රෙන්ඩ් වෙන්න මිනිස්සු ආකර්ෂණය කරගන්න තැනක් වෙන්නේ කෑම හොඳ නම්, මිල අඩු නම්, පිරිසිදුනම් කියා උනාට අද ඉන්න ජෙන් සී කෙල්ලො කොල්ලෙ හිතන්නෙ වෙනම විදියකට නිසා මලින්දට ඒ විදියට වැඩේ කරගෙන යන්න ඉඩ දෙන එකෙන් පාඩුවක් නොවන බව චිරත් එවෙලෙත් හිතුවාය.

මලින්ද ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට එන්න කියා පින්තූර ටිකක් ගමු කියන එක කියද්දිම චිරත්ට මතක් උනේ එදා පෙත්මලීගේ උපන්දින උත්සවයේ පින්තූර අරගන්නට පාසලට ඇවිත් උන්න වලාකුලු වීරවර්ධනය. ඉස්කෝලෙදිත් තමන් වෙත මද සිනාවක් පා වලාකුලු එක්ක හොඳට සිනාසී කතා බස් කල මේධාවිණී සහ ඇගේ අම්මා වුණු කමලිනීය.

“එදා බබීගෙ ගෙදර තිබුන පාටි එකේදිත් ඒ මනුස්සය ඇවිත් හිටියා. ෆොටෝ ගන්න ආව හින්ද වෙන්නැති අතේ කැමරා එකත් තිබ්බෙ. අංකල් කාරය එක්ක හිනාවෙවී කතාකර කරත් හිටිය කියන්නෙ මිනිහට ඒ ගෙදර ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට වඩා තැනක් තියෙන නිසානෙ” කියා හිතෙද්දී ඒ තැන වලාකුලු වීරවර්ධන සුමතිපාල නිවස අස්සේ හදාගන්නට ඇත්තේ මේධාවිණී හරහාද කියන සැකය හිතට ආවෙ නැතුව නොවේ. අයිතිවාසිකමක් කියන්න ඉඩක් තිබුනෙ නැතත් ඒ සැකය හිත අස්සේ මැව්වේ වේදනාවකි. තණ්හාවකි. එහෙම දෙයක් වෙන්න ඉඩක් නැතැයි හිතෙන එක මෝඩකමක් උනත් මේධාවිණීට කවදාවත් තමන්ව එච්චර ලේසියෙන් අමතක කරන්න පුලුවන් වෙන එකක් නෑ කියා තමන් හිතූ හිතුවිල්ල බිඳ වැටීම ගැන ඇති වූ වේදනාවකි.

“සමහරවිට ඌත් බිස්නස් කාරයෙක් වෙන්නැති. අංකල් එක්ක කතාකර කර ඉන්න ඇත්තෙ ඒ බිස්නස් ගැන වෙන්නැති” කියා ඒ සැකය මත්තෙන් හිත හදාගන්න කොච්චර දේවල් තිබුනත් හිත රිද්දුණ එක සනසගන්න විදියක් චිරත් දැන උන්නේ නැත.

ආදරය හිත රිද්දන්නේ අහිමිවුණ තැනදි බව කියන්නෙ ඇත්තට වෙන්නැතිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here