“ හසාරා මම ඉන්දු..”
දුරකථනය එහා ඉම උන්නේ ඉන්දුමාය.ඒ නිර්මිතාට අමතරව බෝඩිම් කාමරය බෙදාගත් ඇගේ අනිත් මිතුරියයි.විශ්ව විද්‍යාලයේදීම ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වූ ඉන්දුමා සැමියාගේ ගම වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත්ව උන්නාය.ඇය වෘත්තියෙන් පාසල් ගුරුවරියකි.
“ ඉන්දු…..”
“ මං ඔයාගේ මොබයිල් එකට ගත්තා ඒක ආන්සර් කරපු නැති හින්දයි ලෑන්ඩ් ලයින් එකට ගත්තේ.”
“ මොබයිල් එක උඩ මං හිතන්නේ.”
“ ඔයා කවදද ලංකාවට ආවේ?.මම දැක්කා පත්තරේ තියනවා ඔයා ලංකාවේ නෑ කියලා..”
“ අද … උදේ..”
“ හසාරා ඔයා හොඳින්ද…”
“ ඇයි එහෙම අහන්නේ..”
“ ඔයාගේ කටහඬින් මට ලොකු වෙනසක් තේරෙනවා.හිතා මතා හරි පරිස්සමට තනි වචනයෙන් උත්තර දෙන්න ඕන තරඟයකට ගියා වගේ ඔයා කතා කරන්නේ.අපි අතරේ කවදද තිබුනේ එහෙම පරිස්සමක්..”
දිගු සුසුමක් මුදා හල හසාරා දුරකතනයත් කන තබාගෙනම අසුන් ගත්තේ අසල වූ බංකුවෙන්ය.
“ හසාරා එදා වගේම ඔයාගේ දුක සැප බෙදා ගන්න අදටත් මට පුළුවන්.රහසක් රහසක් විදිහට රකින්නත් මට පුළුවන්.මොකද වුනේ හසාරා…”
එවර ඉන්දුමා ඇසුවේ මද හඬකින්ය.වසර තුනක් පුරාවට එකම කාමරයක ජීවත්ව ඉදිද්දී රැක ගන්නට තරම් රහසක් තිදෙනාටම වූයේ නැත.ඉන්දුමා කොහොමටත් නිහඬ ගැහැණියක වූවාය.වැඩිපුර කතා කලේ හසාරාය.නිර්මිතා අසා සිටියාය.
“ හසාරා මම එන්නද.මේ වෙලාවේ මට මෙහෙන් බස් එකට නැග්ගත් හෙට උදේ වෙද්දි කොළඹට එන්න පුළුවන්.දුව අම්මා එක ඉන්න හින්දා බයක් නෑ.කියන්න මේ වෙලාවේ ඔයාට මාව ඕනද…”
යළිත් ඈ ඇසුවේ හසාරාගේ නිහඬතාවය විනාඩි කිහිපයක් ඉවසා සිටියාට පසුවය.සිතෙහි වන දුක කඳුළකට මුසුකර මුදා හරින්නට වුවමනා වුවත් හසාරා ගහක් ගලක් සේ දරා උන්නාය.සිහින් රිදුමක් පපු ප්‍රදේශයෙන් දැනෙන්නට වූයේ එනිසා වන්නට ඇත.
“ ඉන්දු…..”
“ කියන්න හසාරා මං එන්නද…”
“ මට….තනියම ඉන්න ඕනෙ. මට තනියම දරා ගන්න ඕනෙ.තනිකමට පුරුදු වෙන්න ඕනේ..”
යළිත් දෙදෙනා අතර වූයේ නිහඬතාවයකි.
“ ඔයා කොහොමද දන්නේ?….”
හසරා එසේ ඇසුවේ කලබලයෙන්ය.ඉන්දුමා යමක් දැනගෙන කතා කරනා බැව් ඇයට සිහි වූයේ එවේලෙහිය.
“ මං මොකුත් දන්නෙ නෑ මුකුත්ම දන්නෙ නෑ හසාරා.ඒත් ඔයා කතා කරපු විදිහෙන් මට තේරුණා.මං දන්නවා මේ දේවල් මට කියන්න අකමැති වෙන්න හේතුවක් නෑ.අපි දරා ගත්තා මිසක්කා අනිත් කෙනාගේ දුක දැකලා හිනා වෙන්න පුළුවන්කමක් අපිට තිබුනේ නෑ.මොකද උනේ හසාරා..ආපස්සට හැරිලා හදන්න බැරි තරම් වරදක් උනාද…ගෑණුකමට ඉඩ දෙන්න හසාරා.අඬන්න.කතා කරන්න.කියවන්න….”
“ ධනංජය මාව දාලා ගිහින්…”
“ ඒ කොහෙද කියලා ඔයා දන්නවද ඇයි හේතුව කියලා ඔයා දන්නවද.කාත් එක්කද ගියේ කියලා ඔයා දන්නවද.”
“ ඔව්.. හැම දෙයක්ම දන්නවා….එයා ගිහිල්ලා තියෙන්නේ පිටරටකට.අපි අතර පහුගිය කාලේ ගොඩක් ප්‍රශ්න තිබුණා.මමත් නොදැනුවත්වම මගේ අතින් ගොඩක් වැරදි එයාට උනා. මං එයා…ව තේරුම් ගන්න උත්සාහ කලේ නෑ…එයා ගිහින් තියෙන්නේ නිර්මි එක්ක.”
“ ඔයා මගෙන් ඇහුවනේ හසාරා මං මොනවා හරි දෙයක් දැනගෙනද කතා කරන්නේ කියලා.මීට දවස් දෙකකට කලින් උදාර ඔෆිස් එකේ වැඩකට සති දෙකකට සිංගප්පූරු ගියා.ඒ වෙලාවේ ධනංජය නිර්මිතා එක්ක එයාපෝර්ට් එකේ ඉඳලා තියෙනවා.උදාර දෙතුන් වතාවක්ම ඒ දෙන්නා එක්ක කතා කරන්න යන්න ට්‍රයි කරලා.ඒත් ඒ දෙන්න මොකක්ම හරි ප්‍රශ්නයක ඉන්නේ කියලා උදාරට තේරුනාලු.ධනංජය උදාරව දැකලා.ඒත් ඒ සැණින්ම එයා අහක බලා ගත්තලු.ඒ නිසාම උදාර එයාලා ලඟට ගිහින් නෑ.ඔයා දන්නවා එක කාමරේ හිටියත් එක බත් එක බෙදාගෙන කෑවත් ඒක ඇඳුම ෂෙයාර් කරගෙන ඇන්දත් කවදාවත් මට නිර්මිතා ගැන පැහැදීමක් තිබුණෙ නෑ.එයා අපිට කිසිම වැරැද්දක් නොකරපු කාලෙක උනත් මට හිතුනේ එයා හරි ගුප්ත ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා.
මං ඔයාගෙන් අහන්නේ නෑ හසාරා මොකද උනේ කියලා.නොදැනුවත් කමට වරදක් උනත් ඔයා හිතා මතා වැරදි කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා මං හොදාකාරවම දන්නවා.පහුගිය දේවල් වැඩක් නෑ මට කියන්න මෙතනින් එහාට ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ කියලා..”
“ කිසිම දෙයක් හිතා ගන්න බැරි තරම් මේ වෙලාවේ මගේ හිත හිස් වෙලා ඉන්දු.අඩු තරමෙන් මම දන්නේ නැහැ මම හෙට දවසට මුහුණ දෙන්නේ කොහොමද කියලවත්.මේකේ ඇතුලේ මට මහා පාළුවක් දැනෙනවා.ඉන්න බැරි තරම්…දැනට මට දැනෙන්නේ එච්චරයි.වෙන කවුරු හරි ආව කියල ඒ පාළුව මකන්න බැහැ.ඒ පාළුවට ඉක්මනින්ම මම හුරු වෙන්න ඕනේ.මට හිතෙන්නේ එච්චරයි.එතනින් එහාට කිසිම දෙයක් ගැන හිතන්න තරම් මේ හිත නිරවුල් නැහැ.මට තනියම ඉන්න ඕනේ ඉන්දු.මට තනියම හිතන්න ඕනේ..”
“ ධනංජයයි නිර්මිතයි ගැන ඔයා තරහින්ද.”
“ නෑ…..තරහක් තියෙන්නේ මට මං ගැනමයි.එහෙම හිස්තැනක් ධනාගේ ජීවිතේ ඇතිවෙන්න තරම් මට කොතනකදි හරි එයාව අතෑරෙන්න ඇති..මං හරි සීරියස් ගෑනියෙක් වෙද්දි මං දන්නව ධනාට උවමනාව තිබුණා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.අපි දෙන්නා දන්නෙම නැතුව පාරවල් දෙකක ගිහිල්ලා.ඒ හිස්තැන නිර්මිතාගෙන් පිරවුනානම් මට ඒක සතුටක්.මං දන්නෑ ඉන්දු මම මේ කතා කරන්නේ හිතක් පපුවක් නැති ගෑනියෙක් විදිහටද කියලා.මං…මං…මංද මේ කියලා මං දන් නෑ.මේ ගෙදර බිත්ති දෙදරන්න තරම් කෑ ගහලා අඬන්න මට පුළුවන්.ඒත්..මං… මං දරා ගන්නවා.එයාට එයා හොයපු ජීවිතය ලැබෙන්න ඇති..එයාට ඒ ජීවිතේ ලැබෙන්න ඕනෙ.ධනා පව් ඉන්දු..ධනා පව්..මගෙන් නොලැබුණු හැම සතුටක්ම එයාට ලැබෙන්න ඕනේ.ජීවත්වෙන හැම මොහොතක්ම එයාගේ හිත ආදරෙන් පිරෙන්න ඕනේ.හැම තත්පරයක්ම සතුටක් වෙන්න ඕනේ..ඒත් එකම එක දුකක් විතරක් මගේ හිතේ තියෙනවා.”
“ ඒ මොකක්ද…”
“ ඇයි එයාට මමත් එක්ක මේ දේවල් කතා කරන්න බැරි වුණේ.ඇයි එයාට මාව නතර කරන්න බැරි වුණේ..මට හැම දේකටම වඩා එයාව වටිනවා කියලා ඇයි එයාට නොහිතුනේ..”
“ ඒකට ධනංජය කවදාවත් උත්සාහ කළේ නැද්ද හසාරා..”
“ දන්නේ නෑ..මට ඒ තරමටම එයාව මිස් වෙලා..”
“ අපේ ජීවිත වලින් පිටවෙලා යන්න හදන අයව අල්ලගෙන බදාගෙන තියාගන්න එක තේරුමක් නෑ කියලා මමත් විශ්වාස කරනවා.මිනිස්සුන්ගේ සතුට හිර කරලා තියාගන්න බෑ.ඒත්..අපිට සංස්කෘතියක් සභ්‍යත්වයක් තියනවා.අපිට අපේ කමක් තියෙනවා.ඒත් මට තරහයි.නිර්මිතා මේ කළේ හොඳ වැඩක් නෙමෙයි.අඩුම තරමින් එයාට තිබුණ එක පාරක් ඔයා ඒක කතා කරන්න..”
“ ගෑනු ආදරයට හරි ලෝබයි. හරි පෙරේතයි.මං නිර්මිතාව දන්නවා.එයා කවදාවත් ජීවිතේ සැනසීම නොදැකපු ගෑනියෙක්.සංවේදී වෙන්න ඕන තැන්වලදීත් අසංවේදී වෙච්ච ගෑනියෙක්.එහෙම කෙනෙක්ගේ අතින් මේ වගේ දෙයක් නොවෙයි කියලා හිතන්න අමාරුයි. “
“ ඔයා කියන්නේ තරහක් වෛරයක් පළිගැනීමක් නැතුව අතහැරලා දානවා කියලද.”
“ මං තරහ ගන්නේ කාත් එක්කද මං වෛර කරන්නේ කාටද.මං පළිගන්නේ කාගෙන්ද..ධනංජය නැති කරගත්තේ මං ඉන්දු…”
“ හ්ම්…ඔයාට පුළුවන්නම් ටික දවසකට මෙහේ එන්න.උදාරත් නැහැනේ.ඔය හිතට වෙනසක් ඕන ඇති.මං දන්නවා ඔයා හරි හිත හයිය ගෑනියෙක්.”
“ පෙන්නන තරං ගෑනුන්ගේ හිත හයිය නෑ ඉන්දු.පෙන්නන තරම් අපේ හිත් පරාර්ථකාමීත් නෑ.ඒත් මම ප්‍රාර්ථනා කරනවා. එයාලා හොයාගෙන ගියපු සතුට සැනසීම එයාලට ලැබෙන්න ඕනේ කියලා.මගේ හිතටත් කාලය සතුටක් සැනසීමක් ගෙනත් දෙයි.ඒ අදද හෙටද අනිත්දද තව අවුරුදු ගානකින්ද එහෙම නැත්නම් ජීවිත කාලයටම නැති වෙයිද කියන්න මම දන්නේ නෑ…මං ධනංජයට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා.මොකද මට නොපෙනෙන මට නොදැනෙන තැනකට ගියාට.එයා මේ කොහේහරි හිටියනම් මට දරාගන්න බැරි වෙයි ඉන්දු.සමහරවිට එතනදිත් එයා මං ගැන හිතන්න ඇති..”
“ අපේ ජීවිත වලින් යන කවුරුවත් අඬලා වැලපිලා පොළොවෙ හැපිලා නවත්ත ගන්න ඕනෙ නෑ කියලා මමත් විශ්වාස කරනවා.ඒත් අනුමත කරන්න බැරි දේවල් කොහොම සිද්ධ උනත් අනුමත කරන්නම බැහැ.මිනිස්සු මේ වගේ සම්බන්ධකම් මේ වගේ විවාහ සාධාරණයි කියලා ලෝකෙට පෙන්නන හේතු සාධාරණම හේතු නෙමෙයි.මිනිස්සු මුලින්ම තමන් තුල සංයමයක් ඇති කරගන්න ඕනේ.ඔයා මෙතන ඉඳලා හිත හදාගන්න පටන් ගන්න.අඬන්න ඕන වෙලාවට කෑගහලා අඬන්න.මේ දුක තද කරගෙන ඉන්න එපා.අම්මයි අක්කයි මේවා දන්නවද..”
“ නෑ….එයාල මේ කිසිම දෙයක් දැනගන්න ඕනෙත් නෑ.අක්කට පුතා හම්බවෙන්න තව සති දෙකයි.මේ වෙලාවේ එහෙම දෙයක් දැනගත්තොත් එයා මානසිකව වැටෙනවා.අනිත් එක එයාට අම්මගේ තාත්තගේ සහයෝගය ඕනම වෙලාවේ ඒ දෙන්න ලංකාවට එන්න හදයි.මට එකම එක වතාවක්වත් ධනංජයව නවත්ත ගන්න ඉඩක් නොදීම එයා ගියේ එහෙම යන්න ගතපු තීරණය සීයට සීයක්ම නිවැරදියි කියල එයා විශ්වාස කරපු නිසා.දෙන්නෙක් අතර බැඳීමක් ඇතිවෙන්න ඕනේ ආදරයකින්, විශ්වාසයකින් මිසක් ලීගලි ඩොකියුමන්ට් එකකින් නෙමෙයි.ධනංජය වැරදිද නිර්මිතා වැරදිද එහෙම නැත්නම් මං වැරදිද කියලා හිතන්නෙ නැතුව මිනිස්සු ජීවත් වෙන්න අපේක්ෂා කරන්නේ සතුට විතරයි කියලා හිතුවාම මට මගේ හිත හදාගන්න ලේසියි.මට මතක් වෙයි. මටදැනෙයි.මට රිදෙයි…ඒත් මං ජීවත් වෙන්න ඕනේ..”
“ මට ඔයා ගැන හරි පුදුම හිතෙනවා.මං බලාපොරොත්තු උනේ මේ වෙලාවේ ඔයා කෑගහලා අඬලා ධනංජයට සාප කරලා නිර්මිතාට සාප කරලා …”
“ හසාරාට එහෙම කෙනෙක් වෙන්න කවදාවත් බැරිවෙයි ඉන්දු.මං දන්න ඉන්දුටත් එහෙම කෙනෙක් වෙන්නත් බැරිවෙයි..මට ටිකක් තනියම ඉන්න ඕනෙ ඉන්දු.මං දන්නෑ මං ඇතුලේ ඉඳපු සංවේදී ගැහැණු චරිතෙ මැරිල ගිහිල්ලද කියලා.මට ඕනෙ අඬන්න නෙමෙයි තනියම කල්පනා කරන්න.”
“ හොඳයි…..අමතක කරන්න එපා මං ඔයාට මේ ප්‍රශ්නෙදි ඉන්නවා කියලා.ඔයාට ඕනම වෙලාවක මට ඔයා ගාවට එන්න පුළුවන්..”
“ දරු පැටිය දාලා එහෙම එන්න ඕන නෑ.මට මගේ හිත හදාගන්න බැරි උනොත් මං ඔයා ගාවට එන්නම්..”
මුලින්ම දුරකථනය විසන්ධි වී ගියේ හසාරාගේ පසින්ය.ස්ථාවර දුරකථනය තබා ඇති තැනට හොඳින් පෙනෙන සේ තබා තිබූ මඳක් විසල් වූ සේයාරුව ඇයට සිහිවූයේ ඒ හදිසියේය.එය විසිත්ත කාමරයේ කොතනකවත් නොවූවේය..අවසන හසාරාට එය හමු වූයේ බිත්තියේ කොණකට වන්නට තබා තිබූ එල් හැඩයගත් සෝපාවත් බිත්තියත් අතර වූ කෙටි ඉඩෙහි තිබියදීය.
මඳක් දූවිලි වැදී තිබූ සේයාරුව සිය ඇඟිලි තුඩුවලින් පිස දැමූ හසාරා යළිත් එය හොඳින් පෙනෙන තැනක තැබුවේ සිය දෑස් කඳුළු වලින් බොඳව යද්දීය.
ඕ යළිත් ඒ සේයාරුව හොඳින් පෙනෙන තැනක තැබුවාය.
“ ඔයාගේ හිතින් මං අතෑරුනාට…මගේ හිතින් ඔයා අතෑරෙනකල් මෙතනම ඉන්න ධනංජය.”
දිගු සුසුමක් මුදා හල හසාරා පහත මාලයේ වූ එකම එක නිදන කාමරයට ගියේ මේ නිවසේ ජීවත්වන තාක්කල් එය තමාගේ කාමරය කරගන්නට සිතාගෙනය.
( යළිත් හමුවෙමු ආදරයෙන්……)
ReplyForwardAdd reaction |