හද සාගරේ – 36

0
4000

බලාපොරොත්තු නොවූ වෙලාවක, නො කියා ම සාලිය හා නාලිනී කොළඹ- දෙව්රම් ගේ ගෙදර පැමිණියහ. ඔවුන් එන වෙලාවේ දෙව්රම් හිටියේ කාර්යාලයේ ය. ඒ ඇමතුම එත්දී අවශ්‍ය අත්සන් කිහිපයක් ලබාගන්නට ගොස් ආදියා ද කැබින් එක ඇතුළේ සිටියා ය.

“තාත්තෙ කියන්නෙපැයි එනව කියල. එහෙනං මං පිටකොටුවට එනවනෙ තාත්තලව ගන්න”

මුලින් ම දෙව්රම් කළේ සිය නෝක්කාඩුව පෙන්වන එකයි. ඊලඟට අසුනේ හරි බරි ගැහුණ හෙතෙම, එතෙක් මේසය අස හිටගෙන සිටි ආදියා ට අසුන්ගත වෙන්නයි අතින් සන් කළේ ය.

“ආ ඒකට කමක් නෑ පුතා. පුතාට කියන්න ඕන්නෑ කියලම අපි හිතුවෙ… වැඩ පාඩු කරගෙන එන බව දන්න නිසා තමයි”

ඇත්ත එය ම නොවෙනා බව දෙව්රම් දනී. සපූ විසින් මාධ්‍ය වලට කියා තිබූ කතාවේ, දෙව්රම යලි විවාහයක් කරගෙන යයි කී කතාවේ, කවර හෝ සත්‍යතාවයක් තිබේ ද කියා දැනගන්නට ඔවුන් ට උවමනා විය. විවාහයක් කෙසේ වෙතත් ඔහු ගේ ගෙදර කවුරුන් හෝ ස්ත්‍රියක නවතාගෙන සිටිනවා ද යන කුහුල වුව නො තිබුණා නොවේ. තරුණ ඉලන්දාරියෙකු ගේ පිරිමි හැඟීම් වටහාගන්නට බැරි කමක් සාලිය ට නැත. කෙසේ හෝ  ඔහු ගේ  ජීවිතය යළි පිළිවෙළක් විය යුතු යයි හෙතෙම නිරන්තර සිතමින් සිටියේ ය.

“අපි පිටකොටුවෙන් ටැක්සියක් අරං ගෙදර ආව. එතකොටයි මතක් වුණේ යතුර නෑනෙ කියල”

බොරු ගොතනා එක සාලිය ට පුරුදු ම නැත. නමුත් සිය දරුවා වෙනුවෙන් සම්‍ය ප්‍රයෝගයක් යෙදීමේ වරදක් නැතැයි සිතන්නට සිදුව තිබේ.

“එදා පුතා ගමේ ගෙදර දාල ඇවිත් තිබුණ පොඩි ගේට්ටුවෙ යතුරෙන් ඇරගෙන අපි ඇතුළට ආව. කමක් නෑ අපි පුතා එනකල් මේ වැරැන්ඩා එකේ පුටුවකින් ඉඳන් ඉන්නංකො”

“එහෙම ඉන්නෙ කොහොමද… ඔය ඉස්සරහ දකුණු අත පැත්තෙ තියන මල් පෝච්චිය යට ගෙයි යතුර ඇති. ඒකෙං ඇරගෙන ඇතුළට යන්න. ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරල මං එන්නං”

“හරි හරි හරි. යතුර තියනවනං වෙන මොනවත් ඕන නෑනෙ. පුතා දැං කලබල වෙලා දුවං එන්න ඕන නෑ. වැඩ ටික ඉවර වෙලා හෙමීට එන්නකො එහෙනං”

දුරකතන සංවාදය නිමා වත්දී ම ආදියා ගේ මුහුණට සිනහවක් නැගුණේ ය.

“බලන්න අප්ප. කියන්නැතුව ඇවිත් තියෙන්නෙ මගෙ හොර අල්ලන්නද කොහෙද”

“කියන්න බෑනෙ ඉතිං… මොන හොර වැඩ තියනවද කියල”

“ඔව් මං ගෙදර කෙල්ලෙක්   නතර කරං ඉන්නවනෙ”

වචන වලින් කවරක් පැවසුණ ද ඇස් වල වූයේ ආදරයයි. අතිමහත් විශ්වාසයයි. ගැහැනියක හා පිරිමියෙකු අතරේ වෙන කවරක්  නොමැති වී ද මේ විශ්වාසය තිබේ නම් සියල්ල ලබාගත හැක. දිනාගත හැක. අත්පත් කරගත හැක.

“කවුද දන්නෙ ඉතිං”

එවර දෙව්රම් අඩ බැල්මකින් ඇදෙස බැලුවේ ය. දෑත් මේසයට බර කොට වඩාත් ඉදිරියට නැඹුරු වූයේ ය. ඒ ළවන්  අතරෙහි නලියෑවේ දඟකාර බවකි.

“ඔයා ඇවිත් නතර වෙනවනං තියාගන්නව ඉතිං”

ආදියා ගේ දෑස් දිළිසිණ. ඒවායෙහි ආදරය ද කෝල බව ද සම අනුපාත වලින් මිශ්‍ර වී තිබිණ.

ගෙදර පාළුවට ගොස් ඇති බව සාලිය ගේ ද නාලිනී ගේ ද දෙනෙත් ඉදිරියේ මැවී තිබිණ. ගැහැනු පහසක් ලද බවට සලකුණකුදු එහි නො වී ය. ඒ  ගැන මව් දෙමව්පියන්ට දැනුණේ සහනයකි. වචන වලින් කිසිත් නො බිණුවාට ඔවුන් ගේ මුහුණු මත සැනසීමක සේයා සනිටුහන් වී තිබිණ.

අම්මලා ආවාට පස්සේ දෙව්රම් ට දැනුණේ ජීවිතයෙහි දැනි දැනී තිබූ කුමක් හෝ අඩුවක් පිරිමැසුණා සේ ය. ඔවුන් හෝ ළඟ ඉන්නා විට තනි වී නැති බවට හයියක් දැනේ. නමුත් ඒ හැන්දෑවේ ඔහු වෙනදා වාගේ ආදියා ගේ ගෙදර නො පැමිණීම ගැන පාළුවක් ජිනාදරී ට දැනිණ.

“අද දෙව්රම් පුතා ආවෙ නැත්තෙ මොකද දන්නෑ”

ඇය ආදියා ට ද ඇසෙන සේ වරක් කීවා ය. නමුත් ආදියා ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

“හැමදාමත් එන්න බෑනෙ ඒ දරුවට”

මඳ තත්පර වීමකින් පසු ඒ පිළිතුර නිශ්ශංකගෙනි.

“ඒකනං ඇත්ත. ඒත් දැං මාත් පුරුදු වෙලා දෙව්රම් පුතා එනකල් බලං ඉන්න. මොනා වුණත් ඒ දරුව ආවහම ගෙදර පිරිල යනව. මොකද්දෝ හයියක් හිතට දැනෙනව”

“ජිනා… මිනිස්සුන්ට එච්චර තදින් ඇබ්බැහි වෙන්නනං හොඳ නෑ”

මඳ සිනහවකින් විහිළුවට වාගේ කීවාට නිශ්ශංක ට කියන්න ඕන වුණේ ගැඹුරැති කතාවකි.

“මොකද… ඒ ළමය එක දවසක් මෙහෙ නෑවිත් ඉද්දි ඔයාට ඒක එච්චර දැනුණනං… නෑවිත්ම ඉන්න දවසක කොච්චර දැනෙයිද…”

“අනේ ඉතිං එහෙම කියන්නෙ ඇයි… නෑවිත්ම ඉඳී කියල…”

නිශ්ශංක සිනහවක් නැගුව ද තාත්තා ගේ කතාව ආදියා තුළ නම් ගැස්මක් ඇති කරනා ලදී. ඔහු ඒ කීවේ කුමක් ද? ඔහු කියන්නට හදන්නේ කුමක් ගැන ද? ජිනාදරී ගේ මුහුණේ වූයේ ද ප්‍රශ්නාර්ථයකි.

“අපි මිනිස්සුන්ට හරි ලේසියෙන් බැඳෙනව ජිනා. ඒ මිනිස්සුන්ගෙ මොකක් හරි අපි කැමති දෙයක් නිසා අපි එහෙම බැඳෙනව. ඔය බැඳීම් තමයි දවසක අපිව රිද්දන්නෙත්”

“ඔයා ඇයි එහෙම කියන්නෙ කියල මට තේරෙන්නෑ”

“මිනිස්සු අපේ ජීවිත වලට එන්නෙ හැමදාටම නතර වෙන්නයි කියල හිතන්න බෑ ජිනා. එක එක සසර ගනුදෙනු  වලට එනව. ඒව ඉවර වුණාම යනව. හරියට බස් එකක කෝච්චියක ගමනක් යද්දි අතරමගින් බහින නගින මිනිස්සු වගේ. මුලින් හිටපු අය මගදි බැහැල යනව. අතරමගදි වෙන අලුත් අය නගිනව. හැමෝම එකම ගමනාන්තෙකට යන්න නියමිත නෑ. ඕනවට වඩා ඇලෙන්න ගැලෙන්න ගියාම අපිට ඒ ඇවිත් යන මිනිස්සු ගැන දුකක් වේදනාවක් ඉතිරි වෙන්න පුළුවන්. ඒක හරි වදයක්”

“එහෙම නෑ. දැං ඉතිං දෙව්රම් පුතා හැමදාම අපේ පවුලත් එක්ක හිතවත්කම් පවත්තගෙන ඉඳී”

නැවතත් නිශ්ශංකගෙන්  උපේක්ෂාව තැවරි සිනහවකි.

“එහෙම වෙන්නත් පුළුවන් ජිනා නොවෙන්නත් පුළුවන්. හොඳ ම දේ එන යන මිනිස්සු ගැන සතුටක්වත් දුකක්වත් ඉතිරි නොකරන විදිහට අපේ හිත් පුහුණු කරන එක. පුළුවන් තරං මිනිස්සුන්ට නොබැඳී මේ මොහොතෙ ජීවත් වෙන එක. අපිට ඉන්නෙ අපි විතරයි කියල හිතං කොයි කෙනා එක්කත් සම්බන්දකං පවත්තමු. අපේම අයත් අපේ නෙවෙයි වගේ හැසිරුන දවස් අපිට අමතක නෑනෙ ජිනා… ම්…අපි ළඟ ඉන්න අයට අපි ළඟ ඉද්දි උපරිමෙං අපේ ආදරේ දෙමු. හැබැයි එතනිං එහාට ඒ අයගෙන් පෙරලා ඒ හිතවත්කං දිගටම ලැබෙයි කියල බලාපොරොත්තු තියාගන්නැතුව ඉමු”

තාත්තා ඒ විදිහට කියන්නේ ඇයි දැයි ආදියා ට තේරුණේ ම නැත. නමුත් ඔහු පවසන්නේ විශ්වීය සත්‍යය බව ඇයට දැනේ. කටට ආවා යමක් පවසන පුරුද්දක් ඔහු ගේ නැත. එසේ ම ඔහු කල්පනා කොට පවසන යමක් වැරදී ගොස් ද නැත. එබැවින් ආදියා ගේ හදවතට අමුතු බියක් දැනෙන්නට ගති.

දෙව්රම් නැති ලොවක ඇය කෙසේ පවතිනු ඇත්දැයි දැන්නම් ආදියා ට සිතා ගන්නටවත් නුපුළුවන. කාලයක් ඔහු ඇදෙස බැලුවේ ප්‍රේමයෙන් මුත් කිසි දා හිමි කරගත නො හැකි වස්තුවක් දෙස බලනාකාරයෙනි. එතකොට හදවත සැහැල්ලු ය. නමුත් දැන් එමෙන් ප්‍රකෝටි වාරයක බරක් හිත මත පැටවී තිබේ. එහෙව් වෙලාවක තාත්තා මෙහෙම කියත්දී ඇයට කොහොමටත් බිය ය.

ගෙදර ගියාට දෙව්රම් ට ආදියා ගේ ගෙදර මතක් නොවූවා නොවේ. පසුගිය කෙටි කාලය තුළ ඒ ගෙදර ගෙවී ගිය හෝරාවක දෙකක හැන්දෑව ඔහු ආස ම විදිහේ ය. කහට වැඩියෙන් දමා කිරි එක් කළ තේ එක හා ආදරණීය සිනහ කතාවලින් පිරුණු හැන්දෑව සැහැල්ලු ය. එහි කුමක්දෝ තමන්ගේ කමක්, ලේ වලට දැනුණා වූ බැඳීමක් තිබිණි.

“උයන ළමය ආව. මං කිව්ව මේ දවස් ටිකේ මං ඉන්න නිසා එන්න ඕන නෑ කියල”

නාලිනී ආඩම්බරයෙන් කීවා ය. දෙව්රම් සිනහවක් පෑවේ ය.

“ඒක හොඳයි. අම්ම උයන කෑම ටිකක් කන්න පුළුවන් ටික දවසක්”

නමුත් නාලිනී ගේ තේ එකේ, කුමක් හෝ අඩුවක් ඔහු ට දැනිණ.

“කහට මදි වගේ”

නාලිනී පුදුම වී බැලුවා ය. ඇය කවදටත් තේ හැදුවේ කහට මේ පදමට දමා ය. සපූ ගේ තේ එකේ මේ තරමට හෝ කහටක් වූයේ නැත. ඇය හදනා තේ එක බොන්නට ප්‍රිය නැති නිසා කොළඹ පැමිණි දින වල නාලිනී ඇගේත් සාලියගේත් තේ දෙක පිළියෙළ කරගත්තා ය. වසර ගණනාවක් සපූ ගේ කහට නැති තේ එකට පුරුදු වී සිටි දෙව්රම් දැන් මේ තේ එකටත් කහට මදි කියන්නේ කෙසේ ද?

“ඔයා ඔයිටත් වැඩිය කහට දාපු තේ බිව්වෙ කොහෙන්ද…”

දෙව්රම් ගේ සිතට එය තහවුරු වූයේ ඒ වෙලාවේ ය. සිනහවක් පැමිණියේ නිරායාසයෙනි. සාලිය ඒ සිනහව දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය.

“ආහ්… ජිනාදරී ආන්ටි තමයි කහට වැඩියෙන් දාපු කිරි එක හදන්නෙ. ඒක මාර රසයි. ටිංකිරි දාල හදනව ඒ රසනං කියන්න තේරෙන්නැති තරං”

“කවුද ජිනාදරී කියන්නෙ…”

“ඇයි අම්මෙ මං කිව්වෙ අර… අඳුරන අංකල් කෙනෙක්ගෙ ගෙදර පොඩි ප්‍රශ්නයක් තිබිල දවස් කීපයක් මෙහෙ හිටිය කියල. අන්න ඒ ආන්ටි…”

“හප්පච්චියේ. දවස් කීපයක් බීපු ජිනාදරී ආන්ටිගෙ තේ එක මෙයාට උපන් දා ඉඳන් බීපු අම්මගෙ තේ එකට වැඩිය රස වුණ හැටි”

“එහෙම නෙවෙයි ඉතිං…”

“අන්න දැක්කද පුතා ගෑනුංගෙ ඊරිසියාව කොහොමද කියල”

සාලිය හඬ නගා සිනහ වූයේ ය. සිදු වූ කට වැරදීම ගැන පසුතැවිලි වූවා මිස දෙව්රම් තාත්තා ගේ පැත්තට වැටී අම්මා විහිළුවට ලක් නොකර සිටියේ ය.

“මටත් ආසයි ඔය ජිනාදරී ආන්ටි කවුද කියල බලන්න”

ඒ වචන ටික පිටමං වූයේ නාලිනී ගේ කටේ දිවේ නො ගෑවී ය.

“ඒ අංකල්ටයි ආන්ටිටයිත් මං කියල තිබුණෙ… දවසක ඔය දෙන්නව මුණගස්සන්නං කියල. ඔය දෙන්න වගේම තමයි. වෙනසක් නෑ. ඒ දෙන්නත් හරිම ආදරණීය හිත් තියන අය. මනුස්සකම පිරුණ මිනිස්සු. හෙටානිද්දට අපි ඒ පැත්තට ගිහිං එමුකො”

නාලිනී ගේ හිතට ගිනි පුපුරක් වැටී තිබිණ. නිශ්ශංකලා ගැන පවසත්දී දෙව්රම් ගේ ඇස් වල උනන්දුව ද සතුට ද දීප්තිය ද තීව්‍ර ව පැවති බව ඇයට විශ්වාස ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here