“දරුවා එක්ක අම්මයි තාත්තයි දෙන්නම ආව එක හොඳයි. මේ වගේ ප්‍රශ්නෙකදි ඇත්තටම දරුවට විතරක් ට්‍රීට්මන්ට් කරලා හරියන්නෙ නැහැ. අනිවාර්‍යෙන්ම අම්මටයි තාත්තටයිත් කතා කරන්න ඕන. මම මුලින් ඔයාලගෙ ඩිවෝස් එක ගැන ප්‍රශ්න කීපයක අහනවා, ඒක ප්‍රශ්නයක්ද? උත්තර දෙන්න අකමැත්තක් තියෙනවද?”
“නැහැ මැඩම් එහෙම කිසිම ඉශූ එකක් නෑ. ඕනම දෙයක් අහන්න”
“හරි, මට මුලින්ම කියන්න ඩිවෝස් එකට යන්න කලින් ඔයාලා දෙන්නගෙ මමැරේජ් ලයිෆ් එක ඇතුලෙ ගහගන්න, රණ්ඩු සරුවල් වෙන තත්ත්වයක් තිබුනද? විශේෂයෙන්ම පෙත්මලීට පේන්න?”
“නැහැ ඩොක්ටර්, එහෙම කිසිම දෙයක් නෑ. රණ්ඩුවෙලාවත් ගහමරාගෙනවත් නෑ ප්‍රශ්න ඇවිත් නැතුව නෙවෙයි. හැබැයි අපි දරුවට පේන්න රණ්ඩුවෙන එක දරුවට හොඳ නෑ කියන එක තේරුම් ගත්ත හන්දම ප්‍රශ්නයක් උනත් අපි දෙන්න කතා බහ කරල විසඳගත්තා මිසක්ක රණ්ඩුවෙන්න ගහමාරගන්න වගේ ඔප්ශන් එකකට ඇත්තටම ගියේ නැහැ” කියා චිරත් මෙන්ම මේධාවිණී දෙදෙනාම උත්තර් දෙද්දී පෙත්මලී ව පෙන්නනට ආ ළමා මනෝ වෛද්‍යතුමියට තිබුණ ප්‍රධානම ගැටලුව ඇය ඊලඥට ඇසූ ප්‍රශ්නයෙන් චිරත් සහ මේධාවිණීව එක තප්පරේකට ආයෙම වතාවක් අතීතය වෙත ඇදගෙන යන්න හේතුවුන බව ඇත්තකි.
“හරි එහෙම නම් ඔයාල දෙන්නගෙ ඩිවෝස් එකට හේතුව උනේ වෙන අෆෙයාර් එකක් තිබුන එකද? එහෙම නැත්තම්”
“අනේ නැ ඩොක්ටර් අපි දෙන්නම ඩිවෝස් උනේ එහෙම වෙන අෆෙයාර් එකක් වගේ දෙයක් හින්ද නෙවෙයි. එහෙම කිසිම ප්‍රශ්නයක් අපි අතරෙ තිබුනෙ නෑ”
“ප්‍රශ්නයක් නැතුව ඩිවෝස් එකකට යනවා කියන එකම ප්‍රශ්නයක් නේද?” කියා වෛද්‍යවරිය මද සිනාවක් සමග අසද්දී චිරත් සහ මේධාවිණි කලේ එකිනෙකාගේ මුහුණ දෙස බලාගෙන නිරුත්තර වීමය. දෙතොල් තිබුනේ එකිනෙක ගැටි වචනයකටවත් එලියට එන්නට බැරි ආකාරයෙන් උනත් සිත තිබුනේ උවමනාවටත් වඩා වැඩියෙන් දොඩමලු වෙමිනි.
“ඇත්තටම අපි දෙන්නට ඩිවෝස් වෙන්න තිබිච්ච හේතුව මොකද්ද චිරත්?” කියා මේධාත් “ඔයා මාව ඩිවෝස් කලේ මං ඔයයි දරුවයි වෙනුවෙන් මහන්සි වෙච්ච හන්දද මේධා?” කියා චිරතුත් හිතෙන් ඇසූ ප්‍රශ්නය එකිනෙකාට කිසිම විටක ඇසුනේ නැත. එනිසාම ඒ ප්‍රශ්න තිබුනේ උත්තර නැතුව ලතවෙමිනි.
“ඇත්තටම ඇයි ඔය දෙන්න ඩිවෝස් උනේ?”
“මං හරියට බිසී වෙච්ච කාලයක් මැඩම් කා ගෙවිච්ච කාලෙ. මේධා එක්ක මම යාලුවෙද්දිත් මේධා කිව්වේ අනාගතේ ගැන බයවෙන්න කිසිම විදියක හේතුවක් තිබුනෙ නැති අම්මල තාත්තල තව පරම්පරා ගාණකට ඇතිවෙන්න සල්ලි හම්බ කරපු මිනිස්සු. මං මේ ඒකෙ වරදක් කියනව නෙවෙයි. ඒත් අපෙ අම්මලට මං වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුලුවන්කමක් තිබ්බෙ. අපි මේ ගම්වල හේන් ගොවිතැන් කරන අම්මලගෙ තාත්තලගෙ දරුවො. ඒ නිසාම මට ඕන උනේ කවදහරි මම තනියෙන් දෙයක් ගොඩනගල මගේ දරුවන්ටයි වයිෆ්ටයි දෙන්න. ඒත් මං එහෙම තනියෙන් හිතල මහන්සි වෙච්ච එක වරදක් කියන එකත් මට තේරුණේ මේධා මගෙන් ඩිවෝස් එක ඉල්ලපු වෙලාවෙ. මම තවම රිග්‍රෙට් කරනව එහෙම වෙච්ච එක ගැන.අනාගතේ දවසක දරුවන්ට සැප දෙන්න කියල හිතාගෙන මම වටින මෝමන්ට්ස් දාහක් නැති කරගෙන කියන එක මට තේරුනෙත් පස්සෙ. අපි ගත්ත ඒ තීරණේ වැරදි වේවා මෝඩ වේවා ඒ තීරණේ දැන් අරගෙන ඉවරනෙ ඩොක්ටර්. මට ඕන නෑ අපි පරිස්සමෙන් ආදරෙන් හදපු එකම දරුවට, මගෙ එකම දරුවට මමවත් එයාගෙ අම්මවත් හන්දා කිසිම දුකක් කරදරයක් ස්පෙශලි මෙන්ටලි විඳින්න දෙන්න”
“සමහර ප්‍රශ්න එක්ක අම්මල තාත්තටල ඩිවෝස් වෙනවට වඩා වෙන ඔප්ශන් එකක් නැතිවෙන්න පුලුවන්. දරුවො වෙනුවෙන් අම්මල තාත්තල නොගැලපෙන තැන්වල නතරවෙලා දුක් විඳින්න උවමනාවක් තියෙනව කියල මම කියන්නෙ නෑ. ඒත් ඇත්තටම ඔයාලගෙ කතාව අහගෙන ඉද්දි මට හිතෙන්නෙ ඩිවෝස් එකකට යන්න කලින් ඔයාලා දෙන්න මැරේජ් කවුන්සලින් වලට යන්නයි තිබුනෙ. ඒ උනාට දැන් අපි ඒ ඔප්ශන් එක ගැන කතාකරල වැඩක් නෑනෙ. පෙත්මලී එක්ක කතා කරද්දි හිමින් සැරේ එයාගෙ හිතේ තියන දේ අහගනිද්දි මට තේරිච්ච දේ තමයි ඔය දෙන්නගෙ ඩිවෝස් එකට කලින් පෙත්මලී ඔයාලා දෙන්න මැද්දෙ ඇත්තටම හරි සන්තෝසෙකින් ඉඳල තියෙනව. ඒ කියන්නෙ ඔය දෙන්න අතරෙ මොන ප්‍රශ්නයක් තිබුනත් ඔය දෙන්නා ඒක දරුවගෙ ඔලුවට දාලා නෑ කියන එක ඇත්තටම මට පෙත්මලීගෙ පැත්තෙන් කතාවයි ඔයාලා දෙන්න කියන කතාවයි ඇහුවම මට තේරුනා. හැබැයි ඔයාලා දෙන්න එච්චර හොඳ දෙමව්පියො දෙන්නෙක් වෙලා ඉඳල ඩිවෝස් එකෙන් පස්සෙ ඒ ලෙවල් එක මේන්ටේන් කරපු නැති එක තමයි ඇත්තටම මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.
ඔයාලාට නොතේරුනාට නොපෙනුනාට තප්පරෙන් තප්පරේ දවසෙන් දවස පෙත්මලී සෑහෙන තනිකමක ගිලිලා තියෙනවා. ඒක එකපාර වෙච්ච දෙයක් නොවන හන්ද තමයි මම හිතන්නෙ ඔයාලට ඒක නොපෙනිලා තියෙන්නෙ. එක ගෙදර උන්නට, එක කාමරේ නිදාගත්තට අපි ආදරේ කරන මනුස්සයගෙ වෙනසක් උනත් අපිට මගැරෙන්න ලොකු ඉඩක් තියෙනව අපි එයාව හරියට ඔබ්සර්ව් කරේ නැති නම්. කමියුනිකේශන් ගැප්ස් කියන ඒව එන්නෙ ලොකු මිනිස්සු අතරෙ විතරක් නෙවෙයි ලොකු මිනිස්සු සහ පොඩි දරුවො අතරෙත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. දරුවන්ට තමන්ගෙ ඔලුවට දැනෙනන් කරදරයක් වැඩිමහල් මනුස්සයෙක් තව කෙනෙක්ට එක්ස්ප්ලේන් කරනව වගේ කමියුනිකේට් කරන්නවත්, තමන්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියන එක තමන් විසින්ම තේරුම් අරගෙන ඒකට සොලුශන් හොයන එකවත් කරන්න තේරෙන්නෙ නෑනෙ.
දරුවො ගොඩක් වෙලාවට ඔලුව ඇතුලෙ තියන කරදර එලියට දාන්නෙ එක්කො අඬල, එහෙම නැත්තම් හරිම වයලන්ට් විදියට හැසිරිලා. අපි සමහර වෙලාවට හිතනවනෙ මේ බොරුවට අඬන්නෙ කියල. ඒක හැමතිස්සෙම නිවැරදියි කියන එක අපිට කියන්න බෑ. අඬන්න, වයලන්ට් වෙන, ඇග්‍රෙසිව් වෙන්න, හිනාවෙලා දඟලල කරල උන්නු දරුවෙක් එකපාර සයිලන්ට් වෙන්න එක එක විදියෙ හේතු තියෙන්න පුලුවන්.
හරියට මේ ඔයාලගෙ බබාට උනා වගේ. අපි සන්තෝස වෙන්න ඕන මේ දරුවගෙ යම් කිසි වෙනසක් තියෙනව කියන එක දැකල තේරුම් අරගෙන ඔයාලා මෙච්චර ඉක්මනට ඒකට රියැක්ට් කල එක. මොකද පොඩි කාලෙ දරුවන්ගෙ ඔලුව අස්සට රිංගන සමහර විශබීජ වල මාරාන්තික ප්‍රතිපල එලියට එන්න පටන්ගන්නෙ ඒ දරුවො උස්මහත් වෙද්දි, එහෙම නැත්තම් ඒ දරුවො සබඳතා හදාගෙන ජීවිතේ ඉදිරියට යන්න හදද්දි. අපිට පෙත්මලී මේ ඉන්න ස්ටේජ් එකෙන් ආයෙ බැක් ටු නෝමල් සිටුවේශන් එකකට අරගෙන එන්න ලොකු වෙහෙසක් දරන්න උවමනාවක් වෙන්නෙ නෑ මේක තාම අර්ල් ස්ටේජ් එකක් නිසා. හැබැයි ඒක මට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට මට ඔය දෙන්නගෙම සපෝට් එක උවමනා වෙනවා. ඔය දෙන්න මෙතනදි මාත් එක්ක එකතුවෙලා මේ දරුවව සනීප කරගන්න මහන්සි වෙනවා වගේ ඔය දෙන්නට සිදුවෙනවා දරුවා වෙනුවෙන්, දරුව මේ ඉන්න තත්ත්වෙන් ගලවගන්න එකතුවෙලා වැඩ කරන්න.
ඩිවෝස් වෙච්ච කපල් එකකට දරුවෙක් වෙනුවෙන් එකතුවෙලා වැඩ කරන්න වෙනවා කියන එහෙම ලේසි පහසු දෙයක් නෙවෙයි කියන එක මම දන්නවා. ඒකමයි මම මේ ප්‍රශ්නෙ අහන්න හිතුවෙ. ඔය දෙන්නට පුලුවන්කමක් තියෙනවද ඔයාලා දෙන්නගෙ දරුවා වෙනුවෙන් එකතුවෙලා ඒ දරුවගෙ ෆියුචර් එක වෙනුවෙන් වැඩ කරන්න?”
චිරතුත් මේධාත් හිරවුණේ ඒ ප්‍රශ්නය ළඟ ද. “තවදුරටත් තමාට අවශ්‍ය නැතැයි” කියා නීතියෙන්ද ජීවිතයෙන් ඉවත කර දැමූ දෙදෙනෙකු ආයෙ වතාවක් දරුවෙක් වෙනුවෙන්වත් එකතු ව කටයුතු කරන්නෙ කෙසේද කියන එක චිරත් සහ මේධා දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙන දෙනෙත් වලින් බොහෝ දේ හුවමාරු කරගනිමින් කල්පනා කලහ.