“උඹ ඉතින් හැමදාම මං ළඟට අඬාගෙන එන්නෙ වෙන්න ඕන ඔක්කොම වුණයින් පස්සෙනෙ” කියා ආලෝකා කියද්දිත් මේධා උන්නේ ආලෝකාගේ ගෙදර සාලයේ මේසයක් මත හිස තබාගෙන කල්පනා කරන ගමන් ය. කියන්න වෙන හිතවත් යැයි කියන්නට හැකි යාලුවෙක් නැති හන්දාම ආලෝකා හොයා එනවා ඇර වෙන කරන්න දෙයක් මේධාට එවෙලේ මතක් උනේ නැත. අනික් අතට හිත කොහොමත් තිබුනේ වලාකුලු විසින් අසන්නට යෙදුන කාරණාවේ බර දරාගන්නට බැරුව ඔත්පල වීය.
“ඔයාගෙ හිත සනසන විදියක් ගැන මට ඇත්තටම හිතාගන්න බෑ වලාකුලු. මං දන්නෙ නෑ මං මොකද්ද කරන්න ඕන කියලා. ඔයා දන්නවනම් මට ඔයාගෙ හිත සැනසෙන විදියට කරන්න පුලුවන් දෙයක් ගැන. මට ඒක කියන්න. ඒක මොන ජාතියෙ දෙයක් උනත් මම ඒක කරන්නම්. මට පෙත්මලීව අතාරින්න කියන්න එපා. මට ඒක කරන්න බෑ. ඔයා මට මුලින්ම පොරොන්දු උනා ඔයා පෙත්මලීට ඔයාග් දරුවෙක්ට වගේ ආදරේ කරනවා කියලා. ඒ ඉල්ලීම ඇරෙන්න ඔයා වෙන ඕන දෙයක් ඉල්ලන්න, මම ඒක කරලා දෙන්නම්”
“ඔයා ඔය ඇත්තටමද කියන්නෙ?”
“ඔව්”
“හරි එහෙනම් අපි අපේ මැරේජ් එක රෙජිස්ටර් කරමු” කියා වලාකුලු කියද්දි ඔහු කවදාක හෝ ඒ ප්‍රශ්නය නගන බව දැන උන්නද මෙතරම් ඉක්මනින් මෙවන් වාතාවරණයක එය අසනු ඇතැයි බලාපොරොත්තුවක් තමන්ට තිබුනේ නැති බව මේධා ආයෙ ආයෙ හිතට කියන්නට වෙහෙසුනාය.
“මැරේජ්ල් එක? රෙජිස්ටර් කරන්න” කියා වලාකුලු කිව්ව දේම ආයෙ ප්‍රතිරාවය කරද්දි තමන්ගේ හඬේත් මුහුණේත් ප්‍රශ්නාර්තයක් ඇඳ තිබෙන්නට ඇති බව මේධා පවා තේරුම් ගත්තේ වලාකුලුගේ මුහුනේ ඉරියව් මද කෝපය සහගත බවක් ගනිද්දි මෙන්ම ඉන්පසුව ඔහු නගන්නට යෙදුන ප්‍රශ්නය හමුවේය.
“ඇයි? දැන් ඔයා ටිකකට කලින් මහ ලොකුවට කිව්වෙ ඔයාට පුලුව්න කියලා ඕන දෙයක් කරන්න මං වෙනුවෙ. ඔයා ඉල්ලන්න එපා කිව්වේ පෙත්මලීව ඈත් කරන්න කියන එක එකනෙ. ඉතින් මං ඒක නෙවෙයිනෙ ඉල්ලුවෙ. ඇයි ඔයා නිකන් මම මේ මාර වැරදි ප්‍රශ්නයක් ඇහුව වගේ මං දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නෙ?” කියා වලාකුලු අහද්දී ඇත්තටම මේධා උන්නේ කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.
“මං එහෙම කිව්වා තමයි” කියා මේධා පැකිලෙද්දි මේධා ඊලඟට කියන්නට යන්නේ කුමක්ද කියා දැනගන්න ඉවසිල්ලක්වත් වලාකුලුට තිබ්බේ නැත.
“ඇයි දැන් ඔයා කියන්නෙ ඔයා ඉස්සෙල්ලා එහෙම කිව්වට ඒක කිව්වෙ බොරුවට කියලා. තාමත් ඔයා මට කියන්නෙ ඔය ලමයව කවුන්සලින් අරන් යන එකෙන් අන්තිමට වෙන්නෙ මට යන එන මං නැතිවෙලා ඔයා ආයෙ අරූ එක්ක සෙට් වෙන එකක් නෑ කියන එකද? ලෝකෙ ඕනතරම් ජෝඩු ඉන්නව මේධා එකපාරක් ඩිවෝස් වෙලා ආයෙ කසාද බැන්ද. ඒක නිසා මේ එහෙම දෙයක් ඔයාල අතරෙ වෙන්න ඉඩක් නෑ කියලා වගේ කතන්දර මට නම් කියන්න එපා. මං මේ ඕවට අහුවෙන්න තරම් බබා උක්කුන් කෙනෙක් නම් නෙවෙයි හොඳේ” යැයි වලාකුලු කියාගෙන කියාගෙන යද්දිත් මේධා උන්නේ ඇත්තටම පුදුමයට පත්වෙලාය. ඉස්සර, මුල් දවස්වල, මීට මාස ගණනාවකට කලින් තමන් එක්ක කතාකරන්න යෙදුණ වලාකුලු වීරවර්ධන වනාහී මෙසේ අවිචාරවත් විදියට කතා කරන්නෙකු නොවේ. ඔහු වනාහී කල්පනා කරමින්, වනා රොමාන්තික විදියට කතා කරන මිනිසෙකි. ආදරණීය වදන් මුමුණන මිනිසෙකු විනා කට කෙලවරකින් සමච්චල් සහගත සිනාවක් නගමින් වචන අස්සේ තර්ජනාත්මක හැඟීම් තවරා කියවන මිනිසෙකු නොවේ. මේධාව වඩා තිගැස්මට ලක්කලේ ආන් ඒ හැඟීමය.
“ඔයා ඔය ප්‍රශ්නෙ කවදහරි මගෙන් අහවි කියල මම දැනගෙන්න උන්නා. හැබැයි ඔයා මගේ ලයිෆ් එකේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවක ඔහොම දෙයක් මගෙන් අහලා මාව තවත් ප්‍රශ්නෙකට ඇදලා දාවි කියල මම හිතුවෙ නෑ”
“දැන් ඔයා මට කියන්නෙ මෙච්චර දවසක් මේ අඬ අඬ උන්නු ඔයාව කම්ෆර්ට් කර කර මම මගේ වෙලාව නාස්ති කරගෙන ඇවිල්ලා ඔයාව කසාද බඳින්න, ඔයාවයි ළමයවයි දෙන්නම භාරගන්න කැමතියි කියලා කිව්ව එක ඔයාව ප්‍රශ්නෙකට ඇදලා දාන එකක්ද?” කියද්දිත් වලාකුලුගේ දෙතොල් ඈත් මෑත් වී ඇඳී තිබුණ ඒ සමච්චල් සහගත හිනාව මෙච්චර දවසක් වලාකුලු කෙරේ හිත අස්සෙන් නොනැගුන කෝපයක්, අවඥාසහගත බවක් නගන්නට හේතුවක් විණි.
“භාරගන්න? ඔයා මොකටද මාවයි මගෙ දරුවවයි භාරගන්නෙ? මට කාවවත්ම උවමනා නෑ වලාකුලු මාවයි දරුවවයි භාරගන්න. මම හිතුවෙ ඔයා මේ කසාද බඳිමු කියල කියන්නෙ මට තියෙන ආදරේට කියල මිසක් භාරගන්න අනුකම්පාවකින් කියල නෙවෙයි. මට කාගෙවත් අනුකම්පාවක් උවමනා නෑ. මට විතරක් නෙවෙයි මගෙ දරුවටවත් එහෙම දෙයක් උවමනා නෑ”
“ඔයා ඉතින් මේ මගෙන් වචනයක් දෙකක් එහෙ මෙහෙ වෙච්ච එක අල්ලගෙන දැන් නටන්න හදන්න එපා මේධා. හරි මම භාරගන්න කියල එතනට වචනයක් දාපු එක වැරදියි. මම කසාද බඳිමු කියල කිව්වෙ අනුකම්පාවක් හන්දා නෙවෙයි ආදරේ හන්දා තමයි. ආදරේ නැත්තම් ඔයා හිතනවද මම ඔයා වගේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ව කසාද බඳින්න හිතනවා කියල. දැන් ඒකත් වැරදියට අරගන්න එපා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්ව එක. මම කිව්වෙ ඇත්ත. ආදරයක් නැත්තම මම එහෙම දෙයක් කරන්නෙ නෑ. ආදරයක් නැත්තම් ඔයා ළමයව උස්සගෙන අර මනුස්සය එක්ක දොස්තරල ලඟට යද්දි ඒක ඉවසගන්න බැරිවෙන හන්දා මම මෙහෙම ඇවිත් කතාකරන්නෙ නෑ. ඔයාට ඒක තේරෙන්න ඕන නෙ, කාටත් වඩා හොඳට ඒක තේරෙන්න ඕන ඔයාට.ඔයාම මට කියල තියෙනවා චිරත් එක්ක මැරේජ් එකේදි ඒ මනුස්සය ඔයාව ගණන් ගත්තෙ නෑ රෑ තිස්සෙ වැඩ අරක මේක කියල. එහෙම එකේ මම පහුගිය ටිකේම මොන වැඩ තිබ්බත් ඔයා එක්කම ඉඳිය. ඔයාගෙ මොන දේටද මේධා මම ආවෙ නැත්තෙ. එහෙම එකේ ඔයාට හිතන්න තිබුනෙ නැද්ද මම මේ හැමදේම කරන්නෙ ආදරේ වෙනුවෙන් කියලා. නැත්තම් මම මොන පිස්සුවටද මේධා මේ මෙහෙම පස්සෙන් එන්නෙ?” කියා වලාකුලු එතනින් කතාව නතර කරාට “මොන පිස්සුවටද මේධා මේ මෙහෙම පස්සෙන් එන්නෙ ඩිවෝස් වෙච්ච ගෑණියෙක්වයි ළමේක්වයි කරේ දාගන්න?” කියා ඒ වචන තවදුරටත් දුරයන්න තිබ්බ බව මේධාට නොතේරුනා නොවේ. තකහනියක් උදේක ආලෝකා හොයා ඇගේ ගෙදරටම එන්නට හේතු උනේ ආන් ඒ වචනය.
“කලබල වෙලා තීරණ ගන්න එපා කියල කොච්චර කිව්වත් උඹ හැමදාම තීරණ ගත්තෙ පුදුම කලබලේකින් නෙ මේධා. චිරත්ව බැන්දෙ, අන්තිමේ ළමේක් හදන් ඌව ඩිවෝස් කලේ, ඔය වලාකුලු එක්ක පැටලුනේ ඒ ඔක්කොම උඹ කරගත්තෙ පුදුම හදිසියකින්. අවුරුදු තිස් ගාණක් වෙලා කසාද බැඳල ඩිවෝස් වෙච්ච අම්මෙක්ට මම මේ කියන ඒව අයිසින් දාලා රස කරල කියන්න උවමනාවන් නෑනෙ. ඒ හන්ද මම මේව අමුවෙන්ම කියනවා. මේ ඔක්කොම දේවල් මෙහෙම උනේ උඹේ වරදයි කලබලෙයි හන්දා. චිරත් කසාදෙ අස්සට උගෙ බිස්නස් ගෙනා එක හරි කියල මං හිතන්නෙ නෑ. ඒ උනාට උඹ දැන් ඔය ගොනා වගේ වලාකුලුට සල්ලියි දෙන්න පුලුවන් හැම උදව්වමයි දුන්න වගේ ඒව චිරත් වෙනුවෙන් කරානම් මේ වෙද්දිත් උඹල දෙන්නගෙ කසාදෙ තියෙනව වගේම උඹලට ළමයව උස්සගෙන කවුන්සලින් වලට යන්න වෙන්නෙ නෑ.
දැන් ඉතින් වෙච්ච දේවල් වෙලා ඉවරනෙ. දැන් උඹට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ දේවල් දෙකකින් එකක් විතරයි. ඒකත් කලබල වෙන්නෙ නැතුව හීන් සැරේ හිතල තීරණයක් ගනින්”
“මොකද්ද?”
“එක්කො ළමයව සනීප කරගන්න චිරත් එක්ක එක්කහුවෙලා ඒ ඩොක්ටර් හම්බුවෙන එක කරපං, එහෙම නැත්තම් වලාකුලු කියන විදියට චිරත්ට එන්න එපා කියල උඹ වලාකුලු එක්ක ළමයව අරන් දොස්තර ළඟට පලයං. හැබැයි ඌ එක්ක එහෙම යනවනම් උගෙයි උඹෙයි සම්බන්ධෙ ඉවරවෙන්නෙ කොහෙන් කොහොමද කියන එක ගැනත් හොඳට හිතපං”
“ඒ උනාට මට එහෙම හිතන්න බෑ”
“මොකද්ද හිතන්න බැරි?” කියා ආලෝකා ඇහුවද මේධා එයට උත්තර දෙන්නට ඉක්මන් උනේ නැත.