නිසලිගේ උපන් දිනයට කාර්යාලයේ හැමෝම සුබ පතද්දී තමයි හිමාලි කාර්යාලයට ඇතුළු වුණේ. ඇය කෙලින්ම ආවේ නිසලි ලඟට.
” happy birthday නිසලි ”
හිමාලි නිසලි ව වැළඳගෙන සුබ පතන ගමන් අතේ තිබුණ පාර්සලය නිසලි අතට දුන්නා.
” උණුයි. මොනවද අක්කේ? ”
නිසලි පාර්සලය නහයට ලං කරලා සුවඳ බැලුවා.
” මං ඔයාගේ birthday එකට කිරිබත් චුට්ටක් හැදුවා. ඔයා බෝඩිමේ ඉන්න නිසා ”
නිසලිගේ උපන් ගම උනේ ගාල්ල. කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයක සේවයට එනකොට ඇය හිටියේ කොළඹ නෑදෑ ගෙදරක උනත් අවුරුද්දක් විතර ගත උනාට පස්සේ නිසලි බෝඩිමකට ඇවිත් තිබුනා. දරු දෙන්නෙකුගේ අම්මෙක් උන හිමාලිගේ හදවත උණු උනේ එහෙම ජීවත් උන නිසලි වෙනුවෙනුයි.
” අනේ ඔයාට පින් සිද්ධ වෙනවා අක්කේ.මට අද උදේම මතක් උනේ මගේ birthday එකට අම්මා කිරිබත් හදන හැටි ”
නිසලි හිමාලිට ස්තූතිවන්ත වුනේ එහෙම කියන අතරේ. මේ තරම් කරුණාවන්ත මිනිස්සු කොළඹ ජීවත් වෙනවද කියලා නිසලි ට දැනෙමින් තිබුණේ පුදුමයක්.
” ඉතින් ඔයා හිතාගන්න ළමයෝ අම්මා ඔයාට කිරිබත් එව්වා කියලා. දැන් ගිහිල්ලා ඕක කාලා එන්න ”
හිමාලි නිසලිගේ පිටට තට්ටුවක් දාලා ඇගේ ආසනයට ගිහින් පරිගණකය ක්‍රියාත්මක කර ගෙන වැඩ පටන් ගත්තා.
හිමාලිගේ සැමියා වෘත්තීයෙන් නීතිඥවරයෙක්. කිසිම අඩුපාඩුවක් නොතිබුණත් ගෙදරට වෙලා නිකරුනේ කාලය නාස්ති කරන්න හිමාලි කැමති වුණේ නැහැ. දරු ප්‍රසූති දෙක ආසන්න මාස කිහිපයක් ඇරුණු කොට අනිත් හැම කාලයකම රැකියාවක් කරන්න ඇය වග බලා ගත්තා. දෙක වසරේ සහ පෙර පාසල් යන වයසේ දරුවන් දෙන්නාව බලාගන්න වගකීම හිමාලිගේ අම්මා ඉතාම කැමැත්තෙන් බාර ගනිද්දි හිමාලිට රැකියාවක් කරන එක තවත් පහසු වුනා.
” මහන්සි නැද්ද හිමාලි ? ”
හවසට හිමාලි ගෙදර ඇවිල්ලා ගෙදර අස් කරන එකේ ඉඳලා උයන පිහන වැඩ කටයුතු ඔක්කොම කරන කොට අසේල හැමදාම අහන ප්රශ්නය තමයි ඒක.
” තමන්ගේ ගෙදර වැඩ කරන එකේ මොන මහන්සියක්ද අසේල ? ”
හිමාලි හිනාවකින් හැමදාම ඒ උත්තරේ දෙනවා.
” මම මීට පස්සේ රෑට උයල තියන්නං දරුවෝ ”
හිමාලිගේ අම්මා කියන්නේ හිමාලි මහන්සි වෙනවා බලාගෙන ඉන්න බැරිම තැන. උයන වෙලාවට උදව් කරන්න වත් හිමාලි අම්මට ඉඩක් තිබ්බේ නැහැ.
” අම්ම මේ පොඩි දරුවො දෙන්නවත් බලාගෙන කරන හරිය හොඳටම ඇති හරිද ? ඔන්න පණ්ඩිතකං නම් කරලා තියන්න ලෑස්ති වෙන්න එපා “
හිමාලි අම්මට තරවටු කරේ එහෙම.
” අක්කේ, මං මේ සතියේ ගමේ යන්න හිතාගෙන ඉන්නවා. ඒත් මට කොහොමත් සිකුරාද නිවාඩුවක් ගන්න වෙයි ”
නිසලි කිව්වේ කෑම පැයේදී.
” ඉතින් හොඳයි නේ ? ඔයා මාස කීපයකින් ගමේ ගියේ නෑ නේද ? ”
” ඔව් අක්කේ. ඒක නෙමෙයි. මට චෙක් කරල ඉවර කර ගන්න බැරි වෙච්ච ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා.අක්කට පුළුවන්ද මට උදව්වක් දෙන්න ”
නිසලි පොඩි දරුවෙක් වගේ එහෙම අහනකොට හිමාලි හිනා වුණා.
” අනේ ඕක මොකක්ද ළමයෝ ? මට අදම දෙන්න මම කරලා දෙන්නම්. ඔයා නිවාඩුව දාගන්නකෝ ”
නිසලි ගේ හිතට සහනයක් දැනුනේ එතකොට. මාස ගානකට පස්සේ ගමේ යන්න නිවාඩුවක් දාගන්න නිසලි ට පුළුවන් වුනේ හිමාලි කරපු ඒ උදවුව නිසා.
” හිමාලියෝ.. අනේ අපේ කෙල්ලගේ බර්ත්ඩේ එකට ඉස්කෝලෙට යවන්න බටර් කේක් ටිකක් හදාගන්න හොඳ තැනක් කියන්නකෝ ”
සෙනසුරාදා උදේ හිමාලි මිදුල අතුගාමින් ඉන්නකොට අල්ලපු ගෙදර නිරෝෂා ගේට්ටුවෙන් ඇතුල් වුනේ එහෙම අහගෙන.
” කොහෙවත් යන්නේ මොකටද ? මං හදලා දෙන්නම් නිරෝෂා ”
හිමාලි ඉදල පැත්තකින් තිබ්බා.
” ඔයා කොහොමද හදන්නේ ? ”
” ඇයි අනේ ? වෙන අය කේක් හදන විදියටම තමයි මමත් හදන්නේ ”
හිමාලි මහ හයියෙන් හිනාවෙමින් එහෙම උත්තර දුන්නා.
” මං බඳින්න කලින් පොඩි කේක් බිස්නස් එකකුත් කළා. මට වෙඩින් කේකුත් හදන්න පුළුවන්. නිරෝෂාට කවදද කේක් ඕනේ ? ”
” අනේ මට මේ සඳුදාට ඕනේ හිමාලි. ඕන කරන බඩු ටික කියන්නකො මම හෙට ගෙනල්ලා දෙන්නම් ”
නිරෝෂා හිතේ සතුටින් ගේට්ටුවෙන් පිට වුණේ හිමාලි ට ආයෙ ආයෙත් ස්තූති වන්ත වෙන ගමන්.
එදා රෑ අසේලගේ මිතුරන් කිහිප දෙනෙක් නිවසට ආවේ හදිසියෙමයි.
” දැන් රෑ වෙලානේ, ඩිනර් දෙමු. මම මොනවා හරි ඕඩර් කරන්නම් “
අසේල කුස්සිය පැත්තට ඇවිත් කිව්වේ දුරකථනය අතට ගන්න ගමන්
” මට පැය භාගයක් දෙන්න අනේ. මම කෑම ටික හදලා ගන්නම් ”
හිමාලි උත්තර දුන්නේ කිසිම ගානක් නැතුව.අසේල ඇය දිහා බැලුවේ පුදුමයෙන්
” ඔයාට පුළුවන්ද ? ”
අසේල ආපිට එහෙම ඇහුවත් හිමාලි ඒ වෙද්දිත් වැඩ පටන් අරගෙන ඉවරයි. හිමාලි කඩිසර කමින් කුස්සියේ එහා මෙහා යද්දී අසේල ආපහු සාලය පැත්තට ගියා.
” කෑම ටික නම් පුදුම රසයි අසේල ”
අසේලගේ හොඳම මිතුරා වන අරවින්ද කිව්වේ කෑම කන අතරේ. එළවළු බතක් එක්ක කුකුල් මස් ව්‍යාංජනයක් , අල ව්‍යංජනයක් වගේම සලාදයකුත් හිමාලි ඒ කෙටි වෙලාව ඇතුළත හදලා ඉවර කරලා තිබුණා. සති අන්තය වෙනුවෙන් හදපු අතුරුපසකුත් අසේලගේ මිතුරන්ට පිළිගන්වන්න හිමාලි කටයුතු කරා.
” අසේල හරිම ලකී නේද ”
” අපි කියන්නෙත් නැතුව ආවට , ඩිනර් ගන්න හිතා ගෙන ආවේ නැහැ. ඒ උනාට හිමාලි මාර ඉක්මන්ට ඩිනර් ලෑස්ති කරලා ”
අසේලගේ මිතුරන් දෙතුන් දෙනා වගේම ඔවුන්ගේ බිරින්දෑවරුනුත් හිමාලිව වර්ණනා කරද්දි අසේල කවදාවත් හිමාලිට නීති නොදා හිර නොකර ජීවත් වෙන්නට ඉඩ සැලැස්සවීම ගැන හදවතින්ම ආඩම්බර වුණා.
හැමෝම පිටත් වෙලා ගියාට පස්සේ මුළු ගෙදරම අස් කරලා දරුවන්ගේ වැඩක් ඉවර කරලා ඊළඟ දවසට උයන්නත් ලෑස්ති කරලයි හිමාලි පොතකුත් අරගෙන නිදන කාමරයේ තියෙන පුටුවෙන් වාඩි වුණේ.
” ඔයා blessing එකක් හිමාලි ”
අසේලගේ මුවින් ඒ වචන පිටවෙද්දී හිමාලි එක පාරටම අසේල දිහා බැලුවේ පුදුමයෙන්.
” ඇයි අසේල එකපාරටම ? ”
” ජීවිතේ හැමදේම මැනේජ් කර ගෙන , පුළුවන් හැම වෙලාවෙම අනුන්ට උදව් කර ගෙන , අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් එළිය කර ගෙන තමන්ගේ ජීවිතෙත් එළිය කර ගන්න හැම කෙනාටම බෑ. ඒ අතින් බැලුවහම ඔයා පුදුම මනුස්සයෙක් හිමාලි ”
අසේලට දෙන්න ඕන උත්තරය මොකක්ද කියලා හිතාගන්න බැරුව හිමාලි නිහඩ වුණා.
” මගේ ජීවිතේට වාසනාව ගෙනාවේ ඔයා. මගේ ජීවිතේ blessing එක ඔයා ”
අසේල ආයෙම එහෙම කිව්වෙ හිමාලිගේ දෑස් වලට කඳුළු පිරීගෙන එද්දී.