මල් පිපුණිද හිම කැළයේ – 04

0
5205

සමහරක් හමුවීම් ජීවිතයට එක්කකරන්නේ අනපේක්ෂිත වරප්‍රසාදයන්‍ ය.මාලිකා සිරිනන්ද ගේ හමුවීමද එවැන්නක් විය.එහෙත්
මාලිකා කෙසේ කීවද තවකෙකු මත එසේ යැපීම නිලංගාගේ ප්‍රතිපත්ති තුළ වූ දෙයක් නොවීය. ඇය හිස දෙපසට සලා මාලිකාගේ සුරත අල්ලාගත්තාය.

“නෑ..මාලිකා…මට ජොබ් එකක් හම්බ වෙනවා නම් ශෙයාර්ඩ් රූම් එකක් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් .මට එහෙම ඔයාට කරදර කරන්න බෑ ..ඔයාගෙ ගෙදර ඇවිත් එහෙම නවතින්න බෑ මට…”
නිලංගා යළිත් මාලිකාගේ දෝතින්ම අල්ලාගත්තාය.ඇය මේ අවස්ථාව උදව්වක් ලෙසින් පැවසුවද එවන් උදව්වක් ගත යුත්තේ බැරිම වුව හොත් පමණි.

“ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් කොහොමද නෙලී…අයි මීන්…මම ඔයාගේ විස්තර මොකුත්ම දන්නෙ නෑනෙ…ඔයාගේ cv එකක් එහෙම හදලානෙ තියෙන්නෙ අප්ඩේට් කරලා…”
මාලිකා විමසුවාය.නිලංගා අත්බෑගය ගෙන ඒ තුළ වූ ලිපිගොනුව මාලිකා වෙත පෑවාය. රැකියා සොයා යන ගමනේ කිනම් අහම්බයක් හෝ ලැබේ යයි සිතා ඇය අයදුම්පත් කිහිපයක් ලඟ තබා උන්නාය.

මාලිකා සිරිනන්ද නිලංගාගේ ජීව දත්ත පත්‍රිකාව විමසුමෙන් බැලුවාය.නිලංගා ලංකාවේදී පෞද්ගලික රෝහලක තාවකාලික හෙදියක් ලෙස කටයුතු කර තිබුණේ උපාධිය හදාරන කාලයේය.ඉන් පසු ඇයගේ උපාධිය සම්පූර්ණ කොට ඇය සම්බන්ධව තිබුණේ සෞඛ්‍ය සේවය සම්බන්ධ උපකරණ ගෙන්වන ආයතනයක සහකාර කලමණාකාරියක ලෙසය.අහම්බයෙන් මතකයට ආ එක් සිතුවිල්ලක් මාලිකාගේ මතකයේ බලාපොරොත්තුවක් දල්වාලීය.

“නෙලී….ඔයා මේ වෙලාවේ මොන වගේ ජොබ් එකක්ද හොයන්නෙ…මම ඒක දැනගන්න ඕනෙනෙ ඔයාට හෙල්ප් කරන්න නම් “
මාලිකා මේසය මතට ආ ආහාර බඳුන් තබා අවන්හලේ සේවිකාව නික්ම යන තුරු සිට විමසුවාය.

“ඔය cv එකේ මැනේජ්මන්ට් පැත්ත තිබ්බට මාලිකා මම දන්නවා එකපාරටම එහෙම ජොබ් එකක් මට හොයන්න අමාරුයි.ලංකාවේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කාලේ මම ටෙම්පරරි වැඩකල එක්ස්පීරියන්ස් එක නිසා මෙහෙදිත් මට ස්ටුඩන්ට් කාලේ කෙයාහෝම් එකක පාර්ට් ටයිම් වැඩ කරන්න හම්බ උනා…මගෙ දැන් අරමුණ එහෙම එකක්….”

මාලිකා බලාපොරොත්තු සහගතව සිනාවක් පෑවාය.

“ඔයාගේ වැඩේ කොහොම හරි අපි බලමුකො අද…දැන් කාලා ඉම්මු…ෆයිට් කරන්න කලින් කන්න ඕනෙ..”
මාලිකා පෙරැත්ත කරමින් නිලංගාහට කෑමට සැලසුවාය.දිනගණනකට පසු නිලංගා කුස පිරෙන්නට අහරක් ගත්තාය.

“ඩෙසර්ට්…?”
මාලිකා ගේ ඇණවුම් පත අතින් වලකා ලමින් නිලංගා ප්‍රතික්ෂේප කලාය.කුස පිරී ඇතිවා සේම හිතටද එන්නේ සැනසුම් සහගත බ්වකි.

“අනේ බෑ මාලිකා…මගෙ බඩ හොඳටම පිරිලා…තව නම් බෑ  .”නිලංගා සිනාසෙමින් පවසුවාය.

“එහෙනම් මට විනාඩි පහක් දෙන්න…පොඩිම කෝල් එකක් අරන් එනකල්…”
මාලිකා අසුනෙන් නැගී උන්නාය.අවන්හලේ කෙළවරකවූ නිහඬ ප්‍රදේශයකට ගිය ඈ ඇමතුමක විනාඩි ගණනාවක් රැඳී උන්නාය.නිලංගා දෙස විටින් විට බලමින්ද මුවින් පමණක් නොව අත්පා සියල්ලෙහි අභිනයන් පාමින්ද ඇය ඇමතුමේ අනෙක්පස ඉන්නා අය හා කතාබහේ යෙදුණාය.විනාඩි ගණනාවකට  පසු  ඇය නිලංගා වෙත ආවේ සිනා පිරි වතකිනි.

“ඔයාට සුබම ආරංචියක්…නෑ එකක් නෙවේ දෙකක්ම තියනවා මට කියන්න..”
මාලිකා නිලංගා අසළින් ඉඳගත්තේ එසේ කියමිනි.නිලංගා දෑස දල්වා බලාඋන්නාය.

“ඔයාට මතකනෙ බ්‍රයන්..මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්..එයාගේ කසින් බ්‍රදර් තමයි ස්ටීව්..ඔයාට මතකද මන්දා ෆස්ට් ඩේ අපි එක්ක කොෆි ශොප් එකේ උන්න කෙනා…එයාගේ ග්‍රැනී ඉන්නේ බෙඩ් බවුන්ඩ් වෙලා.පඩිපෙළෙන් වැටිලා hip fracture එකක්.ඉතින් හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරලා ගෙදර ආවම එයාව බලාගන්න කෙයාරර්ස් ලා ආවා. ස්ටීව්ලාගේ ෆැමිලි එකේ අංකල් කෙනෙක්ගෙ කෙයා ඒජන්සි එකක් තියනවා.ඒකෙන් තමා කෙයාරර්ස්ලා ආවේ ග්‍රැනීව බලාගන්න.දැන් ඕල්මෝස්ට් වන් ඉයර්…එන එන එක්කෙනා එයා දවසින් රිජෙක්ට් කරනවා…”

“මේක චෑලේන්ජින් එකක් තමා නෙලී.නමුත් ඔයා කැමතිනම් බ්‍රයන් එක්ක මම කතාකලේ ඔයාව ඒ කෙයාහෝම් එකට ස්ටීව් ගෙන් අහලා රෙකෲට් කරවලා ග්‍රැනීව බලාගන්න සෙට් කරවන්න….මොකද කියන්නෙ…මේකෙ බෙනිෆිට්ස් වලින් හොඳම දේ එයාලා ග්‍රැනී ඉන්න එයාගේ දුවගේ ගෙදරම ෆුල් ටයිම් අකමඩෙශන් දෙන්නත් කැමතියි…”

“ස්ටීව්ගෙ ග්‍රැනී ලොකු සල්ලිකාරියෙක්…එයාගේ දුව ..ඒ කියන්නේ ස්ටීව්ගෙ අම්මා…ඒ වගෙම බ්‍රයන්ගෙ නැන්දා මිසිස් සිල්වියාගෙ ගෙදර තමා ග්‍රැනී ඉන්නෙ.මම වතාවක් එහෙ ගියා….වට් අ බියුටිෆුල් බංගලෝ ඉස් දැට්…..”

“ඔයා හිතලා බලන්න නෙලී….කැමති නම් ඔයාව බ්‍රයන්ගෙ නැන්දා ඉන්ටර්වීව් කරාවි….කෙයා ඒජන්සි එකේ පේපර්වර්ක් ඔක්කොම එයාලා කරාවි….ඔයා මොකද හිතන්නෙ…”
මාලිකා විමසුවාය.නිලංගා උගත් යුවතියකි.ඇය සම්බන්ධයෙන් තමා දන්නේ අල්ප කරුණු කාරණා කිහිපයක් පමණි.නමුත් ඇය විශ්වාසය තැබිය හැකි යුවතියක් බව මාලිකා විස්වාස කළාය.

දුටු මුල්ම දවසේ නොපහන් බැල්මකින් තමා දෙස බැලූ ඒ පුද්ගලයා නිලංගාට මතකය. එකත් එකටම මේ කියන ආච්චීද මුණුපුරා සරිම ආච්චි කෙනෙක් වන්නට ඇත.

“ඔන්ලි චැලේන්ජ් එක ඔය ආච්චි ට එහා ස්ටීව්. ස්ටීව් කියන්නේ මිසිස් මේරි මර්ෆිගෙ…ඔය ආච්චිගෙ මුලු ලෝකෙම කිව්වොත් හරි.අනෙක් අතට ස්ටීව්ට ආච්චි ගැන තියෙන්නෙ ඒ වගෙම බැඳීමක්. කලින් උන්න කෙයාරර්ස් ලා යන්න ගිහින් තියෙන්නෙ ආච්චිගෙයි මුණුපුරාගෙයි නීතිවලට වැඩකරගන්න බැරුව….”
මාලිකා සිනාසෙමින් පැවසුවාය.මේ වෙලාවේ හැටියට මරුකටකට වුවද යන්නට තමා කැමති බව නිලංගා නොකියාම උන්නාය.

ලංකාවේ පෞද්ගලික ආයතනයක හෙදියක ලෙස වැඩ කළ කාලයේදීත් අනන්ත අප්‍රමාණ කරදර ගැහැට විඳගත් ආකාරය නිලංගා සිහිපත් කළාය.
මේ නාහෙට නාහන මුණුපුරා සහ හිතුවක්කාර ආච්චිඅම්මාගේ අභියෝගය බාරගන්නට කැමති බව ඇය මාලිකාහට පැවසුවේ සිනාමුසුවමය.

“ඔයා ලස්සන හිනාවෙනකොට…ඒ නිසා චැලේන්ජ් එක බාර අරගෙන හිනාවෙලාම ඉන්න නෙලී..”
මාලිකා සිය අලුත් මිතුරියගේ දෑතින්ම අල්ලාගනිමින් පැවසුවාය.

නිලංගා කාමරයට යළි පැමිණියේ බලාපොරොත්තු සහසක් හිත දරාගෙනය.මාලිකා දල්වා ගියේ එවන් බලාපොරොත්තුවක ආලෝක පුංජයකි. තමා තෝරාගත හොත් මේ කියනා රැකියාව හිතනා තරම් පහසු නොවන බවත් ඇය වටහා ගත්තාය.රැකියාවක කාර්යභාරය තමා කෙතෙක් අවබෝධ කරගත්තද..ඒ සම්බන්ධව තමා හට සියලු කුසලතාවයන් සහ හැකියාවන් තිබුණද..අවශේෂව නැගී එන ගැටලු සහ බාධක බිඳදරා ගන්නට සිදුවන බව නිලංගා අවබෝධ කොටගෙන උන්නාය.

ජීවිතයේ බොහෝ බලාපොරොත්තු එකින් එක අතැඟිලි අතරින් ගිලිහී යද්දීත්  ජීවිතය සහ තමාගේ අනාගතය ගැන ඇති අවම බලාපොරොත්තු අතහැර නොගෙන සිටීම ගැන නිලංගා තමා ගැනම බොහෝ සෙයින් තෘප්තිමත් වූවාය.හෙට දවස අලුතින්ම අභියෝගයකි.මාලිකා පැවසූ සිල්වියා ක්ලිෆර්ඩ්…එනම් බ්‍රයන්ගේ නැන්දා හෙට දවසේ තමා සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ඇත.එය සාර්ථක වුවහොත් නොබෝ දිනකින්ම නව රැකියාව…එනම් අර කියන්නා වූ හිතුවක්කාර ආච්චිඅම්මාව රැකබලා ගැනීමේ දුෂ්කර අභියෝගයට ඇය පත්වනු ඇත.

බලාපොරොත්තු රහිතව ඇරඹූ දවසක්…බලාපොරොත්තු ගොන්නක් සහිතව නිමා වූයේ එලෙසිනි.කාලයකට පසු නිලංගා දවස අවසානයේ සැනසීමෙන් නින්දට වැටුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here