පෙත්මලීගේ කවුන්සලින් සෙශන්ස් අවසන් වීමත් එක්ක මේධාටත් චිරත්ටත් දැනුනේ වෙනදාටත් වඩා තමන්ගේ දෙමව්පිය භූමිකාව දැන් භාරදූර වී ඇති බවකි. පෙත්මලී දැන් සතුටෙන් ඉන්නවා උනත් පෙත්මලී වනාහී සිතෙන් ලෙඩ වී බොහොමයක් දුක් විඳ පරිස්සමෙන් ආයෙම හොඳ තැනකට අරගෙන ආ දරුවෙකු බව අමතක කරන්නට චිරත්ටත් මේධාටත් පුලුවන් උනේ නැත. ඒ නිසාම චිරත් මේධා දෙදෙනාම උන්නේ හැකි සැම වෙලාවකම පෙත්මලී සමග කාලය ගෙවන්නට වෙලාව වෙන් කරගනිමිනි. සතියේ දවස්වල පාසලෙන් පස්සේ ගෙදර විත් හෝම් වර්ක් කර කර සෝමා ආච්චි එක්ක සෙල්ලම් කරන්නට පෙත්මලීට ඉඩ දී මේධා දැන් වෙනදා මෙන් රෑ බෝ වන තුරු කාර්‍යාලයේ රැඳී ඉන්නේ නැතුව වේලාසනින් ගෙදර එන්නෙ පෙත්මලී ඇසුරේ කාලය ගෙවා දමන රිසියෙනි.
“මං දැන් හවසට වෙනදට වඩා කලින් යන්නෙ බබා ඉන්නවනෙ. එයා නැත්තම් අවුල් යනවා මම ගෙදර වැඩිය නැති උනාම” කියා කට්ටියට නිදහසට කාරණා කිව්වට ඇත්තටම හේතුව ඒකමද කියා මේධා සිතුවේ නැතුව නොවේ. වෙනදා කාර්‍යාලයේ රෑ වන තුරු හිඳිමින් වලාකුලු එක්ක පෙම්බස් දොඩමින් හෝ ඔහුව හමුවන්නට යමින් ගත කල කාලය දැන් ඈත දුර අතීතයක් අස්සේ හිර වූ මතකයක් පමණක් වීමත්, පෙත්මලී සමග එක එක විකාර දොඩමින් ගෙවන කාලය ඒ මතක අමතක කර දමා හිත සනසාගන්නට උදව් වෙන බව දන්න හන්දාම තමන් එසේ ගෙදර යන බව හිත කියද්දි එයට විරුද්ධ වෙන්න හැටියක් මේධාට තිබුනේ නැත.
“උඹට දරුව ලඟ හිත නිදහස් කරගන්න පුලුවන් නම් එහෙම ගෙදර ගියා කියන එක වරදක් නෑනෙ. අනික මොකෝ පිට ළමේක් ය උඹේ දරුවනෙ. අනික සමහරවිට වලාකුලු කාරයා උඹට කතා කරන්නෙ නැත්තෙ අර ඉන්ස්ටෝල්මන්ට්ස් ගෙවන්න බැරිවෙච්ච සීන් එක හින්දනෙ. උඹ නිකන් මෝඩි වගේ උට ණයත් අරගෙන දීලා උගෙ බඩු ගන්න අන්තිමේ දැන් ගොනා වගේ ඒකෙ ඉන්ස්ටෝල්මන්ට්ස් එහෙමත් ගෙවනවා” කියා ආලෝකා කිව්වේ පෙත්මලීව බලන්නට ගෙදර ආ වෙලාවකය.
“මං ණය අරගෙන දීපු එක ගොන් කමක් වෙන්නැති. දැන් ඒ වාරික ගෙවන එක මමම කරන එක ඊට වඩා ගොන් කමක් වෙන්නැති. ඒ උනාට මං ඒක නොකර ඉඳියනම් වලාකුලු ගෙව්වෙ නැත්තම් තාත්තා ඕක දැනගත්ත දාට මට විසුමක් වෙන්නෙ නෑ ආලෝකා. මං දැන් ඉන්නෙ ඇත්තටම තව ඔලුවට ප්‍රශ්න කරදර දාගන්න පුලුවන් තැනක නෙවෙයි, මට වෙලාවකට හිතෙනව මේ හැම කරදරයක්ම මම විසින්ම ඔලුවට දාගත්ත ඒව නේද කියල. ඒ උනාට මොකද්ද මම කරන්නෙ අතීතෙට ගිහිල්ලා ආයෙ ඒ වැරදි හදන්නද?” කියද්දී මේධාගෙ හඬෙ වූයේ වෙනදාට එහි තැවරී තිබෙන උද්දච්ච කමවත් තනි තීරණ ගන්නා දැඩි බවවත් නොවේ. ජීවිතයේ බොහෝ දුක් කම්කටලු වලට මුහුන දී ප්‍රශ්න කරදර රැසකට මුහුණ දෙමින් ඉන්න ගැහැණියකගේ අසරණ බවකිනි. ආලෝකාගේ හිත වඩා තෙත්කලේ ආන් ඒ හඬය.
“ජීවිතේ ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට තමයි බං. සමහර ප්‍රශ්න අපි දාගත්ත ඒව. සමහර ඒව මොකක් හරි කරුමෙ හරි පව හරි මොකක් හරි හන්දා අපේ ජීවිතේට එන ඒව. ප්‍රශ්න ආවම ඉතින් කරන්න ඕන අපි ඒව විසඳන් ඉස්සරහට යන එකනෙ. උඹම හිතපංකො දැන් ඔය ඉන්ස්ටෝල්මන්ට්ස් සීන් එක ගෙවල ඉවර කරාට පස්සෙ ආයෙ වලාකුලුට කීයක්වත් නොදී උන්න නම් හරිනෙ. බයවෙන්න දෙයක් නෑනෙ. හිතපං හොඳ වෙලාවට කියල උඹ මැරේජ් එක රෙජිස්ටර් කරන්න ඉක්මන් උනේ නැත්තෙ. එහෙම දෙයක් උනානම් ආයෙම ජීවිතේ කොච්චර කාලයක් ඒ වගේ මිනිහෙක් හන්දා නාස්ති කරගන්න වෙනවද කියල. මොක උනත් උඹට තාම දරුවා ඉන්නවා. අම්මා තාත්තා ඉන්නව. රස්සාව ගෙයක් බිස්නස් එකක් වාහනයක් තියෙනව. මේ වගේම ප්‍රශ්න වලට මූණ දුන්න ඔය වගේ කිසිම දෙයක් නැති මිනිස්සු පවා ඔලුව කෙලින් තියාගෙන ඉද්දි උඹ ඉන්න තත්ත්වෙ එක්ක උඹට කොච්චර හොඳට ජීවත් වෙන්න පුලුවන්ද. මං මේ කියන්නෙ සදා තනිකඩ සීන් එකේ ඉන්න ඕන කියන එක නෙවෙයි. ඒ වගේ තීරණයක් ගන්න ඕන එහෙම තීරණයකට යන්න ඕන වලාකුලු වගේ අවස්තාවාදී මනුස්සයෙක් එක්ක නෙවෙයි කියන එක”
“මට ඇත්තටම තේරෙන්නෙ නෑ වලාකුලුගෙ ඔය වගේ පැත්තක් තියෙනව කියන එක මම ඇයි නොදැක්කෙ කියල?”
“උඹ අහල තියෙනවද කතාවක් ප්‍රශ්න කරදර වල ඉන්න වෙලාවක තීරණ ගන්න එපා කියලා. මොකෝ එතකොට අපි හරිම ඉමෝශනල් සිටුවේශන් එකක ඉඳලා තමයි තීරණ ගන්නෙ. ඒ තීරණ වරදින්න මාර ලොකු චාන්ස් එකක් තියෙනවා. උඹට උනෙත් එහෙම දෙයක්. චිරත් හන්ද හිත රිද්දගෙන උන්න වෙලාවක උඹ වලාකුලුව දැක්කෙ මාරම ග්‍රීන් ෆ්ලෑග් එකක් විදියට. හැබැයි මේධා අපි කවුරුවත් පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. ඕනම මනුස්සයෙක්ගෙ අපි මුලින් දැකපු පැත්තට වඩා වෙනස් පැත්තක් තියෙනව. හොඳම එක්සාම්පල් එක තමයි චිරත්. උඹ මුලින්ම උගේ දැක්කෙ ඌ මහන්සිවෙලා වැඩ කරන, ගමෙන් ආව, දුක් විඳල ගොඩයන්න හදන කොල්ලෙක් විදියට. උඹ උට මුලින්ම කැමති උනේ ඒකට. ඒත් කසාද බැඳල කල් යද්දි ඌට ගොඩයන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා කියල දැක්කම, ඒ වෙනුවෙන් පවුල වෙනුවෙන් වෙන් කරන්න තියෙන ටයිම් එක පවා ඌ වෙන් කරනව කියල දැක්කම උඹට ඌව එපා උනා. වලාකුලු උනත් එහෙමයි. චිරත්ගෙ තිබිච්ච හොඳකම ඌ එදාවත් අදවත් හෙටවත් උඹව තෝරගත්ත නම් තෝරගත්තෙ වෙන මුකුත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙවෙයි වෙච්ච එක. ඌ බොර දියේ මාලුබාන්න හිතුවෙ නෑ. හැබැයි වලාකුලු ඒක කරා. වලාකුලු මුල ඉඳලම තේරුම් ගන්න ඇති හස්බන්ඩ් ගෙන් ඩිවෝස් වෙලා දරුවෙක් එක්ක තනිවෙන්න වෙච්ච තරුණ ගෑණියෙක් වෙච්ච උඹ ඩෙස්පරේට් කියන එක. ඉතින් ඒ ඇණේ ගැහුවෙ තැන බලලා. එක පැත්තකින් අපිට උට වරදක් කියන්නත් බෑ. තනි අතෙන් අප්පුඩි ගහන එකක් නෙවෙයිනෙ බං මෙතන උනේ. උඹත් කැමැත්තෙන්නෙ උට දෙන දෙයක් දුන්නෙ. ඌ ඇවිල්ලා අඬ අඬ දුක කියද්දි උඹත් ඒක අහල හිත රිද්දගෙන තියෙන සල්ලිද අරවද මේවද දෙන්න ගියා. මට ඔක්කොටම වඩා පුදුම මනුර අංකල් ගැන. මේ බිස්නස් ලෝකෙ එක එක කාඩයො දාහක් එක්ක වැඩ කල මනුස්සයෙක් වෙලත් මනුර අංකල්ට ඔය යකාව අඳුරගන්න බැරි වෙච්ච මට හිතාගන්න බෑ. අනික අංකල් ඇත්තටම අංකල්ගෙ සල්ලි දේපල වලට පොඩ්ඩක්වත් කෙල හැලුවෙ නැති චිරත් ට අච්චර අකමැති වෙච්ච එකේ මේ වලාකුලු කාරයට මෙච්චර ලව් එකක් එන්න හේතුව මට හිතාගන්න බෑ”
“තාත්තට ඕන උනේ වලාකුලුව තමන්ගෙ පැත්තට හරවගෙන චිරත්ට රිද්දන්න. තාත්ත හිතන්න ඇති මාවයි වලාකුලුවයි සම්බන්ධ කරන එක චිරත්ට රිද්දන්න හේතුවක් වෙයි කියල”
“චිරත්ට රිද්දල මොනවද මනුර අංකල්ට ලැබෙන්නෙ?”
“ආන්න ඒක තමයි ආලෝකා මම අපේ තාත්තගෙ තාම නොදැකපු පැත්ත. චිරත්ට රිද්දල මොකද්ද අපේ තාත්තට හම්බුවෙන්නෙ කියන එක මට ඇත්තටම එදාවත් අදවත් හෙටවත් කවදාවත් තේරුම් ගන්න පුලුවන් වෙන එකක් නෑ. චිරත්ගෙයි තාත්තගෙයි කොච්චර සමානකම් තියෙද. දෙන්නම ගමක ඉඳල ඇවිත් අමාරුවෙන් ඉගෙන ගෙන සාධාරණව උඩට ගිය මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්නට දෙන්න මෙහෙම ඈත් කරවන්න හේතු උනේ ඒ සමානකමද කියන එකත් මට ඇත්තටම වෙලාවකට හිතෙනවා. මම දන්නෙ නෑ ආලෝකා. මම ඇත්තටම මුකුත් දන්නෙ නෑ”
මේධා කතාව නතර කර තේ කෝප්පය අරගන්නට අත දික් කරේත් සෝමා “අනේ බේබී, අනේ බේබී එන්නකෝ” කියා මහ හඬින් මොර දුන්නේත් එක වෙලාවේය.
ආලෝකාත් මේධාත් අතර හුවමාරු උනේ එක බැල්මකී. මේධා නැගිට්ටේ පුටුවත් පෙරලගෙනය.
ආලෝකාගේ හිතේ තිබ්බේ එකම එක ප්‍රශ්නයකි. ඒ “පෙත්මලීට මොකක් හරි කරදරයක්ද?”