දෙසතියක ඇවෑමෙන් ධනංජයව ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණ. නිර්මිතා පිළිබඳව වූ අවසන් ආරංචිය වූයේ එරට වාසය කරන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් ඇය නිදහස ලබා කඳවුරෙන් පිටව ගිය බවය. නිර්මිතාගේ මවත් නැගණියත් හඬා වැටුනේ ඒ ආරංචියෙන් කම්පා වීගෙනය.
“ සමහරවිට එයාට එහේදී හම්බ වෙච්ච මනුස්සයෙක් එක්ක එයා යන්න ඇති. එයා හැමදාම බැලුවේ එයාගේ ජීවත්වීම විතරයි. මතකද ඉස්සර නිතරම කියනවා ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. එයා එහෙම කිව්වෙ තමන්ගේ වාසියට. නිර්මිතා කියන්නේ පෙරලුණු පිට හොඳයි කියලා තමන්ට වාසි සහගත වැඩක් කරගන්න බලන මනුස්සයෙක්..කරුමෙ කියන්නේ අවුරුදු ගානක් ගිහිල්ලත් ඔයාට ඔයාගේ යාළුවව තේරුම් ගන්න බැරි වෙච්ච එක.”
ඉන්දුමා එසේ පැවසුයේ හසාරා සමග කතා කරමින් සිටි රාත්‍රියකය. සැබවින්ම ඇයව තමාට තේරුම් ගැනීමට නොහැකි වූවාදැයි හසාරා සිතුවාය. සමහර යාළුකම් ගොඩනැගෙන්නේ නිතර හමුවීම් කතාබහ කිරීම් මතය. පසුගිය කාලයේ තමාට විවේකයක් නොවූවත් ඇය නිරතුරුවම තමා ගැන සොයා බලමින් වද වෙමින් උන්නාය. විවේකයක් ලද විට නිවසට පැමිණෙමින් හිතවත්කම් අලුත් කර ගත්තාය. ඔයා මගේ සහෝදරියක්යැයි නිතරම පැවසුයේ ඈය. පසු කලෙක ජීවිතයේ සිදුවුණු පුංචි පුංචි වෙනස්කම් වලදී පවා ඈ තමාගේ සහාය පැතූ බව හසාරාට මතකය.
“ මේ හැමදේම වෙන්න තිබුණු දෙයක් කියලා මට හිතෙනවා. නිර්මිතා කියන්නෙත් ගෑනියෙක් ඉන්දු. ගෑනියෙක්ට වරදින්න යන්නේ හරි පුංචි වෙලාවයි. අපි කොච්චර හිතල මතල ජීවත් උනත් එකම එක පුංචි දෙයක් ඇති අපේ ජීවිතේ වෙනස් වෙනස් වෙන්න. නිර්මිතා කියන්නේ එක පාරක් දෙපාරක් නෙමෙයි තුන් පාරක්ම වැරදුනු ගෑනියෙක් මං ගොඩක් උත්සාහ කළා එයාව ස්වාධීන කරලා එයාට ලස්සන ජීවිතයක් දෙන්න. එයා ජීවිතේ ඉස්සරහට ගියාට එයාගේ හිත තිබුනේ එක තැනක නතර වෙලා. නිර්මිතා කියන්නේ හැමදාමත් තමන්ට ලැබිච්ච දේවල් වලට වඩා නොලැබිච්ච දේවල් වලට ආස කරපු ගැහැණියක්.”
“ උඹ ඉතිං වෙස්සන්තරනේ..ධනංජයගේ ගෙදර අයට කිව්වද එයාගේ ප්ලයිට් එක අනිද්ද උදේ කියලා..”
“ ඔව් නංගීයි මල්ලියි එයි. කොහොමත් එයාව එහෙමම හොස්පිට්ල් එකට තමයි ගෙනියන්නේ.”
“ කොහොම ඉඳපු මිනිහෙක්ද.. නේද බං..එක අතකින් මේවට පව් කියලා කියලත් බැහැ නොකියත් බැහැ.”
පාසල් නිවාඩු කාලය නිසා කොළඹ ගමනට බූවනෙකත් එකතු වූයේ කැමැත්තෙන්මය. ගෙවී ගිය දින කිහිපයේදීම ඔහුගේ වාහනය ගරාජයේ වූ නිසා පාසලට ගියේත් ආපසු පැමිණියේත් හසාරා සමගය. බොහෝ දිනවල විවිධ කාර්‍යයන් පිළිබඳව පවසමින් ඉන්දුමා ඔවුන්ව මඟ හැර සිටියාය. දින දෙක තුනක්ම ඕ පාසලටට පැමිණියේ සැමියා සමගින්ය.
“ එයා මේ දවස් ටිකේ මේ පැත්තෙ වැඩ වගයක් තමයි කරන්නේ..එයත් එක්ක එන්න පුළුවන්කම තියෙද්දි මං ආයේ ඔයා එක්ක එන්න ඕනෙ නෑනේ හසාරා…ගෙදරදිත් අපිට නිදහසේ කතා කරන්න ලැබෙන වෙලාව අඩුයි. ගෑනියෙක් උනහම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දැනගන්න ඕනේ..”
ඉන්දුමා හසාරාට එසේ පැවසූයේ බුවනෙකත් ඉදිරිපිටදීය.
“ එහෙනම් හෙට අනිද්දා හස්බන්ඩ් ට ලොකු ගානක් වියදම් කරන්න වෙයි..”
තිදෙනාම එකම වරක සිනහසුනේ බූවනෙක එසේ පවසද්දීය.
කොළඹ ගමනට බුවනෙකත් කැඳවාගෙන යමුයැයි යෝජනා කළේ ඉන්දුමාය.
“ උඹට හදිස්සියේ ධනංජයත් එක්ක හොස්පිට්ල් එකට හරි යන්න උනොත් මට තනියෙන් වාහනේ ඩ්‍රයිව් කරගෙන එන්න බෑනේ..ඒක නිසා බුවනෙක එක්කරගෙන යන එක කෝකටත් හොඳයි. අනික ඉතින් මේ ඉන්සිඩන්ට් එක බූවනෙකට රහසක් නෙමෙයි නේ…”
ඕ තවදුරටත් ඒ තීරණය සාධාරණීකරණය කරන්නට හේතු පැවසුවාය.
“ ඔයා ඔය කරන්න හදන වැඩේ සාර්ථක වෙයිද…”
ඉන්දුමාගේ සැමියා එසේ ඇසුවේ පාසලේ සිට ආපසු එන අතරේය. ඔහු දින කිහිපයක් නිවාඩු ලබාගෙන සිටියේ පසුගිය සමයේ ආයතනය විසින් සිදුකළ ව්‍යාපෘතියක් උදෙසා දැඩිව වෙහෙස වන්නට සිදු වූ නිසාය.
“ මං ඉස්සර කැමැත්තෙන් හිටියා හසාරයි එයාගෙ අම්මයි තාත්තයි ලඟට යනවට. අපි කොහොම කිව්වත් ගෑනියෙක්ට තනියම ජීවත් වෙන එක ඒ තරං ලේසි දෙයක් නෙමෙයි. සල්ලි වලින් මිනිසුන්ගේ ආදරය කරුණාවෙන් හසාරට අඩුවක් වෙන එකක් නෑ. ඒත් හසාරා කියන්නෙත් මං වගේම තරුණ ගෑනියෙක්. එහෙම ගෑනියෙක්ගේ හදවතේ තියෙන හිස්තැන වේදනාව මට තේරෙනවා. බුවනෙක කියන්නේ මම දැකපු නියමම පිරිමියෙක්. හසාරගෙ වගේම බුවනකගේ හිතත් හරිම ලස්සනයි. ඒ දෙන්නම තමන් වෙනුවෙන් ජීවත් වෙන්න උපන් මිනිස්සු නෙමෙයි. එහෙම මිනිස්සු එකට එකතු උනහම මේ ලෝකේ හරි ලස්සන වෙනවා. මං හිතනවා මම මේ කරන උත්සාහය නිවැරදිම උත්සාහයක් කියලා..කාලයක් යයි. ඒ උනාට ඒ කාලෙදි එයාලා එකිනෙකාව අඳුන ගනියි..”
ඉන්දුමා එසේ පැවසූයේ විශ්වාසයෙන්ය. පසුගිය සමයේ ඔහුට හසාරාත් බුවනෙකත් දෙදෙනාම එක ලෙසම ඇසුරු කරන්නට ඉඩ ලැබිණ. සමීරගේ සිතෙහි පවා දෙදෙනා ගැනම වූයේ පැහැදුමකි. තම බිරිඳ හසාරා පිළිබඳව තැවීමෙන් ජීවත්වන බව ඔහු දනී. විවේකීව ගතකරන හෝරාවලදී පවා ඈ තම තුරුලට වී ‘ හසාරා පව් මහත්තයෝ..’ යනුවෙන් පැවසූ අවස්ථා බොහෝය. ඇය විශ්වාස කළ පරිද්දෙන් කිසිම ගැහැණියක හෝ පිරිමියෙකු තම ජීවන ගමනේ තනි විය යුතු නොවේ. එය සිත පාරවන අත්දැකීමක් බව විශ්වාසය.
හසාරාත්, බුවනෙකත්, ඉන්දුමාත් කොළඹ ගමනට පිටත් වූයේ සිකුරාදා රාත්‍රියේය. කසුන් ඔවුනට තමාගේ නිවසේ නැවතිය හැකියැයි යෝජනා කළත් හසාරා එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ කාරුණිකවය. ධනංජය රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගොඩ බැස්සවීමට නියමිතව තිබුණේ පාන්දර හතරයි හතළිස් පහටය. කසුන් හතර වද්දීම ගුවන් තොටුපලට පැමිණ හසාරාට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.
“ ඇත්තටම ඔයාලට පින් නංගිව බලා බලා ගන්නවට..”
ඉන්දුමාත්, බුවනෙකත් හඳුන්වා දුන් පසු ඔහු පැවසූයේ දෑත් එක් කරගෙනය.
“ මේ තමයි ධනංජයට ඉඳපු හොඳම යාළුවා වෙලාවකට සහෝදරයෙක්, තාත්තා කෙනෙක් වගේ..මොන හේතුවකටද මන්දා මේ දේවල් සිද්ධ වෙද්දි ධනංජය කසුන් අයියවත් එයාගේ ජීවිතෙන් ඈත් කලා..”
“ ඒක එයාගේ වෙලාව හසාරා. තමන් මේ ගන්නෙ වැරදි තීරණයක් කියලා ඒ වෙලාවේ ධනංජයට අවබෝධ කරගන්න තරම් ශක්තියක් තිබුණෙ නෑ. ඉතින් එයාට හරි දේ අවබෝධ කරවන මිනිස්සු දැනෙන්නේ එයාගේ හතුරො විදිහට..”
“ මල්ලිට කියන්න ඒ දවස්වල ධනංජයට නානාප්‍රකාර යාළුවෝ හිටියා. මිනිහා අන්තිම කාලේ සෑහෙන්න බොන්න පටන් ගත්තා. ඔය එක යාළුවෙක්ගෙන්වත් හරි උපදෙසක් ලැබුන කියල මං හිතන්නේ නෑ. අද ධනංජයට මොකද උනේ කියලා හොයලා බලන්න ඔය එක යාළුවෙක් නෑ.”
“ මං අහලා තියෙනවා අයියේ අපල කාලේ ගෙවිලා යන්නේ එහෙම තමයි කියලා. ඔය කීමටත් කියන්නේ සෙනසුරු අපල ගෙවෙන්නේ අතක් පයක් කඩාගෙන කියලා. ඒ කාලෙට හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නෑ.”
තිදෙනා එසේ කතා කරමින් සිටියදී හසාරා සිටියේ වෙනමම කල්පනාවකය. තමාට යළි කෙදිනකවත් ධනංජය දකීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ඈ සිතා සිටියාය. දෛවය පුදුමාකාර එකකි. මගහැරී ගිය අතීතයේ සිත රිදුණු දසුන් එකින් එක ඈ ඉදිරිපිට මැවී නොපෙනී යන්නට බොහෝ වේලා ගත වූයේ නැත. ධනංජය තමාව හැරදා ගියායැයි මුල් වරට දැනගත් මොහොතේ සිතට දැනුනු වේදනාව ඇයට අද මෙන් මතකය. තම ශරීරයේ කොටසක් වෙන්ව ගියා බඳු වේදනාවකින් ඈ පීඩා වින්දාය. කිසිඳු ගැහැණියක හෝ පිරිමියෙකු ඒ වේදනාව දැරිය යුතු නොවේයැයි ඈ පසු කලෙක සිතුවාය.
ලෝකයට රහසින් රාත්‍රීන් ගණනාවක් පුරා එක දිගට හඬා වැටුණු ආකාරය හසාරාට අද මෙන් මතකය. ඇයට දැනුනේ තමා පතුලක් නොපෙනෙන ගැඹුරු ආගාධයක ගිල මෙන් සිටින අයුරකි. සිය වෘත්තීමය ජීවිතයේ කුමන තැනක සිටියත් ඔහු හා බෙදා ගත් පුද්ගලික ජීවිතය තනිවම ගලපා ගත හැකි ක්‍රමයක් හසාරා දැන සිටියේ නැත. මින් එහාට කළ යුත්තේ කුමක්දැයි අසන්නට කෙනෙකු ඇයට වූයේ නැත. මේ හැරයාම සැබෑවටම සිදුවූ එකක්යැයි පසක් කරගන්නටත් තමාට කාලයක් ගත වූ බව මතකය.
අදටත් යටපත් නොවූ වේදනාවක් දිය යට එබ්බ වූ රබර් බෝලයක් සේ උඩට මතුව විත් වරින් වර රිදුම් දේ. සැමියා අහිමි වූ ගැහැණියකට තනි යහනක ගෙවා දමන රාත්‍රිය දිගු වූ එකකි.
අදටත් ඇයට ධනංජයගෙන් අසන්නට ඇත්තේ එකම එක පැනයකි..වසර ගණනාවක ප්‍රේමය එකම එක තප්පරයකින් කිසිවක්ම නොවිමසා අතහැර දමන්නට තරම් ඒ සිත කුරිරු වූයේ කෙලෙසකදැයි හසාරාට තවමත් නොතේරේ.
“ අක්කේ අපි පරක්කු උනේ නෑ නේද…”
හසාරා ගැස්සුනේ එසේ අසමින් කිසිවකු පැමිණ තමාගේ දකුණතින් අල්ලා ගනිද්දීය. ඇය අසල සිටගෙන සිටියේ ධනංජයගේ නැගණියයි. පිළිවෙලට ඒ පිටුපසින් ඇගේ සැමියාත් වසර දෙකක් පමණ වයස ඇති කුඩා දියණියත්, සොයුරාත් විය. හසාරා මුලින්ම සිනහසුනේ කුඩා දියණිය සමගින්ය. ඇගේ කරෙහි තවමත් දිළිසෙමින් තිබුණේ හසාරා තෝරාදුන් පංචායුධයයි.
“කොහොමද මල්ලි….”
“ ඉන්නවා අක්කේ…අයියගේ මේ ප්‍රශ්නේ හින්දා අපි හැමෝගෙම ජීවිත එක තැනක නතර වුණා වගේ..ඇත්තමයි අක්කට සිද්ධ උනේ ලොකු අසාධාරණයක්..මේ බවක් කලින් දැනගෙන හිටියනං කීයටවත් අයියට මේ වගේ තීරණයක් ගන්න ඉඩ තියන්නෙ නෑ අක්කේ.”
ධනංජයගේ සොහොයුරා පැවසූයේ ඉවත බලාගෙනය. තමාගේ මුහුණ බලන්නට ඔහුට වන අපහසුව හසාරා හැඳින්නාය. ඔහු තමාව හැරදා ගෙවී ගිය කාලය මාස අටකට ආසන්නය. ඒ මිනිස් ජීවිතය ගතවන කාලයෙන් කෙටිම කෙටි වූ කාලයකි..
සොයුරාට යමක් පවසන්නට වදනක් ගලපා ගැනීමේ හැකියාවක් හසාරාට වූයේ නැත. සියල්ල පිළිබඳව ඇයට දැනෙමින් තිබුණේ කලකිරීමකට සමාන වූ හැඟීමකි.
“ අක්කේ අම්මයි තාත්තයිත් ආවා. බොහොම අමාරුවෙන් එයාල දෙන්න වාහනේ තියලා අපි මෙතනට ආවේ. අන්තිමට අපිට කිසි දෙයක් හංගන්න බැරුව ගියා. මල්ලි කිව්වේ එහෙම හංගන්න ඕනෙත් නෑ කියලා. අයියා මොන තත්වෙන් ආවත් අපි එයාව බලාගන්න ඕනේ අක්කේ. තවදුරටත් මේවා අම්මටයි තාත්තටයි හංගන එකේ තේරුමක් නෑ…”
අවසන ධනංජයගේ නැගණිය එසේ පැවසුවාය. හසාරා හිස වැනුවේ ඇයව අනුමත කරමින්ය.
“ නංගී ප්ලයිට් එකනම් ආවා..ඔයයි මමයි ධනංජයගේ මල්ලී විතරක් ඇතුලට යමු නේද. පේෂන්ට් කෙනෙක් නිසා අපිට එයාව බාරගන්න වෙයිනේ. සමහර විට මේ කාටවත් මෙතනදි ධනංජයට කතා කරන්න බැරි වෙයි. එහෙම උනොත් මං බුවනෙක මල්ලිට කිව්වා කට්ටියවත් එක්කරගෙන මීගමුව හොස්පිට්ල් එකට එන්න කියලා.”
කසුන් පැමිණ පැවසූයේ හසාරාගේ සිත පුදුමාකාර අයුරින් නොසන්සුන් කරමින්ය. ඔහු තමාව හැරදා ගිය දිනයේ සේම අදත් මේ හදවත ඉඳිකටු තුඩකින් ඇන පාරන්නා සේ රිදුම් දෙමින් තිබිණ. අහේතුකවම ඇයට බැලුනේ බුවනෙක දෙසය.
“ හිත හයිය කරගෙන මේ හැම දේකටම මුහුණ දෙන්න. සමහර අවස්ථා තියෙනවා අපිට ඒ අවස්ථාවලින් පැනලා යන්න බැරි. ඒවට ෆේස් කරන්නම සිද්ධ වෙන. මේකත් ඔයාගේ ජීවිතේ එහෙම අවස්ථාවක් කියලා හිතන්න. මම දන්න හසාරා තමයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම ගැහැනිය…”
අඩියක් දෙකක් ඉදිරියට තබා හසාරාට ළං වූ ඔහු පැවසූයේ මඳ හඬකින්ය. ඉන්දු මාත්හිස වැනුවේ ඔහුට අවනතවය. අවසන ඕ ඔහු කසුනුත්, ධනංජයගේ සොහොයුරාත් පසු පසින් පිය මැන්නාය.
( යළිත් හමු වෙමු ආදරයෙන්……)