කසුන් සාද බර මිනිහෙක්. කැම්පස් කාලේ ඉඳන්ම කසුන්ට සාදයක් කිව්වොත් ඊට වඩා දෙයක් තිබුණේ නැහැ. අඩක් මත් වෙලා, ගිටාරය වාදනය කරන ගමන්, පාවෙවී ගීත කියන සවස් වලින් ඇරඹෙන රැයවල් කසුන්ට එපා නොවෙන තරම්.
කැම්පස් කාලේ ප්‍රේමය අහිමි වුනාට පස්සේ, ජීවිතේ ඒ පැත්ත මකලාම දාපු කසුන් යාලුවොන්ගේ සාද වල ආරාධිත අනිවාර්ය සාමාජිකයෙක් වුනා. ආදර සම්බන්ධතා, විවාහය වගේ කාරණා කසුන්ගේ ජීවිතෙන් එහෙමම පැත්තකට වුනා.
අවුරුදු ගානක් ඔහොමම ගෙවුණා
“චූටි පුතා .. හෙට අපි ගමනක් යනවා…ලෑස්ති වෙන්න …”
අම්මා එහෙම් කියනකොටම කසුන් ගමන ප්‍රතික්ෂේප කරන්න සූදානම් වෙලා උන්නත්, ලොකු අය්යලයි, අක්කලයි ඔක්කොමලා හවස් වෙනකොට ගෙදරට පිරුන නිසා කසුන්ට ඒ යෝජනාවට අවනත වෙන්න වුණා.
” තිමාලි …”
කසුන් ඇගේ නම ඇහුවම ඇය එහෙම කිවා. කසු න් තමාවත් ඇයට හඳුන්වලා දුන්නා. අම්මලා අම්මලා නම් කසාදේ තීරණය කරගෙන වගේ හැසිරුනේ.
” කතා බහ කරලා බලන්නම් ඉතින්.. හැබැයි ඔව්වා කෙරෙනවාම හිතන්න එපා…”
කසුන් අන්තිමේදි එහෙම කිවේ ඒ තරම පැහැදිළි අදහසක් එක්ක නෙවෙයි. ඒ වගේම එහෙමයි කියාගන්න නොදැනෙන අදහසක් හිතේ කොනිති ගහන බව නොවැටහීත් නෙවෙයි. කොහොම හරි කසුන් එහෙම කිව්වා.
ඒ කිව්වා වගේම තිමාලි කසුන් එක්ක පොඩි පොඩි කතා බස් වලට පැටලුණා. සමහර දවස් වල පැය ගණන් කතා කලා. ඒ ගොඩක් ඇමතුම් ඉවර වුනේ එකම වාක්‍යකින්
” තව ටිකකින් එලියට යනවා.. වැඩ වගයක් තියෙනවා…..”
ඉතින්, කසුන්ගෙ සාද ජීවිතේ නම් අඩුවක් තිබුණේ නැහැ. සතියකට එක පාර්ටියක් හරි වෙනුවෙන් කසුන් කාලය හොයාගත්තා.
” පාර්ටියක් කියන්නේ බීලා නටලා සින්දු කියන එකනේ… මට නම් ඕක මහ විකාරයි…”
සරසවි පෙම්වතිය ඔහොම කියපු හැටි මතක් කර කර කසුන් යන එන විස්තර,සාද වල කතන්දර හිතා මතාම තිමාලිගෙන් හැංගුවා. තිමාලිත් ඒ ගැන එහෙමට අහන්න උනන්දු නොවුන නිසා කසුන් ඒ ගැන උනන්දු උනෙත් නැහැ.
” ඔයාගේ ඔය පාර්ටි කෙරුවාව නම් නවත්තගන්න වේවි මල්ලී ඈ.. අර නංගි එහෙම් පාර්ටි ගර්ල් කෙනෙක් නෙවෙයු…”
අක්කා දවසක් එහෙම කියනකොට කසුන් තමන්ට නෙවෙයි ගානට හිටියා.
” බීලා බීලා ඔහොම ඔයා අසනීප වෙලා යාවී මල්ලී අනෙක … සතිපතා ඔහොම බීගෙන වාහනේ ඩ්‍රයිව් කරලා ඔයා දවසක මහ විනාශයක් කරගන්නවා අනෙක…”
“මම මගේ ලිමිට් එක දැනගෙන බොන්නේ… අනෙක මං මෙච්චරකල් එහෙම චාටර් වෙලා තියෙනවාද ? ..”
” මං මේ කියන්නේ පොලිසියෙන් දඩ ලියනඑක ගැනම නෙවෙයි මල්ලී..”
” හරි හරි .. ආයේ ආයෙම එකම කතාව කියන්නෝන් නෑ අක්කා.. මට තේරෙනවා මං ඉන්න ඕනි ලිමිට් එක …”
” ඒක දන්නවානම් හොදයි.. නොදන්නවා නම් තමන්ගේ ජීවිතේ ට අලුත් සම්බන්ධතා හදාගන්නකොට ඒ ගැනත් හිතන්න…. මොකද , ඔයාට ඕනි විදියටම ජීවත්වෙන එක නෙවෙයි පවුලක් හැටියට ඉන්න තව කෙනෙක් ජීවිතේට ලං කරගන්නකොට තියෙන වගකීම …. ඒක තේරුම් ගන්න…”
අක්ඛා එහෙම කිව්වාට කසුන්ගේ පුරුදු වෙනස් වුනේ නැහැ.
අන්තිමේදි කසුන් තිමාලි එක්ක විවාහ වුනා. දෙන්නාත් එක්ක වෙනම නවාතැනක නැවතුනා. කාර්යාල රැකියා දෙකක් කල නිසා එකම වෙලාවට ගෙදර් ගිහින් එකම වෙලාවට තමයි දෙන්නම ගෙදර ආවේ. සෙනසුරාදා ඉරිදා දෙන්නා කලේ කඩේ යන එක , අම්මලා බලන්න යන එක වගේ පොඩ් පොඩි වැඩ.
ටික දවසක් යනකොට තිමාලිට වැටහුණා මුල් කාලේ තමන් දැනගෙන උන්න කසුන් ටිකෙන් ටික ක්ෂය වෙලා යන වග. ඇය ඒ වෙනුවෙන් හේතු සොයාගන්න සෑහෙන්නම උත්සාහ කලත්, කසුන් පහසුවෙන් ඇයට නිරාවරණය වුනේ නැහැ. වෙත් එහෙමයි කියලා කසුන් තිමාලිව නොතලා ඉන්නේත් නැහැ.
තිමාලි මේ ගැන කාර්යාලයේ සමීපම මිතුරියක් එක්ක කතා කලා.
” උඹට ශුවර්ද කසුන් උඹව මැරි කලේ කැමැත්තෙන් කියලා…”
“ඔව් අනේ.. ඔව්… ආයේ ඒ ගැන කිසිම සැකයක් නැහැ….අපි සෑහෙන්නම කාලයක් කතා බහ කරලා අවබෝධයක් ඇතිව නේ තීරණය කලේ…”
“ඌට වෙන ලයින් එකක් තියෙනවද දන්නේ නෑ…”
” එහෙම එකක් නම්නෑ.. සීයට දාහක් ශුවර් … එයාගේ කැම්පස් ලව් එක් නැති උනාට පස්සේ එයාට එහෙම මුකුත් තිබිලාම නෑ..”
“එහෙනම් මොකක්ද අප්පා ..”
” හිතාගන්න බෑ.. එයා ඉන්නේ හිර වෙලා වගේ… විශේෂයෙන්ම සති අන්තේ… රොබෝවෙක් වගේ…”
තිමාලි එහෙම කිව්වා.
” මං කියන්නද.. හොඳම වැඩේ උඹ කසුන්ගේ අක්කා එක්ක කතා කරලා බලපං… අපි නොදන්නවා වුනාට කසුන් ගැන අක්කා දන්නවානේ… අනෙක, කසුන් මුකුත්ම කියන්නේත් නැත්නම් වෙන විකල්පයකුත් නෑනේ….”
අන්තිමේදි තිමාලි නිවාඩුවක් දාලා අක්කව මුණ ගැහුණා
” හ්ම්ම්.. මං ඒත් හිතුවා ඔය මැට්ටා හැදිලා ඇති කියලා..”
“ඒ කිව්වේ අක්කේ..”
“ඔය කැම්පස් ලව් එක බ්රේක් උනාට පස්සේ අපේ මල්ලිට බීලා පාර්ටි දදා සින්දු කියන දවස් හරියට තිබ්බේ නංගී.. යාළුවෝ එක්ක එහෙම සෙට් එන එක උගේ ඇඟේ කොටසක් ගාණයි . බොනවා කිව්වට එහෙමම බොන්නේ නෑ.. අර මූඩ් එකේ සින්දු කියලා, එහෙම සෙට් වෙන එක තමාකලේ…”
තිමාලිට හැමදේම වැටහුණා. කසුන් තමන් එක්ක විවාහ වෙලා තියෙන්නේ ඔහුව මරලා දාලා බව තේරුම් ගත්තා.
” සෙනසුරාදා ඔයා ෆීද ..?”
තිමාලි ඇහුවා.
“යමූ .”
කසුන් හිතුවේ වෙනදා වගේ අම්මලාව බලන්න යන්න සූදානම් වෙනවා කියලා.
” මං ඇහුවේ අනේ ඔයා ෆ්‍රීද කියලා..?”
තිමාලි ආයෙම ඇහුවා.
” ඔව් ඔව්ව්.. එහෙමට වැඩක් නැහැ.. ඇයි ?”
” සෙනසුරාදා මගේ යාලුවෙක්ගේ පබ් එකක පොඩි ඊවිනින් ෆන්ක්ශන් එකක් තියෙනවා… එනවාද අහන්න හැදුවේ ?”
” ඒ කොහෙද ?”
කසුන් උවමනාවෙන් විස්තර ඇහුවා. තිමාලි උවමනාවෙන් විස්තර කිව්වා.
” යමු…”
කසුන් කිව්වා.
කසුන් මෝටර් රියට ගොඩ වුනේ ගිටාර් එකත් එක්කම.
” ඔයා ගිටාර් ගහන එක නැවැත්තුවේ අපරාදේ…”
තිමාලි කතාවට ඇරඹුමක් ගත්තා. කසුන් හිනාවුනා.
” මට තනියෙන් එහෙම ප්ලේ කරන්න සෙට් වෙන්නේ නෑ තිමාලී.. සෙට් එකක් ඉන්නෝනි ඉතින් …”
” ඉතින් සෙට් එකක් ඉන්න තැනකට යමුකො…”
” එහෙම ඉතින් යන්නේ කොහොමද ?”
“මේ යනවා වගේ ඉතින් සති අන්තේට යමූ.. එහෙක නැත්නම් කට්ටියට අපේ ගෙදර එන්නත් කියමූ ..”
කසුන් පුදුමෙන් තිමාලි දිහා බැලුවා.
” මම පාර්ටි පර්සන් කෙනෙක් නම් නෙවෙයි … ඒත් ඔයාට හරි ආදරේ කෙනෙක් … ඔයාගේ පාර්ටි මූඩ් එක ඒ නිසා මට හුරු වෙන්න කැමති අලුත් අත්දැකීමක්… මං ආසයි ඒකට “
තිමාලි හුස්මක්වත් ගන්නේ නැතිව කියලා දැම්මා. කසුන් හුස්ම ගන්න අමතක වෙලා වගේ බලාගෙන හිටියා.
” ඇත්තටම ආදරේ කියන්නේ, අපි ආදරේ කෙනා ලඟ තියෙන අපිට දරාගන්න අපහසු සමහර තැන් පවා දරාගන්න එක ..”
ගුවන්විදුලියේ නිවේදිකාවක් එහෙම කියනවා ඇහුණා. කසුන් සැනසීමේ හුස්ම හරි බරට හෙලුවා.
ReplyForwardAdd reaction |