වියෝ ගී ගැයෙනා හදේ – 52

0
5170

“ඔයාට අරයා කතාකරාද?” කියා අම්මා ඇවිත් ඇහුවේ මේධා දිවා හෝ රාත්‍රී ආහාරය වෙනුවෙන්වත් පෙත්මලීගේ ඇඳ ලඟින් හෙල්ලෙන්නේ නැතැයි තීරණය කර තිබුණ හන්දාය.රෑ කෑම සඳහා පුච්චපු පොල් රොටිත් ලුණු මිරිසුත් බටර් ටිකකුත් පිඟානක තබාගෙන ආ අම්මා එය මේසය මතින් තබා ඇසුවේ කුමක්ද කියන එක ගැන හිතාගන්න බැරි තැනම මේධා අම්මා දෙස බැලුවේ දෙනෙත් කුඩා කරගෙන කුතුහලයෙන් ය.

“කවුද චිරත් ද?” කියා මේධා දෙනෙත් කුඩා කරගෙන අහද්දී කමලිනීගේ මූණට ආවේ නොරිස්සුමකි. 

“දැන් මෙච්චර දවසක් ඔයා කතා බහ කරේ එහෙ මෙහෙ ගියේ චිරත් එක්කද? නෑනෙ. මං අහන්නෙ අර වලාකුලුද කවුද ගැන” කියා අම්මා අහද්දි අම්මා තකහනියේ වලාකුලු ගැන අහන්නේ ඇයිද කියන එක ඇත්තටම මේධාටත් ප්‍රශ්නයක් උනි. පෙත්මලීගේ අනතුර දවසේ උදේ තමන් වලාකුලු අමතන්න උත්සහ කරද ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිතව තිබූ බවත්, තමන් ඉන්පසුව ඔහු අමතන්න උත්සහ කලේ නැති බවත්, වලාකුලු තමන්ව ඇමතුවෙ නැති බවත් මේධාට මතක් උනේ අම්මා විසින් මේ කතාව ඇදගත්තයින් පස්සේය. 

“මං කතා කරේ නෑ අම්මෙ. ඇයි එහෙම ඇහුවෙ?” කියා මේධා ඇහුවේ ඇත්තටම අම්මා අහන දේ හිතාගන්න බැරි හන්දාය.

“අනේ මන්දන්නෙ නෑ ළමයො. ඔයාලා මේ ඔයාලගෙ ඔලුවට කරදර දාල අපෙ ඔලුවලටත් කරදර දානවනෙ” කියා අම්මා නොකියා කියන්නේ හිත රිද්දන කතාවක් බව තේරුම් ගන්නට මේධාට අපහසු උනේ නැත.

“ඒ මනුස්සය මොකද්ද තාත්තා එක්ක කරන බිස්නස් එකකට ලොකු ණයක් අරගෙන. බිස්නස් එකේ වැඩ ගැනත් සද්දයක් නැතිලු, සල්ලි ගැනත් සද්දයක් නැතිලු. කෝල් කරාට දැන් දවස් ගාණක ඉඳල ආන්ස්වර් කරන්නෙත් නෑ කියල තාත්තා හරිම අවුලෙන් ඉන්නෙ” කියා අම්මා කියද්දි මේධා ඉඳගෙන උන් තැනින් නැගිට්ටවුණාය. මේ ඇහෙන්නේ තමන් අහන්න උන්නු ආකාරයේ කතාවක් නොවේ. වලාකුලු කිසිම වෙලාවක තාත්තාගෙන් සල්ලි ඉල්ලනවා ඇතැයි තමන් කිසිසේත් නොහිතූ බව අම්මාට කියාගන්න බැරුව මේධා උන්නේ වචන අමතක උනාක් පරිද්දෙන් ය.

“වලාකුලු, තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන?” කියා අම්මා දිහා බලන ගමන් අම්මාගෙන් එහෙම අහගෙනම මේධා ඉඳගෙන උන් තැනින් නැගිට්ටාය. අවුරුදු තිස් ගාණක් තිස්සේ දැන අඳුනගෙන උන් තමන්ගේ දරුවාගේ වචන වලත්  තැවරී තිබුණ තිගැස්ම හඳුනාගන්න කමලිනීට අපහසු උනේ නැත. ඒ තිගැස්ම පිටුපස්සේ සැඟවී තිබුන තමන් නොදත්, මේධා හොඳින් දන්නා කාරණාවක් ගැන සැක හිතා ඒ ගැන අසන්න කමලිනී සිතුවේ ඒ නිසාමය. 

“බබා මට දැන් කියන්න එපා ඔයත් මේ තාත්ත වගේම ගොං කමක් කරා කියල. මම ඒත් තාත්තිටත් හොඳටම බැන්නා මේ අද ඊයෙ දැනගත්ත මිනිස්සුන්ට ඔහොම ලක්ශ ගණන් සල්ලි දෙන්න යනවද කියන එක. දැන් ඔයත් ඒ ගොංකමම කරලද? මං දන්නෙ නෑ මේධා ඔයා නම් පුදුම මෝඩ ළමේක්. ජීවිතේ මෙච්චර දේවල් උනාට පස්සෙත් ඔයාට තාම මිනිස්සු අඳුරගන්න බැරිඋනා කියන්නෙ අනේ මන්දන්නෙ නෑ ළමයො මට තේරෙන්නෙ නෑ ඔයාලට කොහොමද මේ දේවල් තේරුම් කරවලා දෙන්නෙ නෑ. දැන් ඔයා තාත්තා වගේ කීගුණයක් ඔය මනුස්සයට පූජා කරලාද ඉන්නෙ?” කියා අම්මා ඇහුවාට මේධා උන්නේ අම්මා කියන කිසිම දේකට සවන් දීගෙන නොවේ. එක දිගටම දුරකතනය අතට අරගෙන වලාකුලුගේ අංකය අංකනය කරමිනි. එහෙත් වෙනදා එක ඇමතුමකින් සම්බන්ධ වන වලාකුලු මෙදා පාර උන්නේ ඇමතුම් දහයක් පමණ ගත්තද ඒ කිසිවක් හා සම්බන්ධ නොවන පරිද්දෙන් දුරකතනය ක්‍රියා විරහිත කරගෙනය. කොතන හෝ තැනක් වැරදී ඇති බවත්, ඒ වැරදීම හදන්න බැරි බවත් මේධාට තේරුම් ගියේ දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවට ඇහෙන කටහඬ ඔස්සේය.  ඒ වැරදීම තමන්ගේ අතෙන් වුන වැරදීමක් කියන හැඟීමට වඩා මේධාගේ හිත රිද්දුවේ තමන් එපමණ විශ්වාස කල වලාකුලු විසින් මෙලෙස හීන් සැරයෙන් තමන්ව මෙන්ම තාත්තාව පවා රවටා ඇති එකය.

“තාත්තා ඇයි නිකමටවත් ඔය විත්තිය මට කිව්වෙ නැත්තෙ?” කියා මේධා නොරිස්සුමෙන් කමලිනී දිහා බලද්දි කමලීනී උන්නෙත් මේධා දිහා එක එල්ලේම බලාගෙනය. 

“තාත්තට ඒ මනුස්සයා කියලා තියෙන්නෙ මේධා දැනගත්තොත් හරි නෑනෙ එයාට ටිකක් අවුල් කියල. ඒක හන්ද තමයි තාත්තා ඔයාට කියන්නෙ නැතුව ඒ මනුස්සයට සල්ලි දීලා තියෙන්නෙ. තාත්ත හිතල මොක උනත් මිනිහට ලැජ්ජ නැති කියල තාත්තගෙන් සල්ලි ඉල්ලගත්ත එක ඔයා දැනගත්තොත් කියලා. ඒ මනුස්සය අනික සල්ලි ඉල්ලල තියෙන්නෙ මොනවද මේ කැමරා බඩු වගයක් ගන්න ඕන කියල. තාත්ත ගෙ හැටි දන්නවනෙ. තාත්තට මම මුලිනුත් කිව්වා ඔය මිනිස්සුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා කියල. දවස් කීයද කතා බහ කරල උනත් තියෙන්නෙ. එහෙම එකේ මේ ලක්ශ ගණන් දෙනවද ළමයො කිසි බයක් නැතුව. අනික මේ තාත්තා එහෙම කොල්ලෙක්ට රැවටෙන්න ඕන මනුස්සයෙක්ද? බිස්නස් කරන මිනිස්සු එහෙම අහුවෙනවද කියන්නකො. මං කියන දෙයක් අහන්නෙ නෑ ඉතින්. දැන් ඉන්නවා මූණ දෙල් කරගෙන” කියා අම්මා කියද්දිත් වලාකුලු තමන්ව මෙන්ම තාත්තාව රවටන්නත් පාවිච්චි කර තිබෙන්නේ එකම ආකාරයක බොරුවක් බව තේරුම්ගත්තාය. වලාකුලුගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබෙන එකෙන්ම පෙනෙන්නේ ඔහු විසින් අවශ්‍ය සියල්ල කරගෙන පලා ගොස් තිබෙන බව උනත් මේධා වලාකුලුගේ කාර්‍යාලය වෙත ගොස් ඔහුව හමුවන්න තීරණය කරාය.

“ඔයා කීයක් දුන්නද?” කියා අම්මා ඇහුවද මේධා උන්නේ එයට උත්තර දෙන්න පුලුවන් තැනක නොවේ. තමන් වලාකුලුට බැංකුවේ තිබුන එෆ් ඩී එකක සල්ලි මෙන්ම ලෝන් එකක්ද අරගෙන දුන් බව පැවසුවහොත් එය අම්මා තමන්ට දෙහි කපන්නට හොඳටම හේතුවක් කරගන්න බව දන්න හන්දාම මේධා බාතෘම් එකට ගොස් දොර වසාගෙන කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේ මූණ දිහා බලාගෙනම කල්පනා කර කර උන්නාය. 

වලාකුලු පසුගිය දින කීපයේම කිසිවක් කතා නොකර, කිසිම කෙටි පණිවිඩයකට රිප්ලයි නොකට, දුරකතනය ඕෆ් කරගෙන ඉන්නට එකම හේතුව මේ විදියට තාත්තාව මෙන්ම තමන්ව රැවටීම බව තේරුම්ගන්නට මේධාට අපහසු උනේ නැත. හිත අස්සේ තරහත් දුකත් එක හා සමානව පිරෙද්දි දෙනෙත් කඳුලින් පිරෙන්නට ගියේ විනාඩියකටත් අඩු කාලයකි. 

“අනේ ඇයි වලාකුලු ඔයා මාව මෙහෙම රැවැට්ටුවෙ?” කියා අඬන්න තිබුනා නම් හොඳ නමුත් පසුගිය කාලයේ වෙච්ච දේවල්වලින් හිත හයිය කරගෙන උන් මේධා කම්මුල් දිගේ ගලා ගිය පලවෙනි කඳුලු රැල්ල අතෙන් පිසදාන ගමන් අඬන්නේ නැති බව තමන්ට කියාගත්තාය.

ආලෝකාට දුරකතන ඇමතුමක් අරගන්නට මේධා කටයුතු කලේ මේ බවක් කාට හෝ කීම හිත පොඩ්ඩක් හෝ නිදහස් කරගන්න උදව්වක් වෙන බව දන්න හන්දාය.

“එක පැත්තකින් සන්තෝස වෙයන් අඩුගානෙ නැති උනේ සල්ලිනෙ කියල හිතලා. ආයෙ ඔය මිනිහව කසාද බැඳල අන්තිමේ ජීවිතේ ඉතුරුවෙලා තියෙන සන්තෝසෙත් නැති කරගන්නවට වඩා ඔහොම දෙයක් වෙච්ච එක හොඳයි කියලා හිතපං. දැන් මොකද්ද උඹ කරන්න බලාපොරොත්තු වෙන්නෙ? පොලිසියට යනවද?”

“පොලිසියට යන්න කලින් මම හිතුවෙ වලාකුලුගෙ ඔෆිස් එකට ගිහින් බලන්න. අපේ කෝල් වලට ආන්සර් කලේ නැතිඋනාට මිනිහට තමන්ගෙ ඔෆිස් එක එහෙම එකපාර අතෑරල දාන්න බෑනෙ, මිනිහ එක්කො එතන ඉඳිවි එහෙම නැත්තම් එතන ඉන්න මිනිස්සු වලාකුලු ඉන්න තැනක්වත් දන්නව ඇතිනෙ. සමහරවිට අපි මේ කලබල උනාට එයාට මොකක් හරි කරදරයක් වෙලාද දන්නෙත් නෑනෙ”

“අනේ ඔව් කරදරයක් නම් වෙලා තියෙනව. උට නෙවෙයි උඹටයි උඹෙ පවුලෙ උන්ටයි. මං දන්නෙ නෑ මේධා උඹ වගේ ඉගෙන ගත්ත ගෑණියෙක් තාම මේ මෙච්චර දේවල් උනාට පස්සෙත් ගොනෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියල. ඇස් ඇරල බලනවා ගොං ගහ. ඌ උඹලගෙ පවුලෙන් සල්ලි කඩාගෙන උගෙ වැඩ ටික කරගෙන අන්තිමේ මාරුවෙලා ගිහින්. මං හිතන්නෙ නෑ ඕක ඔෆිස් එකේවත් ඉඳීවිද කියල. එහෙ යනවනම් තනියෙන් එහෙම යන්න එපා මෝඩයා වගේ, තාත්තා ඒවිද කියන්න මම දන්නෙ නෑ. ඒත් තනියම යන්න එපා” කියා ආලෝකා කිව්වට එක්කරගෙන යා යුත්තේ කාවද කියා අදහසක් මේධාට ඇත්තටම තිබ්බේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here