ජීවිතය කවියක් නොවේ – 49

0
5207

තවත් තෙසතියකට වඩා වැඩි කාලයක් ගෙවී යන්නට විය. ධනංජය තවමත් මීගමුව රෝහලේය. උණ තත්ත්වය පහව ගොස් තිබුණත් ඔහුගේ ඇඟට ඇතුළු වූ විෂබීජයක් මොළය දක්වා පැතිර ගොස් එහි වූ සියුම් ස්නායු වලට හානිකර තිබිණ. දින කිහිපයකින් රෝහලින් පිටව යන්නට හැකියාව වුවත් ඔහුට දිගු කාලයක් තිස්සේ ඇඳකට හෝ රෝද පුටුවකට සීමා වී කාලය ගත කරන්නට සිදුවන බව වෛද්‍යවරු පැවසීය. ඒ තෙසතිය පුරාම  ඔහු හා රැඳී සිටියේ සොහොයුරාය. දින තුන හතරකට වරක් හසාරා මහන්සිය නොබලා ත්‍රිකුණාමලයේ සිට කටුනායකට පැමිණියාය. ඒ බොහෝ දිනවල ඈ රාත්‍රී නවාතැන් ගත්තේ කසුන්ගේ නිවසේය. 

“ හසාරා….මට මල්ලි හැමදේම කිව්වා..එච්චර දුරක් ගෙවාගෙනද ඔයා මේ මාව බලන්න එන්නේ..”

ධනංජය ඇගේ දකුණතින් අල්ලාගෙන ඇසුවේ එසේ රෝහලට ගිය එක් සැදෑවකය. 

“ මං කවදාවත් හිතුවේ නෑ මට ආපහු ඔයාව මේ විදිහට දකින්න ලැබෙයි කියලා. ඒ සිද්ධ වෙච්ච දේවල් වලට සමාව ඉල්ලන්නවත් මං සුදුසු මිනිහෙක් නෙමෙයි කියලා මට හිතෙනවා. මට මං ගැනම පුදුමාකාර කළකිරීමක් තියෙන්නේ..”

“ සිද්ධ වුනු දේවල් ගැන දැන් හිතල වැඩක් නෑ ධනංජය. ඔයා ඉක්මනට සනීප වෙන්න බලන්න. ඩොක්ටර් පැහැදිලිව කිව්වනේ බෙහෙත් වගේම ඔයාගේ පැත්තෙනුත් සපෝට් එක ඕනේ කියලා. ඒ ගෙවිලා  ගියපු කාලේ ඔයාගේ අම්මා, තාත්තා, නංගි, මල්ලි..මේ හැමෝම හරියට දුක් වින්දා ධනංජය. එයාලට ඔයාව හරි වටිනවා.”

හසාරා කතා කළේ අර පරිස්සමට වචන තෝරා බේරා ගෙනය. මෙවේලෙහි ඇගේ සිතෙහි ධනංජය ගැන ඉතිරිව තිබුණේ අනුකම්පාවකට සමාන වූ හැඟීමකි.

කසුන්ගේ නිවසේ සිට සාදා ගෙන ආ සුප් බඳුන ධනංජය වෙත පෙව්වේ ඈය. ලංකාවම දන්නා හඳුනන ඇගේ රුව ධනංජය රැඳී උන් රෝහලෙහි රෝගීන්ට ඔවුන්ගේ භාරකරුවන්ට සේම කාර්ය මණ්ඩලයට ද අමුත්තක් වූයේ නැත. බොහෝ දෙනකු ඇය සමීපයට විත් ‘මැඩම්’  යැයි පවසමින් වදනක් දෙකක් කතා කර යන්නට අමතක නොකළේය. 

“ අක්කා  නිසා අපේ අයියට ලොකු සැලකිල්ලක් ලැබෙනවා..ඩොක්ටර්ස්ලා උනත් අයියව අඳුනන්නේ  හසාරා  මැඩම්ගේ පේෂන්ට්  කියලා කිව්වහම.” 

ධනංජයගේ සොයුරා එසේ පවසද්දී හසාරාට සිහි වූයේ ධනංජය විසින් ලියා එවා තිබූ ලිපියය. කඳුළු වලටත් දෑත් වලටත් දියවී තිබූ ඒ ලිපිය අදටත් හසාරා ළඟ සුරක්ෂිතය. එය  කී වතාවක් කියවූයේදැයි මතකයක් ඇයට නොවේ. ඒ සෑම වතාවකම ඕ උත්සාහ කලේ  තමාට මගහැරී ගිය යමක් ඒ තුළ සොයන්නටය. 

මං කැමති උනේ  නෑ මිනිස්සු මාව ධනංජය විදිහට මිසක් හසාරාගේ හස්බන්ඩ් විදියට හඳුන්වනවාට..

ඔහු එම ලිපියේ එක් තැනක එසේ ලියා තිබිණ. හිතා මතා කිසිවක් සිදු නොකලත් අදටත් ඔහුව හඳුන්වන්නේ හසාරාගේ පේෂන්ට් යනුවෙන් ය. 

“ සමහර දේවල් වෙනස් කරන්න බෑ කියලා තේරුම් ගන්න කොට මං ගොඩක් පරක්කු වෙලා හසාරා. ඇත්තටම කිව්වොත් ඔයාට වෛර  කරලා ඒ වෛරයෙන් පිච්චුනේ මම. මේ ජීවිතේ එක තැනකදි මට දරාගන්න බැරුව ගියා. අද මට තේරෙනවා මං හරි දුර්වල මිනිහෙක් කියලා. ඇත්තටම කිව්වොත් මං ඔයාට ඉරිසියා කළා. ගොඩක් හස්බන්ඩ්ලා වගේ මම හිතුවා ඔයා ඉන්න ඕනේ මගේ යටතේ කියලා. ඔයා මාව පරද්දලා ඉස්සරහට යන එක මට දරාගන්න බැරුව ගියා…” 

අවසන් සුප් උගුරත් පානය කළ පසු ඔහු එසේ පැවසූයේ හසාරා දෙස බලාගෙනය. හසාරාගේ මුව  මත වූයේ නොවෙනස්වන ඒ සිනහව පුදුම එකක් සේ ඔහුට දැනෙන්නට විය. ගෙල වටා දමා තිබූ ලේන්සුවෙන් මුව පිසගත් ධනංජය යළිත් වරක් හසාරාගේ දකුණතින් අල්ලා ගත්තේය.

“ මේ විදිහට මාව බලන්න නාවට මං තරහ නෑ හසාරා. ඔයා මෙහෙම කිසිම දෙයක් නොවුන වගේ හිනා වෙද්දි මට ඒක දරාගන්න බෑ. මට බනින්න හසාරා, මට සාප කරන්න. මේ විදිහට හිනා වෙලා මාව පුච්චන්න එපා…”

“ ඔයාට බනින්න බනින්නවත් සාප කරන්නවත් මට බැහැ. එදත් ඒ දේ මගේ අතින් වුණේ නෑ ධනංජය. මං හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි මිනිස්සු රැඳෙන්නේ තමන්ට සතුට ලැබෙන තැන් වල කියලා. ටී වී  එකක් ඉස්සරහ රේඩියෝ එකක් ඉස්සරහ සතුට පරිස්සම් කරගන්න හැටි මිනිස්සුන්ට කියලා දුන්නට මං දන්නෙම නැතුව මගේ ගේ ඇතුලෙ සතුට නැති වෙලා. එහෙම හිතනකොට මමත් වැරදි කාරයෙක් කියන හැඟීමෙන් මිඳෙන්න මට බෑ. ඉතින් මම කොහොමද ඔයාට වෛර කරන්නේ.” 

“ මගේ ඇස් දෙක අන්ධ උනා. සතුට පෙනි පෙනීත්  මං දුකම තුරුල් කරගත්තා. මං අවි ආයුධ හෙව්වේ ඔයාව රිද්දවන්න. මට වැරදුණු තැන් හදාගන්න වුවමනාවක් මට  තිබුණෙ නැහැ හසාරා. මට මතකයි අන්තිම දවස්වල ඔයා සෑහෙන්න උත්සාහ කළා මමත් එක්ක  කතා කරන්න. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න ලෑස්ති වුණා. ඒවා මතක් වෙන වාරයක් වාරයක් පාසා මගේ හිත රිදෙනවා. මිනිහෙක් කාත් කවුරුවත් නැතුව තනි වෙන්න ඕනේ බැඳීමක වටිනාකම තේරුම් ගන්න.මට මතකයි හසාරා මං ඔයාව එයාපෝර්ට් එකට ඇරලවපු දවස. එදා ඔයාගේ ඇස් දිළිසුනේ බලාපොරොත්තු වලින්. මට මතකයි ඔයාට බලාපොරොත්තු දීලා මං මහා කුහක සතුටක් ලැබුවා. එදා ඔයාගේ ඇස් දිහා බලන්න මං හරි බය වුණා..ඒ මතකේ මැරෙන මොහොතෙත් මාව රිදවාවි හසාරා. මං මැරෙයි කියලා හිත හිතා හොස්පිට්ල් එකේ වැටිලා හිටය හැම තත්පරේකම මට ඒ ඇස් මතක් උනා..”

“ කාලය,  ඒ ලැබුණු වේදනාවන් මාව අද දවස විතරක් ජීවත් වෙන  ගැහැණියක් බවට පත්කරල..අතීතේ හිර  වෙලා ඉන්න බැරි තැනක මට අහම්බෙන් නතර වෙන්න සිද්ධ වුනා. මේ මගේ දෛවය උරුමය කියලා දරාගෙන මං ඒ ජීවිතේ විඳිනවා..”

“ ඔයා ගැන මිනිස්සු කතා කරනවා හසාරා. ඔයාට මිනිස්සු පින් දෙනවා. ඔයා ගැන කතා කරනකොට මිනිස්සුන්ගේ අත් දෙක එකතු වෙනවා. එදා කවුරු හරි මාව හසාරගේ හස්බන්ඩ් කියලා හඳුන්වද්දි මට පුදුමාකාර කේන්තියක් දැනුනා. අද හසාර මැඩම්ගේ පේෂන්ට්  නේද කියලා කවුරු හරි ඇවිල්ලා අහද්දි මට ලොකු ආඩම්බරයක් දැනෙනවා හසාරා.”

“ ඔයාට ගොඩක් වෙහෙස වෙන්න හොඳ නෑ ධනංජය. කතා කරන එකත් ආපහු වැරදුන තැන් මතක් කරන එකත් වෙහෙසක්. ඉක්මනට සනීප වෙන්න. හැමෝගෙම ජීවිත ඔයා නිසා එක තැනක නතර වෙලා..අලුත් ජීවිතයක් පටන් ගන්න ඔයාට පුළුවන්.”

“ නිර්මිතාට මොකද උනේ හසාරා….”

“ දන්නේ නැහැ..ඒත් එයා ගැන මං හොයන්නම්. ඔයා බය වෙන්න එපා..”

“ එයා කොහේ හරි හොඳින් ජීවත් වෙනවා නම් ආපහු මං ළඟට එක්කරගෙන එන්න උත්සාහ කරන්න එපා. සමහර  විට මාව විශ්වාස කරලා නිර්මිතාටත් ජීවිතය වරදින්න ඇති. ඔයාට පින් සිද්ධ වෙයි එයාට කරදරයක්ද කියලා විතරක් බලන්න. මට මේ වෙච්ච කිසිම දෙයක් නිර්මිතාට දැනගන්න ඉඩ තියන්න එපා. අපි දෙන්න අතර බැඳීමක් ඇතිවුනේ අපි දෙන්නම එකම අරමුණක ඉඳපු නිසා විතරයි. මගේ මේ හදවතේ කොතනකවත් නිර්මිතා නැහැ. ඒක මං පහුගිය කාලෙ තේරුම් ගත්තා. අන්තිමට අපි  අපිව පාවිච්චි කරලා විතරයි…

නිර්මිතාට ඒ ඉන්න තැනක ජීවත් වෙන්න ඉඩ දෙන්න හසාරා…”

ධනංජය එසේ පැවසූයේ රෝහලේ කෙටි බිත්තියෙන් එපිට බලාගෙනය. ඒ දෑස් වල ලියවී තිබුණේ දුක් කතාවකි. හදවත හඬා නොවැටෙනවායැයි පැවසීම බොරුවකි. එහෙත් හසාරා දරා උන්නාය. මේ එදවස ඔහු සුසුමකින්වත් දුක් වනවාට කැමති වූ ගැහැණියක නොවේ.

“ අන්තිමට අයියට ඉතුරු උනෙත්  අක්කා විතරයි…”

ධනංජයගේ සොහොයුරා එසේ පැවසූයේ ඇයත් සමඟ රෝහල් කොරිඩෝවේ ඇවිද එද්දීය. ගේට්ටුව පෙනෙන නොපෙනෙන මානයට ආ ඔහු ආපසු හැරුණේය. හසාරා අත් බෑගයේ  කෙළවරක පරිස්සමට තබාගෙන ආ පන්දහසේ නෝට්ටු පහක් ඔහු අත තැබුවේ කිසිවක් නොකියමින්ය. පසුගිය දිනවලත්  ඈ කිහිප  වරක්ම මේ අයුරින් ඔහුට මුදල් ලබා දුන්නාය.

“ කවද වෙනකල් අපි අක්කට කරදර කරන්නද..අයියා හොඳටම සනීප වෙනකල් මට කිසි දෙයක් කරන්න බැරි වෙයි. ඩොක්ටර්ස්ලා  කියන විදිහට තව කාලාන්තරයක් යනකල් අයියට කකුලක් තියලා කකුලක් ගන්නවත් බෑ. අයියගේ  වැඩ අම්මටවත් තාත්තටවත් කරන්න බෑ අක්කේ. පොඩි අක්කට කරදර කරන්නත් බෑ. එයාලට එයාලගේ ජීවිත තියෙනවනේ..”

“ මල්ලි ඒ ගැන හිතන්න එපා. කොහොමහරි අයියව සනීප කරගන්න බලන්න. ඒ යන වියදම මම දරන්නම්…

ඔයා වෝඩ් එකට යන්න. අයියා හිතුවක්කාර වැඩ කරනවා සමහර වෙලාවට.”

හසාරා සමුගත්තේ එසේ පවසමින්ය. යළිත් වාහනයට නැගුණු ඇයට බොහෝ දුරක් යාමට ඉඩ ලැබුණේ නැත. නිර්මිතාගේ නැගණියගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වන්නට විය. මඳක් පාර අයිනට කර වාහනය නවතා ගත් හසාරා ජංගම දුරකථනය කන තබා ගත්තේ සාමාන්‍යයෙන් මේ ඈ කතාකරන වේලාවක් නොවන නිසාය. 

“ හසාරා අක්කේ… මට ටිකක් කතා කරන්න ඕනේ කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ…”

“ කියන්න නංගී…”

ධනංජය ලංකාවට පැමිණි බවවත් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවවත් ඇය දැන සිටියේ නැත.

“ අක්කේ මට අපේ අක්ක කතා කලා…”

හසාරා වඩා හොඳින් දුරකථනය සවනත රඳවා ගත්තේ ඈ එසේ පැවසූවාට පසුවය. ඒ අතරේම ඕ ඇගේ හඬෙහි වන සතුට හඳුනාගන්නට උත්සාහ දැරුවාය.

“ අක්කේ අපේ අක්කට එහේදී ප්‍රසන්න අයියා හම්බවෙලා. ප්‍රසන්න අයියා තමයි ඇවිත් අපේ අක්කව බේරගෙන තියෙන්නේ. ඒ දෙන්නා ආපහු සෙට්ල් වෙලා  හසාරා අක්කේ. අපේ අක්කා කියනවා අක්ක ධනංජය අයියත් එක්ක එහේ ගියාට ප්‍රසන්න අයියා ඉන්න බව දැනගෙනලු ගියේ. අක්කට ඕන වුණේ ප්‍රසන්න අයියව හම්බ වෙන්නලු. එයා ඉඳපු කඳවුරට ආපු එන් ජී ඕ  එකක කට්ටියක් අතේ තමයි ප්‍රසන්න අයියට පණිවිඩය යවලා තියෙන්නේ. ප්‍රසන්න අයියා ලෝයර් කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා අක්කාව බේරගෙන. අක්කට එහේ සුපර් මාර්කට් එකක ජොබ් එකකුත් හම්බ වෙලා. මට සල්ලිත් එවල තිබුනා හසාරා අක්කේ..”

ප්‍රසන්න යනු  නිර්මිතාගේ පළමු සැමියාය. දිගින් දිගටම ඇය හා ආරවුල් ඇතිකරගත් ඔහු දික්කසාදයෙන් පසු කොහේ සිටිනවාදැයි නිර්මිතා දැන සිටියේ නැත. කාලයක්ම ඕ ප්‍රසන්න ගැන සොයමින් වෙහෙස වූ බව  හසාරා දනී.

“ අපේ අක්කා කිව්වා අක්කගෙන් ගතපු සල්ලි අක්කට දෙන්න කියලා… අක්කා ඇහුවා හසාරා අක්කා එයාට බනිනවද කියලත් …”

නිර්මිතාගේ නැගණිය අවසන එසේ පැවසුවාය. 

“ මට සතුටුයි නංගි නිර්මිතා කතා කරපු එක ගැන. එයාගේ අලුත් ජීවිතයට මං සුභ පැතුවා කියලා කියන්න..”

හසාරා ඒ වදන් පෙළ එක් කර ගත්තේ මහත් වූ ආයාසයක් දරමින්ය. එවන් ආත්මාර්ථකාමී මිනිසුන් ගැන ඇගේ සිතෙහි උපන්නේ පිළිකුලකි. ඇයට සිහි වූයේ ඉන්දුමාය. 

“ එයා පෙරළුන පිට හොඳයි කියලා වාසියත් අවාසියත් තමන්ගේ පැත්තට නම්ම ගන්න ගෑනියෙක්..”

ඉන්දුමා එසේ පැවසූයේ වරක් දෙවරක් නොවේ.

( යළිත් හමුවෙමු ආදරයෙන්….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here